කාලෙකින් කාලීන මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ තමයි අධ්‍යාපනය හා පෞද්ගලීකරණය. මේ දෙකම අද එකට බැඳිලා ඇතිවෙලා තියෙන තත්ත්වය තමයි කතා කරන්න හිතුවේ. පහුගිය දවස් වල ශිෂ්‍යයන් පෞද්ගලික විශ්ව විද්‍යාල බවත් කරන්න යැයි ඉල්ලමින් කල උද්ගෝෂණය හා ඒ හා බැඳුනු කතිකාවන් නිසාවෙන් මේ ලිපිය සකස් කිරීම ඉක්මන් වුනා. මම නම් හිතන්නේ පොලීසියෙන් ඒ විදිහට ශිෂ්‍යයන්ට ගහපු එක වැරදියි. ඒක හිංසනයක්. කවුරු කොයි විදිහෙන් ඒකට අණ කලත් ඒක වැරදියි. හැබැයි ඒ වැරදියි කියන එකෙන් ශිෂ්‍යයන් කල දේ හරියි කියන්න බෑ. ශිෂ්‍යයන් ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනය නවත්වන්න නම් ඒකත් වැරදියි.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් |
දැන් කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියල. මමත් රජයේ විශ්ව විද්‍යාලයකින් තමයි ඉගෙන ගත්තේ. ඒත් මම කියනවා පෞද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි කියල. ඇයි ඒකට ලමයි විරුද්ධ වෙන්නේ? මේකට හේතුවක් තියෙන්නත් එපැයි. ඒ හේතුව තමයි පෞද්ගලික අධ්‍යාපනය තුල ලැබෙන උපාධි හෝ ඩිප්ලෝමා සහතික වලට රජයේ අධ්‍යාපන ආයතන වලට වඩා වැඩි රැකියා අවස්ථාවන් ලැබීම. ඒ තුල රජයේ අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා දරුවන්ට තියෙන තැන අඩු වෙනවා. ඉතින් ළමයි කෑ ගහන්න පටන් ගන්නේ ඔවුන්ගේ අනාගත රැකියා සිහිනය බොඳවෙන නිසා. හැබැයි අපි හැමෝටම අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඇයි පෞද්ගලික අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා අයට වැඩි රැකියා අවස්ථාවන් හිමිවෙන්නේ කියන එක. ඒ ගැන පුංචි කතාවක් විදිහට කියාගෙන යන්නම්.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් |
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොහොම හරි කරලා විශිෂ්ඨ ලෙස සමත් වෙන අය රජයේ අධ්‍යාපන ආයතන වලින් නොමිලේ උගනින්න වරම් හිමිකර ගන්නවා. අනිත් ළමයි මොකද කරන්නේ? ඔවුන් තුල හැකියාවන් නැතිද? පාසල් අධ්‍යාපනය තුල රාමුවක් සකස් කරල ඒකට අනුගත කරන එකයි කරන්නේ. එහිදී සිසුන්ට තෝරා ගැනීමක් නැහැ. කල යුත්තේ තියෙන රාමුව තුල ඉගෙන ගැනීම. තමන්ගේ දක්‍ෂතාව මොකක් වුනත් ඒ සියල්ල අමතක කරලා අධ්‍යාපන ක්‍රමවේදය මගින් දුන්න පාඩම් මාලාවක් ඉගෙන ගන්න ඕන. ඇත්තටම මොනවද මේ පාඩම් මාලාවේ තියෙන්නේ. තියෙන්නේ එකිනෙකට වෙනස් වූ විශයයන් සමූහයකින් ඉතා කුඩා ප්‍රමාණය බැගින් ඉගැනවීමක්. පසුව උසස් පෙල විශයයන් ලෙස තෝරා ගැනීමක් දුන්නද එයද යම් සීමාවක් තුල සිදු කල යුතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී වුනත් එහෙමයි. අප ලද ලකුණු අනුව යන්නේ කොතනද කියල තීරණය වෙනවා. පසුව එතැන තියෙන දේවල් වලින් අපි නොනැසී පවතින්න උත්සාහ ගන්නවා. අවසානයේ කැඳ හැලියක හිටි එකෙකු එලියට එනවා. ඔහු හෝ ඇය දත් දෙයකුත් නොදත් දෙයකුත් නැහැ. පලමු වාරය දෙවැනි වාරයේදී මතක නැහැ. කෙටි කාලීනව දැනුම ගබඩා කරගෙන එතැන තිබෙන ආකාරයට අනුගත වෙමින් වැඩ කල හැකි රොබෝවෙක් සමාජයට බිහිවෙනවා.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් |
නමුත් පෞද්ගලික අධයාපන ආයතන මගින් ළමයෙකුට මුදල් ගෙවීමෙන් පසු තමන්ගේ ලකුණු මට්ටම කුමක් වුවත් තමාගේ දක්‍ෂතාවයට හා කැමැත්තට ඔබින ආකාරයේ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව ලැබෙනවා. එවිට ඔහු හෝ ඇය තමන්ගේ අනාගතය සැලසුම් කරනවා. සල්ලි තිබුන පමණින් ඔහු අධ්‍යාපනය හමාර කරන්‍නේ නැහැ. ඔහුට හෝ ඇයට එතැනත් තරඟයක් තිබෙනවා. තමන් කැමති විශයයක් එයට අදාල හෝ සමගාමී වූ තවත් විශයයන් තමඟ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගන්නා ඔවුන් අවසානයේ එක් විශයයක් සඳහා විශේෂඥයෙකු වශයෙන් සමාජයට එනවා. අවසානයේ ඔහු රැකියාවක් සඳහා තරඟ කරන්නේ ඔහුගේ විශේෂත්වය එක්ක.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් |
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා සිදුවී තිබෙන දෙයින් කොටසක් විතරයි. අතීතයේ නොතිබුනු පෞද්ගලික අධ්‍යාපන ආයතන අද බිහිවෙද්දී ඒවායේ රැකියා ඉලක්ක කරගෙන කරන්නා වූ අධ්‍යාපන ක්‍රමවේදයන් හා තරඟ කිරීම සඳහා රජයේ අධ්‍යාපන ආයතන වල ක්‍රමවේදයන් අපාහොසත් වීම නිසාවෙන් අසරණ වන්නේ විශේෂ දක්‍ෂතා ඇති සිසුවන් පමණක්ම නොවන්නේද? එකිනෙකට වෙනස්වූ විශයයන් රැසකින් සමන්විත කඩයිම් පරීක්‍ෂණ සියල්ල ජය ගන්නා ඔවුන් එක් දිශාවකට යොමු කරවන්නේ නම් ඔවුන්ගෙන් ලැබෙන්නා වූ සේවය කොතරම්දැයි නොපෙනෙන්නේ මන්දැයි ගැටලුව අද මටත් ඔබටත් පැන නඟිනු ඇත.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් |
අවසානය මෙසේ සටහන් කරමි. කුමණ දේශපාලන පක්‍ෂයක් පැමිණියත් අධ්‍යාපනයේ වටිනාකමක් තිබෙන දේශපාලන මතයක් තවමත් පැමිණ නැත. එසේ පැමිණියා නම් අද මේ ලිපිය මෙසේ මා අතින් සටහන් වන්නේ නැත. අධ්‍යාපනයක අගය දන්නේ හුදෙක් අධ්‍යාපනයේ රසය දන්නා උන් පමණක්මය.