Pages

Monday, January 11, 2016

Photoshop CC භාවිතා කරමින් පින්තූරයක් වැඩිදියුණු කරගන්නේ කොහොමද?



අද කතාකරන්නේ කොහොමද පින්තූරයක් Photoshop cc මෘදුකාංගය භාවිත කරල වැඩි දියුණු කරගන්නේ කියල. මේ තියෙන්නේ ඒ විදිහෙන් හදාගත්තු පින්තූර කීපයක්.

දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල. මුලින්ම මෙතැන තියෙනවා මම පින්තූර කීපයක් එකතු කරල හදාගත්තු Panorama එකක්.

මුලින්ම මම කරන්නේ Crtl + Shift + A වලින් හරි Filter Menu එකේ Camera Raw filter කියන තැනින් මේ තියෙන Raw Processing Window එක ලබාගෙන පහත තියෙන වෙනස්කම් ටික කරගන්න එක.

Basic Settings වල

HSL/Grayscale වල Luminance

HSL/ Grayscale වල Saturation
 
HSL/ Grayscale වල Hue

ඊට පස්සේ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකේ Image à Adjustments වල Shadows/ highlights වෙනස් කරගන්නවා මේ විදිහට
 
තවත් Duplicate එකක් අරගෙන එකේ Image àAdjustments වල Levels හෝ Ctrl + L වලින් ගිහින් පින්තූරයේ levels ටිකක් වෙනස් කරගන්නවා.

පස්සේ Levels හදපු ලේයර් එකේ පහල කොටසේ අඳුරු වෙන ටික ලේයර් මාස්ක් එකක් දාල ඉවත් කරගන්නවා.

layers දෙක Select කරල Ctrl + Alt + Shift + E වලින් Select කරපු ලේයර්ස් දෙකම තියෙද්දී ඒ දෙක Merge කරල එන Result එක වෙනත් ලේයර් එකක් විදිහට ගන්නවා. (එහෙම ගන්නේ හදිසියේ වැරදීමක් වුනොත් පසුව වෙනස් කරන්න ආරම්භක Layers තියා ගන්න ඕන නිසා)
මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු Layers ටික තියෙන විදිහ
දැන් එකේ Image Menu එකේ Adjustments වල Brightness/ Contrast වල settings ටිකක් මේ විදිහෙන් වෙනස් කරනවා. 

දැන් ඒ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකට Add an Adjustment වල තියෙන Hue/ Saturation එකක් දෙනවා ඒ දෙන්නේ කොල පාට වර්ණය Select කරලා.

දැන් ඒ layer එකට Layer Mask එකක් දීලා ඉහල අහස කොටසේ වර්න වෙනස අයින් කර ගන්නවා.
Add an Adjustment වල තියෙන Levels වලින් පහල තියෙන වෙනස්කම කරගන්න එක තමයි ඊලඟට කරන්නේ.

අන්තිමට තියෙන layers සියල්ල එකතු කරලා Ctrl + E වලින් Merge කරගන්නවා
 
මේ ටික සියල්ල කරද්දී පින්තූරයට ‍Noise ටිකක් එනවා. Noise ප්‍රමාණය ආරම්භයේදී තිබුන Noise එකට වඩා නම් වැඩියෙන් පේනවා. ඒ නිසා ආයෙමත් Duplicate එකක් අරගෙන ඒකේ තියෙන Noise එක ඉවත් කරගන්න හදන්නේ. ඒකට මම පොඩි Plugin එකක් භාවිතා කරනවා. ඒ තමයි Imagenomic සමාගමෙන් දෙන Noiseware Professional එක.

ඒක විවෘත කලාම එන Window එකෙන් අපට අවශ්‍ය වෙනස් කම් කරගෙන noise එක අඩු කරගන්න පුළුවන්. ඔයාල කැමති නම් වෙන Plugin එකක් භාවිතා කරල මේ දේ කරන්නත් පුළුවන්.

Noise එක ඉවත් කරපු ඡායාරූපයේ සමහර ඇත් වල Noise එක නිසා එන ත්‍රිමාණ බව නැති වෙන එක වලක්වන්න Mask එකක් භාවිතා කරන්න පුළුවන්

අවසානයේ ඒ ‍Layers දෙක Mergeකරගත්තාම පහල වගේ අවසන් පින්තූරයක් අපට ලබා ගන්න පුළුවන්.

මේ තමයි අවසන් කරගත්තු ඡායාරුප දෙක වෙනස තේරුම් ගන්න පුළුවන්නේ. ලිපිය කොහොමද කියල අදහසක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේ මම කරපු ක්‍රමයක් විතරයි. තව ගොඩක් විධි තියෙනවා. ඉතින් තියෙන තව තව වෙනස්කම් එක්ක ඔයාලගේ පින්තූර මීටත් සාර්ථක විදිහෙන් සංස්කරණය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාල ගත්තු උත්සාහය කොමෙන්ටුවක් විදිහෙන් දාන්න. අපි බලමු ඒ පින්තූරත්. ස්තූතියි හැමෝටම.....


Wednesday, December 2, 2015

අද කාලේ අධ්‍යාපන චාරිකා වල හැටි....

මං හිච්චි එකා කාලේ අපිට විනෝද චාරිකා කියල ජාතියකුයි අධ්‍යාපන චාරිකා කියල ජාතියකුයි වෙන වෙනම තිබුනා. ඒත් ඉතින් දැන් එහෙම දෙකක් නෑ. Buy one Get one Free වගේ තමයි. එකක් ගියාම අනෙක නිකම්ම ලැබෙනවා. ඒත් ඉතින් කරුමේ කියන්නේ හැමදාම නිකන් ලැබෙන්නේ විනෝද චාරිකා කියන එක විතරමයි. මං ඇටකිච්ච කාලේ (ඒ කියනනේ 6 වසරේ විතර ඉන්නකොට) ගියපු පාසල් අධ්‍යාපන චාරිකා තාමත් මතකයි. ඊ්ටත් කලින් අධ්‍යාපන චාරිකා ගියා ඒවායේ වුනත් මතකයන් ඩිංග ඩිංග හිත ඇතුලේ තියෙනවා.
මගේ තාත්ත පාසලේ උසස් පෙළ ගුරුවරයෙක්. තාත්ත සූදානම් කරන චාරිකාව හරිම අපූරු එකක්. විශේෂ තැන් විශේෂ විස්තර වගේම අධ්‍යාපනික වශයෙන් විශාල වැදගත්කමක් තිබුනා. ඒ ඔක්කොමත් එක්ක විනොද වෙන්නත් උපරිම ඉඩ තිබුනා. හැබැයි ඉතින් පාසල් ශිෂ්‍යයන්ගේ මට්ටම රැක ගන්න ඕන. විනය අතින් සීමාව පැන්නොත් චාරිකාවේ අවසානය තමයි. එදා තාත්තගේ අතේ එල්ලිලා ගිය මුල්ම චාරිකාව පුරාම තාත්ත ඒ කාලේ හිටි අයියල අක්කලට කියල දීපු ‍දේවල් වලට මගේ හිතේ මාර ඉඩක් හැදුනා. ලෝකාන්තේ බලන්න යන ගමනේදී හෝර්ටන් තැන්නේ විශේෂ පැල, ලයිකන සත්තු ශාක හැදුන රටාවල් ගැන තේරුනේ නැතත් අහගෙන හිටියා. හැතැප්ම හතර හමාරක් පයින්ම ගියේ තිබුනු සතුට හින්දමයි. කණ්ඩායමේම හිටි පොඩිම එකා වෙලත් අනිත් අයට නෙදෙවෙනිව ඇවිද්දා. දැන් කාලේ වගේ නෙවෙයි පාරවල් හදල නැතිව නැරඹුම් මැදිරි නැතිව වැල් වල එල්ලිලා ගිහින් කාණුවක බඩගාල ලොකාන්තෙට එබිල බැලුවා. හරිම අපූරුවට දැක්ක බලංගොඩ නගරය අදටත් එදා දැක්ක විදිහේම මතකයේ තියෙනවා.
ටික ටික ලොකු වෙද්දී විවිධ අය එක්ක විවිධ පාරවල් වලින් චාරිකා ගියා වුනත් ඒ යන හැම තැනම ගැන තාත්ත කියා දෙන විශයයට අදාල දේවල් හිතේ අස්සක ගොඩ ගැහුනා. ඒත් ඉතින් ඒවායින් බාගයක් විතරම තේරුනේ නැහැ. මම උසස් පෙලට ඇවිත් ඒ දේවල් මගේ ගුරුතුමී කියා දෙද්දී, තාත්ත පාඩම කියා දෙද්දී මගේ මතකයට ඇවිත් හොල්මන් කලේ ඒ ඇවිදින කාලේ දැක්ක දේවල් අහපු දේවල් නිසා පාඩම කවදාකවත් අමාරු වුනේ නැහැ. දවසින් දවස ගෙවිලා මටම කියල ඇවිදින්න පුළුවන් වෙද්දී අනිත් උන් පරිඝණක වලින් ක්‍රීඩා කරද්දී මම කලේ එක එක තැන් වල විස්තර හොයපු එක. අහුවෙන හැම තැනම තියෙන දේවල් කියවල විස්තර අහගෙන ඒ ඒ තැන් බලන්න යන්න විස්තර හොයන්න පුරුදු වුනා.
දැන් කියන්නම් අද කාලේ චාරිකා වල හැටි. අද කාලේ අධ්‍යාපන චාරිකාවක් යන්න කලින් ලමයි කරන දේවල් තමයි මේ. අලුත් ඇඳුම් ගන්නවා. සින්දු CD ටිකක් හරි Pen Drive එකක් සින්දු පුරවල හරි දා ගන්නවා. චාරිකාව යන්න බස් එක හොයද්දී හොයන්නේ බස්‍ එකේ යන්න පුළුවන්ද කියන එක නෙවෙයි. ඒකේ සින්දු Play කරන්න හොඳ Player එකක් තියෙනවද? TV එකක් තියෙනවද කියලයි. චාරිකා‍ේ ගමන් විස්තරය බලන්නේවත් නෑ. අහන්නේ එකම දෙයයි. යන්නේ කොහේද? මොනව මොනවද බලන්නේ කියලයි. ඒකත් අහන්නේ ගෙවල් වලට කියන්න ඕන නිසා. බස්‍ එකට නැග්ග වෙලේ ඉඳන් උපරිම සද්දෙන් දාන සින්දු වලට දඟලන්න පටන් ගන්නවා. මහන්සි වුනාම සීට් වලට වැටුනා නිදි. කොහේ හරි නවත්තලා "අපි ආවා බහින්න" කිව්වාම විනාඩි 10ක් විතර බස් එකෙන් බහිනවා. යන තැන ගිහින් විනාඩි විස්සකින් බලන්න තියෙන දේ පැයකට වඩා කැරකි කැරකි ඉන්නවා. අන්තිමට කෑ ගහල බස් එකට නග්ග ගන්න ඕන.
ආයෙත් ඉතින් කලින් වගේම කලින් සින්දු ටිකම දාගෙන දඟලනවා. හැබැයි ඉතින් කොයි සින්දුව දාගෙන දැඟලුවත් බෙරයක් අරන් එන්න නම් අමතක වෙන්නේ නෑ. ඒත් ඉතින් ඒ බෙරේ ගහල කියන්න තරම් සින්දු ලමයි දන්නේ නෑ. ඒකට හේතුව නූතන ඉගෙක්ට්‍රොනික් සින්දු වාදනය කරන්න සාමාන්‍ය විදිහට බැරි වීම සහ ළමයි එහෙම වාදනය කරන්න පුළුවන් සින්දු නොදැන සිටීම. චාරිකාවේ පළවෙනි දවස අවසන් වෙද්දී ප්‍රමාද වීම් නිසා නොගිය තැන් අපමණ වුනත් ඔවුන් ඒ දේ දන්නේවත් නෑ. කොටින්ම කිව්වොත් ඔව්නුට ඒ ගැන ගානක්වත් නෑ. අධ්‍යාපන චාරිකාව අවසාන වෙන්නේ විනෝද චාරිකාවක් විදිහට. අවසර ලැබෙන්නේ අධ්‍යාපන චාරිකා වලට විතරක් නිසා ඒ විදිහට නම දාල චාරිකාව ගියත් අවසානයේ එකඳු ලමයෙක්වත් ඒ ගිය තැනක් මාර්ගයක් හෝ වැදගත් වෙන එක කරුණක්වත් එකතු කරගෙන එන්නේ නම් නෑ.
ඒ කාලේ අපි ගියේ මෙතැනින් මෙහෙම කියන්න තරම් චාරිකාව අවසානයේ ළමයෙකු දැන සිටියත් අද ඒ දේවල් දන්නේ නෑ. අපි එදා ඉඳන් අද වෙනකල් මේ පාරවල් වල කොයිතරම් යන්න ඇතිද? ඒත් අදටත් පාරවල් හදල හැ‍මදේම අලුත් වෙලා තියෙන හැටි බලාගෙන යන්න අපි කොයිතරම් ආසයිද? එදා යන්න බැරි තැන් අද යන්න පුළුවන් වෙලා. ඒත් ළමයි ඒ යන කිසිම තැනක වැදගත්කමක් ගැන ඉගෙන ගන්න ආසාව නැතිවෙලා. තැනක ගියාම ඒ තැන ඉන්නේ කොහොමද ඒ තැන ආරක්‍ෂා කරන්නේ කොහොමද කියන දේ ගැන ඔවුන් දන්නේ නෑ. ඒ තැන තියෙන විස්තර පත්‍රිකා, දැන්වීම් පුවරු කියවන්න ඔවුන් උනන්දු වෙන්නේ නෑ. කරන එකම දේ තමයි බැස්ස තැන ඉඳන් Selfi ගැනිල්ලයි බහිස්‍රාවය කිරීමයි. Selfi ගැනිල්ල නිසාම ඉන්න තැන පවා මතක නැතිව අනතුරු වෙන්නත් තියෙන ඉඩ කඩ දැන් වැඩියි.
කොහොමින් කොහොම වුනත් දවසක අපේ රට පුරාම ඇවිදපු අය අනන්ත ඉඳිවි. ඒත් ඒ ඒ තැන් වල තියෙන විශේෂ ‍දේවල් ගැන දන්න අයනම් අතලොස්සක්වත් ඉතිරි නොවේවි.


කියවලි විසිකරන්න නෙවෙයි අදහසක් දාලම යන්න... ස්තූතියි...!

Wednesday, November 4, 2015

වර්ථමාන අධ්‍යාපනය හා පෞද්ගලීකරණය වීම

කාලෙකින් කාලීන මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ තමයි අධ්‍යාපනය හා පෞද්ගලීකරණය. මේ දෙකම අද එකට බැඳිලා ඇතිවෙලා තියෙන තත්ත්වය තමයි කතා කරන්න හිතුවේ. පහුගිය දවස් වල ශිෂ්‍යයන් පෞද්ගලික විශ්ව විද්‍යාල බවත් කරන්න යැයි ඉල්ලමින් කල උද්ගෝෂණය හා ඒ හා බැඳුනු කතිකාවන් නිසාවෙන් මේ ලිපිය සකස් කිරීම ඉක්මන් වුනා. මම නම් හිතන්නේ පොලීසියෙන් ඒ විදිහට ශිෂ්‍යයන්ට ගහපු එක වැරදියි. ඒක හිංසනයක්. කවුරු කොයි විදිහෙන් ඒකට අණ කලත් ඒක වැරදියි. හැබැයි ඒ වැරදියි කියන එකෙන් ශිෂ්‍යයන් කල දේ හරියි කියන්න බෑ. ශිෂ්‍යයන් ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනය නවත්වන්න නම් ඒකත් වැරදියි.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
දැන් කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියල. මමත් රජයේ විශ්ව විද්‍යාලයකින් තමයි ඉගෙන ගත්තේ. ඒත් මම කියනවා පෞද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි කියල. ඇයි ඒකට ලමයි විරුද්ධ වෙන්නේ? මේකට හේතුවක් තියෙන්නත් එපැයි. ඒ හේතුව තමයි පෞද්ගලික අධ්‍යාපනය තුල ලැබෙන උපාධි හෝ ඩිප්ලෝමා සහතික වලට රජයේ අධ්‍යාපන ආයතන වලට වඩා වැඩි රැකියා අවස්ථාවන් ලැබීම. ඒ තුල රජයේ අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා දරුවන්ට තියෙන තැන අඩු වෙනවා. ඉතින් ළමයි කෑ ගහන්න පටන් ගන්නේ ඔවුන්ගේ අනාගත රැකියා සිහිනය බොඳවෙන නිසා. හැබැයි අපි හැමෝටම අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඇයි පෞද්ගලික අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා අයට වැඩි රැකියා අවස්ථාවන් හිමිවෙන්නේ කියන එක. ඒ ගැන පුංචි කතාවක් විදිහට කියාගෙන යන්නම්.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොහොම හරි කරලා විශිෂ්ඨ ලෙස සමත් වෙන අය රජයේ අධ්‍යාපන ආයතන වලින් නොමිලේ උගනින්න වරම් හිමිකර ගන්නවා. අනිත් ළමයි මොකද කරන්නේ? ඔවුන් තුල හැකියාවන් නැතිද? පාසල් අධ්‍යාපනය තුල රාමුවක් සකස් කරල ඒකට අනුගත කරන එකයි කරන්නේ. එහිදී සිසුන්ට තෝරා ගැනීමක් නැහැ. කල යුත්තේ තියෙන රාමුව තුල ඉගෙන ගැනීම. තමන්ගේ දක්‍ෂතාව මොකක් වුනත් ඒ සියල්ල අමතක කරලා අධ්‍යාපන ක්‍රමවේදය මගින් දුන්න පාඩම් මාලාවක් ඉගෙන ගන්න ඕන. ඇත්තටම මොනවද මේ පාඩම් මාලාවේ තියෙන්නේ. තියෙන්නේ එකිනෙකට වෙනස් වූ විශයයන් සමූහයකින් ඉතා කුඩා ප්‍රමාණය බැගින් ඉගැනවීමක්. පසුව උසස් පෙල විශයයන් ලෙස තෝරා ගැනීමක් දුන්නද එයද යම් සීමාවක් තුල සිදු කල  යුතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී වුනත් එහෙමයි. අප ලද ලකුණු අනුව යන්නේ කොතනද කියල තීරණය වෙනවා. පසුව එතැන තියෙන දේවල් වලින් අපි නොනැසී පවතින්න උත්සාහ ගන්නවා. අවසානයේ කැඳ හැලියක හිටි එකෙකු එලියට එනවා. ඔහු හෝ ඇය දත් දෙයකුත් නොදත් දෙයකුත් නැහැ. පලමු වාරය දෙවැනි වාරයේදී මතක නැහැ. කෙටි කාලීනව දැනුම ගබඩා කරගෙන එතැන තිබෙන ආකාරයට අනුගත වෙමින් වැඩ කල හැකි රොබෝවෙක් සමාජයට බිහිවෙනවා.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
නමුත් පෞද්ගලික අධයාපන ආයතන මගින් ළමයෙකුට මුදල් ගෙවීමෙන් පසු තමන්ගේ ලකුණු මට්ටම කුමක් වුවත් තමාගේ දක්‍ෂතාවයට හා කැමැත්තට ඔබින ආකාරයේ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව ලැබෙනවා. එවිට ඔහු‍ හෝ ඇය තමන්ගේ අනාගතය සැලසුම් කරනවා. සල්ලි තිබුන පමණින් ඔහු අධ්‍යාපනය හමාර කරන්‍නේ නැහැ. ඔහුට හෝ ඇයට එතැනත් තරඟයක් ති‍බෙනවා. තමන් කැමති විශයයක් එයට අදාල හෝ සමගාමී වූ තවත් විශයයන් තමඟ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගන්නා ඔවුන් අවසානයේ එක් විශයයක් සඳහා විශේෂඥයෙකු වශයෙන් සමාජයට එනවා. අවසානයේ ඔහු රැකියාවක් සඳහා තරඟ කරන්නේ ඔහුගේ විශේෂත්වය එක්ක.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා සිදුවී තිබෙන දෙයින් කොටසක් විතරයි. අතීතයේ නොතිබුනු පෞද්ගලික අධ්‍යාපන ආයතන අද බිහිවෙද්දී ඒවායේ රැකියා ඉලක්ක කරගෙන කරන්නා වූ අධ්‍යාපන ක්‍රමවේදයන් හා තරඟ කිරීම සඳහා රජයේ අධ්‍යාපන ආයතන වල ක්‍රමවේදයන් අපාහොසත් වීම නිසාවෙන් අසරණ වන්නේ විශේෂ දක්‍ෂතා ඇති සිසුවන් පමණක්ම නොවන්නේද? එකිනෙකට වෙනස්වූ විශයයන් රැසකින් සමන්විත කඩයිම් පරීක්‍ෂණ සියල්ල ජය ගන්නා ඔවුන් එක් දිශාවකට යොමු කරවන්නේ නම් ඔවුන්ගෙන් ලැබෙන්නා වූ සේවය කොතරම්දැයි නොපෙනෙන්නේ මන්දැයි ගැටලුව අද මටත් ඔබටත් පැන නඟිනු ඇත. 
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
අවසානය මෙසේ සටහන් කරමි. කුමණ දේශපාලන පක්‍ෂයක් පැමිණියත් අධ්‍යාපනයේ වටිනාකමක් තිබෙන දේශපාලන මතයක් තවමත් පැමිණ නැත. එසේ පැමිණියා නම් අද මේ ලිපිය මෙසේ මා අතින් සටහන් වන්නේ නැත. අධ්‍යාපනයක අගය දන්නේ හුදෙක් අධ්‍යාපනයේ රසය දන්නා උන් පමණක්මය.

Thursday, October 22, 2015

එදත් අදත් අපේ සුන්දර ලමා කාලයේ වෙනස

වසර ගනනක් ගතවෙලා. අද සමාජයේ විවිධ තැන්වල යද්දී මට මතක් වෙන්නේ මගේ කුඩා කාලයයි. එහි මා දුටු සුන්දරත්වයයි. අද ඉලෙක්ට්‍රොනික ලෝකයක හිත දුවද්දී වුවද එදා අප විඳි සුන්දර ලමා කාලය මසිතට නැ‍ඟෙන්නේ සිහියක් පරිද්දෙනි. එදත් අදත් වෙනස ගැන ලියන්නට කීප වරක් උත්සාහ ගත්තද හුදෙක් ඒ සෑම මොහොතකම මා සිහින ලොවක අතරමංවීමි. මෙය මාගේ පමණක් නොව මා වයසේ හා ඊට පෙර සිටි උන්ගේ අතීතයම විය.

කුඩා කාලය පනා බිස්කට් එකක් උදේ ආහාරය විදිහට අරන් ඉස්කොලේ ගියේ අපේ තිබුනු ආර්ථික තත්ත්වය හින්දාමය. නමුදු එකල ආර්ථිකය යනු හුදෙක් බැරෑරුම් අප නොදන්නා වචනයකි. අපේ හිත් වල තිබුනේ පුංචි පුංචි සෙල්ලම් කරමින් සතුටු වෙන ලෝකයක් විතරමය. රූපවාහිනී නොතිබුණු විදුලිය නොතිබුනු කාලයකින් අප පටන් ගත්තෝ වෙමු.
පුවක් පට්ටයක වාඩි වී තවකෙකු ලවා ඇදගෙන යාම අවසන් වන්නේ පුවක් පට්ටය ගෙවී පස්සා පැත්ත බිම වැදී සීරෙන්නට පටන් ගත් පසුය. පොල්පිති හරකෙකු දක්කාගෙන හෝ ඔක්ටපාලු බෝලයකින් සෙල්ලම් කරමින් දවස ගත කලෙමු. වසරේ වැදගත්ම සමය වන්නේ අලුත් අවුරුදු නිවාඩුවය. අලුත් ඇඳුම් ගන්න, රතිඤ්ඤා පත්තු කරන්න, එහෙමත් නැතිනම් උණ බට වෙඩි තියන්න තරම් දෙයක් අපට තිබුනේ නැහැ. නෑ ගම් යන්න වගේම අලුත් අවුරුදු නැකත් වෙනුවෙන් ඇඟිලි ගනින්න වුනා. වැඩියෙන්ම වටින නැකත වුනේ කෑම නැකත තමයි. අවුරුද්දට හදන කෑම ඉඳුල් කරන්නේ අවුරුදු නැකතට නිසාත් ඒ කෑම ටික වෙනුවෙන් සති ගානක් මතක කෙල ගිලින නිසාත් ඒ නැකත නම් මඟ හරින්නේ නෑ. එතැනින් පස්සේ පංච දාන්න, ඔලිඳ කෙලින්න, ඔංචිල්ලා පදින්න වගේ දහසකුත් සෙල්ලම තිබුනා. අවුරුදු උත්සව බලන්න යන්න, අලියට ඇහැ තියන්න, කොට්ටපොරේ ගහන ඇඟ තඩි අයියල දිහා පුදුමයෙන් බලන්න වගේ අවුරුදු ක්‍රීඩා එක්ක සතුටු වුනා. ඒ කාලේ අවසන් වෙද්දී හිත් වල තියෙන්නේ වෙසක් උත්සවය ගැන. මේ අවුරුද්දේ ලොකුම කූඩුව කාගෙද? හොඳම තොරණ කොතනද තියෙන්නේ කියල හිත හිතම තමයි ඉන්නේ. අපේ ගෙදරත් පැටව් ගොඩක් එක්ක කූඩුවක් හදමු කිව්වත් අවසානයේ සුපුරුදු විදිහටම කූඩු දෙකක් එල්ලන්නේ ගෙදර කූඩුවක් පත්තු කරන්නම ඕන නිසා. හැබැයි ඉතින් අඬල හරි වෙසක් බලන්න යන්නම ඕන. ඒ වෙසක් කූඩු ටික බලන්නයි තොරණේ තියෙන ජාතක කතාව බලන්නයි. පස්සේ තොරණේ ලයිට් පත්තුවෙන අපූරුවට හිත බැඳිල දැන් යමු නේද කියල තාත්ත අහද්දී තමයි මතක් වෙන්නෙ රෑ වෙලා කියල. හැබැයි ඉතින් කොහොම කලත් දැන් ඇති යමු කියල තාත්ත සැර කලේ නැත්තම් එලි වෙනකම් වුනත් තොරණ දිහා බලාගෙන තමයි. 










වෙසක් ඉවර වෙලා පොසොන්, ඇසල ගෙවෙද්දී පෙරහැර බලලා ඒකේ ඉන්න යක්කුන්ට කෝලං කරල ගෙදර එනවා. කොහොම හරි කරල සලු පාලිය නටන යකා මතකයේ තියාගෙන ඌ කරපු ඔච්චම දවස් ගානක් හිතේ තියෙනවා. එතැනින් පස්සේ ආ‍යෙත් එන්නේ පාසල් නිවාඩු කාලයයි සරුංගල් කාලයයි. පුංචිම එකා කාල‍ේ කාටහරි කියල සරුංගලයක් හදවගෙන ඒක පිට්ටනියක යවල හැන්දෑ වෙනකම් ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික ටික ලොකු වෙද්දී අපිටම කියල සරුංගලයක් හදාගෙන ඒ උඩ යවන්නේ නූල් පන්දු ගානට. සරුංගලේ වැඩියෙන්ම උඩ යවන්නේ කවුද කියල තරඟයක් නොතිබුනත් අපි  හිත්වලින් එකිනෙකා එක්ක තරඟ කලා. අවසානයේ වැඩිම උඩ තීරණය වෙන්නේ නූල් පන්දු කීයක් උඩ යැව්වද කියන එකෙන්. සරුංගලය් හදාගන්න බැර වුනොත් හරි තමන්ගේ සරුංගලය නැති වුනොත් හරි තව කොනෙක්ගේ සරුංගලයක් කඩාගෙන යනකම් බලන් ඉන්නේ බයිසිකල් අරන් ඒක වැටෙන තැනින් අගෙන ගෙදර ගේන්න. සරුංගලයක් කඩාගෙන යද්දී ඒක වැටෙන තැන හරියටම අනුමාන කරන්න ඒ කාලේ අපිට සහජ හැකියාවක් තිබුනා. සරුංගලය ලස්සන නම් අනිත් අයට කලින් ඒක පස්සෙන් බයිසිකලය පදින්න ලංකාවේ කොනටම යන්න වුනත් අපි සූදානම්.
ග‍ඟේ බැහැල මාලු අල්ලන්න ගියේ පව්කාර කමට නෙවෙයි හිතේ තිබුන කොලු කමට. රබර් ඇට දැක්කාම ඒක ගෙනත් පුංචි සිදුරක් හදල කූඹින්ට වැඩේ බා‍ර දෙන්නේ ඒක ඇතුල සුද්ද කරන හැටි අපූරුවටම දන්නේ කූඹි බව දන්න නිසා. ගොක් කොලයකින් රූම් පෙත්තක් හදාගෙන මිදුල වටේ දුවන්න, ගොක්කොල නයෙක් හදාගන නටවන්න අපි ආස කලා. කැටපෝලයක් ඉනේ බැඳගෙන වීරයෙක් වගේ ඇවිදින්න බටතුවක්කු හදාගෙන දෙපිල බෙදිලා වෙඩි තියාගන්න කුරුම්බැට්ටි මැෂිමකින් මහන්න වගේ දේවල් එක්ක අපේ පුංචි කාලයත් හෙමින් හෙමින් ගෙවුනා. කුප්පි ලාම්පු එළියෙන් පටන් ගත්තු අපේ ජීවිත වලට විදුලිය එද්දී හරිම අපූරු වුනා. ඒ කාලේ ලංකාවටම විදුලිය නැතිවුන කාලයක් තිබුනා. ලයිට් එනකම් කියල රේඩියෝවේ වැඩසටහන් පවා ඒ කාලේ තිබුනා. හරි සුන්දර විහිලු තහලු එක්ක බැටරි බහිනකම් රේඩියෝව ඇහුවා. හැබැයි ඉතින් මේ කොයි දේටත් වඩා කලුවරේ එක පහනක් පත්තු කරගෙන තාත්තට ගුලි වෙලා තාත්ත කියන කතා ටික අහන්න අපි ආස වුනා. දවසක් හරි රෑට ලයිට් තිබුනම තමයි හිතට අවුල. මොකද එදාට තාත්තගේ කතාව අහන්න වෙන්නේ නැති නිසා. බට්ටෝ පනින්න, හැංගිමුත්තන් කෙලින්න අපේ වයස ගතවුනා. දුර ගමන් යන්න කොයි තරම් ආස වුනාද කියනවා නම් ගමනට සූදානම් වුනේ මාසෙක විතර ඉඳන් අපේ හිතෙන්. කෝච්චියේ නැගල එකෙ ඇහෙන තාලෙට 'ඩක ඩකස්' කියන්න, 'තවත් හයියෙන් තවත් හයියෙන්' කියල කෑ ගහන්න ආස කලා. පත්තර පිටු ගනන් ඉරාගෙන ඇවිත් හුල‍ඟේ පා කරන්න වුනා. කෝච්චියේ වැඩට යන අයියල අක්කලා නැන්දලා මාමලාගේ සින්දු අහන්න ආස කලා. මේ වගේ පුංචි පුංචි දේවල් ගොඩක් එක්ක අපි ලොකු වෙලා තාක්‍ෂණය ලෝකෙට ආව.
දුන් ඉතින් අපිට විනෝද වෙන්න බෑ. ඒකට හේතු ගොඩයි. අපිට වගකීම් එනවා. නමුත් ඉස්සර වගේ පුංචි අය දිහා බලල අපිට සුන්දර දේවල් මවන්නත් බෑ. අපේ අය දිහා බලල වින්දනයක් ලබන්නත් බෑ. ඒකට හේතුව තාක්‍ෂණය තමයි. දැන් පුංචි ලමයි සරුංගල් හදන්න දන්නේ නෑ. දන්නේ කඩේ විකුන්න තියෙන ප්ලාස්ටික් සරුංගල් ගැන. රූං පෙත්තේ ඉඳල හැම දේම කඩේ තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා. බයිසිකල් පදින්න වත්තේ තාප්පය සීමාව තියෙනවා. හවස 6-7 වෙද්දී බලන්න තියෙන කාටූන් අපි පුංචි කාලේ සුන්දරව බලපු ටයිටස් තොටවත්ත මාම හඬකවපු ලස්සන වචන එක්ක නෑ. ඊට පස්සේ රෑ නිදා ගන්නකම් බලන්න ටෙලා නාට්‍ය පෝලිමක් තියෙනවා. ඒවා වලින් කා දාන්නේ පුංචි සෙල්ලම් හිත් කියල මාධ්‍ය ආයතන වලට මතකත් නැහැ. එහා ගෙදර ලමයි මෙහා ගෙදර ලමයි දන්නේ නෑ. සල්ලි තියෙන ලමයි දුප්පත් ලමයි එක්ක සෙල්ලම් කරන්නේ නෑ. තාත්තට තුරුල් වෙලා කතාවක් අහන්න තියා ලමයින්ට කතාවක් කියා දෙන්න තාත්තලට වෙලාවක් නෑ. කෝච්චියේ යද්දී කියන සින්දු අහන්න විදිහක් නෑ. මොකද ඒවායේ යන අය ඔක්කෝම වගේ ජංගම දුරකථන වල චිත්‍රපටි බලන්න එහෙමත් නැතිතම් සමාජ ජාල වෙබ් අඩෙවි වල හිරවලා ඉන්න හරි  හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන තමන්ගේ පාඩුවේ යන්න හරි පුරුදු වෙලා. හිනාවෙන්න කතා කරන්න අමතක වෙලා. කතා කලත් ඇනුම්පදයක් හෝ නෝක්කාඩුවක් විතරයි. පෙරහැරක් බලන්න තොරණක් බලන්න යන්නේ නැහැ. ඒවා එක්ක ‍විනෝද වෙන්න දන්නේ නෑ. විනෝද චාරිකාවක් හරි වෙනයම් දෙයකට හරි කට්ටිය එකතු වෙනවා නම් එකතු වෙන්නේ සතුටු වෙන්න නෙවෙයි මත්පැන මූලික කරගෙන. පරිඝණක ක්‍රීඩා වලින් සෑහීමකට පත්වෙන අය කවදාවත් එලියට ඇවිත් අපි පුංචි කාලේ විනෝද වුන විදිහට විනෝද වෙන්න දන්නේ නෑ. ස්වභාව ධර්මයේ වින්දනය දන්නේ නෑ. ගහක් කොලයක් සතෙක් අඳුනන්නේ නෑ. හැම කෙනෙක්ම තාක්‍ෂණය එක්ක එකට බැඳිලා සුන්දරත්වය අමතක කරල. එයාලට නොදැනීම මනුස්සකම වගේ දේවල් එයාලගෙන් ඈත් වෙනවා. සල්ලි තියේ නම් ගන්න පුළුවන්. හැමදේම සිල්ලරට විකි‍ණෙනවා. එක දෙයක් ඇරෙන්න. ඒ තමයි සතුට.

තව ටික කාලයකින් හැමෝටම අපි විඳපු සුන්දර ලමා කාලය අමතක වෙයි ඊලඟ පරම්පරාව කොහොමත් ඒ දේවල් දන්නේ නෑ. හැමෝම යාන්ත්‍රික වෙයි. මිනිස්සුන්ව දූශකයෝ අපරාධකාරයෝ බවට පත්වෙයි. හැබැයි මේ සියල්ල වෙද්දීත් අපි ඒ කාලේ විඳපු ස්වභාව ධර්මයේ දේවල් බලාගෙන ඉඳීවි. සුල‍ඟෙ සිසිලස විඳින්න, වෙල් යායේ සුවඳ  විඳින්න රස පළතුරක රස විඳින්න, ගහ කොල වල දැවටෙන්න මිනිස්සුන්ට අමතක වෙයි. ඒත් ඒ දේවල් හැම වෙලාවෙම අපිට ආයේ ආයේ මතක් කරල දෙන්න උත්සාහ ගනීවි, අහවි අපෙන් "අපි තාම එතැනමයි මිනිසුනේ නුඹලා කොහිද?" කියල.

Saturday, October 10, 2015

අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද?

ලස්සන අකුණු වල ඡායාරූප දකින අයට ලොකුම ලොකු ගැටලුවක් වෙලා තියෙන අකුණු ඡායාරූපගත කරන්නේ කොහොමද කියන එකට උත්තරයක් අරන් තමයි අද මේ ලිපිය ලියන්නේ. මුලින්ම අපි බලමු ඕන කරන දේවල් ටික මොනවාද කියල.
1. DSLR කැමරාවක්
2. ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
3. lens
4. Cable Realese (තිබේ නම් හොඳයි)
5. වැහි ආවරණ
හොඳයි දැන් කතා කරමු එකින් එක කොහොමද ඒ දේවල් තෝරාගන්නේ කියල. පළවෙන දේ තමයි DSLR කැමරාව. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Entry level DSLR එකකින් වුනත් මේ දේ කරන්න පුළුවන්. දෙවැන්නේ දේ තමයි ශක්තිමත් ත්‍රිපාදය. මේක බොහොම වැදගත් ශක්තිමත් වගේම සමබරතාව හොඳින් රැකෙන එකක් විය යුතුයි. මොකද අපි කැමරාව අටවලා බලන් ඉද්දී කැමරාව වැටෙන්න පුළුවන් ශක්තිමත් ත්‍රිපාදයක් භාවිතා නොකලොත්. ඒ වගේම කැමරාවේ බරට රාමුව වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ශක්තිමත් ත්‍රිපාදයක් භාවිත කිරීම නම් අනිවාර්යයි. ඒ නැතිනම් මොකක් හරි විදිහකින් කැමරාව ආරක්‍ෂිතව එකම රාමු සැකැස්මේ තියාගන්න ක්‍රමයක් ඕන.
ගුවන් නියමුවාගේ දැක්මක් සහිත ඡායාරූපයක් (Pilots View Photograph)
ඊලඟට අපි කොහොමද ලෙන්ස් එක තෝරගන්නේ. ලෙන්ස් එක තෝරා ගැනීමේදී හැකි තරම් පලල් දර්ශන කෝණයක් තියෙන (wide angle lens) එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි. උදාහරණ විදිහට 24-70mm වගේ ලෙන්ස් එකක් භාවිත කරන්න පුළුවන් නමුත් විශේෂ අවස්ථාවක් විදිහට දුර කන්දක් මුදුනේ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් තියෙන තැනක අකුණු ගහන එක පින්තූර ගන්න ඕන නම් අපට 70-300 mm වගේ ලෙන්ස් එකක් වුනත් භාවිත කරන්න පුළුවන්. ඒකෙන් අපට ගුවන් නියමුවෙකුගේ දැක්මක් (Pilots View) සහිත රාමුවක් සකසා ගන්න පුළුවන්.
cable Release එකක් තියෙනවා නම් අපට කැමරාවෙන් දුර ඉඳගෙන සහ කැමරාව නොසෙල්වෙන අයුරින් ද්වාර බොත්තම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක තියෙනවා නම් පින්තූර සාර්ථක කරගන්න පහසු වෙනවා.

වැහි ආවරණ නම් තියා ගන්න එක හොඳයි. මොකද අකුණු එක්ක වැස්ස එන එක නියතයි සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වල. ඒ නිසා පෙර සූදානම වටිනවා වැස්ස වැටෙද්දී කැමරා ආම්පන්න උස්සගෙන ආවරණ සොයමින් දුවනවාට වඩා.

හරි අවශ්‍ය දේවල් ටික හදා ගත්තානම් ස්ථානයක් තෝරගන්න වෙනවා. මොකද ස්ථානය අනුව කැමරාවේ සෙටින්ග්ස් වෙනස් වෙන නිසා. කන්දක් උඩ ඉඳන් කිලෝමීටර කීපයක් දුරින් පිහිටි ස්ථානයකට අකුණු ගහන අවස්ථාවක් නම් ගොඩක් හොඳ පින්තූරයක් ගන්න පුළුවන් වෙයි. රාමුව හොද පසුබිමක් හා අකුණු යන සියල්ල අන්තර් ගත වෙන විදිහෙන් සකස් කරගන්න. නමුත් ලඟ අකුණු ගහන වෙලාවකදී නම් උස් ස්ථාන වලට යන්න එපා. මතක තියා ගන්න කැමරාව අතේ තිබුනත් ආරක්‍ෂාව පලමුවැනි තැන තියාගන්න.
අකුණු කීපයක් එකම රාමුවක සැකසුනු අවස්ථාවක්
කැමරාවේ සෙටින්ග්ස් ගැන කියද්දී මුලින්ම ISO අගය 100ක වගේ අඩුම අගයක තියා ගන්න. ඇපෙචරය හා ද්වාරය එක්ක අනාවරණය සකසා ගන්න උත්සාහ ගන්න. කැමරාව Manual Focusing වලට දාල අනන්නයට නාභිගත කරන්න.

සාමාණ්‍යයෙන් ගම්බදව ආලෝක දූෂණය අඩු පරිසරයකදී නම් ඇපෙචරය 5-10 අතර පවත්වගෙන තත්පර 5ක වගේ අනාවරණයක් භාවිත කරන්න පුළුවන්. නමුත් අකුණු ගහන කාල අන්තරය වැඩි නම් ඇපෙචරය 10-16 අතර අගයකත් ද්වාරය තත්පර 30ක් වගේත් යොදාගන්න පුළුවන්. නගරබදව නම් ඇපෙචරය අඩුම අගයක තියාගෙන (5.6 වගේ) තත්පර 5ක් 6ක් හරි ඇපෙචරය 8-10 වගේ අගයක තත්පර 15ක් වගේ අගයක් භාවිත කරන්නත් පුළුවන්. නමුත් හොඳම දේ අපේ පසුබිම් ආලෝකය අනුව අපේ ඇපචරය හා ද්වාර වේගය සකස් කර ගන්න එක. මොකද කියනවා නම් අකුණ තිබුනත් පසුබිම අධිඅනාවරණය වෙලා නම් පින්තූරයේ අගය නැති වෙනවා. දිගු අනාවරණ සඳහා පසුබිමට අනුකූලව ප්‍රශස්ත අයුරින් කැමරාවේ සෙටින්ග්ස් හදා ගන්න හැටි කලින් ආලෝක පින්තාරු ගැන ලිපියේ සඳහන් කලා මතක ඇති. අමතක නම් මෙතැන ක්ලික් කරල ගිහින් බලන්න.
තව එක වැදගත් කාරණාවක් තමයි පුළුවන් තරම් RAW වලින් පින්තූරය ගන්න බලන්න. එවිට පසු පිරියම් වලදී වැඩේ පහසුයි සහ පින්තූරයක අසාර්ථකත්වයක් වීමේ ඉඩකඩ අඩුයි.

දැන් වැඩේ හරි වැහි ආවරණ එහෙම දාගෙන වැඩේ පටන් ගන්න. ලංකාවේ අපිට නම් හොඳම විදිහ වෙන්නේ වැඩි අනාවරණ කාලයක් භාවිතා කරන එක මොකද අකුණු දිගින් දිගටම ගහන වෙලාවක් හොයාගන්න අමාරු නිසා. අවසානයේ කියන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඉවසන්න කියන එක. ගිය ගමන් පින්තූරය අරන් එන්න බෑ. ‍අකුණු ගහන වෙලාවක් කියන්න බෑ අහස දිහා බලාගෙන අධ්‍යයනයෙන් ඉන්න එතකොට අකුණක් ගහන්න මොහොතක් කලින් නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. රාමුව සකස් කරල කැමරාව ත්‍රිපාදයේ තියල කේබල් රිලීස් එක අතේ තියාගෙන අහස දිහා බලන් හිටියානම් සාර්ථක පින්තූර ගන්න පුළුවන් වෙයි.
කෙටි කාලාන්තර වලදී අකුණු ගොඩක් ගහනවා නම් දිගු අනවරණයන් වලදී අපිට එකම රාමුව ඇතුලේ අකුණු කීපයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතිනම් අකුණු කීපයක් එකම රාමුවක බලාගෙන පසු පිරියමේදී Stack ක්‍රමය භාවිතා කරල අකුණු සියල්ල එකම රාමුවක ඇති පින්තූරයක් ගන්න පුළුවන්.

මම මේ දාන පින්තූර අන්තර් ජාලයෙන් ගත්ත ඒවා. ඒවායේ අයිතිය ඒ ඒ ඡායාරූප ශිල්පීන් සතුයි. ඔයාල ගන්න පින්තූර පුළුවන් නම් කොමෙන්ටු හැටියට සඳහන් කරන්න. මොකද ලිපියේ සාර්ථකත්වය ඔයාලගේ කොමෙන්ටු අස්සේ තමයි හැංගෙන්නේ. ඉතින් කට්ටියටම හොඳට අකුණු ගහන්න ආහ් නෑ නෑ අකුණු ඡායාරූප ගත කරන්න ලැබේවා.....!!!!