Pages

Monday, October 10, 2016

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

අද මගේ අත්දැකීම් අඩවියේ ඉඩ බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. ඒ තමයි මැක්‍රෝ ඡායාරූපකරණය.

අපි ගන්න ඡායාරූප සාමාන්‍යයෙන් ජීව ප්‍රමාණය වඩා කුඩායි. ඒ කියන්නේ කෙනෙකුගේ හෝ යම් දෙයක ඡායාරූපයක් ලබා ගත්තාම ඒක ඇත්ත අරමුණ සමඟ සසඳද්දී විශාලනය කුඩායි. අඩුම තරමේ මේ විශාලන ප්‍රමාණය 1:1 අනුපාතය තියෙනවා නම් අපි කියනවා ඒක මැක්‍රෝ ඡායාරූපයක් කියල. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි Macro සහ Closeup ඡායාරූප කියන වර්ග දෙක. ජීව ප්‍රමාණයෙන් 1/4ක් වෙන ඒ කියන්නේ 1:4 විශාලනයක් සහිත ඡායාරූපයක් නම් ඒකට අපි කියන්නේ closeup ඡායාරූපයක් කියලයි. නමුත් අපි පොදුවේ මේ දෙකම Macro ඡායාරූප ගොඩට දාලා තියෙනවා. ජීව ප්‍රමාණම හා ජීව ප්‍රමාණය වගේ 5ගුණයක් වෙනකම් ඡායාරූප Macro ගොඩටත් එතැනින් පස්සේ Micro ගොඩටත් මයික්‍රෝ මීටර වගේ කුඩා අරමුණ ඡායාරූප ගත කරන එක nano ඡායාරූප ගොඩටත් අයිති වෙනවා.


අපි කතා කරමු මෙතැන තියෙන closeup හා Macro ගැන. අපිට මේ දේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි මැක්‍රෝ ලෙන්ස්, Closeup Filters, Reverse Rings, Extension Tubes,  Bellows ආදිය. මේ ඇරුණාම තව ක්‍රම තියෙනවා. මේ DSLR වලට වුනාට දැන් දැන් දුරකථන කැමරා වලින් පවා Macro ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් වෙනම ලෙන්ස් එකක් හෝ කීපයක් භාවිතා කරන්න වෙනවා.

Macro Lens- මේ තමයි මිල අධික වඩා සාර්ථක ක්‍රමය. ලෙන්ස් එක ඒ වෙනුවෙන්ම සකසන නිසා වර්ණ අප්‍රේරණය, නාභිගත වීම හා වේගය, තියුණු බව අදිය උපරිමයෙන්ම රැක ‍ගන්න පුළුවන්.
විවිධ වර්ගයේ Macro Lens
Closeup Filters - මේවා තියෙන ලෙන්ස් එක ඉස්සරහට සවි කරන්න පුළුවන් විදිහේ අමතර ලෙන්ස් ටිකක්. මේක වෙනුවට අපිට අත්කාචයක් ලෙන්ස් එක ඉස්සරහ තියලත් ඡායාරූපයක් ගන්න පුළුවන්. නමුත් අත්කාච වල තියෙන ලෙන්ස් හදන වීදුරු නිවැරදි තියුණු බව හෝ වර්ණ අප්‍රේරණය වැලකීම කරන්නේ නෑ. නමුත් වෙන්නේ මොකක්ද බලන්න නම් පුළුවන්. Filters භාවිතා කරද්දී වෙන වැඩේ තමයි රාමුව ලෙවරට යද්දී බොඳවෙන්න බලන ස්වභාවයක් තියෙන එක. එකම තලයේ තියෙන අරමුණක් වුනත් මේ දේ වෙන එක වලක්වන්න අමාරුයි. නමුත් දැන් ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් වෙලඳපොලේ තියෙනවා. ඒකෙදී Distortions සහ වටේ සිදුවන අසාමාන්‍ය බොඳවීම් අවම කරල තියෙනවා.
Closeup Filter set
Closeup Filters
Closeup Filters ලෙන්ස් එකකට සවි වල අයුරු
ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් එකක්
Reverse Adapter - මේකත් බොහෝම ලාභ ක්‍රමයක්. සමහර අයෙක් Reverse ring කියල කියන්නේත් මේකම තමයි. ලෙන්ස් එක ගලවලා අනිත් පැත්තට හයි කරන්නයි තියෙන්නේ. Reverse Adapter එකක් බොහෝම ලාබෙට ගන්න පුළුවන්. නමුත් ඒ නැතත් අපිට ලෙන්ස් එක අනිත් පැත්ත හරවලා කැමරාවට තියල අතින් අල්ල ගෙන ඡායාරූපය ගන්න පුළුවන්. හැබැයි ඉතින් Aperture එක විවෘත කරන යාන්ත්‍රණයක් සකසා ගන්න වෙනවා. Nikon වලදී නම් ලීවර් එකක් තියෙන නිසා ඇඟිල්ලෙන් වුනත් ඒක අල්ල ගන්න පුළුවන්. කැනොන් වලදී නම් ටිකක් විතර කරදර වැඩ කරන්න වෙනවා. මොකද සියල්ල ඉලෙක්ට්‍රොනික් නිසා. ටිකක් විතර වියදම් කරන්න පුළුවන් නම් Automatic ඒවාත් වෙලඳපොලේ තියෙනවා. ඒවායේ නම් ලෙන්ස් එක කැමරාවත් එක්ක සබඳතාව රැක ගන්න යාන්ත්‍රණයක් තියෙනවා.
Manual Reverse Ring
විවිධ ප්‍රමාණවල ලෙන්ස් සඳහා Reverse Adapter සහ Automatic System එකක්

Automatic System එකක් සමඟ Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු
සාමාන්‍ය Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු

Extension Tubes - මේ ක්‍රමයත් සාපේක්‍ෂව ලාබදායී ක්‍රමයක්. ලෙන්ස් එක සහ කැමරාව අතරට මේ Tubes හයි කරල අපිට ඡායාරූප ගන්නයි තියෙන්නේ. වර්ග දෙකක් තියෙනවා. Manual සහ Automatic. Manual එකේදී ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතා නැති නිසා ටිකක් වැ‍ඩේ කරදරයි. අපි Aperture එක විවෘතව තියා ගන්න ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. Automatic එකේදී ලෙන්ස් එක කැමරාව එක්ක සබඳකම් තියෙන නිසා වැඩේ ටිකක් පහසුයි. මේවා එකක් හෝ කීපයක් වශයෙන් කැමරාවට සවි කරන්න පුළුවන්. නමුත් මේවා භාවිතා කරද්දී ආලෝකය නම් සෑහෙන පුමාණයක් අඩු වෙන නිසා වෙනම ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්න කියන එක නම් මතක් කරන්නම ඕන.
Manual Extension Tube set
Automatic Extension Tube set

 Extension Tube set එකක් කැමරාවට සවිකර ඇති අයුරු
Extension Tube set එකක් කැමරාවට සවිකර වන අයුරු
Bellows - මේකත් Extension Tubes වගේ ක්‍රියාත්මක වෙන එකක්. නමුත් මෙහි වාසිය තමයි අපිට ටියුබ් වල දිග වෙනස් කරන්න පුළුවන් ක්‍රම කීපයක් එහෙම නැතිනම් අගයන් සීමිත ගනනක් වෙනුවෙන් විතරයි. නමුත් Bellows භාවිතා කරද්දී අපිට කැමති අයුරින් දිග වෙනස් කරගන්න පුළුවන්. මේකෙදිත් අපිට වෙනම ආලෝකයක් අවශ්‍ය වෙනවා.
Bellow එකක්
Bellow එකක් මගින් ලෙන්ස් එකක් කැමරාවට සවිකර ඇති අයුරු
මේ විදිහෙන් කැමති ක්‍රමයක් හෝ ක්‍රම කීපයක් එකතු කරල වුනත් භාවිතා කරන්න පුළුවන්. ඒ මොන විදිහක් භාවිතා කරල වුනත් අපි ගන්න ඡායාරූපය විශාලනය ප්‍රමාණය අනුව Macro ද Closeup ද කියල තීරණය වෙනවා. 

පුළුවන් තරම් ත්‍රිපාදයක් හෝ වෙන ආධාරකයක් භාවිතා කරන්න. මොකද කුඩා සෙලවීමක් වුනත් අපි අරමුණ විශාල කරල ගන්න නිසා විශාල වශයෙන් ඡායාරූපයට හානි කරන්න පුළුවන්. 

දුරකථනයෙන් මේ වැඩේ කරන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් වෙනමම නිපදවපු ලෙන්ස් වර්ග තියෙනවා. හැබැයි පරණ CD/DVD එකකින් ගලවපු ලෙන්ස් එකක් ‍එහෙම නැතිනම් පරණ කැමරාවකින් ගලවපු ලෙන්ස් එකක් දුරකථන කැමරාව ඉදිරියෙන් තියා ගත්තා නම් අපිට මේ දේ ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රඳවා ගැනීමට යාන්ත්‍රණයක් හදා ගන්න වෙනවා.
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක්
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක් දුරකඖනයට සවිකර ඇති අයුරු
දුරකථන කැමරා සඳහා වෙනත් උපකරණයකින් ගලවා ගත් ලෙන්ස් එකක් භාවිතා කරන අයුරු
දුරකථන කැමරා සඳහා වූ ඉක්මනින් වෙනස් කල හැකි Macro Lens පද්ධතියක්
මීට අමතරව අවශ්‍ය ආලෝකය ලබා දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ ගැනත් දුරකථන කැමරාව වෙනුවෙන් ලෙන්ස් එකක් හදන හැටි, මැක්‍රෝ ඡායාරූප සඳහා ආලෝකකරණය, මැක්‍රෝ ඡායාරූප වල විශේෂ ගුණාංග හා සාර්ථක මැක්‍රෝ ඡායාරූපයක් ලබාගන්නා හැටි ඉදිරියේ ලිපි කීපයක් විදිහට ලියන්නම්. එතකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න Follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුළුවන් තැන් ලින්ක් කරන්නම්. ස්තූතියි.


* උපකරණ වල ඡායාරූප අන්තර්ජාලයෙනි.....

Friday, October 7, 2016

මට නැති උන්ට ඇති තැන.............

මෙය ලියන්දෝ නොලියන්නදෝ සිතමින් කලක් ගතවුන සිද්ධියකි. මා සතුව එක්තරා බැංකුවක ගිණුමක් පැවතුනි. එය දැන් හිස්ය. මා මේ කියන දිනය වෙද්දීත් එයට අවුරුදු 8ක පමණ කාලයක් වයසය. කරුමය නම් පොත කලිසම් සාක්කුවේ දමා එය රෙදි සෝදන යන්ත්‍රයේ අපූරුවට සෝදා ඇත. එයට හේතුවද මා සෑම වෙලාවකදීම සිටිනා මනෝ ලොව යැයි මට සිතේ. වරෙක සතෙකු ගැනත් තවත් වරෙක කැමරාවක් ගැනත් ඒවායේ හීන බිඳින රස්සාව ගැනත් මතක් කරමින් ගෙවෙන මනෝ ලෝකයෙන් මිදී යලි එද්දී පොතක් වෙනුවට පාවෙන ‍පෙඟුන කොල කෑලි ටිකක් ඉතිරිය. බැංකුව වෙත ගොස් පොත ඉල්ලා ඉල්ලීම් රැසකි. අවංක වශයෙන් කල ඇත්ත ප්‍රකාශය වැරදී ඇති සෙයක් මට හැ‍ඟේ. කෙසේ හෝ වේවා පැරණි පොතකුත් රැගෙන වරින් වර ගොස් කල ඇවිටිලි වලට කන් දුන් කළමණාකරු අවසන මා හට පොතක් දීමට එකඟ විය.
දැන් වැඩේ හරි.. මට හිතුනේ එහෙමයි. පාස් පොත රැගෙන එය අත්සන් කිරීමට අදාල තැනට කිට්ටුකලෙමි. අහෝ දුකකි වයස 35-40 අතර ගැහැණු කෙනෙකි. පරිඝණක තිරය දකුණට හැරවී ඇත. එක එක යතුරු ඔබමින් විනාඩි කීපයක් තිස්සේ එය නිවැරදි කරගැනීමට වෙර දරන ඇය දුටිමි. මගේ මට තිබූ පුටුවක වාඩි කරවා ලඟ තිබුණු කණුවට හේතුත වුනෙමි. මා බලා සිටින අතර ඇය පරිඝණකය හා හරි හරියට ඕටටු වන්නේ තිරය නැවත නිවැරදි ආකාරයට සකස් කරගැනීමටය. මිනිත්තු පහක් පමණ ගතවිය. ලඟ මේසයේ වැඩ කරන තවත් කිහිප දෙනෙක් එකතු විය. පලක් නැත ඔවුන් සතුව ඒ දැනුම නැති හෙයකි. 

මා සිතින් දැන් කරයි දැන් කරයි මට‍ මේක අත්සන් කරන් යන්න යැයි සිතමින් ලතවෙමින් සිටියෙමි. ඇය එතැනින් යාමට පැමිණි තරුණ බැංකු සේවකයෙකුටද අමතා උදව් ඉල්ලා සිටියයාය. ඔහු යන්තම් උසස් පෙල ලියූ තරම් යැයි මට සිතේ. දැන් දැන් එතැන පස් හය දෙනෙකි. පරිඝණකය නැවත පණ ගන්වා බැලුවෝය. අවසන එකා දෙන්නා හෙමින් හෙමින් තමන්ගේ වැඩ වලට මෙන් මග හැර යන්නට පටන් ගත්ත‍ෝය. ඇයගේ මුහුණේ එකම කරුණකි. මා අද වැඩ කරගන්නේ කෙසේද?

මිනිත්තු විස්සක පමණ කාලයක් මේ සෙල්ලමේ ඉම කොන බලා සිටි මට දැන් ඉවසීම නැත. මා එතැනට ගොස් "මම උදව් කරන්නද?" අසන ඇසිල්ලේම යතුරු තුනක් ඔබා ක්‍ෂණයකින් එය සකස් කලෙමි. ඇයගේ සුසුම් වැටුනේ එවිටය. මොකද කලේ අහද්දී මා එය කල හැටි පෙන්වා දී මට මෙන්න මේක අත්සන් කරල දෙන්න යැයි පැවසුවෙමි. අත්සනට ගියේ යන්තම් තත්ත්පර කීපයකි. ඔවුන්ගේ ස්තූති අසන්නය නොසිටි මම බැංකුවෙන් එලියට ආවේ ස්තූති නොලැබෙන බව දන්නා නිසාවෙනි. සිතේ එකම පැණයකි. පරිඝණක යෙදවුම් දැනුම ඇති උන් ඉල්ලා රැකියාවට ගන්නා මොවුන් මෙවැනි සුලු දෙයක් වත් දන්නේ නැතිද? රැකියාවේ සම්මුඛ පරීක්‍ෂණ කෙසේ සමත් වුනිද? 

උපාධිය ලබා වසර කීපයක් ගතවන්නට ආවද මෙවැනි රැකියා ස්ථානයක් නම් මට නොලැබෙන්නට ඇත්තේ පිනකට දැයි මට සිතේ. මා ද මෙහි රාජකාරි කරයි නම් අනිත් වුන් මා ගැන සිතන්නේද මේ දැනුම මට්ටමින්ම විය හැක. සතුටු වෙමි... මා සිතමි. මෙය හුදෙක් මා ලද එක් අත්දැකීමක් පමණි. විවිධ ආයතන වල මෙවැනි අත්දැකීම් රැසකි. ඒවා ලියන්නට දිවනක මට සිතෙනු ඇත. එ දින වෙන තුරු මෙතැනට ඇවිත් බලන්න. ජය.....

Wednesday, October 5, 2016

කුරුල්ලන් ඡායාරූපගත කිරීම හා කුරුළු ශබ්ද කෘතිමව ඇති කිරීම

ඡායාරූප ශිල්පීන් කුරුල්ලන්ගේ හෝ වෙනත් වනජීවීන්ගේ ඡායාරූප ගන්න එක දැන් දැන් ගොඩක් දකින්න පුළුවන්. නමුත්  ගොඩක් දෙනා ඒ ඒ වනජීවීන් ගැන අධ්‍යයනය කිරීම කියන දේ කරන්නේ බොහෝම අඩුවෙන්. මම නම් හිතන්නේ ඡායාරූප ශිල්පියෙන් වනජීවියෙකුගේ ඡායාරූපයක් ගන්න කලින් ඒ සතා ගැන සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කරනවා නම් තමයි හොඳ. ඔවුන්ගේ ජීවන රටාව, විවිධ කාලයන්, ගැහැණු පිරිමි සතුන්, නිජබිම්, ආවේණික බව හෝ තර්ජිත සතුන්ද යන වග ආදිය වි‍ශේෂ වශයෙන් ඉගෙන ගන්නවා නම් තමයි හොඳ. 
හුඟක් අය දැන් කරන්‍නේ කුරුල්ලන් සඳහා වූ ඔවුන්ගේ ශබ්ද පටිගත කර ගත් උපකරණයක් භාවිතා කරල තමන් ඉන්න තැනට කුරුල්ලන් ගෙන්ව ගන්න එක. මේ දේ බොහෝම භයානක තත්ත්වයක්.

කුරුල්ලකු නාද කරන අවස්ථා කීපයක් තියෙනවා. මෙයින් ප්‍රධාන වෙන්නේ සතුරකු තමන්ගේ භූමියට ඇතුලුවීමේදී ඔවුන් පලවා හැරීම හෝ තම රංචුවට ඒ පිලිබඳ දැනුම් දීමට කරන හැඬවීම. අනික තමයි කිරිල්ලියන් තමන් වෙත ගෙන්වා ගැනීම සඳහා කරන හැඬවීම්. මේ දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ දෙකම භාවිතා නොකරනවා නම් තමයි හොඳ. මම නම් දකින්නේ කුරුල්ලෙකු අධ්‍යයනයෙන් තොරව ලේසියෙන් ඡායාරූප ගැන පමණක් හිතන ශිල්පියෙක් නොවන ශිල්පියෙකුගේ ක්‍රියාවක් කියලයි. මේ දේ කරද්දී පවා සදාචාරාත්මකව විරුද්ධ දේවල් ගොඩක් මම දකිනවා.

කුරුල්ලන්ගේ ශබ්ද ශ්‍රවණය හොඳනිම තියෙන නිසා මේ දේ කරද්දී සාමාන්‍ය කුරුල්ලා නාද කරන ශබ්දයට වැඩි ශබ්ද භාවිතා නොකල යුතුයි. එය ප්‍රධාන ගැටලුවක්.. මොකද එහෙම වුනාම ඈතක ඉන්න කුරුල්ලෙකු වුනත් තමන්ගේ භූමියෙන් ඉවත් වෙලා එන්න පුළුවන්.
දෙවැනි කාරණාව තර්ජනයට ලක්වූ විශේෂ හෝ වඳවී යන විශේෂ සඳහා පවා මෙම ක්‍රමය භාවිතා කිරීම. 

කුරුල්ලන්ගේ සීමාභූමි වලට ඔබ්බෙන් මේ ශබ්ද භාවිතා කර වෙනත් අපගේ ඡායාරූප ලබාගැනීමේ පහසු ප්‍රදේශ වෙත කුරුල්ලන් ගෙන්වා ගැනීම. 

දිගින් දිගටම ශබ්ද නිකුත් කිරීම.

මේ වගේ දේවල් කලාම වෙන්නේ කුරුල්ලන් තම වාසභූමි වලින් එලියට ඇවිත් විලෝපිකයන්ට ගොදුරු වෙන එක. නිතර මේ වැඩේ කලාම වෙන්නේ අර අපි පොඩි කාලේ අහපු "කොටියා එනවෝ කියල කෑ ගහපු ගොපලු ලමයාට වුන දේ" අන්තිමේ ඇත්තටම කිරිල්ලිය ශබ්ද කලා වුනත් ඔවුන් නෑවිත් ඉන්න බලනවා. තවත් දෙයක් තමයි අපි යොදන ශබ්දය විලෝපි කුරුල්ලෙකුගේ නම් අනිත් කුරුල්ලන් ඒ වාස භූමි හැරයන්න බලනවා. මේ වගේ දේවල් වලින් වෙන්නේ සතුන් බය වෙන එක. 
 
කුරුල්ලන් ඡායාරූපගත කරන අය කුරුල්ලන් අධ්‍යයනය කරන එක තමයි හොඳම වැඩේ. ඉන්න තැන බිත්තර දාන කාලය, සංසර්ග කාලය, කිරිල්ලිය හා රඟන රංගභූමි අාදී දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. පස්සේ ඒ ඒ තැන් වල දුරස්ථ පාලනය සහිත කැමරා අටවන්න පුළුවන්. නැතිනම් හොඳන් පරිසරයට අනුගත වන අයුරින් සැඟව ඉන්න පුළුවන්. මේ කොයිදේ කලත් කුරුල්ලෙක් හොඳට ඡායාරූපගත කරන්න නම් ඉවසීම කියන දේ උපරිම අයුරින් තියෙන්න ඕන.

බලාගෙනයි පින්තූරය ගන්නේ අවසන් කුරුල්ලා වෙන්න පුළුවන්. නැතිනම් කුරුල්ලාගේ අවසන් පැය වෙන්න පුළුවන්.
 

Wednesday, September 21, 2016

උණ හැදුනත් නිකන් ගේ ඇතුලේ විවේක ගන්න බැරි හැටි

ටිකක් විතර උණ අරන් අඩුවුනා විතරයි. ටිකක් කිව්වේ 102ට විතර. මට ඉතින් ඉන්න බෑනේ නලියනව. ඉතින් වෙන කවරදාකදී වගේ මම අදත් මගේ දුප්පත් කැමරාවත් අරන් වත්ත පිටියේ ඇවිද්දේ අලුත් දේවල් ඇති කියල බලාපොරොත්තුවෙන්. මගේ තනියට මාත් එක්ක කවදත් ගියේ Nikon D90 කැමරාව. Macro Lens එකක් ගන්න හීේ තාමත් හැබෑ කරගන්න බැරි වුන නිසා වෙනසකටත් එක්ක අනිත් ලෙන්ස් පැත්තක දාල Nikkor 50mm 1.8G එකයි 68mm extension tube set එකයි අටවගෙන Tripo TR-950 speed light එකත් අටවගත්තා. ටිකක් එහේ මෙහේ යද්දි හම්බුනා two-striped jumper (Telamonia dimidiate) පිරිමි සතෙක්.. පින්තූර ගනිද්දී තේරුණා මෙයා ටිකක් මගේ තියෙන ලයිට් එකෙන් ආලෝකමත් කිරීම සාර්ථක මදි කියල. ඉතින් මම කලින් හදපු Light controllers එක්ක ට්‍රයි කරල බැලුවා. හරි ගියේ නැහැ. මොනවා වුනත් කමක් නැහැ කියල පටන් ගත්තා අලුත් එකක් හදන්න.

 
මගේ කැමරාවයි ගැජට් ටිකයි
මුලින්ම හදපු light director එක ටිකක් බරයි ඒ නිසා අයින් කලා
දෙවැනියට හැදූ එක සාර්ථකයි නමුත් 18-105mm ප්‍රමාණයේ ලෙන්ස් එකකට
අලුතින් හැදූ එක ඉතා සාර්ථකයි


විනාඩි 15ක් 20ක් විතර යද්දි මම මගේ light control diffuser එකත් අරගෙන එද්දී ටිකක් විතර කණගාටුදායක දෙයක් වෙලා. ඒ තමයි මම පින්තූර ගන්න බලාගෙන හිටපු two-striped jumper Spitting Spider (Scytodes lugubris) කෙනෙක් එයාගේ ගොදුර බවට පත්කරගෙන. ගොදුර ඔතපු විදිහ දඩයම භක්‍ෂණ විදිහ නම් Spitting Spiderට විශේෂයි.

කොහොම වුනත් දෙන දෙයියෝ ගෙදරට ගෙනත් දුන්නා වගේ මම අනිත් වැඩ පැත්තක දාල ගොදුරු වුන කෙනෙගෙයි ගොදුරු කල කෙනාගෙයි පින්තූර ටිකක් ගත්තා. අවසානයේ දී වත්ත පුරා විවිධ සත්තු පින්තූර අරන් කලුවර වැටෙද්දී ගෙට ගොඩවුනේ අසනීපකාරය ගෙයි ඉන්නේ නැතුව පින්නේ ඇවිදල මොකක් හරි කරගනිං කියල ආදර වදනින් සංග්‍රහ කලාට පස්සේ තමයි. =D

මෙන්න ගත්තු පින්තූර කීපයක්





සොබාදහම අපූර්වව වන්නේ අප එය දෙස බලා සිටීමෙන් නොව අප එය තුල ජීවත් වීමෙනි.

Wonder of nature is felt by living within it not by watching.



Friday, September 16, 2016

පැනොරාමා එකක් එහෙම නැතිනම් පරිදර්ශන ඡායාරූපයක් හදාගන්නේ කොහොමද?

දන්න අය පැත්තක තියල නොදන්න අයට මුලින්ම කියන්නම් පැනොරාමා ඡායාරූප කියන්නේ මොනවද කියල. පැනොරාමා කියන්නේ අපි දකින විශාල පලල් දර්ශනයක් ඡායාරූපගත කර ගන්න එකට. ඒ වගේ ඡායාරූපයක පළල හා උස අතර අනුපාතය සාමාන්‍යයෙන් 2:1, 4:1 හෝ 10:1 වගේ වුනත් භාවිතා වෙනවා. පළල වැඩි මෙන්ම උස වැඩි පැනොරාමා නිර්මාණත් දැන් දැන් දකින්න පුළුවන්. අංශක 360ක් වන පැනොරාමා ඡායාරූපත් දකින්න පුළුවන්. ‍දැන් දැන් ගෝලීය ඡායාරූපත් දකින්න පුළුවන්.

පැනොරාමා ඡායාරූපයක් ගන්න විශේෂ වුන උපකරණ තියෙනවා. ඒ වෙන්වෙන්ම සැකසූ ලෙන්ස්, ත්‍රිපාද වැනි උපකරණ තියෙනවා. නමුත් අපි දන්න දුරකථන වල හා පොඩි කම්පැක්ට් වර්ගයේ කැමරාවල පැනොරාමා කියල සැකසුමක් තියෙනවා. එය භාවිතා කරල එකවර අවසන් සැකසුමේ ඇති පැනොරාමා එකක් ගන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් පැනොරාමා එකක් ගනින්දී අපි ඡායාරූප කීපයක් එකිවනක අතිපිහිත වෙන විදිහට ගන්නවා. උදාහරණ විදිහට මේ පහල පින්තූර පෙල වගේ.
මේ පින්තූර ගනිද්දී පරිස්සම් වෙන්න ඕන දේ තමයි එක පින්තූරයට තියෙන පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි කොටසක් අනිත් පින්තූරයේ තියෙන්න ඕන. දැන් නම් මේ පින්තූර ටික Photoshop අලුත් version එකක් භාවිතා කරල පහසුවෙන් සකස ගන්න පුළුවන්. නමුත් ඉස්සර එකින් එක අරන් බොහෝම සීරුවට තියල හදාගත්තේ. ඒ විදිහට සකස් කල අවසන් පින්තූරය වමන්න මේ වගේ වේවි.

ඵලවෙනිම දේ නිවැරදිව ඡායාරූප ටික ගන්න එක. ගොඩක් හොඳයි ත්‍රිපාදයක් භාවිතා කරනවා නම්. නමුත් එහෙම නැතත් බොහෝම සීරුවෙන් ඡායාරූප ගත්තා නම් පහසු වේවි.

ලිපියේ වැදගත්ම දේ තමයි දුරකථන කැමරා හෝ කුඩා කම්පැක්ට් කැමරා වර්ග භාවිතා කරන අය ඒකේ තියෙන ලේසි ක්‍රමය වෙනුවට වෙන වෙනම ඡායාරූප අරන් අතිපිහිත කරල ඡායාරූපය සකස් කරන්න බලන්න. ඉස්සර ආපු සමහර කැමරා වල පැනොරාමා හදන්නේ වීඩියෝ එකක් වගේ රෙකොඩ් කරල අවසානයේ එය තුල අතිපිහිත කරල. ඒ නිසා ඡායාරූපයේ ගුණාත්මක බව ගොඩක් අඩු වෙනවා. දැන් දැන් නවීන තාකෂණය තිබුනා වුනත් සාර්ථකත්වය වැඩි ඡායාරූප පෙලක් අරන් පසු සැකසුමක් කරගන්න එක තමයි.

මෙන්න මේ විදිහෙන් ගත්තු ඡායාරූප ටික Photoshop වලට ගන්නේ මෙන්න මෙහෙමයි.‍
File --> Automate --> Photomerge කියන ඔප්ෂන් එක භාවිතා කරල විවෘත කරගන්න ඕන. එතැනදී අපි  පැනොරාමා එක වෙනුවෙන් ගත්තු සියලු පින්තූර select කරල විවෘත කරගන්නවා.


දෙවැනුව layout එක තොරාගෙන Blend images together කියන තැන සකතුණු කරල OK කරන්න ඕන. මෙතැනදී මම භාවිතා කරන්නේ Auto කියන Option එක. දැන් Ok කලා නම් Photoshop වලින් මේ පින්තූර ටික එකක කරල දෙනවා. එතැනදී Layers ගොඩක් හමුවෙන නිසා වැඩි වැඩ දාන්න කලින් ඒ ටික Select කරල Ctrl + E එහෙමත් නැතිනම් right click කරල Merge Layers කියන එක select කරා නම් හරි. දැන් ඔයාල ගාව තනි පින්තූරයක් තියෙනවා.

ඊට පස්සේ Edit Transform කියන එක භාවිතා කරල ඇද නිවැරදි කිරීම් සහ Filter --> lens correction භාවිතා කරල Distrote වෙලා තියෙන තැන් ටික නිවැරදි කර ගන්න පුළුවන්. දැන් අවශ්‍ය crop එක දාල අඩුපාඩු තැන් තියෙනවා නම් clone stamp tool එක භාවිතා කරල හරි ඒ තැන් select කරල Edit --> Fill කියන එකේ content Aware කියන තැනින් හරි සකස් කරගන්න පුළුවන්.
මෙන්න මේ විදිහෙන් තමයි අපට ඡායාරූපය ලැබෙන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ අවශ්‍ය විදිහට වර්ණ සකසා ගනිමින් සාමාන්‍ය ඡායාරූපයක් විදිහට සංස්කරණය කරන එකයි.

මම මේ උදාහරණ දීලා තියෙන්නේත් මම දුරකථනයෙන් ගත්තු ඡායාරූප පෙලක්. මේ තියෙන්නේ මම අවසන් කල ඡායාරූපය.

මතක තියාගන්න අපි ගන්න ඡායාරූප පෙල බොහොම ප්‍රවේසමෙන් ගත්තා නම් අපිට අවසානය ගොඩක් හොඳ ඡායාරූපයක් සකසා ගන්න පුළුවන්.
ජංගම දුරකථනයෙන් ගත් පැනොරාමා ඡායාරූප..

මේ තියෙන්නේ එහෙම හදපු ඡායාරූප ටිකක්...
ගෝලීය පැනොරාමා ඡායාරූපයක්...
Nikon D90 කැමරාවකින්
ජංගම දුරකථන කැමරාවකින්
මේ වගේ ඡායාරූප තවත් බලන්න මෙන්න මේ ලින්කුවෙන් මගේ facebook පිටුවට යන්න...
https://www.facebook.com/290947054418927/photos/?tab=album&album_id=451910734989224

මේ ලිපිය ගැන ගුණදොස් යෝජනා තියෙනවා නම් කමෙන්ටුවක් විදිහට දාන්න. ලිපියේ උදව්වෙන් ‍ඉගෙන ගත්තු දේ කමෙන්ටුවක් විදිහට දාන්න.. ඔයාල පල කල තැනක ලින්ක් එකක් විදිහෙන් හරි කමක් නැහැ.. එහෙම නම් තව ලිපියක් ලියනකම් ජයවේවා ඔයාලට....


Thursday, September 15, 2016

මගේ ගමන් බිමන් අනූ හත්වැනි කොටස - ලවර්ස් ලීප් ඇල්ල_හාවාඑළිය

පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත්  වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.
 
 
 
 
මේ දිය ඇල්ලේ නම සැදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටිය කුමාරයෙක් මේ අවටින් යද්දී ඉතා ලස්සන තරුණියක් දැක ආදරයෙන් බැ‍ඳෙනවා. නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම් වැසියෙන් නිසාලු. කුලයෙන් හීනයන් සමඟ විවාහ වනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලාගන්න. කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම ‍එනවා. තවත් යාහැකි මඟක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සියදිවි හානිකරගන්නවාත ඒ නිසා මෙයට ආදරවන්තයින් පැන්න ඇල්ල එහෙමත් නැතිනම් ලවර්ස් ලීප් කියන නම ලැබුනේලු. ගම් වැසියන් කියන විදිහට නම් දිය ඇල්ල බලන්න හවස් යා‍මයේ යන එක නම් හොඳ වැඩක් නෙවෙයි.
 
 
 
 
 
දිය ඇල්ල පාමුලට එද්දී නුවරඑළිය නගරය අපූරුවට දකින්න පුළුවන්. ඒ කාලයේ සැමුවෙල් බේකර්ස් විසින් බියර් සැකසූ කර්මාන්ත ශාලාව අද නුවරඑළිය රෝහල ලෙස වෙනස් කර ඇති අතර ජේම්ස් ටේලර් විසින් තේ සිටවූ වතුයාය අදත් දැකිය හැක. අවට ගම් වැසියන්ගේ විවිධ වගාවන් අතරින් දිවෙන මාර්ගයෙන් සැදි දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා. ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් සිටි මේ දිය ඇල්ල අවට පරිසරය රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක්ම වන්නේය.