ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ ඇඹිලිපිටිය හා සූරියකන්ද අතර පිහිටි කොලොන්න නගරයේ පිහිටා ඇති අපගේ ඉතිහාසය හා සම්බන්ධ අපූර්ව ස්ථානයක් විදිහට මඩුවන්වෙල වලව්ව හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹින් කිලෝමීටර 207ක් විතර ගියාම මේ ස්ථානයට පහසුවෙන් ලඟාවීමේ හැකියාවක් තියෙනවා. දෙවන විමලධර්මසූරිය රජ සමයේදී වසර 1700 දී පමණ මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ගොඩ නැගීම ආරම්භ කර පසුව මඩුවන්වෙල පරම්පරාවේ විවිධ අය විසින් එය විශාල කර නිර්මාණය කරන ලදී. පසුව මඩුවන්වෙල මහ දිසාවේ විසින් 1905දී පමණ අවසන් කරවන ලදී.
1877 සිට 1905 කාලය දක්වා මඩුවන්වෙල වලව්වට කාමර 121ක් අභ්‍යන්තර මැද මිදුල පිහිටි ස්ථාන 21ක් සහ එය වඩා ඉඩම් අක්කර 16500 තිබූ බැව් කියැවේ. දැනට මේ භූමියේ කාමර 43ක් හා මැද මිදුල ඇති ස්ථාන 7ක් ඉතිරිව ඇත. තවද මිනිසුන් 100ක් සඳහා අසුන්ගත හැකි උසාවියක් මිනිසුන් සඳහා දඬුවම් කරන උපකරණ ආදියත් තවම ඉතිරි වී ඇත. මඩුවන්වෙල මහ දිසාවේ ට පසුව මඩුවන්වෙල පවුලේ සාමාජිකයන්ට අයත්ව තිබූ මේ භූමිය පසුව ශ්‍රිමත් ෆැන්සිස් මොල්මුරේට පවරා දී ඇත. එයින් පසුව 1974 දී පමණ එය රජයට පවරා පුරාවිද්‍යා පොර්තමේන්තුව විසින් කෞතුකාගාරයක් බවට පත්කොට ඇත.
ඉතිහාසය අනුව මොහුගේ වතුපිටි බොහෝමයක් සිංහල රජවරුන් දෙදෙනෙකුගෙන් තෑගි ලැබූ ඒවා වේ. අක්කර 7000ක් පමණ වූ පනාමුරේ වතුයාය එවැන්නකි. එය මඩුවන්වෙල මහ දිසාවේගේ මුත්තාට දෙවැනි රාජසිංහ රජු විසින් පෘතුගීසි බලකොටුවෙන් පැනවිත් විවධ අපරාධ කල තැනැත්තෙකුගේ හිස ගෙන ඒම වෙනුවෙන් නින්දගම් ලෙස ලබා දුන්නකි. තවත් කොටසක් ලක්දිව අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් රජුගෙන් දිගුකලක් පැනයමින් සිටි සුදු ගෝණෙකු අල්ලා දීම වෙනුවෙනු ලැබී ඇත. මේ සියලු විරක්‍රියා සඳහා ඉතිහාසයේ විවිධ කතා පවතී.
මඩුවන්වලෙ මන්දිරය තැනූ ස්ථානය ගැනද කතාවක් පවතී. ඒ මෙසේය. මඩුවන්වෙල පරපුර මුතුන්මිත්තන් අතීතයේ මෙම ස්ථානයේ සෙල්ලම් කිරීමට භාවිතා කර ඇත. දිනක් මෙහි සිවලෙක් හාවෙක් පසුපස එපවා යනු දැක ඇති අතර තැනකදී ඔවුන්ගේ ගමන් මාර්ගයන් වෙනස් වීම නිසා හාවා සිවලා පසු පස එලවා යනු දැක ගත හැකිව තිබේ. මෙලෙස හාවා ඉතා නිර්භීත ලෙසින් ක්‍රියා කල ස්ථානය ජය භූමියක් ලෙසින් සලකා එහි මන්දිරය තැනීමට තීරණය කර ඇත.
වලව්වට ඇතුලුවෙන ප්‍රධාන දොරටු තුනකි. ඒවායේ පියගැට පෙල අසල ඇත් රූ කැටයම් කල සඳකඩ පහණකි.
වලව්ව තුල ඇති නෙදර්ලන්තයෙන් ගෙනා ටයිල් වලින් මෙසෙයික් ස්වරූපයෙන් කල පොලව ඇති කොටස තවත් ආකර්ශනීය ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය. එය අදටත් අපූර්ව ආකාරයෙන් පැමිණෙන අමුත්තන්ගේ සිත් ඇද ගනී. ටයිල් කැට වල ඇති වික්ටෝරියා රැජිනගේ හා හා වෙනත් පාලකයන්ගේ රූප ද වරෙක රන් පවුමේ රූප කැටයම්ද ආකර්ශණීය කැටයමේ රටාව බිඳ දමනු දැකිය හැක. එය හුදෙක් යටත් විජිතවාදී පලනයට එරෙහිව සිටි දිසාවේ විසින් යටත් විජිතවාදී පාලකයන් වෙනුවෙන් කල හැකි උපරිම නිග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ පාලකයන්ගේ රුව ඔවුන්ගේ දෙපයටම පෑගෙන්නට සැලැස්වීමයි. තවද 1905 දී සෙවිලි කල උලු තවමත් හොඳ තත්ත්වයේ පැවතීමද විශේෂත්වයකි.
පඩිපෙල හා දොර උලුවස්ස ආදිය බුරුත, සියඹලා හා කොස් ලීයෙන් කර කාමර වල විවිධ වාස්තු නිර්මාණ මඩුවන්වෙල නිවැසියන්ට ස්වභාවධර්මයේ අපූර්ව චමත්කාරයක් නිවස තුලද ලබා ගැත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. මීට අමතරව සියලු දෙරවල් වල උස සීමා කර ඇති අතර එය පැමිණෙන සියලු විදේශිකයන්ට හිස නමා මැදුරට ආචාර කර පැමිණෙන ලෙසින් කල නිර්මාණයක් ලෙස හැඳින්වේ. ඒ සමඟම නිවස ඉදිරි කොටසේ ඉදිකල පිරිත් මණ්ඩපය නිසා ඔහුගේ ආගමික භක්තිය මනාව හඳුනාගත හැකිය. වෙමම තාප්ප තුනකින් වල කල උද්‍යානය හා මැදින් පිහිටි උල්පත් සහිත පොකුණ අද සිඳී ගොස් ඇතත් එදා එය අපූර්වත්වයක් එක්කර තිබූ බැව් සිතිය හැකිය.
එය රත්නපුර පුදේශයේ ඉහලින් පිලිගන්නා වූ මොල්මුරේ නායද මොහු සතුය. මුතුන්මිත්තන්ගේ පවුලේ නාමය ලබා ඔහුගේ උරුමය වූ ස්වදේශික ප්‍රධාන තනතුරු 18ක් එකක් වූ රටේ මහත්තයා තනතුරට පැමිනෙන්නේ පසුවය. එහිදී ඔහු ඔහුගේ නාමය ලෙස පරම්පරික නාමය වූ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන මුදියන්සේ රාළහාමිලාගේ සර් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාවේ නාමයෙන් ආමන්ත්‍රණය කෙරිණ. ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලදුව තමන්ගේ ප්‍රදේශයට සේවය කිරීම සඳහා නැවත වලව්වට පැමිණියේය. දිසාවේ සමඟ විවාහ වූ කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හට දාව දියණියක උපන්නද ඇය ආබාධිත විය. අඩු ආයුවළඳා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ විය. නමුදු එම විවාහයේ දරුවන් නොසිටි නිසා මඩුවන්වෙල පරපුර එතැනින් අවසන් විය. අදටත් කතා වෙන ලංකාවේ සිටි මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත් වුනු මඩුවන්වෙල දිසාවේ ඇත්ත වශයෙන්ම කුමාරයෙකු සතු සැප සම්පත් විඳි අයෙකු ලෙස සැලකේ.
මඩුවන්වෙල වලව්ව හා ඒ අවට පරිසරයේ සෑම ස්ථානයක්ම එකිනෙකට වෙනස් වූ කතා ගොන්නකින් සමන්විත වෙයි. ඒ සියල්ල මෙතැන ලිවීමෙන් පොතක් ලිවීමට තරම් කරුණු එක්කොට දැන්වීමක් වැන්නේ යැයි මට සිතේ. කෙසේ වෙතත් මඩුවන්වෙල වලව්ව බලන්න යන්න. එතැන ඒ ඒ කතා කියන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පිරිස් ඉන්නවා. කතා ටික අහන්න ගමේ අය එක්ක කතා කලත් පුළුවන්. කෙහොම වුනත් ලංකාවේ ඒ තරම් සුවිශාල නිවසක් හිමි පුද්ගලයෙකු රජෙකු හැරෙන්නට සිටියානම් මඩුවන්වෙල දිසාවේ විය යුතුය. කෙසේ වෙතත් සුද්දාටත් හිස නවන්නට සැලැස්සූ මඩුවන්වෙල වලව්ව ඉතිසාහයේ අපේ පෞඩ ජාතිය ගැන අපූර්ව සඳහනක් මතු කරයි.
අයෙත් ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන්...