Pages

Friday, September 16, 2016

පැනොරාමා එකක් එහෙම නැතිනම් පරිදර්ශන ඡායාරූපයක් හදාගන්නේ කොහොමද?

දන්න අය පැත්තක තියල නොදන්න අයට මුලින්ම කියන්නම් පැනොරාමා ඡායාරූප කියන්නේ මොනවද කියල. පැනොරාමා කියන්නේ අපි දකින විශාල පලල් දර්ශනයක් ඡායාරූපගත කර ගන්න එකට. ඒ වගේ ඡායාරූපයක පළල හා උස අතර අනුපාතය සාමාන්‍යයෙන් 2:1, 4:1 හෝ 10:1 වගේ වුනත් භාවිතා වෙනවා. පළල වැඩි මෙන්ම උස වැඩි පැනොරාමා නිර්මාණත් දැන් දැන් දකින්න පුළුවන්. අංශක 360ක් වන පැනොරාමා ඡායාරූපත් දකින්න පුළුවන්. ‍දැන් දැන් ගෝලීය ඡායාරූපත් දකින්න පුළුවන්.

පැනොරාමා ඡායාරූපයක් ගන්න විශේෂ වුන උපකරණ තියෙනවා. ඒ වෙන්වෙන්ම සැකසූ ලෙන්ස්, ත්‍රිපාද වැනි උපකරණ තියෙනවා. නමුත් අපි දන්න දුරකථන වල හා පොඩි කම්පැක්ට් වර්ගයේ කැමරාවල පැනොරාමා කියල සැකසුමක් තියෙනවා. එය භාවිතා කරල එකවර අවසන් සැකසුමේ ඇති පැනොරාමා එකක් ගන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් පැනොරාමා එකක් ගනින්දී අපි ඡායාරූප කීපයක් එකිවනක අතිපිහිත වෙන විදිහට ගන්නවා. උදාහරණ විදිහට මේ පහල පින්තූර පෙල වගේ.
මේ පින්තූර ගනිද්දී පරිස්සම් වෙන්න ඕන දේ තමයි එක පින්තූරයට තියෙන පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි කොටසක් අනිත් පින්තූරයේ තියෙන්න ඕන. දැන් නම් මේ පින්තූර ටික Photoshop අලුත් version එකක් භාවිතා කරල පහසුවෙන් සකස ගන්න පුළුවන්. නමුත් ඉස්සර එකින් එක අරන් බොහෝම සීරුවට තියල හදාගත්තේ. ඒ විදිහට සකස් කල අවසන් පින්තූරය වමන්න මේ වගේ වේවි.

ඵලවෙනිම දේ නිවැරදිව ඡායාරූප ටික ගන්න එක. ගොඩක් හොඳයි ත්‍රිපාදයක් භාවිතා කරනවා නම්. නමුත් එහෙම නැතත් බොහෝම සීරුවෙන් ඡායාරූප ගත්තා නම් පහසු වේවි.

ලිපියේ වැදගත්ම දේ තමයි දුරකථන කැමරා හෝ කුඩා කම්පැක්ට් කැමරා වර්ග භාවිතා කරන අය ඒකේ තියෙන ලේසි ක්‍රමය වෙනුවට වෙන වෙනම ඡායාරූප අරන් අතිපිහිත කරල ඡායාරූපය සකස් කරන්න බලන්න. ඉස්සර ආපු සමහර කැමරා වල පැනොරාමා හදන්නේ වීඩියෝ එකක් වගේ රෙකොඩ් කරල අවසානයේ එය තුල අතිපිහිත කරල. ඒ නිසා ඡායාරූපයේ ගුණාත්මක බව ගොඩක් අඩු වෙනවා. දැන් දැන් නවීන තාකෂණය තිබුනා වුනත් සාර්ථකත්වය වැඩි ඡායාරූප පෙලක් අරන් පසු සැකසුමක් කරගන්න එක තමයි.

මෙන්න මේ විදිහෙන් ගත්තු ඡායාරූප ටික Photoshop වලට ගන්නේ මෙන්න මෙහෙමයි.‍
File --> Automate --> Photomerge කියන ඔප්ෂන් එක භාවිතා කරල විවෘත කරගන්න ඕන. එතැනදී අපි  පැනොරාමා එක වෙනුවෙන් ගත්තු සියලු පින්තූර select කරල විවෘත කරගන්නවා.


දෙවැනුව layout එක තොරාගෙන Blend images together කියන තැන සකතුණු කරල OK කරන්න ඕන. මෙතැනදී මම භාවිතා කරන්නේ Auto කියන Option එක. දැන් Ok කලා නම් Photoshop වලින් මේ පින්තූර ටික එකක කරල දෙනවා. එතැනදී Layers ගොඩක් හමුවෙන නිසා වැඩි වැඩ දාන්න කලින් ඒ ටික Select කරල Ctrl + E එහෙමත් නැතිනම් right click කරල Merge Layers කියන එක select කරා නම් හරි. දැන් ඔයාල ගාව තනි පින්තූරයක් තියෙනවා.

ඊට පස්සේ Edit Transform කියන එක භාවිතා කරල ඇද නිවැරදි කිරීම් සහ Filter --> lens correction භාවිතා කරල Distrote වෙලා තියෙන තැන් ටික නිවැරදි කර ගන්න පුළුවන්. දැන් අවශ්‍ය crop එක දාල අඩුපාඩු තැන් තියෙනවා නම් clone stamp tool එක භාවිතා කරල හරි ඒ තැන් select කරල Edit --> Fill කියන එකේ content Aware කියන තැනින් හරි සකස් කරගන්න පුළුවන්.
මෙන්න මේ විදිහෙන් තමයි අපට ඡායාරූපය ලැබෙන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ අවශ්‍ය විදිහට වර්ණ සකසා ගනිමින් සාමාන්‍ය ඡායාරූපයක් විදිහට සංස්කරණය කරන එකයි.

මම මේ උදාහරණ දීලා තියෙන්නේත් මම දුරකථනයෙන් ගත්තු ඡායාරූප පෙලක්. මේ තියෙන්නේ මම අවසන් කල ඡායාරූපය.

මතක තියාගන්න අපි ගන්න ඡායාරූප පෙල බොහොම ප්‍රවේසමෙන් ගත්තා නම් අපිට අවසානය ගොඩක් හොඳ ඡායාරූපයක් සකසා ගන්න පුළුවන්.
ජංගම දුරකථනයෙන් ගත් පැනොරාමා ඡායාරූප..

මේ තියෙන්නේ එහෙම හදපු ඡායාරූප ටිකක්...
ගෝලීය පැනොරාමා ඡායාරූපයක්...
Nikon D90 කැමරාවකින්
ජංගම දුරකථන කැමරාවකින්
මේ වගේ ඡායාරූප තවත් බලන්න මෙන්න මේ ලින්කුවෙන් මගේ facebook පිටුවට යන්න...
https://www.facebook.com/290947054418927/photos/?tab=album&album_id=451910734989224

මේ ලිපිය ගැන ගුණදොස් යෝජනා තියෙනවා නම් කමෙන්ටුවක් විදිහට දාන්න. ලිපියේ උදව්වෙන් ‍ඉගෙන ගත්තු දේ කමෙන්ටුවක් විදිහට දාන්න.. ඔයාල පල කල තැනක ලින්ක් එකක් විදිහෙන් හරි කමක් නැහැ.. එහෙම නම් තව ලිපියක් ලියනකම් ජයවේවා ඔයාලට....


Thursday, September 15, 2016

මගේ ගමන් බිමන් අනූ හත්වැනි කොටස - ලවර්ස් ලීප් ඇල්ල_හාවාඑළිය

පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත්  වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.
 
 
 
 
මේ දිය ඇල්ලේ නම සැදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටිය කුමාරයෙක් මේ අවටින් යද්දී ඉතා ලස්සන තරුණියක් දැක ආදරයෙන් බැ‍ඳෙනවා. නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම් වැසියෙන් නිසාලු. කුලයෙන් හීනයන් සමඟ විවාහ වනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලාගන්න. කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම ‍එනවා. තවත් යාහැකි මඟක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සියදිවි හානිකරගන්නවාත ඒ නිසා මෙයට ආදරවන්තයින් පැන්න ඇල්ල එහෙමත් නැතිනම් ලවර්ස් ලීප් කියන නම ලැබුනේලු. ගම් වැසියන් කියන විදිහට නම් දිය ඇල්ල බලන්න හවස් යා‍මයේ යන එක නම් හොඳ වැඩක් නෙවෙයි.
 
 
 
 
 
දිය ඇල්ල පාමුලට එද්දී නුවරඑළිය නගරය අපූරුවට දකින්න පුළුවන්. ඒ කාලයේ සැමුවෙල් බේකර්ස් විසින් බියර් සැකසූ කර්මාන්ත ශාලාව අද නුවරඑළිය රෝහල ලෙස වෙනස් කර ඇති අතර ජේම්ස් ටේලර් විසින් තේ සිටවූ වතුයාය අදත් දැකිය හැක. අවට ගම් වැසියන්ගේ විවිධ වගාවන් අතරින් දිවෙන මාර්ගයෙන් සැදි දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා. ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් සිටි මේ දිය ඇල්ල අවට පරිසරය රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක්ම වන්නේය.
 

Sunday, August 21, 2016

මා දුටු ලාල් හෑ‍ගොඩ...

අත්දැකීම් ලියන මම කෙනෙකුගේ චරිතාපදානයක් ලියන්නේ කලාතුරකින්. නමුත් මේ අත්දැකීම මම ඔයාලට ලියුවේ නැතිනම් මගේ අත්දැකීම් වල ලොකු හිඩසක් තිබ්බා වගේ වෙනවා. මීට ගොඩක් කලින් ලියන්න හිටි ලිපියක් වුනත් මගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් වුන හෑගොඩ සර්ගෙන් ලැබෙන ඩිප්ලෝමාව අතට ලැබෙනකම් හිටියා. මෙන්න ඒ කතාව.
 
දැන් තිබෙන සමාජය කැමරාවත් අතින් ගත්තු කෙනෙක් ඡායාරූපශිල්පියෙක් වෙන එකක්. එහෙම සමාජයක ඒක වෙනස් කරල ඡායාරූප ශිල්පියා සහ කැමරාකාරයා කියල දෙන්නෙක් වෙන් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමාගේ ඉගැන්වීම් ඔස්සේයි. කලාව පියපුතු ආරයට ඇවිත් ඉගැන්වීමත් ඒ විදිහෙන්ම පිහිටපු අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමා තමයි.

1950දී ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකලා සංගමය ආරම්භ කරන විල්සන් හෑගොඩ ශූරීන් සිංහලෙන් ලංකාව පුරා සිටින්නවුන්ට ඡායාරූපකරණය හදාරන්න මඟ සලසන්න පුරෝගාමී වෙනවා. කැමරා සඟරාව ආරම්භ කරමින් එය රට පුරා ප්‍රචලිත කල එතුමා අගනුවර කවි සමාජය ඇති කිරීමේදීත් පුරෝගාමී වෙලා තියෙනවා.  කවි පොත් ලියා තිබෙනවා. එතුමා ගේ පුත් ලාල් හෑගොඩ ගුරුවරයෙක් වෙන්නේත් ඒ ආභාශයෙන්මයි.

ගරු නම්බුනාම රැසක් නමට යටින් දාන්න තිබුනත් හැමදාම ලාල් හෑගොඩකියල විතරක් පොතක ලියන කවියත් ඡායාරූප ශිල්පයත් දෙකක් නොව එකම මඟක දෙතැනක් කියල දකින නිහතමානී චරිතයක් නම් හෑගොඩ සර් තමයි. සර් කියන සර්ගේ කතාව මම කියන එක ලස්සන නෑ. සර්ගේ තාත්තගෙන් පටන් අරන් සර් පන්ති කරන අද දක්වා කියවෙන ඒ කතාව ආයේ ආයේ අහන්න ඒ දවසට පන්තියේ වාඩිවෙන්න තියේ නම් කියල හිතෙන වාර අනන්තයි. එක්දාස් නවසිය බර ගනන් වල කලුසුදු ඡායාරූපයකින් ආරම්භ වෙලා වර්ණ ලොකෙට විනාඩි කීපයකින් අරන් ආවත් ඒ විනාඩි ගාන අවුරුදු ගානක් එතැන හිටියා වගේම අහන්න හෑගොඩ සර් අපිව පොලඹවන්නේ කලාකාරයෙක් කියන්නේ කවුද කියල උදහරණයක් නොකියාම පෙන්වමින්.
පින්තූරයක් අරන් කොට්ටේ යන තියා ගන්න එපා. ඒක කාට හරි පෙන්වන්න ඕන. කොහේ හරි පල කරන්න. නැතිනම් ඒකෙන් වැඩක් නෑනේ කියන හෑගොඩ සර් ඡායාරූප ශිල්පය හදාරන අතරතුර තවත් කලාවන් හදාරන්න කියල උපදෙස් දීලා දවසේ පාඩමේ අතරතුර වෙනත් කලාවක් වෙනුවෙන් ඉඩහසර වෙන් කරනවා. කවියක්, සිංදුවක්, වේදිකා නාට්‍ය ගීයක්, නූර්තියක් අරන් ඇවිත් ඒක අපිට විඳින්න සලස්වලා අදම අලුතින් අහන්න වගේ විඳිමින් පුටුවට ගුලිවෙන්නේ අපිවත් ඒ රිද්මය තුල සම්පූර්නයෙන් අතරමං කරල ඔහුත් ඒ තුල ගිලෙමින්. පද පෙල අවසන එහි අරුත පදයෙන් පදය පහදන්නේ ඒ තුල වින්දනයේ උපරිව වශයෙන් යෙදෙන ගමන්මයි. විටෙක සිනාවත් විටෙක කඳුලු ඔහුගේ ඇසින් ගලද්දී එය පිසලා සැනින් ඊලඟ පද පෙල අතර ඒ කඳුල සඟවන්නේ කලාවට කල හැකිදේ උපරිම වශයෙන් උදාහරණ පෙන්වමින් විතරක්ම නෙවෙයි කලාකරුවෙකුට කලාව තුල කෙතරම් වින්දනයක් ලබන්න පුළුවන්ද කියලත් පෙන්වමින්.

හැමදේම Auto තියෙන කැමරාවකින් පින්තූරයක් ගන්න එක කජ්ජක්ද අහන ඔහු, කැමරාවේ සෙටින්ග්ස් එකක්වත් නොකියා අපිට කැමරාව පුරුදු කරන්නේ අපි කල යුතු මඟ නිවැරදිව පෙන්වන මාරගෝපදේශකයෙකු වගේ. පුංචි පුංචි ගෙදර වැඩ දෙන ඔහුගේ අභ්‍යාසයන් මුලින් කරද්දී හිතෙන්නේ වැඩුනු අපි මොකට මේක කරවද කියලයි. නමුත් ඒ තුල නිවැරදි ලෙස ගමන් කරද්දී අපි රාත්‍රී අඳුරේ ඉඳන් කෙමෙන් උදෑසන හිරු පායනවා වගේ දැනෙන්නට පටන් ගන්නවා. අවසන් පරීක්‍ෂණයේ ඡායාරූප අරන් ඉවර වෙද්දී ආරම්භයේ සහතික හොයාගෙන ආව අපිට අවසානයේ සහතිකයක් මොකටද කියලත් හිතෙනවා. 

එතැනින් ඩිප්ලෝමාවට අයදුම් කරන්න සුදුසුකම ලැබෙන අපි සර් කියන පින්තූර ගාන දෙන්න ඕන. ඒක තමා අමාරුම ටික දහස් ගානක් පින්තූර ගත්තා වුනත් ඒ පින්තූර ටික ගනිද්දී නම් දැනෙන්නේ කලාකරුවාගේ අභ්‍යන්තරය අතට අරන් පොලිෂ් කරනවා වගේ. ඒකනම් කජ්ජක්ද කියල හිතන අය හිටියත් සර්ගෙන් ඉගෙනගත්තු 10000කට ආසන්න ගානක සිසුන් අතර ඩිප්ලෝමා තියෙන්නේ 17යි (මම තමා 17වැනියා :P) ඒක පුරාජේරුවක් නම් නෙවෙයි ඒ කඩඉම පසුකරන කෙනෙකුගේ හැදෙන කලාව කොයිතරම් සියුම්ව තෝරාගන්නවාද ඔහු කලාකරුවෙක් ලෙස ලෝකයාට හඳුන්වා දෙද්දී ඔහු කෙතරම් පරෙස්සම් සහගතව ඔහු කලාකරුවෙක් ලෙස නිමවනවාද යන්නෙහි මිනුම් දන්ඩ එය කියලයි මම නම් හිතන්නේ. අමාරු පරීක්‍ෂණ අවසානයේ බිහිවෙන කලාකරුවා තුල නියමාකාර කලාකරුවකු තුල තිබිය යුතු සියලු දේ අන්තර්ගත කරන්න ඔහු මාස ගනන් අවුරුදු ගනන් ගත කරන ඩිප්ලෝමා අපේක්‍ෂකයා විවිධාකාර පරීක්‍ෂණ වලට භාජනය කරනවා. එය තේරෙන්නේ අවසන ජය ගත්තෙකුට විතරමයි කියලයි මට හිතෙන්නේ. 

රොබෝවෙක්, හදවතක් මනසක් ඇත්තෙකු කරන්න ක්‍රමානුකූල ඉගැන්වීම තුලින් මහත් වෙහෙසක් දරන ලාල් හෑගෙඩ ගුරු පියාණන් ඔහු නැතත් කලාව රකින්නට පොත් පත් ගනනාවක් ලියල තියෙනවා වුනත් ඔහු කරන ඉගැන්වීමේ අපූර්වත්වය විඳින්න නම් එතැන ඉන්නම ඕන. අපි ගන්න පින්තූරයක් ගුණ අගුණ කෙලින්ම කියල ඒක හදාගන්න හැටි කියාදෙන ගමන්ම ඒ පින්තූරයේ පසුබිම් කතාවත් අහන්න අමතක කරන්නේ නෑ. ඒ මගින් පින්තූරය ගන්න තව මංපෙත් කියාදෙනවා. පින්තූරය එතැනින්න නොනවත්වා එය කලාත්මක කරන්න මඟ පෙන්වන්න පටන් ගන්නේ ඊටත් පස්සේ. කෙ‍නා ගැන නොවී පින්තූරය ගැන කතා කරන සර් හිටිගමන් සමහර පින්තූර දිහා විනාඩි ගනන් බලන් ඉන්නේ එය විඳින ගමන්ම ඒ තුලින් නිර්මාණ කරුවාගේ වපසරිය මැනෙවින් හඳුනගන්න පුළුවන් නිසා වෙන්න ඇති කියලත් මට හිතෙනවා. 

මගේ ගුරුතුමාව මම දැක්කේ එහෙමයි..

Tuesday, August 9, 2016

මගේ ගමන් බිමන් අනූ හයවැනි කොටස - කටුගස් ඇල්ල_රත්නපුර

මිණිපුරය නැත්තම් රත්නපුරයට කීප වරක් ගිහින් තිබුනත් රත්නපුරයේ තියෙන දිය ඇලි බලල ඉවර කරන්න වුනේ නැහැ. මේ ගමන ගියේ එවැනි දිය ඇලි කීපයක් බලන්න හිතාගෙන. රත්නපුර ඉඳන් වෙරලුප හංදියෙන් හැරිල කිලෝමීටර 2.5 විතර යන්න ඕන. එතැන තියෙන පොඩි පාලම ගාවින් යන වාහන නම් නවත්තන්න වෙනවා. එතැන ඉඳන් මීටර 100ක් විතර ගුරු පාරක් දිගේ ඇතුලට යන්න ඕන. ගමේ කාගෙන් ඇහුවත් පාර දැනගන්න පුළුවන්.  කටුගස් දොලෙන් ඇතිවෙන මේ අපූරු දිය ඇල්ල පෝෂණය කරන්නේ ශ්‍රී පාද අඩවියේ ජල පෝෂක උල්පත් වලින්.
දිය ඇල්ල ලඟට යන එක නම් ලේසි නෑ. මොකද දිය ඇල්ලේ මීටරයක් විතර උස පහල කොටසක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ඒක තමයි අවසන කියල. නමුත් එතැනින් ගල් උඩින් පැන පැන යන ගමන ලේසි නොවුනත් ගමන අවසානයේ මීටර 6ක් උස කටුගස් ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. වර්ශාව අඩු කාලයේදී පහසු ගමනක් වුනත් වර්ශාව අධික කාලයේදී නම් දිය ඇල්ල ලඟට යනවා කියන්නේ ජීවිතය මරණය අතර සටනක්. මොකද ලිස්සන ගල් හා සැඩ වතුර කියන දෙක එකතු වෙලා ජීවිත ගනනක් බිලි අරන් තියෙන නිසා.
 
 
 
 
 
තැනින් තැන තියෙන ස්වභාවික පොකුණු වල නාන්න වුනත් පුළුවන්. දිය ඇල්ල පාමුලත් ලස්සන ස්වභාවික පොකුණක් තියෙනවා. ඒකත් නාන්න පුළුවන් තැනක්. නමුත් වතුර වැඩි කාලයේදී නම් ඒ වැඩේ සුදුසුයි කියන්න බෑ. ප්‍රදේශයේ අය වුනත් නාන්න එන මෙතැන මත්ද්‍රව්‍ය පාවිච්චි කරල පොලිතීන් විසි කරල විනාස කරල. මත්පැන් භාවිත කරල නම් මේ තැන යන්න හිතන්න වත් එපා. මොකද ඒ ගමන ඔයාලගේ ජීවිතය අවසන් කරන්න පුළුවන්. 
 
අපූරු සතුන් හා ගස් වැල් ඇති වම් වගේ තැන් වල සුන්දරත්වය විඳින්න. හැබැයි විනාස කරන්නේ නැතිව එන්න.

Sunday, July 24, 2016

මගේ ගමන් බිමන් අනූ පස්වැනි කොටස - කබ්බලේ කන්ද_කන්නෙලිය රක්‍ෂිතය

කාලයකට කලින් මගේ ගමන් බිමන් වලින් කන්නෙලිය රක්‍ෂිතය පැත්තේ ගියා මතක ඇතිනේ. අමතක අය මෙතැනින් ගිහින් බලන්න.... 1934දී රක්‍ෂිතයක් විදිහට නම් කල කන්නෙලිය රක්‍ෂිතය කලෙක සිංහරාජ වනාන්තර හා සම්බන්ධ වෙලා තිබුනාය කියලයි කියන්නේ. කන්නෙලායට යන මාර්ගය ගැන විස්තරය කලින් ලිපියේ තියෙන නිසා එතැන ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කන්නෙලියට ඇතුලු වුනාම විවිධ මංපෙත් ඔස්සේ යන්න පුළුවන්. ලඟම ලේසිම පාර වෙන්නේ අනගිමල ඇල්ල, ගුහාව හා යෝධ පුස්වැල මාර්ගයයි. යෝධ නවඳගස මාර්ගය තවත් එක් පැත්තකට දිව යනවා. නාරංගස් ඇල්ල මංපෙතේ යන්නේ අනගිමල ඇල්ල යෝධ පුස්වැල හා ගුහාව යන තුනම පහුකරගෙන නිසා ඒ ගමනේදි මේ සියල්ලත් බලන්න පුළුවන්. ඊලඟ මාර්ගය තමයි කබ්බලේ කන්ද මංපෙත කියන්නේ. එය තමයි දුෂ්කර මාර්ගය වෙන්නේ. කන්ද නගින එක ලේසි ගමනක් නොවන නිසාත් කැලෑව මැදින් දුශ්කර මාර්ගයක් තියෙන නිසාත් යන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. කාලයක් ති‍ස්සේ සැලසුම් කරල අවසානයේ අපිත් මේ ගමන යන්න තීරණය කලා.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම අපිට හමුවුන අමුත්තා තමයි බට ඇටිකුකුලා කියන කුරුල්ලා... {ශ්‍රී ලංකා බට ඇටි කුකුලා (වල් ඇටි කුකුලා) Green billed coucal(Centropus chlororhynchos)} මෙයා රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. අපි යද්දී මෙයා කූඩුවකත් හදමින් තමයි හිටියේ. ගස් අතර කූඩුව හදන නිසා ඡායාරූපයක් ගන්න ලේසි වුනේ නෑ...
ඊලඟට අපිට හමුවුනේ කවදත් කන්නෙලියේදී හමුවෙන සතෙක්. ඒ තමයි ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා. මෙයත් ලංකා‍වට ආවේණික සත්ත්ව විශේෂයක්.... {ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni)} එතැනින් ඉදිරියට ඇදුනු අපි ක්‍රමයෙන් වනාන්තරය ඇතුලට යන්න වුනා. සීග්‍ර කන්දක් තිබුන නිසාත් අපි ඡායාරූප ගනිමින් ගිය නිසාත් අපේ ගමන සිද්ධ වුනේ ගොඩක් හෙමින්. විවිධාකාරයේ සතුන් බලාගෙන කබ්බලේ කන්දේ පලවෙනි බෑවුමට එද්දී නම් දවල් වෙලා තිබුනා. එතැනින් දෙවැනි බෑවුම ‍එහෙමත් නැතිනම් මහ කබ්බලේට ඇවිත් ගිමන් නිවන තුරුම අපි වේගයෙන් ඇවිදින්න වුනා. කන්නෙලියට පායන කාලයක් නිසා කුඩා දිය ඇලි සියල්ලම වගේ හිඳිලයි තිබුනේ. කලින් ගිය අය දාල තිබුන ප්ලාස්ටික් හා පොලිතින් ආදියත් එකතු කරගෙන අපි ආයෙත් කන්ද බහින්න සූදානම් වෙද්දීම අපිට ඉදිරියෙන් ගසක ඇහැටුල්ලා පැටියෙක් ඇදෙන්න වුනා.. එයාගෙත් ඡායාරූප අරන් වේගවත් ගමනක් ආවේ ටිකක් හරි කලින් ඇවිත් අනගිමල ඇල්ල ලඟ ගිමන් නිවන්න හිතාගෙනයි.
 
යන එන අතරතුර අපට බාඳුරා ශාක, තාපස්සර බුලත්, කටු කිතුල් ශාක වගේ ශාක වර්ග දකින්න ලැබුනා. ඒවයේ විශේෂත්ව ආදිය අපේ මඟ පෙන්වන්නා කියාගෙන යද්දී ඒවා අහගෙන හිටි අපට ගමන් විඩාව අමතක වෙන විදිහේ දැනුමක් ලැබුනා. කටුස්සන්ගේ බිත්තර පුපුරන සමය නිසා කටුසු පැටවුන් විශිල ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනත් වැඩිහිටි අය නම් දකින්න ලැබුනේ අඩුවෙන්. කැන්ගරු කටුස්සා සහ අංකටුස්සාගේ පැටවුන් දෙ‍දෙනා සාමාන්‍යයෙන් එකම වාගේ නිසා හඳුනාගැනීම අපහසු වුනත් මගේ වාසනාවට වගේ දෙදෙනාගේම පැටවුන්ගේ ඡායාරූප ලබා ගන්න පුළුවන් වුනා. ලංකාවට ආවේණික තවත් සර්ප විශේෂයක් වුන වයිරි හාල්දණ්ඩෙක් {වයිරි හාල් දණ්ඩා Gunther's Bronze-Back (Dendrelaphis caudolineolatus)}අත්තක් උඩ හිටියේ අපිට ඡායාරූප ගන්න කියන්නම වාගෙයි. විවිධ කෘමි විශේෂත් ගෙම්බන් කීපයකුත් ඡායාරෑප අරන් අපි අනගිමල ඇල්ල ලඟට එද්දීත් හවස පහුවෙලා තිබුනා.  
 
 
 
 
 
ඔයාලත් යන්න විවිධ දේ හමුවෙයි. සුන්දරත්වය විඳින්න. විනාස නොකර ආයෙත් එන්න. මම ගත්තු ඡායාරූප ටික වෙනම තැනක දාපු ලින්කුවට මෙතැනින් යන්න. ආයෙත් ගමනකින් හමුවන තුරු හැමෝටම ආයුබෝවන්...

Friday, July 15, 2016

මගේ ගමන් බිමන් අනූ හතරවැනි කොටස - මූනංගල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ අප්‍රකට දියඇලි රැසක් තියෙන දිස්ත්‍රික්කයක්. මැණික් වලට සුප්‍රසිද්ධ වුනත් සොභාව සෞන්දර්ය අතින් අගතැන්පත් ප්‍රදේශයක්. මේ කියන්න යන්නේත් රත්නපුර දිස්ත්‍රික්‍කයේ මායිමේ පිහිටන සුන්දර දිය ඇල්ලක් ගැන. ඒ තමයි මූනංගල ඇල්ල. ඇහැලියගොඩ ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටර 3ක් විතර එද්දී බදුවත්ත හංදිය හමුවෙනවා. එතැනින් හැරිල අමුහේන්කන්ද පාරේ කිලෝමීටර 1.5ක් විතර ගියාම අපට මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
මේ දිය ඇල්ල ලඟ තියෙන කසිප්පු තිප්පොලවල් නිසා යන එන වාහන වුනත් කිසිවෙක් නැතිව දාල යන එක නම් එච්චර නුවනට හුරු නෑ. බයිසිකලයක් ත්‍රී රෝද රථයක් වගේ නම් පහසුවෙන් ඒ කිට්ටුවටම වගේ යන්න පුළුවන්. නැතිනම් ඉතින් 4 වීල් වාහනයක් තමයි.
කොහොම වුනත් අතිශය  සුන්දරත්වයක් තියෙන් මේ මීටර 10ක් විතර උස දිය ඇල්ල පාමුලටම යාමෙ ්හැකියාව නම් තියෙනවා. කැලේ මැදින් තියෙන නිසා මිනිසුන්ගේ ශබ්ද ඇහෙන්නේ නෑ. ඒ නිසාම ස්වභාවිකත්වය උපරි‍මයෙන් විඳින්න පුළුවන් තැනක්. 

මේ තැන් වලට ගිහින් ඒ තැන් විනාස කරන්නේ නැතිව සුන්දරත්වය රැකලා එන්න.

Sunday, July 3, 2016

ඡායාරූප කලාවේ Greatest area of Contrast සංයුතිය යොදාගැනීම

මේ කියන කාරණාව එක ජේදයකින් කියන්න පුළුවන් වුනත් එහි ඇති වටපිටාව සමඟ කතාකාව කලානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම පටන්න ගන්නම්.

ඡායාරූපයක contrast කියන වචනය හැමදාමත් අපට ඇහෙන දෙයක්. ඒත් කාගෙන් හරි ඇහුවොත් ඒ මොකක්ද කියල ඒකට හරි පිලිතුරක් ලැබෙන්නේ කලාතුරකින්.. හැමොම දන්නවා මේක හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් කියන්න නමුත් ඒක කොහොමද කියන්න පුළුවන් අය ටික දෙනයි ඉන්නේ. කන්ට්‍රාස්ට් එක සරලවම කිව්වොත් ඡායාරූපය තුල උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයයි. මේ පරාසය තුල හොඳ වෙනසක් ඇති කරගන්න පුළුවන් නම් හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් ලබාගන්න පුළුවන්. මේ තියෙන හුඟක් වචන කලු සුදු කලාවෙන් ආරම්භ වුන ඒවා නිසා උපරිම කලු හා උපරිම සුදු අතර පරාසය කියලත් තැනෙක සඳහන් වෙන්න පුළුවන්. වර්ණ වලට එද්දී එය වර්ණ පැහැයන් වෙන වෙනම ගත් කල වෙන වෙනම වර්ණ වල උපරිමයන් හා අවමයන් සලකන්න වෙනවා. නමුත් එහිදී අපිට සම්පූර්ණ ඡායාරූපයම Grey-scale එකක් බවට පත් කරගෙන අපේ ඡායාරූපයේ වර්ණ පරාසය එහෙමත් නැතිනම් contrast level එක බලාගන්න පුළුවන්. උදාහරණ විදිහට මම ගත්තු මේ ඡායාරූපයේ වර්ණ පරාසය බලන්න. වර්ණ එක හා කලු සුදු ආකාරයේදී වෙනස බලන්න.
දැන් අපි එමු දෙවැනි කොටසට.ඒ තමයි සංයුතිය එහෙම නැතිනම් Composition කියල දන්න කාරණාවට. අපි අපේ ඡායාරූපයේ සංයුතිය යොදාගන්නේ මිනිස් ඇස හා මිනිස් මොලය තේරුම් ගන්නා ආකාරය සියුම් ලෙස හඳුනගැනීමෙන්. මනෝවිද්‍යාත්මක කුමවේදයක් මගින් මේ සංයුතිය භාවිතා කරන ක්‍රම වල නිරවද්‍යතාව පරික්‍ෂා කරල තියෙනවා. අපි ගොඩක් දෙනා භාවිතා කරන සංයුතිය තමයි ත්‍රිත්වයේ රීතිය (Rule of thirds) කියන්නේ. ප්‍රශ්ණය වෙලා තියෙන්නේ අපි ගොඩක් දෙනා මේ ත්‍රිත්ව රීතිය දේවත්වයෙන් සැලකීම නිසා එය පමණයි රීතිය වගේ අදහසක් ඇවිත් තියෙනවා. නැතිනම් golden ratio, golden triangle, golden spiral වගේ ඒවත් ටික ටික භාවිතා වෙනවා. නමුත් අපි කලාතුරකින්‍ කෙනෙක් භාවිතා කරන සංයුති ක්‍රමයක් තමයි මේ කියන Greatest area of contrast කියන ක්‍රමය. මම කලින් ලිපියක සඳහන් කලා රීති පුරුදු වෙන්න පුසුව බිඳින්න පුළුවන් කියන කාරණාව. නමුත් රීතියක් බිඳීමෙන් පසු පවා ඡායාරූපය ඇති රාමුව තුල ඇති සංයුතිය මනාව පවත්වාගෙන යා යුතු වෙනවා. එහෙම නැතිනම් ඡායාරූපය තුල ප්‍රේක්‍ෂකයා රඳවා ගැනීම අපහසු වෙනවා.  rule of thirds බිඳිනවානම් අපිට භාවිතා කරන්න පුළුවන් සංයුතියක් තවත් තියෙන්න ඕන. මේ එයින් එකක්.

මෙතැනදී අපි කරන්නේ අපේ අරමුණ මතු කිරීම සඳහා ඡායාරූපය තුල ඇති සියලු වර්ණයන්හි ඇති වැඩිම වර්ණ පරාසය ඇති තැන තුලට ප්‍රේක්‍ෂකයාගේ ඇස ගෙන ඒම. අන්න එතැන අලට අරමුණ රඳවන්න පුළුවන්ත එහෙමත් නැතිනම් ක්‍රමයෙන් වර්ණ පරාසයන් තුලින්ම ඇස අරමුණ වෙත ගෙන යන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල දී අප පාලනය කරන්නේ ඡායාරූපයේ වැඩිම කන්ට්‍රාස්ට් එකක් තියෙන තැන නිසා අපි එයට Greatest Area of Contrast (GAC) කියල කියනවා. මෙය පැහැදිලි වෙන අයුරින් මම අන්තර්ජාලයෙන් උකහාගත් ඣායාරූප කීපයක් ඉදිරිපත් කරන්නම්. ඒවායේ සියලු අයිතිය එවායේ කතෘ සතුබව සලකන්න.


මා මෙහි සඳහන් කල පින්තූර වල දෙවැන්නේ රතු පැහැයෙන් සලකුණු කල තැන් හා පැහැ අන්තරයේ ගලායාම අධ්‍යයනය කර බලන්න.

මගේ පින්තූර මතක පිටුවට මෙතැනින්..... https://www.facebook.com/sulakkhanaphotography/

ස්තූතියි....