Pages

Saturday, March 3, 2018

කෝච්චියයි මමයි...


ලංකාවේ කෝච්චියක් යන ඕනම තැනක කෙනෙක් රැකියාවට යන්න හොඳම තේරීම කරගෙන තියෙන්නේ කෝච්චිය තමයි. බස් වලින් ගිහින් වාහන තදබද අස්සේ යන එකයි බස් සිංදු ටික දැම්මාම කණක් ඇහිල යන්න බැරි එකයි සැලකුවාම පුංචි කාලේ ඉඳන්ම කෝච්චියේ යන එක මාරම ජොලි වැඩක්. ඉස්සර කොලඹ එනවා කියන්නේ හෙනම ට්‍රිප් එකක්. කෝචිචයේ යන අපිට තිබුන එකම ට්‍රිප් එක වුනේ කොලඹ යන එක. ඉතින් අම්මල කොළඹ යමු කිව්වාම අපි මුලින්ම හොයන්නේ පත්තරයක්. ඒ වෙන මොකකටවත් නෙවෙයි. පත්තරේ පුංචි පුංචි කෑලි කඩාගෙන ඒක පරි‍ස්සමට මල්ලක දා ගන්නවා. නැතින්ම කලිසම් සාක්කු දෙකම පුරව ගන්නවා. කොහොම හරි කෝච්චියේ ජනේලයක් අයිනට සෙට් වෙලා කොල කෑලි ටික එකින් එක හුල‍‍ඟේ පා කරල යවන ටික තමා ‍ජොලිම ටික. ගිය වැඩේ කොහොම වුනත් ආයේ එද්දී ජනේලේ අයිනේ හම්බෙයිද කියල හිතන එක තමා ඊලඟට කරන්නේ.

ඇයි ඒ විතරක් යැ. ඒක ඔෆිස් යන උන් යන කෝච්චියක් නම් පැත්තකින් කාඩ් සෙල්ලන් කරන උන් ටිකකුයි තව පැත්තකින් සිංදු කියන සෙට් එකකුයි ඉන්නවා. උන් දාන වැඩ කෑලි ටික බලාගෙන ඉන්නේ මැජික් කාරයො ටිකක් දිහා බලන් ඉන්න වගේ. මග යන වඩේ කාරයෙක්ගෙන් වඩේ ටිකකුත් කෑවේ නැත්තම් නින්ද යන්නෙත් නෑ එදාට. ඒ කාලේ හරිම සුන්දරයි. හැබැයි ඉතින් කාලයක් ඉගෙනීම් එක්ක ඉඳලා ආයෙමත් කෝච්චියේ යන්න සෙට් වෙද්දී හරිම පුදුමයි. ඒ ඒ අතීතයේ කිසි දෙයක් දැන් නැති නිසා.

දැන් දැන් තියෙන්නේ හරිම පුදුම ලෝකයක්. කෝච්චියේ තැන තැන ඉන්න කීප දෙනෙක් විතරක් කතා කර කර යනවා. බොහෝමයක් අය ෆෝන් එකට ඉයර්ෆෝන් ගහගෙන බෙල්ල කඩාගෙන බුදි. තව ටික දෙනෙක් ෆෝන් එකට බෙල්ල දික්කරගෙන මොනා හරි බලනවා. බොහෝමයක් වෙලාවට ඒ ෆිල්ම් එකක්. නැත්තම් යූ ටියුබ් එකේ මියුසික් වීඩියෝ එකක්. බොහෝමයක් වෙලාවට කතා කරන මාතෘකා වුනත් හරි අසාර්ථක සාකච්ඡා කියලයි මට හිතෙන්නේ. තරුණයින් පිරිසක් නම් ඉන්නේ බොහෝමයක් වෙලාවන් වලදී අසභ්‍ය වචන ගොඩකුත් සම්ප්‍රප්පලාප වලිනුත් ඒ කතාබහ පිරෙනවා. ලස්සන ගෑනු ලමයි ටිකක් ඉන්නවා නම් උන්ට ඇහුනද දන්නේ නෑ කියල බල බල ව්‍යංගාර්ථයෙන් කුණුහරිප කියන එක තමා කරන්නේ. කෙල්ලෙක්ව වචන වලින් අපහසුතාවයට පත් කරන එක දැන් ප්‍රධාන කාර්යයක් ව‍ගේ වෙලා.

කෝච්චියේ කොටස් කොටස් එක එක පිරිස් වල අයිතිය වෙන් වෙලා වගෙයි. ඒ තැන් වල වෙන කෙනෙක් හිටියොත් එදාට රැවුම් ගෙරවුම් විතරයි. ඒ විතරක්ද තම “කල්ලිය” යන තැනට වෙ‍න කෙනෙක් ආවොත් හරි එතැනට අලුතින් හෝ පැරණි කෙනෙක් තමාගේ “අනුගාමික” කල්ලි සාමාජිකයෙකුට විහිලුවක්වත් කලොත් එදා ඉඳන් වැඩේ හබක්. උන්දෑ එතැනින් යනකම් නොයෙකුත් නොරිස්සුම් පුකාශ කරනවා. ඒ විතරක්ද සෙට් එකේ එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනොත් එහෙම එයාව වහාම වෙන තැනකට යොමු කරවනවා. ඇයි ඉතින් එහෙම නොවුනොත් මාරුවට වාඩි වෙන්න බැරි වෙනවානේ. හැබැයි ඉතින් ලමයා හම්බෙලා ආයේ වැඩට යද්දී එයා ආයෙත් පරණ සෙට් එකට එනවා.

කලුතර බෝධිය ලං වෙද්දී නින්දෙන් ඇහැරිලා පස්ස ටිකක් උස්සල වඳිනවා වුනත් වයසක කෙනෙක් වෙනුවෙන් හෝ වෙනයම් ආබාධිතයෙන් වෙනුවෙන් නම් ඔවුන් නැගිටින්නේ නෑ. ඒ විතරක්යැ තමන්ට කලින් නැගපු කෙනෙක් තාවකාලිකව සීට් එක දුන්නාම ආයේ එයාට දෙනවා වෙනුවට තමන්ගේ “කල්ලියට” ඒ සීට් එක නතු කරගන්නත් මේ කෝචිචි කල්ලි වලට තියෙන්නේ මාරම දක්‍ෂතාවයක්.

ලඟදී වුන සිද්ධියකුත් මේකට ලියු‍වේ නැතිනම් වැඩක් නෑ කියල හිතෙනවා. ජාති වාදය නොවුනත් මේ සිදුවීම ලිවිය යුතුමයි. කවුරුත් දන්න ගර්භනී මාතාවන් සඳහා වෙන් කල ආසනයේ මුස්ලිම් කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා. පොඩි දරුවෙක් වඩා ගත්තු අම්ම කෙනෙක් ආව නිසා ඒ සීට් එක දෙන්න කියන එක වටේ කවුරුත් කිව්වා. ම හිටි තැනට ඒ කාන්තාවගේ මුහුණ පෙනෙන නිසා මම වඩා හොඳින් බැලුවා. බෙල්ල පහත් කරගෙන නිදි වගේ පෙන්නුවා වුනත් ඇයගේ මුහුණේ ඉරියව් හා ඇස් ඇරගෙන කේන්තිය හා නෙරිස්සුම් ප්‍රකාශණය මට හොඳින්ම පෙනුනා. නමුත් ඇයට තට්ටු කරමින් කතා කල කිසිවෙකුටත් ඇය ප්‍රතිචාර දැක්වූයේ නැහැ. එතැනම නිදා සිටි වෙනත් පුද්ගලයෙක් තම ආසනය මේ මටට දුන්නා. හැමදාමත් එම ආසනයේ යන ගර්භනී මවක් ඊලඟ නැවතුමෙන් කෝච්චියට ගොඩ වුනා. ඇය කවදත් යන කෙනෙකු නිසා මේ ආසනය ඇය වෙනුවෙන් වෙන් වූවක් වගේ. ඇය වෙනුවෙනුත් මේ ආසනයේ හිටි කාන්තාව නම් නැගිට්ටේ නැහැ. නමුත් වට පිටාවේ සිටි අයගේ කෑ ගැහිල්ල හා තට්ටු කිරීම් නිසා ඇයට නැගිටින්න සිදු වුනා. ඒ නැගිටින වෙලාව වෙනකම්ම ඇගේ මුහුණේ ඉරියව් වල තිබුන කෝපය හා නොරිස්සුම නිසා මට ඇති වුන පිලිකුල කියා ගන්න බැරි තරම්. මොකද ඒ වයස අනුව ඇයත් මවක් විය යුතු නිසා. මෙය එක් සිද්ධියක් පමණයි.

කෙසේ හෝ වේවා විවිධාකාරයේ පුද්ගලයින් යන එන මේ කෝච්චියට ගොඩ වෙලා කීප දවසක් හොඳ අවධානයෙන් ගියොත් ඒ ඒ තැන් වල යන අයගේ පැටිකිරිය ගැන අනිත් තැන් වල යන අය කියන දේවල් අහගන්න පුළුවන් වෙයි. ඒ කාලේ කෝච්චියේ යන්න ආස වුන කිසි දෙයක් දැන් කෝච්චියේ නැති වුනත් ලේසියය, රස්තියාදුවක් නැතිකම් හා කන්කරච්චලයක් නැතිව යන්න ලැබෙන එක නිසා තාමත් ඇස් කන් පියාගෙන කෝච්චියේ යන මම වගේ උනුත් මේ කෝච්චියේ නැතිවාම නොවෙයි. විවිධ තැන් වල වැඩ කරන අය ඉන්න නිසා ‍හොඳ සමාජ දැනුමක් හා සම්බන්ධතා ‍ගොඩ නඟාගන්නත් දුම්රිය වඩා හොඳයි.

Wednesday, January 31, 2018

චන්ද්‍රග්‍රහණය බලන්න ආපු බුද්ධිමත්තු (?)

කාලෙකට පස්සේ සමාජයේ වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුවා. 2018-01-31 වෙනිදා කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පෘථිවියට බලාගන්න පුළුවන් වුන දවසක්. ඒ පිලිබඳව මම ලියපු ලිපිය මෙතැනින් ගිහින් කියවන්න පුළුවන්. රූපවාහිණියේ හෝ ගුවන්විදුලියෙන් ඒ ගැන කියන්න කලින් මම මේ ලිපිය ලියුවේ. කොහොම වුනත් කාලගුණික වෙනස නිසා ලංකාවේ බොහෝමයක් අයට මේ සංසිද්ධිය බලාගන්න බැරිවුනා. නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අදියර කීපය බලන්න තරම් අහස පැහැදිලි වුන තැන් තියෙනවා. 

මේ කියන්න හදන්නේ ඒ පෙනුන ටිකත් හරිහැටි බලාගන්න බැරිවුන සහ බලාන්න බැරි කල පිරිසක් ගැන. ලංකාවේ විවිධ තැන් වල මේ වගේ අය ඉන්න ඇති. රාත්‍රී අහස නිරීක්‍ෂණය ගැන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය වෙනුවෙන් මම සක් කල ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.

කෙටියෙන් කියනවා නම් මූලික වශයෙන් ආලෝක දූෂණයෙන් අවම වෙන තැනක් වෙන්න ඕන. ඉතින් මම හඳ පේන්න පටන් ගත්ත මොහොතේ අපේ අම්ම තාත්තටත් මේ අව්තාව පෙන්වන්න කතා කලා. අවට අයටත් ඇහෙන්නම. මොකද මේ සංසිද්ධිය වගේම මේ අවස්ථාව බලන්න පුළුවන් වෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් නිසා. ඒ චන්ද්‍රගහණය නිසාම නොවෙයි. හඳේ විශාලත්වය, දීප්තිය, වර්ණය වගේ හේතු බොහෝමයක් නිසා. ඒ වගේම මම දැක්කා කීප දෙනෙක් එහෙම අවස්ථා තියෙනවා කියල විවිධ මත පල කරල තියෙනවා. ඇත්ත චන්ද්‍ර ග්‍රහණ ඇති වෙනවා. නමුත් මම මේ කියන සියලු කාරණාව් සම්පූර්ණ වන අවස්ථාවක් නම් එන්නේ නෑ. 

කොහෝම වුනත් මෙවැනි විශේෂ අවස්ථාවක් බලන්න අධ්‍යාපන මට්ටම අඩු පිරිස් නම් මෙන්න මේ වගේ කතා කියමින් ආලෝක දූශණයට දායක වුනා. "පාර පේන්නේ නෑ.", "කලුවරේ සර්පයොත් ඇති" වගේ කාරණා කියාගෙන විදුලි පන්දමක් අරන් වටේටම කරකවන්න වුනා. ඒ විතරක් නෙවෙයි ගෙවල් වල පිටත විදුලි බුබුලු දල්වලා තමයි අහස බලන්න එන්නේ. ඒ අයට කිව්වා වුනත් ඒ වැරැද්ද හදාගන්න තරම් ඒ අයට දැනුම නම් නැතිව ඇති නමුත් ඒ තරමට බුද්ධියවත් තියෙනවාද කියන එක ගැටලුවක්. හැබැයි ඉතින් කීපදෙනෙක් නම් වැරැද්ද කියද්දී හදාගත්තා. කාලෙකට කලින් අම්පාරේ ඉන්න දවස් වල අධ්‍යාපන මට්ටම අඩු පිරිස් සමඟ තාරකා වැඩසටහන් කරද්දී නම් දෙතුන් සීයක පිරිසක් කාරණාව පැහැදිලි කල කීපදෙනා කටින් කට යවන පණිවිඩයෙන් ඒ අය බෙහෝම ලේසියෙන් සියල්ලන්ම ආලෝක දූෂණය කරන එක නවත්වන්න කටයුතු සලස්වා ගන්තා. නාගරිකව තාක්‍ෂණය භාවිතා කරන අයට සමහර විට ඒ තරම්වත් දැනුමක් නැතිව ඇති. 

දෙවැනි පිරිස තමයි අන්තෙටම උගත් අය. දෙයියනේ කියල මට නම් හිටියා ලංකාවේ අධාපන මිනුමේ ඉහලටම උගත් යැයි සලකන උපාධියක් හිමි පුද්ගලයෙකු හා උපාධි හිමි ඔහුගේ බිරිඳකනේ සැදුම් ලද පවුලක්. පිටත විදුලි බුබුලත් දාගෙන දුරකථන කැමරාවකින් ෆ්ලෑෂර් එකත් දාගෙන හඳේ පින්තූර ගන්නවා. සැරින් සැරේට ෆ්ලෑෂර් එක වදින එකෙන් බාධා වෙන්නේ මට. ඒ මහත්තයගෙයි නෝනගෙයි දැනුමයි බුද්ධියයි දෙකෙන් අඩු මොකක්ද කියන එක නම් මට සෑහෙන්න ප්‍රශ්ණයක්. මොකද හිරු එලිය සඳේ වැදිල පෘථිවියට එන්න ගතවෙන කාලය මිනිත්තු 8යි කියන එක උගන්වන්නේ පාසල් කාලයේදී වීම. ඒ විතරක් නෙවෙයි විධිමත් අධ්‍යාපනය ලැබූ විද්‍යාත්මක පසුබිමක ඉන්න තාක්‍ෂණය අඩු නැතිව භාවිතා කරන කෙනෙකුට ඒ ටික අන්තර්ජාලයේ වුනත් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මට මතක හැටියට මටත් කලින් DSLR එකක් භාවිතා කල කෙනෙක් විදිහටත් අධ්‍යාපන මිනුමේ ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක් හැටියටත් මම හිතන්නේ නොදන්නවා ඇති පෘථිවියේ ඉඳන් සඳටත් එතැනින් නැවත පෘථිවියටත් ආලෝකය ගමන් කරන්න තත්පර තුනකට ටිකක් අඩු කාලයක් ගතවෙන බව. හැබැයි ඉතින් එහෙම එන්නත් ලේසර් එකක් වගේ ආලෝක ප්‍රභවයක් භාවිත කරන්න වෙනවා. ඉතින් ඒ වෙද්දීත් කැමරාවේ සෙන්සරයට ඒ ආලොකය එනවා කියල හිතෙනවා නම් ආයෙමත් පාසල් අධ්‍යාපනය ලබන්න කියන එක තමා දෙන්න තියෙන උපදෙස වෙන්නේ.

කොහොම වුනත් මේ වගේ දේවල් වලින් බාධාවෙන්නේ  ඒ අයට නෙවෙයි. මොකද ඒ අයට අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාව වුනා සහ බැලුවා කියන එක අනිත් අයට කියන්න. නමුත් ඒ සංසිද්ධිය ගැන දැනගෙන ඒ පිලිබඳ ඇත්තටම ආසාවත් තියෙන කෙනෙකුට ඒ වැඩෙන් වෙන බාධාව ගැන ටිකක්වත් හිතුවා නම් ආලෝක ප්‍රභවයක් භාවිතා කරන එක ගැන දෙපාරක් හිතනවා. මේ වගේ විශේෂ අවස්ථා බලන්න ගියාම මේ වගේ බාධාවන් ඇති වුන අය තව ඇති. මම ඒ අයට ආරාධනා කරනවා මෙතැන ඒවා සඳහන් කරන්න කියල (පුළුවන් නම් සහ.....) ඒකේන පුළුවන් ඊලඟ වතාවේදීවත් මේ වගේ සිදුවීමක් හොඳින් බලාගන්න.

Thursday, January 25, 2018

මගේ ගමන් බිමන් එකසිය අටවන කොටස - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය

බස්නාහිර පලාතට අයිති වන ඉලුක්ඕවිට ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ලංකාවේ පස්වන උද්භිද උද්‍යානය ලෙස සැලකේ. ලංකාවේ උද්භිද උද්‍යාන පිහිටුවීම පිලිවෙලින් 1821 ඉදිකල පේරාදෙණිය උද්භිද උද්‍යානය, 1861 දී ඉදිකල හග්ගල උද්භිද උද්‍යානය, 1876 ඉදිකල හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, 2013 දී ඉදිකල මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය හා 2015 දී ඉදිකල සීතාවක උද්භිද උද්‍යානය දැක්විය හැකිය.

පුවක්පිටිය තුම්මෝදර ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක උද්භිද උද්‍යානය අක්කර 106ක පමණ භූමි භාගයකට හිමිකම් ලබයි. ඉදිකඩ මූකලාන වන රක්‍ෂිතයට ආසන්නව ඇති මෙම් උද්භිද උද්‍යානය ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටා ඇත. 

බසයෙන් ගමන් ගන්නා කෙනෙකුට අවිස්සාවේල්ල පාදුක්ක 239 ගමන් මාර්ගයේ බසයකින් පාදුක්කේ සිට කිලෝමීටර 17කුත් අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 10කුත් තිබේ. සෑම පැය භාගයකටම වරක් බස් රථයක් මෙම මාර්ගයේ ගමන් කරයි. තමන්ගේම වාහනය පැමිණෙන අයෙකුට පුවක්පිටිය දුම්රිය ස්ථානය ලඟින් හැරී කිලෝමීටර 6ක් පමණ යද්දී උද්භිද උද්‍යානයට ලඟාවිය හැකිය.

උද්‍යානය ආරම්භයේ මූලික පරමාර්ථය වුනේ අභියෝගයට ලක්වුන පහතරට තෙත් කලාපීය වනාන්තර වල තියෙන වෘක්ෂලතා ආදිය අනාගත පරපුර වෙනුවෙන් සංරක්‍ෂණය කරන්න පුළුවන් (විතැන් ශාක සංරක්‍ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කරන එක. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද, දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුළ උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙසත් වැදගත් වෙනු ඇති. පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාල වර්ග‍යේ දෙබඩි පොල්, මීවණ වර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්.



උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා අවුරුද්ද පුරාම විවෘතව පවතින මෙම උද්‍යානය ඇතුලේ බලන්න තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි මීවණ උයන , තර්ජිත ශාක එකතුව, මධ්‍යම තෘණ පිටිය, තේ වගාව, රුක් උයන, මුදුන් උයන, ඖෂධ උයන, රෝස උයන හා තාල ශාක එකතුවයි. මීට අමතරව තණ පිට්ටනියේ ඉඳන් ගිමන් නිවන්නත්, මැද හදල තියෙන ජලාශයේ හංස බෝට්ටු පදින්නත් පුළුවන් නිසා විශාල පිරිසක් මේ උද්‍යානය බලන්න එන්න පුරුදු වෙලා තියෙනවා.

මේ තියෙන්නේ කෙනෙක් මේ උද්‍යානය බලන්න එනවා නම් මිල දර්ශනය. (වෙනස් විය හැකියි)

ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
 
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
 
බැටරි කාර් - පැයක් සඳහා (උද්‍යානය තුල ගමන් කිරීමට)
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
 
බෝට්ටු පැදීමට 
දෙදෙනෙකු සඳහා - රුපියල් 200

වාණිජ කටයුතු සඳහා ඡායාරූප ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් කලින් වෙන්කරගෙන එනවා නම් ගොඩක් ලේසි වෙයි. ඒ විතරක් නෙවෙයි ටිකක් කලින් ඇතුල් වෙන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ අයටෙ 036-379-5295 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්. 

 

Thursday, January 11, 2018

2018 ආරම්භයේ ශ්‍රී ලංකාවට දිස්වන චන්ද්‍රග්‍රහණය

චන්ද්‍රග්‍රහණය හා සූර්යග්‍රහණ වඩා සුලභ සංසිද්ධීන් නොවන නිසා අපි මේ සංසිද්ධිය ඇති වීම ජීවිත කාලය තුල එක් වතාවක් වත් බලා ගන්න ආස කරනවා. 2018 වර්ශය ආරම්භ වෙද්දීම අපිට මේ සඳහා අවස්ථාව උදාවෙලා තියෙනවා.

දින වකවානු කියන්න කලින් මම චන්ද්‍රගහණය හා සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක ටිකක් පැහැදිලි කරන්නම්.

චන්ද්‍රගහණයකදී සිදු වෙන්නේ සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණිම නිසා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම. ඒ හේතුවෙන් චන්ද්‍රයා සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අඳුරු විය හැකිය. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
චන්ද්‍රගහණය දැකිය හැකි වන්නේ පූර්ණ චන්ද්‍රයා ඇති දින (පොහොය දින) වලදී පමණක් වන අතර යම් කිසි කාලයක් සඳ අඳුරු වෙනු දැකිය හැකිය. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ද අර්ධ චන්ද්‍රග්‍රහණයක්ද යන්න තීරණය වන්නේ ඉහත සංසිද්ධිය සිදු වන අවස්ථාවේදී අප සිටින ස්ථානය අනුව වේ. ඉහල රූප සටහනේ පරිදි දකුණු පස ඇති රටවල් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දකින අතර වම්පස ඇති රටවල් වලට දිවා කාලය ඇතිවේ.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
දෙවැනි රූපයේ පරිදි සඳ ඉහලින් පෙන්වා ඇති හෝ පහලින් පෙන්වා ඇති කාලයේදී අපට සඳ දිස් වන්නේ නම් අපට අර්ධ චන්ද්‍රගහණයක් දිස්වනු ඇත.

සූර්යග්‍රහණයකදී සිදු වන්නේ පෘථිවිය හා සූර්යයා අතරට සලඳ පැමිණීම නිසා සූර්යයා වැසී යාමයි. අවිට දිවා කාලය අඳුරු වේ. එවිටද අප පෘථිවියේ සිටින ස්ථානය අනුව පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සූර්යග්‍රහණය දැක ගැනීමට හැකිවනු ඇත. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණය හා සූර්යග්‍රහණය යන අවස්ථා දෙක ආසන්න මාසයක කාලයක් ඇතුලත සිදුවේ. නමුත් එය සිදුවන අවස්ථාවේදී පෘථිවියේ රාත්‍රිය ඇතිවන කලාපයේ සිටින රටවල් පමණක් මෙය සිදුවන අයුරු දකිනු ඇත.

2018 වර්ශයේ ශ්‍රීලංකාවට දැකිය හැකි චන්ද්‍රගහණ දෙකකි. ඉන්  පළමු වැන්න ජනවාරි මාසයේ 31 වනදා සවස 6.21ට පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වී රාත්‍රී 7.37ට අවසන් වන අතර පෙර කලාපයේ පිටත සෙවණැල්ල 5.18ට ආරම්භ වේ. පෙර කලාපයේ ඇතුලත හෙවත් අර්ධ අවස්ථාව 5.18ට ආරම්භවේ. නමුත් මෙය අපට දිස් නොවනු ඇත. අපර කලාපයේ ඇතුලත හෙවත් අර්ධ කලාපය 8.40ට අවසන්ව පිටත කලාප අවස්ථාව රාත්‍රී 9.38ට අවසන් වනු ඇත. ඉන් පසු නැවත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 2018 ජූලි මාසයේ 27 වැනිදා ඇතිවේ. එයද පූර්ණ අවස්ථාවේ දැකිය හැකිවේ. නැවත 2025 වනතුරු ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකි නොවනු ඇත.
අන්තර්ජාලයෙනි
ඉහත වීඩියෝ දර්ශණයේ පරිදි තද නිල් පැහැයේ සිට ක්‍රමයෙන් අඩු වෙද්දී සඳ අඳුරු වන ප්‍රමාණය හා ඒ ඒ අවස්ථාවන් වලදී එය දර්ශනය වන රටවල් දැකගත හැකිවේ. 
පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භයේ ශ්‍රී ලංකාවේ පිහිටීම
පූර්ණ චන්ද්‍රග්‍රහණය අවසානයේ ශ්‍රී ලංකාවේ පිහිටීම
ඉහත රූප සටහන් වල පෙනෙන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භවන හා අවසන් වන අවස්ථාවන් වලදී ශ්‍රී ලංකාවේ පිහිටීමයි.

මෙවර ඇතිවන චන්ද්‍රග්‍රහණය Blood Moon අවස්ථාවක් එනම් සඳ රත් පැහැයෙන් දිස්වන අවස්ථාවක් ලෙස දැකිය හැකි යැයි අනාවැකි පැවසෙනවා. (Blood Moon යනු විද්‍යාත්මකව ව්‍යවහාර වන වචනයක් නොවේ) මෙයද විරල අවස්ථාවකි. මෙලෙස පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාවකදී සඳ රත් පැහැයට දිස්වන්නේ පෘථිවියේ වායුගෝලය හරහා ගමන් කරන සූර්ය ආලෝකය විවර්ථනය වී වැඩි වේගයක් ඇති රතු පැහැය වැඩියෙන් හැරී ගමන් කර සඳ මත වැටීමයි. මෙලෙස සඳ වර්ණ ගැන්වීම එම අවස්ථාවේදී පෘථිවිය ඇති කෝණය බලපාන අතර සමහර අවස්ථා වලදී කහ තැඹිලි හෝ දුඹුරු පැහැයන් දැකිය හැකි වනු ඇත. නමුත් මේ වසරේ ශ්‍රී ලංකාවට සඳ රත් පැහැයෙන් දැකිය හැකි වනු ඇත.
Blood Moon අවස්ථාවක් - ඡායාරූපය අන්තර්ජාලයෙනි.
එමෙන්ම 2018 පෙබරවාරි මාසයේ 15 වනදා අර්ධ සූර්යග්‍රහණයක් ඇතිවුවද එය ශ්‍රී ලංකාවට දිස්වනු නොවනු ඇත.

ප. ලි.

චන්‍ද්‍රග්‍රහණය ගැන පොදුවේ අහපු ගැටලුව තමයි අපිට ඕක කොයි තරම් දුරට බලන්න පුළුවන්ද කියන එක.
 
පිළිතුර හරි සරලයි. 
 
අපිට බලන්න පුළුවන්. නමුත් චන්ද්‍රයා ක්‍ෂිතිජයෙන් පෙනෙන්න පටන් ගන්න වෙලාවේදීත් චන්ද්‍රගහණය සිදූවීම ආරම්භ වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා නැගෙනහිර මුහුදු තීරය අවට ඉන්න අයට තමා මුලින්ම බලන්න පුළුවන් වෙන්නේ. 
 
චන්ද්‍රගහණය සම්පර්ණයෙන් අවසන් වෙන වෙලාව වෙද්දී (ප.ව. 7.30 විතර) සඳ ක්‍ෂිතිජයේ ඉඳන් අංශක 18 - 20ක විතර ආරෝහණ කෝණයක් තමයි හදන්නේ. ඒ නිසා එය දකින්න නම් නැගෙනහිර අහස ක්‍ෂිතිජ සීමාව ආසන්නය පේන තැනක්වෙන්න ඕන. නැගෙනහිර අහසෙන් සෑහෙන පුමාණයක් විවෘත නැතිනම් චන්ද්‍රග්‍රහණය බලන්න සූදානම් වෙන එක වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා නැගෙනහිර අහස ක්‍ෂිතිජසීමාවේ ඉඳන් අංශක 30ක් දක්වා වත් පැහැදිලිව පේන තැනක් හොයාගෙන ඉන්න කියන එක තමා දෙන්න පුළුවන් උපදෙස වෙන්නේ.

ස්තූතියි
 

Wednesday, January 10, 2018

මගේ ගමන් බිමන් එකසිය හත්වන කොටස - පිළිතුඩ අැල්ල

කලුතර දිස්ත්‍රික්කයට අයිති තවත් දිය ඇල්ලක් තමයි පිළිතුඩ ඇල්ල එහෙමත් නැතිනම් අත්වැල්තොට ඇල්ල කියන්නේ. ගොඩක් උස නැති වුනත් අපූරු සුන්දරත්වයක් තියෙන දිය ඇල්ලක්. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින කුකුළේ ගඟේ අතු ගංගාවක් වන පැලන් ගඟ මගින් අත්වැල්තොට දිය ඇල්ල නිර්මාණය වෙනවා.
අගලවත්ත තිරුවාණකැටිය පාර දිගේ යද්දී හමුවෙන අත්වැල්තොට ප්‍රදේශයේ ප්‍රධාන පාර අයිනෙම වගේ තියෙන දිය ඇල්ලක්. සම්පූර්ණ ඇල්ල මීටර 5ක් විතර උස වුනත් කොටස් දෙකකට තමයි ගලා හැලෙන්නේ. මෙයින් ප්‍රධාන කොටස මීටර තුනක් විතර වෙනවා.මාර්ගය අයිනේ තියෙන නාමපුවරුව නිසා තැන හොයා ගන්න ඒ තරම් අපහසුවක් නැහැ.

16 වැනි සියවසේදී පාලින්දනුවර රජකම් කල වීදිය බණ්ඩාර කුමරු මෙම ස්ථානයේ ස්වර්ණාභරණ හා මැණික් සඟවා ඇති බවටත් පුරාවෘතයේ කියැවෙන දිය ඇල්ල ගැන තව තවත් මත ගනනාවක්ම තියෙනවා. විවධාකාර ආවේණික මත්‍ය විශේෂ ගණනාවක් වගේම අවට පරිසර පද්ධතියේද විශේෂ වැදගත්කමක් තියෙනවා.


දිය ඇල්ල ඉහල තියෙන තටාකයට එකතු වෙලා පහලට වැටෙද්දී ගල් කුහරය තුලට යන බවත් ඒ උස අඩි 10ක් විතර වෙන බවත් කියවෙනවා. ඒ වුනත් අපට පිටතට පෙනෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසාවෙන් මෙය දිය ඇල්ලක් නොවන බවටත් මතයක් තියෙනවා.
ජලපහර නිසා ස්වාභාවිකව ගල හෑරී ලිං සෑදී ඇත. එනිසා දිය ඇල්ලෙන් දිය නෑම නම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. නමුත් දිය ඇල්ල දිගේ ඉහලට හෝ පහලට ගියාම දිය නාන්න සුදුසු ස්ථාන ඕනෑ තරම් තියෙනවා. දිය ඇල්ල මේ වෙද්දීත් ජීවිත ගණනාවක් බිලි ගෙන තියෙන නිසා දිය ඇල්ලේ නම් නාන එක නුවණට හුරු වැඩක් නෙවෙයි.

දිය ඇල්ල බලන්න යන්න ඒ තරම් අමාරුවක් නැති නිසා යන එන ගමන් නැවතිලා බලල යන්න. නමුත් ඒ තැන තවකෙනෙකුට බලන්න ඉතිරි කරල එන්න. 

Sunday, January 7, 2018

මගේ ගමන් බිමන් එකසිය හයවන කොටස - තොටහ ඇල්ල

පහුගිය කාලයේ රාජකාරි නිසා කලුතර දිස්ත්‍රික්කයේ ඇවිදින්න අපූරු අවස්ථාවක් මට ලැබුනා. රාජකාරිය සඳහා යන අවස්ථාවලදී හමුවන විවිධ අපූරු ස්ථාන පිළිබඳ සටහන්, එහෙම නැතිනම් ඒ තැන නාමපුවරුවක පින්තූරයක් මම අරගෙන එන්නේ ඉඩහසර ලැබුණු අවස්ථාවන් වලදී ඒ තැන බලන්න යන්න හිතාගෙන. ඒ විදිහට පහුගිය කාලයේ ගිහිපු තැනක තිබුණු නාමපුවරුවක තිබුණ දිය ඇල්ලක් බලන්න තමයි මේ යන ගමන ලියැවෙන්නේ.
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන තොටහ කියන ප්‍රදේශයේ තිබෙන කුඩා දිය ඇල්ලක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ එන කෙනෙක් නම් වැලිපැන්නෙන් එලියට ඇවිත් උතුම්ගම පාරෙන් වලල්ලාවිට හංදියට එන්න පුළුවන් එතැනින් අවිත්තාව පැත්තට ආවනම් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. කුරුඳුගහ හැතැප්මෙන් එලියට ආව නම් එතැනින් අවිත්තාවට ඇවිත් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. පැලවත්ත හෝ මීගහතැන්න ප්‍රදේශ වලිනුත් වලල්ලාවිට හංදියට එන්න පුළුවන්. මේ කොයි පාරෙන් හරි ඇවිත් ප්‍රධාන පාර අයිනේ වාහනය නවත්තලා මීටර 500ක් විතර පයින් තමයි දිය ඇල්ල ලඟට යන්න වෙන්නේ.දිය ඇල්ල ලඟට පාර අහනවා නම් දෙයියාගල ආරණ්‍ය සේනාසනය ලඟට කියල ඇහුවා නම් ලේසියෙන් පාර අහගන්නත් පුළුවන්. 
මත්පැන් හෝ සංගීත භාණ්ඩ අරගෙන නම් මේ දිය ඇල්ල බලන්න යන්න වෙන්නේ නැහැ. මොකද ආරණ්‍ය සේනාසනය කිට්ටුව තියෙන නිසා නීතියෙන් ශබ්ද කිරීම හා මත්පැන් භාවිතය නවත්තලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිය ඇල්ල මුදුණෙන් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සෙලා බීමට ජලය ලබා ගන්න නිසා ඒ පැත්තේ නාන්න නම් දෙන්නේනෑ.
 
දෙයියාගල දොළ පාරෙන් පෝෂණය වන මේ දිය ඇල්ල කොටස් කීපයක් විදිහට තමයි ගලා හැලෙන්නේ. එහෙම එන දොළ පාර අවසන් වෙන්නේ බොන්තොට ගඟෙන්. වැහි කාලෙදි නම් අධික ජල ප්‍රමාණයක් ගලා හැලෙනවා වුනත් සාමාන්‍ය කාලයකදී නම් පොඩි ජල පාරවල් කීපයක් විතරයි තියෙන්නේ. වැසි කාලයකදී ආරණ්‍යයට යන පාරෙ තියෙන පාලම උඩ ඉඳන් දිය ඇල්ල නරඹන්න පුළුවන්. අනිත් කාල වලදී දිය ඇල්ල උඩ ඉඳන් පහලට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. 


අප්‍රසිද්ධියේ තියෙන මේ අපූර්ව දිය ඇල්ල බලන්න ඔයාලටත් ආරාධනා කරන්නේ ඒ තියෙන අපූර්වත්වය විනාශ කරන්න එපා කියන මතක් කිරීමත් එක්කමයි. ඒ විතරක් නෙවෙයි අවට ප්‍රදේශය ගැන අවබෝධයක් ගන්න තරම් කරුණු තියෙන නිසා තව කෙනෙක්ට බලන්න යන්න බැරිවෙන තැනට වැඩ සිදුකරන්නේ නැතිව ඔයාලගෙ ගමන සැලසුම් කරගන්න. 

Wednesday, January 3, 2018

මගේ ගමන් බිමන් එකසිය පස්වන කොටස - කබරගොයි දොල ඇල්ල

කලුතර දිස්ත්‍රික්කයට අයත් නමුත් ප්‍රසිද්ධියට පත් නොවූ දිය ඇල්ලක් ලෙස කබරගොයිදොල ඇල්ල හඳුන්වන්න පුළුවන්. දිය ඇල්ල බලන්න යන්න මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. අගලවත්ත තිරිවානකැටිය මාර්ගය දිගේ අත්වැල්තොට පහුකරගෙන කිලෝමීටර 4ක් විතර ගියාම අහස්බෝක්කුව පාලම හමුවෙනවා. මේ පාලම 1900දී විතර පළමු ලෝක යුද්ධ කාලෙදි හැදුවා කියල තමයි කියන්නේ. පාලම පහු වෙද්දීම තියෙන පාර දිගේ කිලෝමීටර භාගයක් විතර ගියාම දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්. පාලම ලඟින් හැරෙන්නේ නැතිව තව කිලෝමීටර එකහමාරක් විතර ගියාම කඹුරුහේන පාර හමුවෙනවා. එතැනින් පොඩි දුරක් ගියාම දිය ඇල්ල මුදුනට යන්න පුළුවන්.
මීටර 21ක් විතර උස මේ දිය ඇල්ලට කබරගොයි දොල ඇල්ල, අහස්බොක්ක ඇල්ල කියන නම් භාවිතා වෙනවා. දිය ඇල්ල කුඩා දිය ඇලි ගොඩක් වගේ තමයි සාමාන්‍ය දිය වල දකින්න ලැබෙන්නේ. දිය ඇල්ල පාමුල පොඩි ගුහාවක් තියෙනවා. දිය ඇල්ලෙන් නාන එක වුනත් කරන්න පුළුවන්. චිත්‍රපටි වල දකිනවා වගේ දිය ඇල්ල හරහා ගිහින් ගුහාවේ වාඩි වෙලා ඉන්නත් පුළුවන්. 
දිය ඇල්ල පහලට කැලය අතරින් පුළුවන්. අවට තියෙන ගල් ලිස්සන සුලු නිසා දිය ඇල්ල දිගේම පහලට යන්න හදන එක නම් භයානක වැඩක්. දිය ඇල්ලේ අපූර්වත්වය වගේම දිය ඇල්ල අවට තියෙන පරිසරයත් අපූර්වයි. සමනලුන් නිතර දකින්න පුළුවන් තැනක්. 


මේ පාර දිගේ යනවා නම් කබරගොයි දොල ඇල්ල බලන්න අමතක කරන්න එහෙම එපා. ඒ වගේම මේ තැන විනාස නොකර එන්නත් අමතක කරන්න එපා..


Tuesday, January 2, 2018

මගේ ගමන් බිමන් එකසිය හතර කොටස - මාකෙළි ඇල්ල

බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයට අයත් වුන අපූරු දිය ඇල්ලකින් 2018 වර්ෂය ආරම්භ කරන්න හිතුවා. ඒ තමයි මාකෙළි ඇල්ල. මාකෙලි ඇල්ල බලන්න යන අයට මේ දිය ඇල්ලට ලඟාවෙන්න ක්‍රම කීපයක්ම තියෙනවා. බුලත්සිංහලට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එහෙම නැතිනම් ලත්පඳුරට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එතැනින් කෙලින්කන්ද මාර්ගය දිගේ ආව නම් දිය ඇල්ල ලඟට එන්න පුළුවන්. තිරිවානකැටිය පැත්තේ ඉලඳන් එනවා නම් මහවැව පහු වෙනව එක්ක තියෙන කුකුලේගඟ පාලම පහුවෙලා ටිකදුරක් ගියාම කුකුලේගඟ ව්‍යාපෘතියට යන පාර හමුවෙනවා. ඒක දිගේ ගියාමත් දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
පාරෙන් ටිකක් පහලට බහිදද්දී නැරඹුම් වේදිකාවක් තියෙනවා එතැන ඉඳන් බොහොම අපූරුවට දිය ඇල්ලේ සුන්දරත්වය විඳින්න පුළුවන්. එතැනින් පහලට බහින්න පුළුවන් කම තියෙනවා වුනත් වැසි කාලයේදී නම් දිය ඇල්ල පාමුලට යන එක ඒ තරම් නුවනට හුරු වැඩක් නෙවෙයි. දිය ඇල්ලේ නාන එක නම් කොහොමටවත් හොඳ වැඩක් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ ජීවිත 40කට ආසන්න ගණනන් මේ වෙද්දීත් දිය පහර විසින් බිලි ගෙන තිබීම.
කලු ගඟේ අතු ගංගංවක් වුන මාකෙළි ඔයෙන් පෝෂණය වෙන මාකෙළි ඇල්ල අපූර්ව සුන්දරත්වයක් මවන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දිය ඇල්ලේ උස මීටර 10ක් විතර ඇති. මෙම දිය ඇල්ල දුර සිට බැලූ විට මනාලියකගේ වේලය පෙනෙන ආකාරයට දිස්වේ. දිය ඇල්ල අයිති වෙන්නේ පාලින්දනුවර ප්‍රාදේශිකයට. දිය ඇල්ලට නම් වැටී ඇති ආකාරයත් ඉතිහාස කතාවේ සදහන් වෙන්නේ මෙන්න මෙහෙම.

පස්දුන් කෝරළයේ පැරණි අගනුවර වෙන්නේ පාලින්ද නුවර. මේ ප්‍රදේශයේ තියෙන කඳු ගිරිදුර්ග නිසාවෙන් මේ ප්‍රදේශයට ස්වභාවික ආරක්‍ෂාවක් ලැබීම ඒකට හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය වීදියබණ්ඩාර කුමාරය සැඟවිලා ඉන්න භාවිතා කරල තියෙනවා. මේ කාලයේ කුමාරයා දිය ක්‍රීඩා කරන්න දිය ඇල්ලට ඇවිත් තියෙනවා. පසු කලෙක ඔහු මේක අගනුවර කරගෙන ඔහු දිය ක්‍රීඩා කල ස්ථානය "මා කෙළි ස්ථානය" යැයි හඳුන්වා දී තිබෙනවා. පසුව එම දිය ඇල්ල, මාකෙළි ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වුනා කියල තමයි කියවෙන්නේ. 
තව පින්තූර බලන්න මෙතැනින්....

අපූර්ව සුන්දරත්වයක් විඳින්න පුළුවන් දිය ඇල්ලක් බලන්න මාත් එක්ක එකතු වුුනේ කවදත් මගේ ගමන් සගයා වුන මහේෂ් අයියයි, අලුතින් ගමනට එකතුවුන සචින්ත මලයයි. මේ සුන්දරත්වය විඳින්න ඔයාලටත් ආරාධනය කරන ගමන් ඒ ඒ තැන විනාශ කරන්න එපා කියන ඉල්ලීමත් කරන්න කැමතියි. ආයෙම ගමනක් එක්ක එකතු වෙනතුරු ඔයාලට ආයුබෝවන්..