Pages

Monday, November 28, 2016

දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස

හැමෝම හිතන්නේ Macro ඡායාරූප ගන්න නම් DSLR එකක් තියෙන්නම ඕන කියලයි. ඇත්තටම එහෙම ඕන වෙන්නේ නෑ. දැන් තියෙන Smart Phones වල තියෙන කැමරා හොඳ Resolution එකක් තියෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දුරකථන කැමරා සඳහා සැකසුන හොඳ Apps තියෙනවා. ඒවායින් අපට අවශ්‍ය පරිදි දුරකථන කැමරාවේ පවා සැකසුම් කරන්න පුළුවන්. සමහර වෙලාවන් වලදී දුරකථන කැමරාවේ Resolution එක DSLR එකකට වඩා වැඩි අවස්ථාත් දැන් තියෙනවා.

උදාහරණයක් විදිහට මේ ඇප් ට්‍රයි කරල බලන්න.

Android සඳහා :


-------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------
Macro ඡායාරූපය් ලබාගන්න දුරකථන කැමරාවෙන් පුළුවන්ද? ඇත්තටම කියනවා නම් දුරකථන කැමරාවෙන් අපට ලංවෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට ආසන්න ප්‍රමාණයක්. අපිට කැමරාවෙන් දීපු Macro Mode එක දාගෙන වුනත් ඒ සීමාවේ ඡායාරූප ගන්න එක සාර්ථක මදි. මොකක්ද මේ Macro Mode එක කියන්නේ. ඇත්තටම Macro Mode එක භාවිතා කලාම වෙන්නේ කැමරාවේ Focus point එක සලකන Pixels ගාන අඩුවෙන එක. ඒ නිසා අපට කුඩා දෙයක් Focus කරගන්න පහසුයි. මුලින්ම Mobile එකෙන් මැක්‍රෝ ඡායාරූප ගන්න අය කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි Macro Mode එකට දාල උත්සාහ කරන එක.

දෙවැනි පියවර විදිහට දුරකථන කැමරාව උඩ පැත්තට හරවලා ඒක උඩින් වතුර බිංදුවක් තියා ගන්න. දැන් ප්‍රවේශමෙන් කැමරාව අනිත් පැත්ත හරව ගන්න. මතක තියා ගන්න ගොඩක් ලොකු වතුර බිංදුවක් තියාගන්න ඒපා. වතුරේ පෘෂ්ඨික ආතතිය නිසා පොඩි වතුර බිංදුව අර්ධගෝල හැඩය අරන් ලෙන්ස් එකක් විදිහට ක්‍රියා කරනවා. දැන් ඉතින් අරමුණට ලංවෙලා පින්තූර ගන්න තමයි තියෙන්නේ.

මෙතනින් එහාට යන්න ඕන නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි eBay එකේ තියෙන ‍අමතර ලෙන්ස් කට්ටලයක් ගෙන්ව ගන්න එක. සාමාන්‍යයෙන් ලෙන්ස් තුනක් විදිහට තියෙන මේ කට්ටලයක් රුපියල් දෙතුන්සීයකින් ගෙන්ව ගන්න පුළුවන්. ඒක Macro, Wide Angle හා Fisheye කියන ලෙන්ස් තුන තමයි තියෙන්නේ. කැමරාවේ මාදිලිය අනුව වුනත් අපිට හොඳ ලෙන්ස් එකක් ගන්න පුළුවන්. කැමරාවට බොහෝම පහසුවෙන් සවි කරන්න පුළුවන් වෙන්න හදපු මේ ලෙන්ස් එක දෙවැනි පියවර විදිහට ඉදිරියට යන්න වැදගත් වෙනවා. මේ ලෙන්ස් එක එක්ක ගොඩක් වැඩ කරන්න පුළුවන්. අරමුණට ලංවෙන එක හා ඉවසීම තමයි ඕන කරන්නේ. මේක භාවිතයට දෙන්න තියෙන මුල්ම උපදෙස තමයි පලවෙනි අරමුන විදිහට ගහක්, මලක්, රෙද්දක රටාව, අකුරු, කාසියක් වගේ නිශ්චල අරමුණක් තෝරගන්න. පසුව හොඳින් නාභිගත කිරීම පුරුදු වුනාම සතුන් ඡායාරූපගත කරන්න උත්සාහ ගන්න.

ඊලඟ ක්‍රමය තමයි වෙනමම ලෙන්ස් එකක් හදාගන්න එක. මේක නම් වඩා සාර්ථකයි වගේම අපි හදාගන්න ලෙන්ස් එක අනුව ඡායාරූපයේ ගුණාත්මකභාවය රඳා පවතිනවා. ඒ නිසා වැඩේට ඕන උපකරණ හොයාගනිද්දී පරිස්සම් වෙන්න. හොඳම දේ හොයා ගන්න බලන්න.

අපිට මේ වැඩේ කරන්න ලෙන්ස් එකක් ඕන වෙනවා. මේ අමතර ලෙන්ස් එක ගන්න පුළුවන් තැන කීපයක් මම මෙතැන සඳහන් කරන්නම්. 

* පරණ CD/ DVD Player එකක් ගලවලා ඒකේ Head එකේ තියෙන ලෙන්ස් එක ගන්න ආරම්භය සාර්ථක කරගන්න පුළුවන්.

* පරණ කැමරාවකින් ලෙන්ස් එකක් ගලව ගන්න. පරණ Film කැමරාවක් නම් වඩා සාර්ථක වෙයි කියල හිතනවා. නැතිනම් Compact කැමරාවකින් වුනත් සාර්ථක අමතර ලෙන්ස් එකක් හදා ගන්න පුළුවන්.

* පරණ DSLR එකකින් ගත්තු ලෙන්ස් එකක්. මේක නම් ගොඩක් සාර්ථකයි. මොකද ලෙන්ස් එකේ quality එක ගොඩක් වැඩි නිසා.

* ලේසර් ටෝච් එකකින් ගලවගත්තු ලෙන්ස් එකක්.

* ඇස් කණ්ණාඩියක ලෙන්ස් එකක්

* දුරදක්නයකින් ගලවාගත්තු උපනෙත ලෙන්ස් එකක්

* අත්කාචයක්
 
 

මේ විදිහට ගලව ගන්න ලෙන්ස් එක කැමරාවට හයි කරන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා. මොකද දුරකථනය අල්ලගෙන, සෙටින්ග්ස් හදාගෙන, පින්තූරය ගන්න ගමන් ලෙන්ස් එක අල්ලන්න විදිහක් නැති නිසා. ඒකට පොඩි ලෙන්ස් එකක් නම් කොණ්ඩ කට්ටක ලෙන්ස් එක හිර කරලා ලෙන්ස් එක කැමරාව ඉස්සරහ හිටින විදිහට තියල ගම්ටේප් එකකින් අලව ගන්න පුළුවන්. ලෙන්ස් එක ලොකු නම් ඉලාස්ටික් පටියකින්, Hand Band එකකින් වගේ ලෙන්ස් එක දුරකථන කැමරාව ඉදිරියෙන් තියල හිරගන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ක්‍රමයකින් වුනත් ලෙන්ස් එක දුරකථන කැමරාව ඉදිරියේ තියාගන්න ඕන. ඒකෙදි මතක තියා ගන්න ලෙන්ස් එක හා කැමරාව අතර දුර නැති තරමට තියා ගන්න බලන්න. නැතිනම් පින්තූරය වටේ රවුමක් වගේ ලෙන්ස් එක පේනවා විතරක් නෙවි පින්තූරය පුරාම මීදුම බැඳුනා වගේ පේන්න ගන්නවා. පුළුවන් තරම් විශ්කම්භය වැඩි එකක් ගන්න පුළුවන් නම් ඒ ‍දේශයක් මඟහැරගන්න පුළුවන්.

 
 
 

මේ සියල්ල සකස් වුනාම අවසන් ප්‍රථිඵලය සාර්ථක කරගන්න පුළුවන්. නමුත් අපි අරමුණට ලංවෙන විට ආලෝකය ලැබීම සීමා වෙනවා. ඒකට හේතුව වෙන්නේ අපේ දුරකථනයේ සෙවනැල්ල නිසා අරමුණ ආවරණය වීම. මේකට විසඳුමක් විදිහට කෘතීම ආලෝකය සපයන්න වෙනවා. ඒ සඳහා නිවෙසක භාවිතා කරන චෝච් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ හැරුණාම Table Lamp එකක් වගේ වෙනත් ඕනෑම දෙයක් භාවිතා කරන්න පුළුවන්. Power Bank එකක් එක්ක USB Light එකක් ගත්තානම් ඕන තැනක භාවිතා කරන්න පුළුවන්.

මේ සියල්ල, ඉවසීම හා මනා පුහුණුව මගින් සාර්ථක Macro ඡායාරූපයක් දුරකථනය භාවිතයෙන් ලබාගන්න පුළුවන්. දුරකථනයේ මිල හැරුණාම මේ වැඩේ සාර්ථකව කරන්න ලෙන්ස් එක, කෘතීම ආලෝකය ආදිය ලබාගන්න සාමාන්‍යයෙන් රුපියල් 1000කට අඩු මිලකින් පුළුවන්. ඒ නිසා හැමෝටම වැඩේ උත්සාහ කරල බලන්න පුළුවන්. 

අවසානයේ මොබයිල් එකෙන්ම එඩිට් කරන්න පුළුවන් සාර්ථක ඇප් එකක් භාවිතයෙන් එඩිට් කලා නම් වැඩේ මොබයිල් එක හරහාම ඉවර කරන්න පුළුවන්. උදාහරණ විදිහට මෙන්න මේ ඇප් එක භාවිත කරන්න.
 


එහෙම නම් ආයෙ ලිපියකින් එනකම් හැමෝටම ජයවේවා....

* ඡායාරූප අන්තර්ජාලයෙනි...

Tuesday, November 15, 2016

Super Moon එහෙමත් නැත්තම් සුපිරි සඳ

හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.
පෘථිවිය වටා සඳ යන ගමන් මාර්ගය හැමදාම එකම මාර්ගයක් නෙවෙයි. එය තරමක් වෙනස් වෙනවා. ඉලිප්සීය මාර්ගයක සූර්යයා වටා යන පෘථිවියේ ගමනත් පෘථිවිය වටා ඉලිප්සීය මාර්ගයක සිදුවෙන සඳේ ගමනත් ඒකට බලපානවා. ඉලිප්සීය ම‍ඟ ගමනේදී පෘථිවියට ආසන්නවම සඳ ගමන් කරන විට අපට සඳ මඳක් විශාලව ආලෝකය වැඩියෙන් දිස්වෙන්න පුළුවන්. නමුත් එසේ විශාලත්වය වැඩියෙන් දිස්වීම සඳහා තවත් යමක් සිදුවිය යුතුයි. ඒ තමයි ඒ දිනය පුරහඳ ඇති දිනයක් වීම. අඩ සඳක අපට මේ සංසිද්ධිය බලාගන්න බැහැ. ඉතින් මේ කියන කරුණු කාරණා දෙකම එකවර ඇති වෙන්නේ කලාතුරකින් කියල කියන්න පුළුවන්.සුපිරි සඳ කියන අවස්ථාවක් විදිහට සලකන්න නම් හඳ කිලෝමීටර 361,524ක ප්‍රමාණයට ලඟින් යන්න ඕන.
මම කිව්වානේ මේකේ විරුද්ධ සංසිද්ධියකුත් තියෙනවා ඒකට කියන්නේ Micro Moon කියලයි. මේ අවස්ථාවේදී සඳ සාමාන්‍ය අවස්ථාවට වඩා පොඩියටයි පේන්නේ. ඒකත් අපිට දකින්න නම් පුරහඳ ඇති දවසක් විය යුතු වෙනවා. 
හඳ මෙහෙම ලඟට එන්නේ කලාතුරකින්ද? ඒකට උත්තරේ නැහැ කියන එක. එක් අවුරුද්දකට පස් වතාවක් හය වතාවක් විතර හඳ ලඟින යනවා. නමුත් මේ තරම් විශාලත්වයක් ලැබෙන්නේ කලාතුරකින්. Super Monn කියන්නේ මෙන්න මේ පස් හය වතාවක් වෙන සිද්ධියට. මේ නම ජොතිශ්‍යයේ එන සංසිද්ධියක්. නමුත් Perigee කියන එක වෙන්නේ බොහොම කලාතුරකින් අවුරුදු ගානකට එකයි.
1948 ජනවාරි 26 වෙනිදාට පස්සේ අවුරුදු 68කින් තමයි නැවත සිද්ධ වුනේ. ඒ 2016 නොවැම්බර් 14 වැනිදා. ඒ කිලෝමීටර 356509ක් දුරට ඇවිත්. දීප්තිය සාමාන්‍ය අගයට වඩා 30%ක් වැඩී. ආයෙම මෙහෙම සිද්ධියක් වෙන්නේ 2034 නොවැම්බර් 25 වැනිදා කාලෝමීටර 356448ක් දුරට ඇවිත් ඉතින් මෙදා පාරට වඩා ලොකු හඳක් 2034දී බලාගන්න පුළුවන් වෙයි.
ගොඩක් අය නොවැම්බර් 14 හඳ බලල කියන කතාවක් තමයි කිසි වෙනසක් නැහැ කියන එක. නිතර සඳ බලන කෙනෙකුට හැරෙන්න එහෙම වෙනසක් දකින්න අමාරුයි. වෙනස කියන්නේ සාපේක්‍ෂ දෙයක් නිසාවෙන්. කොහොම වුනත් මේ වතාවේ හඳ ඡායාරූපගත කරල අයට වෙනස දකින්න තව අවස්ථාවක් තියෙනවා හැබැයි ඉතින් ඒකට ට්කක් මහන්සි වෙන්න වෙනවා. මුලින්ම කියන්න ඕන හ‍ඳේ පින්තූරයක් ගන්නවා නම් තවත් වස්තුවක් රාමුව ඇතුලේ තියන්න බලන්න (Astro photograph එකක් නෙවෙයි නම්). එහෙම වුනාම සැසඳීම පහසු වෙනවා. නැතිනම් ගත්තු පින්තූරය එක්ක තව මාසයකින් හෝ දෙකකින් ආයේ ඡායාරූපයක් ගන්න. පරණ තැනම කැමරාව කලින් නාභිය දුරම භාවිතා කරන්න. අන්න එතකොට පළමු වැන්න එක්ක සසඳන්න පුළුවන් විශාලත්වය කොහොමද කියල. කලින් සෙටින්ග්ස් වලම ති‍යන්න පුළුවන් නම් දීප්තිය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන් වෙයි. රාමුව ඇතුලේ ගවත් වස්තුවක් (කණුවක්, ගොඩනැගිල්ලක කොටසක්) තිබුනොත් රාමුව සකස් කරගැනීම පහසු වෙනවා විශාලනය හා කෝණය සලකන ‍වෙලාවේදී. 

Full Moon - පුරහඳ
New Moon - අමාවක
New Moon Super Moon:  9 March 2016
New Moon Super Moon:  7 April 2016
New Moon Super Moon:  6/7 May 2016
Full Moon Super Moon:   16 October 2016
 Full Moon Super Moon:   14 November 2016
 Full Moon Super Moon:   14 December 2016 

මේ සිදුවෙන සංසිද්ධිය අපිට භෞතික වශයෙන් බලපාන්න පුළුවන්. ඒ එකක් තමයි වඩදිය බාදිය ඇතිවීමේ සිදුවන වෙනස. සඳ ලංවෙන නිසා එහි ඇති ගුරුත්වයේ බලපෑම වැඩි වෙනවා. ඒකෙන් වඩදිය මට්ටම් ඉහල යනවා. මේ හේතුව නිසාම විශාල ප්‍රමාණයේ මුහුදු රල ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුනාමි තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. නමුත් එහි වැඩිම බලපෑම ඇති වන්නේ ‍සුපිරි සඳ ඇතිවීමේදී එය අහස මුදුනේ දිස්වන පිරිසටයි. මීට අමතරව අපේ ශරීරයෙන් වැඩි කොටසක් තියෙන්නේ ජලය නිසාවෙන් අපටත් පොඩි පොඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය, සිහින පෙනීම, කේන්තියාම වැඩිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ලටත් හේතුව හඳ නිසා ඇතිවන ගුරුත්ව වෙනසයි. ‍මෙය මිනාසාට පමණක් නොවෙයි සතුන්ටත් එලෙසින්ම සිදුවෙන්න පුළුවන්. කොහොම වුනත් සුිරි සඳ ඇතිවීමේ සංසිද්ධිය නිසා බොහෝමයක් ජීවයේ වෙනස්කම් සිදුවෙනවා.
* ඡායාරූප අන්තර්ජාලයෙනි..

Monday, November 14, 2016

පින්තූරයකට අරුතක් දෙමු............

අද කතා කරන පින්තූරය මා මිත්‍ර රොහාන්ත අයියාගේ පින්තූරයක්. ඔහුගේ කැමැත්ත මත සංස්කරණය කිරීම සඳහා මුල් සේයාරුව ලබා දීම සම්බන්ධව ස්තූතිය පලකරන්න කැමතියි.

පින්තූරයක් ගත්තාම ඒක ගනිද්දීම සංස්කරණයන් කර හෝ නොකර අපි අවසන් ප්‍රථිඵලය දැකිය යුතුයි. එය රාමුව සකස් කරද්දීම කරන්න පුළුවන් දෙයක්. නමුත් ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක අභ්‍යාසයන් අවශ්‍ය වෙනවා. නමුත් ආධුනිකයෙකුට ඒ දේ කරන්න වෙන්නේ පසුව. ඒ වෙනුවෙන් හොඳම රාමුව ඡායාරූපයට අරගෙන එන්න වෙනවා. වැදගත්ම කාරණාව තමයි රාමුව සකස් කිරීම. කැමරා කෝණය නිවැරදිව අඩුම තරමේ විශාල රාමුවක් අරන් ආවොත් ක්‍රොප් එකකින් වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මෙහෙම ගද්දී අපි හිතන එකම අපි ඇහින් දැක්ක එකම ගන්න එක කැමරාවේ හැකියාව එක්ක වෙනස් වෙනවා. ලාභ කැමරාවක් එක්ක ලොකු දෙයක් කරන්න අමාරුයි. ඉතින් මම මේ කියන මගේ මිත්‍ර රොහාන්ත අයියටත් Dynamic Range එක හරස් වෙලා කියල හිතනවා. කොහොම වුනත් අවසාන ප්‍රථිඵලය ලෙස ගෙනාව ඡායාරූපයෙන් වැඩක් ගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි කරන සංස්කරණය එක්ක. ඉතින් මම හිතුවා මේක මම දැක්ක විදිහට සංස්කරණය කරල පෙන්වන්න. කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ ටිකක්. මීට වඩා වෙනස් ක්‍රම අනන්ත තියෙනවා. ඒ නිසා මේක වැරදියි කියල කියන්නේ නැතිව ඒ ක්‍රමය කමෙන්ට් එකක් දාන්න.

ඔක්කොටම කලින් මුල් ඡායාරූපය පෙන්වන්න කැමතියි. මට මේක RAW ආකාරයේ ගොණුවක් විදිහට ගමයි ලැබුනේ. මම සංස්කරණය කරන්නේ මගේ තියෙන Laptop Screen එකෙන් නිසා අවසන් ඡායාරූප වල එලිය අඳුර ඔයාලට පේන විිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් සංස්කරණය කරන්න ගන්න Calibrate කරපු Monitor එකක් නම් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. මතක තියා ගන්න හැම සංස්කරණයක්ම තමන්ට ඇති කියල හිතෙන ප්‍රමාණයෙන් නවත්ත ගන්න. මේ මම කල ප්‍රමාණය.
මේ වගේ පින්තූරයකට පණ පොවන්න ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් ‍මම මුලින් දැක්ක ක්‍රමය මේක. 

මුලින්ම Camera Raw හරහා පින්තූරය විවෘත කරගෙන ඒකෙ මූලික සංස්කරණයක් කලා. විශේෂයෙන් Shadows, Highlights සහ Black, White වෙනස් කරන එක ප්‍රධාන වශයෙන්ම කලා. අතින් දේවල් නම් ඇසේ ප්‍රියතාවය මත තමයි වෙනස් කලේ.
මෙතැනින් මූලික සංස්කරණයක් කලාට පස්සේ Open Image කියන එක දෙන්න පුළුවන්. එතැනින් පස්සේ Adjustment Layer එකක් විදිහට Levels වෙනස් කරන්නයි මම හදන්නේ. Adjustment Layer එකක් භාවිතයේ වැදගත්කම වෙන්නේ අපිට වෙනමම ලේයරයක් විදිහට කල වෙනස්කම ලැබෙන නිසා Mask එකක් විදිහට අපිට කරන වෙනස්කම තියෙන ප්‍රමාණ පරාසයන් හා ත්‍රීව්‍රරතාව ආදිය වෙනස් කල හැකි වීම. 
ඊට පස්සේ Adjustment Layer එකක් විදිහට කලු සුදු ඡායාරූපයක් බවට මේක පත් කරගන්න පුළුවන්. නමුත් මම මෙතැන භාවිතා ‍කලේ Camera Raw Filter (Ctrl + shift + A or Filter--> Camera Raw filter) එක. එතැන Saturation අවම කලාම අපිට කලු සුදු පින්තූරයක් ලැබෙනවා. නැවතත් එතැන කලු සුදු අන්තරයේ වෙනස්කම් ටිකක් මේ පින්තූර‍යේ පෙන විදිහෙන් වෙනස් කරන්නේ අපිට හොඳ යැයි හැ‍ඟෙන ප්‍රමාණයට.
නැවතත් levels සඳහා Adjustment Layer එකක් භාවිතා කරල සුදු පැත්ත වැඩි කලා. මිනිසාගේ මුහුණට ලැබෙන ආලෝකය නවත්තන්න මිනිසා සහ මගේ අරමුණ වුන කරත්තය Mask එක භාවිතා කරල නැවත තිබුන තත්ත්වයේ තියාගත්තා. මේ වැඩේ කීප පාරක් කරල අපිට රාමුවේ එලිය අඳුර නිවාරදි පාලනයක තියා ගන්න පුළුවන්. 
දැන් අපි ගාව යම් තාක් දුරකට සංස්කරණය වුන ඡායාරූපයක් තියෙනවා. ඊලඟට මම කරන්න හිතන්නේ මට අවශ්‍ය කොටස් ටික මතු කරගන්න විදිහක්. ඒ තමයි බර අදින දෙදෙනා කරත්ත පෙල හා කඩ පෙලේ සටහනක්. මේ වැඩේ කරන්න මම අලුත් ලේයර් එකක් අරන් ඒකට 50% ක් අලු පාටින් පුරව ගන්නවා. ඒ සඳහා Layer --> New -->Layer (Ctrl + Shift + N) වලින් අලුත් ලේයරයක් හදාගෙන Edit --> Fill (Shift + F5) කියන එකේ contents වල 50% Grey තෝරගෙන Ok කලි නම් හරි. දැන් ලේයර් ස්ටයිල් එක overlay වලට දාගන්න. එත‍කොට අපි දාපු අලුපාට ලේයරය පේන්නේ නැති වෙලා යනවා. 
දැන් අපි ගත්තු අලුපාට ලේයරය උඩ අපිට Dodge Tool එකයි Burn Tool එකයි භාවිතා කරල අපිට සුදුපාට තැන් සහ කලුපාට තැන් විකක් හදාගන්න පුළුවන්. අවශ්‍ය විදිහට Tool එකේ Exposure value එක හදාගෙන කලාම අපිට හොඳන් පිරියම් කරන්න පුළුවන්. මම ඒ ඒ වෙනස් කල කරන තැන් ටික මේ පින්තූරයේ සටහන් කලා.
මේ වැඩේ කීප වතාවක් අලුත් ලෝයර් කීපයක් අරන් කලා. එතකොට මෙන්න මේ වගේ තත්වයකට පින්තූරය ගේන්න පුළුවන්. ඒ ගමන් Layer Mask භාවිතා කරල අවශ්‍ය තැන් වලට ලැබෙන වෙනසේ ප්‍රමාණයන් ආදිය වෙනස් කලා.
ඊට පස්සේ නැවතත් ලෙවල්ස් සකස් කරල අවසන් නිමාවකට ගේන්න පුළුවන්.
මෙතැන මිනිසාගේ කකුල් වල තියෙන කලු අඳුරු ගතිය මුහුවුන කන්ට්‍රා්ට් එක අඩු කරන්න මම අලුත් ලේයරයක් අරන් ඒකට ආසන්න දුඹුරු පාටක් පුරව ගත්තා. Layer style එක Screen කියන එකට දාල Opacity හා Fill එකෙන් අවශ්‍ය තත්ත්වයට සකස් කලා. දැන් මෙන්න මේ විසදිහට පින්තූරයක් ලැබෙනවා.
මෙන්න මුල සහ අවසන් පින්තූර අතර වෙනස...

මෙතැනී මම මතු කරන්න උත්සාහ ගත්තේ මෙන්න මේ රතු පාට කල ටික. පොලවේ වතුර වලවල් ටික, පිටුපස කරත්තටික, මිනිසා සහ සහායක, කඩ පේලිය හා එහි සිරස් රේඛා ටික, මිනිසා සහ කරත්තයේ සෙවනැල්ල.
Portaiture, Nise Reduction වගේ Plugings භාවිතා කරල, Shadows, Highlights ආදිය වෙනස් කරල, Levls සකස් කරල අපිට තව තවත් සංකීර්ණ විදිහට මේක සංස්කරණය කරන්න පුළුවන්. හැබැයි මේ කොයි දේ කරන්නත් අපි තුල ආරම්භයේ මේ පින්තූරයේ අවසන් ප්‍රථිඵලය හෝ එහි කොටසක් චිත්ත රූපයක් විදිහට මවන්න පුළුවන් වෙන්න ඕන.

මේ කල දේ බොහෝම පුංචි වැඩක්. Photoshop වැඩකාරයෙකුට මීට වඩා දේවල් කරන්න පුළුවන්. නමුත් ආධුනික ඡායාරූප ශිල්පියෙකුට මේ වගේ දැනුමක් එක්ක හොඳ වැඩක් කරන්න පුළුවන්.

ප්‍රශ්ණ ගැටලු හෝ වෙනයම් අදහස් තියෙනවා නම් කමෙන්ටුවක් විදිහට ලියාගෙන යන්න. Facebook හරහා වුවද කමෙන්ට් පලකිරීමට පහලින් ඉඩ සපයලා තියෙනවා. 
ස්තූතියි.

Saturday, November 12, 2016

Extension Tube එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද? දන්න සිංහලෙන් Macro Photography - දෙවන කොටස

Extension tube එකක් හදන හැටි එක්කම මම මේක කරන්න අඩිතාලම දාපු හැටිත් කියන්න හිතුනා. ‍මොකද මේ වගේ දෙයක් කරන එක වගේම එහෙම දෙයක් හිතන එකත් ලොකු වැඩක් නිසා. මගේම කියල DSLR කැමරාවක් අරන් අවුරුද්දක් විතර ගතවෙද්දී මට හිතෙන්න පටන් ගන්නවා අලුත් දෙයක්. ඒක අලුත් වෙන්නේ කැමරාව හා එහි තාක්‍ෂණික පැත්ත අධ්‍යයනය ආරම්භ වීම හා භෞතික විද්‍යාවේ මම ඉගෙන ගත්තු කාච හා ආලෝකය පිළිබඳ පාඩම් මතකයට එද්දී. එදා ඉඳන්ම භෞතික විද්‍යාවට ආස වුනේ ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතන්නේ.
කැමරාවේ සාමාන්‍ය ලෙන්ස් එක වුන 18-105mm ලෙන්ස් එකත් 55-300mm කියල ලෙන්ස් එකකුත් තිබුන මට අරමුණ වුන වස්තුවට ලංවෙන එකට තවමත් සීමා තිබුනා. මම බැලුවේ අරමුණට ලංවෙන එක ගැන සහ අරමුණේ විශාලනය වැඩි කරන්න. ටිකෙන් ටික පුංචි උන්ගේ ලෝකයට ලංවෙන්න හිතුනත් කැමරාව ඒකට හරස් වුනා. Macro Photography කියල දෙයක්වත් හරි හැටි නොදැන හිටි නිසා හොයල බලන්නවත් විදිහක් තිබුනේ නැති තරම්. මේ අතරේ මට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. තාරකා සංගමයක ක්‍රියාකාරී සාමාජිකයෙක් වුන මට විශාලනය කියල දෙයක් අහන්න ලැබෙනවා. ඒක කරන්න ලෙන්ස් දෙකක් ඕන. මේ කරුණ ගැන හිතනකොට Single Lens Reflex කියන එක හරහට ඇවිත් කරදර කරනවා. ඉතින් විශාලනය ගැන ඉගෙන ගන්න මට ලෙන්ස් එක හා සෙන්සරය අතර දුර වැඩි කිරීම කියල සංකල්පයක් පහල වෙනවා. මේ තමා ආරම්භය. ඒකට ක්‍රම හොයද්දී හමුවුන විසඳුම තමයි මම මුලින්ම ඔයාලට කියා දෙන ක්‍රමය. ඊ්ට අමතර ක්‍රම කීපයක් පසුව සඳහන් කරනවා ලිපියේ අග වෙද්දී.
වම Canon දකුණ Nikon
Extension Tubes භාවිතා කරන්න කලින් දැනගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි Nikon කැමරාවක් නම් ඇපෙචරය භාවිතා වෙන්නේ ලීවර ක්‍රමයකින්. ලෙන්ස් එක ගලවලා පිටුපස තියෙන ලීවරය තල්ලු කලාම ඇපෙචරය විවෘත කරන්න පුළුවන්. මෙය අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවක කරන්න පුළුවන්. ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතාව නැති නිසා අපිට මේක වෙනම කරන්න වෙනවා. (දැනට) Canon සමාගමේ නම් මේ සියල්ල ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට තියෙන නිසා නිවැරදිව ලෙන්ස් එක හයි කරල අවශ්‍ය ඇපෙචර අගය දෙන්න ඕන. කැමරාව On එකේ තියෙද්දීම ලෙන්ස් එක ගලවගත්තාම අපි නැවත නිවැරදි ආකාරයෙන් ලෙන්ස් එක සවි කරන තුරුම තීරණය කල අැපෙචර් අගයේ තියා ගන්න පුළුවන්. අපිට ඒක වෙනස් කරන්න නම් නැවත නිවැරදිව සවි කරලා ඇපෙචර අගය වෙනස් කරල ගලව ගන්න වෙනවා.
මුලින්ම හොයාගන්න ඕන ‍දේ තමයි අඟල් දෙකක් විතර විශ්කම්භය තියෙන කාඩ්බෝඩ් බටයක්, එහෙම නැතිනම් ප්ලාස්ටික් වතුර ගෙනියන බටයක්. ලෝහ නම් භාවිත නොකරන්නයි මූලික අවවාදය. මොකද කැමරා බ‍‍ඳේ තියෙන සම්බන්ධක වල ගෑවුනොත් වැඩේ වන වෙනවා. පරණ කඩදාසි රෝල් වල එන කාඩ්බෝඩ් බට එහෙම නැතිනම් ටොයිලට් පේපර් එකක මැදින් එන කාඩ්බෝඩ් බටේ මේ වැඩේන නියම ගාන.
 
මෙන්න තියෙනව අවශ්‍ය දේවල් දැන් වැඩේට බහිමු. මුලින්ම මේ බටයෙන් අවශ්‍ය දිග කපා ගන්න ඕන. මම මුලින් ලිපියේ කිව්ව මතක ඇති විශාලනය ගැන සම්බන්ධයක්. අන්න ඒ විශාලන ප්‍රමාණය -තීරණය -වෙන්නේ මෙන්න මේ බට කෑල්ලේ දිග සහ ලෙන්ස් එකේ නාභිය දුර එක්ක. අපි පාවිච්චි කරන කාචය හිතන්න 18-105mm (මම මුලින් භාවිත කල කාචය) නම් අපිට 105 නාභිදුර එක්ක උපරිම වශයෙන් 105mm දිග බට කෑල්ලක් භාවිතා කරන්න පුළුවන්. ඒක වෙන හැටි මෙතැන පැහැදිලි කරන්න යන්නේ නැත්තේ මේක භෞතික විද්‍යාව පාඩමක් නොවන නිසා. හැබැයි 105mm දිගක් භාවිතත කල ගමන් ලෙන්ස් එක මැද තමයි වස්තුව තියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් උපරිමය 70mm වගේ භාවිත කරන්න පුළුවන් මේ ලෙන්ස් එක එක්ක. 
මතක තියා ගන්න ලෙන්ස් එක එක්ක හයි කරන බටය දිග වැඩි වෙද්දී විශාලනය වැඩි වෙනවා. ඒ එක්කම ක්‍ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. ඒ නිසා නාභිගත කරගන්න දරන වෙහෙස වැඩියි. ආරම්භය හැටියට 40mm විතර භාවිතා කරල closeup පින්තූර වලට උත්සාහ කරල ඉන්න. මම මුලින් ලිපියේ කිව්වා වගේම කැමරාව, ටියුබ් එක, ලෙන්ස් එක. මෙන්න මේක තමයි පිළිවෙල වෙන්නේ. දැන් ඉතින් ඇපෙචරය සෙට් කරල අපි හදපු ටියුබ් එකයි ලෙන්ස් එකයි කැමරාව එක්ක තියල තද කරල එක අතකින් අල්ල ගන්න. (බය වෙන්න එපා කරන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ) දැන් ඉතින් පින්තූර ගන්න තමා තියෙන්නේ. මම නම් මේ ක්‍රමයේදී යෝජනා කරන්නේ වැඩිම ඇපෙචර විවිරයක් භාවිතා කරන්න කියලයි. ඒ කියන්නේ f වල අවම අගය. Nikon අයට නම් ඇපෙචර් ලීවරය කඩදාසි කෑල්ලකින් උපරිම විවිරය තියල හිර කරගන්න පුළුවන්.

දැන් ඉතින් ලෙන්ස් එකයි ටියුබ් එකයි දෙකම අතේ තියාගෙන පින්තූරයක් ගන්න කරදරයි කියග පේන අයට කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මෙන්න මේ කියල බඩු ටික ඕන වෙනවා. තමන්ගේ කැමරාවට සවි වන Body Cap එකක්, ලෙන්ස් එකේ පිටුපස ආවරණය වෙන ‍lens cap එකක්, අඟල් කීපයක් දිග හරස්කඩ අඟල් දෙකක් පමණ වූ ඝණකම ටිකක් වැඩි ප්ලාස්ටික් බටයක්. මුලින්ම ප්ලාස්ටික් බටයේ ඇතුලත සිදුරේ ප්‍රමාණයට Body cap එක සහ lens cap එකේ සිදුරු කපා ගන්න ඕන. මතක තියාගන්න මේ සිදුර සමබරව හරි මැදින් තියෙන් හදාගන්න. නැතිනම් අපි ගන්න පින්තූරයේ අඩුපාඩු වෙන්න පුළුවන්. (වර්ණ වල හා විකෘති හැඩ බොහෝ විට) දැන් ප්ලාස්ටික් බටය අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන දෙපැත්තට අපි සකස් කරපු cap දෙක අලව ගන්න. මේකට ප්ලාස්ටික් හොඳින් අලවෙන ගම් එකක් භාවිතා කරන්න. Epoxy වගේ ගම් එකක් නම් වඩා හොඳයි. 
 
හොඳට වේලුනාම අපිට ටියුබ් එක භාවිතා කරන්න පුළුවන්. අපිට විවිධ ප්‍රමාණ වලින් මේවා කීපයක් හදාගෙන විවිධ විශාලන භාවිතා කරනන පුළුවන්. නැතිනම් Male Female pipe connector එකක් හෝ කීපයක් භාවිතයෙන් විවිධ දිග සකස් වෙන විදිහේ tube කෑලි ටිකක් හදාගන්න පුළුවන්. බට කෑල්ලක දෙපැත්තට Male එකයි Female එකයි වෙන්න connectors හයි කරල විවිධ දිග තියෙන්න කෑලි කීපයක් සකස් කරනවා. දෙකෙලවරට එක් පැත්තක body cap එකයි Male connector එකයි තියෙන එක කෙ‍ාටසකුත් එක් පැත්තක Lens cap එකයි Female connector එකයි තියෙන්න හයි කලා නම් වැඩේ ගොඩ. මතක තියා ගන්න පද්ධතියේ මුලු දිග අවසානයේ අවම නාභි දුරට බලපානවා. ඒ නිසා ගොඩක් දිග බටයක් ගන්නවා නම් වැඩි නාභි දුරක් තියෙන ලෙන්ස් එකක් භාවිතා කරන්න.
උදාහරණ විදිහට 50mm ලෙන්ස් එකක සාමාන්‍යයෙන් අවම නාභි දුර 450mm විතර වෙනවා. ඒකට 70mm විතර extension tube එකක් හයි කලාම අවම නාභිදුර 35mm විතර වෙනවා. ඒ කියන්නේ 12 ගුණයක් විතර ලඟට ඇවිත්. අපි තවත් දිග tube එකක් භාවිතා කලොත් අපිට ලෙන්ස් එක ඉදිරියේ තියෙන කිසි දෙයක් නාභිලත කරගන්න වෙන්නේ නෑ. ඒ නිසා මම නම් කට්ටියට උපදෙස් දෙන්නේ ආරම්භ කරන්න නම් 100mm හෝ 135mm විතර තියෙන ලෙන්ස් එකකුයි 50mm - 60mm විතර වෙන ටියුබ් එකකුයි හදාගන්න. 50mm වගේ ලෙන්ස් එකක් නම් උපරිමය 50mm ම වෙන ටියුබ් එකක් හදාගන්න. අත්දැකීමෙන් දෙන උපදෙසක් නිසා අහක දාන්න එපා. වැඩේ පුරුදු වුනාම විවිධ දිග එක්ක වැඩ කරල බලන්න. අත්දැකීම් ලැබෙයි. පටන් ගත්තු ගමන් අසාර්ථක උත්සාහ කරන්න යන්න එපා අපරාදේ කාලය.
extension tubes හදාගන්න මේ ක්‍රමයම වෙනස් කරල වෙනත් උපකරණ භාවිතා කරල පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ තමයි ලේසිම ක්‍රම දෙක. 

මම ටියුබ් එකක් භාවිතා කරල ගත්තු මැක්‍රෝ පින්තූර ඕන තරම් බලන්න පුළුවන් මගේ පිටුවට ගියානම්.
https://www.facebook.com/sulakkhanaphotography/
තියෙන ගැටලු ඕන දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. හොඳ පින්තූර ටිකක් ගන්න. අනිත් අයටත් බලන්න අපිටත් එවන්න. Macro Photography පළවෙනි කොටසට පහල ලින්කුවෙන් යන්න පුළුවන්.

සියල්ලන්ටම ජය.....

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

ඉදිරියේ ලිපි ලියනකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න Follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුළුවන් තැන් ලින්ක් කරන්නම්. ස්තූතියි.
* උපකරණ වල ඡායාරූප අන්තර්ජාලයෙනි.....

Friday, November 11, 2016

මගේ ගමන් බිමන් අනූනම වැනි කොටස - බේරුවත්ත ඇල්ල, වේවැල්වත්ත

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර ප්‍රමුඛස්ථානයක් ලැබෙන දිය ඇල්ලක් තමයි බේරුවත්ත ඇල්ල කියන්නේ. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 20ක් විතර ගියාම රුවුලදොල හංදියට ලඟ වෙන්න පුළුවන්. එතැනින් මීටර 150ක් විතර පයින් තමයි යන්න වෙන්නේ. වැහි අඩු කාලයේදී කුඩා දොලක් විදිහට තිබුනා වුනත් වැහි කාලයේදී නම් දරුනු විදිහේ සැඩපාරක් තියෙනවා. ඒකෙන් එගොඩ වෙලා ටිකක් ඇතුලට යද්දී දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්.
වේවැල් දොලෙන් පෝෂණය ලබන බේරුවත්ත ඇල්ල උසින් අඩි 54ක් විතර වෙනවා. මනරම් ලෙසින් ඇද හැලෙන දිය ඇල්ල අවසානයේ බෙරුවත්ත විල නමින් හැඳින්වෙන පොකුණ නිර්මාණය කරමින් ගලා බහින්නේ වේවැල් දොල විදිහට. පස්සේ අලුපොල දොල හා රැවුලදොල සමඟ එක්වී අවසානයේ මහවැලි ගඟට ගලා බහිනවා.
 
බෙරුවත්ත විලේ නම් ටිකක් විතර භයානක පෙනුමක් තමයි තියෙන්නේ නමුත් සවස් යාමයක බේරුවත්ත ඇල්ල ලඟ ඉඳගෙන එහි සුන්දරත්වය විඳින්න තියෙනවා නම් ඒ අවස්ථාව මඟ හැරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. අප්‍රකට ඇල්ලක් වුනත් ගම්වැසියන් තාමත් එතැනට යන මඟ අහන අයට පෙන්වන්න තරම් නිහතමානී වෙනවා. ඒකට හේතුව අනිත් තැන් වගේ තාම මේක කුලුඳුලේ තිබීම වෙන්න ඇති. ඒ නිසා යන්න ගිහින් සුන්දරත්වය විඳින්න. හැබැයි තව කෙනෙකුට සුන්දරත්වය විඳින්න ඉතිරි කරල එන්න වගබලා ගන්න.


මේ ගමන අතරේම ගිය පුංචි දඹදිව හා කටුගස් ඇල්ල ගැන කියවන්න මෙතැනින්.