Pages

Saturday, June 25, 2016

රට ඇතුලෙන් නෑසෙන කටකතා............

සාමාන්‍යයෙන් දේශපාලනය වෙනුවෙන් ඉඩක් වෙන් නොවෙන සුලාගේ අත්දැකීම් පිටුවෙන් ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න තීරණය කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි පහුගිය කාලේ අපේ සුන්දර රාජ්‍යය වුන සිරි ලංකාව සෑහෙන්න වෙනස් වුන කාලයක් නිසාවෙන්. මේ කතාවේ අතීතය පහුගිය රාජ්‍යකාල කීපයකට යනවා. කවුරුත් දන්න මහින්ද රාජපක්‍ෂ සමයේ යුධ භීතිය ඉවත් වීම හා දෙවැනි සමයේ ගසාකෑම් චෝදනා එක්ක රටේ සංවර්ධන වැඩපිලිවෙල සිදුවීමේ සමය දෙවැන්න විදිහටත් සිද්ධ වුනා. තුන්වැනියට මෛත්‍රී යුගයක් යහපාලනය යන නම එක්ක එලියට ආවා. මම මේ කියන්නේ තුන්වැනි පාලනය ගැන. ඒ මොකද දැනට සිදුවෙන්නේ ඒක නිසා.....

2015 ජනවාරි 8 වෙනාදාට කලින් ලංකාවේ එක පෙරලියයි. එකක් හොරා හොරා වචන ටික අනික යහපාලනය කියන වචනය. මේ කාලේ හුඟක් අය කිව්වේ රට ගොඩගන්න යහපාලනය හොඳි කියල. අවුරුදු 4ක නැගෙනහිර අත්දැකීම් එක්ක මම නම් කවදත් කිව්වේ ඒක නිවැරදි වෙන්නේ නෑ කියල. නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන ප්‍රතිවාදීන් එකම තරාදියේ දෙපැත්තේ තිබ්බාම වෙන් කරන්න කාරණා තිබුනේ නැති තරම්. ඒ කොයි එක වුනත් පොදු කාරණා වෙනුවෙන් තරාදියක දැම්මාම සමහර අති විශාල කරුණු සම්බන්ධව යහපාලන තරාදියේ සතුටු දායක තත්ත්වයත් තිබුනේ නෑ. ඒ නිසා යහපාලනය කියන වචනට මිරිඟුවක් විදිහට තමයි හැමදාම මට පෙනුනේ. එදා මාත් එක්ක හිටපු සමහර (සම හරක් දැයි සිතේ) අය පොලවේ හැපෙමින් යහපාලන ගුන වරුණ කියද්දී මට දෙන්න තිබුන පිළිතුර වුනේ "ඔය කාරණාවම ජනවාරි 8 වැනිදා පහුවෙලා මාස 6කින් කියන්න පුළුවන්ද?" කියල විතරමයි. 

යහපාලනය ජය අරන් මාස කීපයක් යද්දී කටකතා පැතිරුණා. මිනිස්සු හිතාගන්න බැරිව තුෂ්ණිම්භූත වුනා. මොකක්ද මේ කරගත්තේ කියල හිතන්න වුනා. "ඉඟුරු දීලා මිරිස් ගත්තා වා‍ගෙයි" සි‍තෙන්න වුනා. නාය යෑම් වෙද්දී, ගං වතුර එද්දී දේශපාලනය හැංගිලා තමන් වෙනුවෙන් වාහන මිල මුදල් එකතු කරන හැටි කතා වුනා. හොරෙන් යටිමඩි ගහපු දේශපාලුවෝ එලිපිට ඒ දේවල් කරන්න වුනා.
 
සලාව අවිගබඩාව ගිණිගන්නවා.. මිනිස්සු දන්නේ නෑ අවි ගබඩාවක් තියෙනවා කියලවත්. හමුදාවේ සාමාන්‍ය සෙබලෙකුට තියා සමහර ඉහල නිලධාරීන්ට පවා ඇතුලට යන්න අවසර ගන්න වෙන ගබඩාව සහිත කඳවුරේ ගින්නක් ඇතිවෙන්නේ කොහොමද? කොටි ත්‍රස්තවාදය සමයේ කීපවරක් උත්සාහ කරලත් විනාශ කරන්න බැරිවුන කඳවුර එක රැයකදී විනාශ වෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් හදපු ගබඩාවට අඩි කීපයක් ගනකම බිත්ති, විදුලි රැහැන් රහිත අභ්‍යන්තරය ආදිය නිසා ලොකු අාරක්‍ෂාවක් ලැබෙනවා. නමුත් එක රැයයි කඳවුර හා අවට පිරිස විනාශයි.. දවසක් දෙකක් යද්දී සියලු කඳවුරු බවත් කරන්න පනතක් සම්මතයි... මොනවා වෙනවද ැයි වෙන්නේ කියල මාධ්‍යය, ජනතාව අහද්දී දෙවැනි දෙයක් සිදු වෙනවා.  කරුණ අමතක වෙලා වෙනතකට කටකතාව යොමු වෙනවා...
 
සලාව මකන්න එතැන පුරවන්නේ කුරු කන්ටේනරය. කුඩු කන්ටේනර ආවාම කාගෙද යන ප්‍රශ්ණය මාධ්‍යයෙන් හෙලිවෙන්න කලින් ජනාධිපති ආරක්‍ෂාව සමඟ එතැනට යනවා. ජනාධිපති ඉවත්වන තුරු මාධ්‍යයට තොරතුරු නෑ. මාධ්‍යයෙන් නිවැරදිව තොරතුරු දන්නේ නෑ. කටකතා වාර්ථා කරනවා. විවිධ මාධ්‍ය වල විවිධ තොරතුරු කියන දේ ඇති කරවලා මාධ්‍ය යනු හුදෙක් මවාපාන පිරිසක් බවට ජනතාව ඉදිරි‍යේ පෙන්වනවා. අවසන් ප්‍රධිඵලය වෙන්නේ මාධ්‍යය තුලින් කෙරෙන අනාවරණ පිළිබඳ මිනිසුන් තුල සැකයක් ඇතිවීම. එනිසා (යහ) පාලනයෙන් කෙරෙන වැඩ පිලිබඳ අනාවරණ පිච්චියකට මායිම් කරන්නේ නැති තත්ත්වයක් උදා වෙලා.

තවත් එක එක දේවල් කටකතා විදිහෙන් වුනත් ඒ ගැන කියන්න මේ ලිපියේ දිග මදි වෙනවා. අවසානය අහන්න තියෙන්නේ මෙච්චරයි. සලාව ගිනිගද්දී ඒක නිසා විනාශ වුන ගම් බිම් ගැන තොරතුරු හෙව්වද? දවසක් දෙකක් ඇතුලේ පනතක් සම්මත වේනනේ කොහොමද? කෝටි 117කට වඩා ගොඩක් වැඩි වටිනකමක් ඇති වාහන ලංකාවට ඇවිත් තියෙද්දීත් කෝටි 117ක් වටින වාහන ගෙන්නන්න කියල අවසර ඉල්ලමින් පනතක් සම්මත කරගන්න හදන්නේ ඇයි? ගංවතුරට රජයෙන් උදව් නොලැබී මිනිසුන් මිනිසුන්ටම උරදෙද්දී එය වහන්න කඳවුරු ගිණි ගන්නේ ඇයි? කඳුවුර ගින්න වහන්න ඒ පිටටම කුඩු කන්ටේනර අහුවෙන්නේ ඇයි? මේ සියල්ල වෙද්දී ජනතාවට හොරෙන් බිලියන ගනන් වටින අවිආයුධ ලංකාවේ ගැඹුරුම මුහුදක් තියෙන ත්‍රිකුණාමලය මුහුදේ කිසිම ගනනයක්, ප්‍රමාණයක් නැතිව ගිල්වන්නේ ඇයි?? 

පැතූ යහපාලනය මෙයද??? වෙනස් කල යුතු නම් රජයක් ජනාධිපතිවරයෙක් වෙනස් කල හැකි ක්‍රමවේදයක් ඇත. එය සිතීම ඔබට බාරයි... ජනවාරි 8ට කලින් අනාවැකි කිව්වා සේම අදද අනාවැකියක් කියමි. "සංහල ජාතියක් බුද්ධාගමක් පවතින්නේ තව අවුරුදු කීපයක් පමණකි. රට විශාල යුද්ධයකට මුහුණ දෙනු ඇත. අය අවසානයේ ඔබ අප වැන්නෝ විනාශ වෙද්දී දේශපාලුවන් වෙනුවෙන් උරදී කැපවුන පිරිස හා බලාපොරොතු සුන්වුන ජීවත්වන මලමිනී ටිකක් පමණක් ඉතිරි වනු ඇත."


Thursday, June 23, 2016

මගේ ගමන් බිමන් අනූ තුන්වැනි කොටස - මනන් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් තවත් අපූරු සුන්දර දිය ඇල්ලක් ලඟට තමයි අපි ඊලඟට යන්නේ. කාලයකට පස්සේ නිදහසේ ඇවිදින්න ලැබුනා. ආගිය තැන් කීපයකින් එකක් තමයි මනන් ඇල්ල. මීටර 30ක් විතර උස මේ දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා.. ඇහැලියගොඩ නගරයේ ඉඳන් රත්නපුර දෙසට කිලෝමීටර කීපයක් ගියාම බදුවත්ත හංදියෙන් හැරිල කුරුගම්මෝදර පාර දිගේ කි‍ලෝමීටර 5-6ක් ගියාම මෙතැනට යන්න පුළුවන්. පාරෙන් වාහනය නවත්තල ටිකක් ඇතුලට යන්න තියෙනවා...
දිය ඇල්ලේ වතුර අඩු කාලයේදී නම් දිය ඇල්ල යටටම වගේ යන්න පුළුවන් විතරක් නෙවෙයි දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. එතැන නොගැඹුරු පොකුණක් වගේ හැදිලා තියෙන නිසා එතැනින් වුනත් හොඳ ආරක්‍ෂාව ඇතිව නා ගන්න නම් පුළුවන්. පැය ගානක් වුනත් නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ස්වභාවික ශබ්ද වලින් පිරිසිදුව ඇති අවට පරිසරයේ නිහැඬියාව බි‍ඳෙන්නේ දිය ඇල්ලෙන් වතුර වැටෙන හඬට විතරක්ම වගෙයි. 
අපූරු තැනක් විඳින්න පුළුවන් තැනක් තවත් කෙනෙක්ට යන්න ඉඩ තියල ගිහින් බලල විඳල එන්න. තවත් අපූරු තැනත් එක්ක හමු වෙනකම් ආයුබෝවන්.....


Tuesday, June 7, 2016

Landscape ඡායාරූප වැඩි දියුණු කරගන්නේ කොහොමද?

Landscape ඡායාරූප ගන්න ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පසු සංස්කරණ තුලින් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ දේ ඉගෙන ගත්තේත් ලඟදි තිබුණු වැඩ මුලුවකින්. මුහුණු පොත හරහා එක්වුන Infinity Photo Club නම් සමූහය විසින් කල මේ වැඩමුළුවේදී සංස්කරණය ගැන නොදන්න දේවල් කියා දුන්න Anushka Eranga සොයුරාට මෙතැනදී ස්තූතිවන්ත විය යුතුයි. ඡායාරූප පසු සැකසුම ගැන මගේ දැනුම වැඩි දියුණු කර එතැනදී එකතුවුන දේවල් එකතු කරල තමයි මම මේ උදාහරණ ඡායාරූප සැකසීම කරමින් ලිපිය ලියන්නේ.
Landscape ඡායාරූපයක් හෝ වෙනත් ඡායාරූපයක් හෝ වේවා අපි ඒ ඡායාරූපය ගන්න වෙලාවේදීම ඡායාරූපයේ අවසන් නිමාව පිළිබඳ අදහසක් අප සිත තුල තිබිය යුතුයි. සාමාණ්‍යයෙන් Camera එකකින් ඡායාරූපයක් ලබා ගනිද්දී RAW කියන වර්ගයෙන් ලබා ගන්නවා නම් අපට අවශ්‍ය විදිහේ හොඳම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා... මම පසු සැකසීම් සදහා යොදා ගන්නේ Photoshop මෘදුකාංගය හා Nik Google Collection එකේ Photoshop filters එකතුව.....
මුලින්ම RAW ගොනුව Photoshop වලින් විවෘත කරගෙන ඒකට ඕන කරන මුල් සැකසුම් කරල Open Image Command එක දෙන්න. ඊට පස්සේ ඒ පින්තූරයේ ලේයරය Right click කර Convert to smart object කියන එක තෝරා ගන්න. එහෙම කලාම අපි කරන වෙනස්කම් වෙනම Mask එකක් විදිහට තමයි ඡායාරූපයේ layer එකට එකතු වෙන්නේ.....
ඊට පස්සේ Filter යටතේ තියෙන Nik Collection එකේ Color Effect pro කියන එක තෝරා ගන්න. එතැනින් පස්සේ පසු සැකසුම කෙරෙන්නේ Nik Collection එක හරහා.
මුලින්ම මම භාවිතා කරන්නේ Pro Contrast කියන Filter එක. ඒකෙන් අපි කැමති විදිහෙන් ඡායාරූපයේ Contrast එක හදාගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට වඩා වෙනස් වෙන්නේ මේකෙදී අපිට වෙනස් Option කීපයක්ම තියෙනවා. Correct color cast, Correct Contrast හා Dynamic Contrast කියන තුනම වෙන වෙනම වෙනස් කරන්න පුළුවන්. එතැනින් පස්සේ පහල තියෙන control points කියන Option එක යටතේ අපිට පුළුවන් අපේ Contrast එක වෙනස් වෙන්න ඕන සීමාව Mask එකක් භාවිත කරල සීමා කරගන්න. + හා - විදිහට Mask දෙකක් භාවිතා කරල අපි සීමාවන් හදා ගන්නවා.
සකැසුම් අවසානයේ Addfilter කියන Command එක භාවිත කරල අපට Filter එක අපේ ඡායාරූපයට එකතු කිරීම සඳහා තෝරාගන්න පුළුවන්....
ඊලඟට මම භාවිත කරන්නේ Sky Light Filter එක. ඒකෙන් මම ඡයාරූපයට පොඩි ආලෝකයක් ලබා දෙනවා. ඊටත් පස්සේ Detail Extractor කියන Filter එක භාවිතා කරල ඡායාරූපයේ Details ටිකක් වැඩි කරගන්නවා. හැම Filter එකක් භාවිතයේදීම Add Filter කියන Command එක භාවිතා කරන්න ඕන. ඒ වගේම අපිට පසුව ඒවා වෙනස් කරන්නත් පුළුවන්. 
දැන් අපි සාමාන්‍ය විදිහට වඩා වැඩි යමක් ඡායාරූපයේ සංස්කරණය කරගෙන ඉවරයි. ඕන නම් ආයෙත් මේ Filters හරි මේ Collection එකේ තියෙන වෙනත් Filters භාවිතා කරන්න පුළුවන්. අවසානයේදී වෙනත් අවශ්‍ය සැකසුම් කරල ඡායාරූපය අවසන් ඡායාරූපය ලෙස සකස් කරගන්න පුළුවන්. මේ Filters භාවිතය සඳහා සීමාවක් නැහැ. අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඡායාරූපය ගුනාත්මය භාවය තීරණය වෙන්නේ පසු සැකසුම සිදු කරන සංයමය අනුව.
මේ තියෙන්නේ මම සකස් කල ඡායාරූපයේ මුල් අවස්ථාව සහ අවසන් ප්‍රථිථලය..... මේකෙදි මම දෙපාරක් Pro contrast කියන filter එක භාවිතා කලා... Noise Reduction එකකුත් High pass Filter එකත් භාවිතා කරල මට අවශ්‍ය තැන් විතරක් Mask එකකින් වැඩි දියුණු කලා.....

ඔයාල ගන්න ඡායාරූපත් පසු සැකසුම් වලින් දියුණු කරල කමෙන්‍ට් එකක් දාන්න..  අපැහැදිලි තැනක් තියේ නම් ඒකත් කමෙන්ට් එකකින් අහන්න....
ස්තූතියි සැමට.... ජය

Saturday, May 14, 2016

ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු

ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි පින්තූරයක් ගත්තාම ඒකේ මීදුමක් වගේ බැඳිල තියෙන කොටස් ඉවත් කර ගන්න එක. සමහර වෙලාවන් වලදී පින්තූර පුරාම ඒකාකාරවත් තවත් වෙලාවක පින්තූරයේ තැන් තැන් වලත් මේ විදිහෙන් ති‍ෙයන්න පුළුවන්. ඒක ලෙන්ස් එකේ ජලවාශ්ප බැඳිල තිබුනාම වගේම පරිසයේ ආරද්‍රතාව වෙනස්වීම නිසාත් සිදු වෙනවා. මෙන්න මේ කොටස් අයින් කරල පින්තූරයක් වැඩි දියුණු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියන්න හදන්නේ විනාඩි කීපයකින් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන.

අලුත් Photoshop versions එක්ක වැඩ කරන අය දන්නවා ඇති Camera Raw filter  එක ගැන. ඒත තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් අලුත්ම එක බාගත කරගන්න පුළුවන් වෙයි.


මෙන්න මේ Filter එකත් එක්ක තමයි අපි අද පාඩම කරන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට ‍වැඩි දියුණු කරන්න ඕන කරන පින්තූරය Photoshop වලින් open කරගන්නවා. උදාහරණ විදිහට මම යොදාගන්නේ බිසෝ ඇල්ල මුදුනේ ඉඳන් මම ගත්තු ඡායාරූපයක්.
අපිට තියෙන ලේයර් එකේ Duplicate එකක් අරන් Menu එකේ filter යටතේ තියෙන Camera Raw Filter එක click කරන්න ඕන. Ctrl + shift + A පාවිච්චි කරලත් අපිට එතැනට යන්න පුළුවන්. Camera Raw Filter එකේ දකුණු පැත්තේ තියෙන Effects Menu එකට ගියාම අපිට Dehaze කියල Option එකක් තියෙනවා. එතැන තියෙන Scroll bar එක දකුණට ගෙනියද්දී පින්තූරයේ මීදුම් ගතිය අයින් වෙන හැටි දකින්න පුළුවන්.

ඒකාතාර මීදුමක් වගේ නම් තියෙන්නේ ඒක ‍එක් වරක් මේ ක්‍රමය භාවිත කරල ඉවත් කරන්න පුළුවන් නමුත් ඒකාකාර නොවනවා නම් කොටස් කොටස් Select කරල මේ වැඩේ කරන්න වෙනවා. එ‍හෙමත් නැත්තම් වෙන වෙනම ආරම්භක Layer එකේ Duplicate අරගෙන එක් එක් ප්‍රමාණ වලින් Dehaze Effect එක යොදල Layers කීපයක් හදාගන්න පුළුවන්. පස්සේ Mask භාවිතා කරල අවශ්‍ය තැන් වලට විතරක් අවශ්‍ය ප්‍රමාණ වලින් Dehaze Effect එක තියා ගන්න පුළුවන්. අවසානයේ Layers ඔක්කොම Merge කරල එකක් බවට පත් කරගන්නවා.

නමුත් මතකයේ තියා ගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි Dehaze Effect එක යොදන ප්‍රමාණයට සමානුපාතිකව Contrast එක සහ Saturation එක වැඩි වෙනවා. ඒ නිසා Layers, Merge කරන්න කලින් Layers වල Saturation එක වගේම Contrast එක Match කරගන්න බලන්න ඕන.

මුල් සහ අවසාන ඡායාරූප දෙක ගත්තාම වෙනස පැහැදිලි ඇති කියල හිතනවා.

අදහස් උදහස් ගල් මුල් තියේ නම් කමෙන්ට් විදිහෙන් දාන්න. ස්තූතියි....!

Thursday, May 12, 2016

ඇයි මෙහෙම කරන්නේ???

කලකට පසු විශ්ව විද්‍යාලයසදසට ඇදුනේ උපාධි සහතිකය රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් දවස් ගැන කියවුනේ නැතත් යම් යම් හේතූන් නිසා ප්‍රමාද වුන ලිපි පෙලක්ම තියෙනවා ලියන්න. මුස්ලිම් සංස්කෘතියක අතරමං වුන අපි ඒ කාලේ හිටියේ බොහෝම පරිසමින්. ඔලුවිල් වල තියෙන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය තියෙන්නේ සම්මාන්තුරය ප්‍රදේශයේ. මුස්ලිම් අය 99%ක් 100%ක්ම වගේ ජීවත්වෙන ප්‍රදේශයක්. 1995දී පටන් ගත්තා වුනත් ඒ කාලේ සිංහල ලමයි විශ්ව විද්‍යාලයේ හිටියේ නෑ. පස්සේ සිංහල ලමයිනුත් ඒකට දාන්න ඕන කියල ගත්තු තීරණයේ තුන්වැනි සාමාජිකයෝ වුනේ අපි. ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවීම තුලින් විශ්ව විද්‍යාලය එයාලගේ ප්‍රදේශ වලින් අයින් වෙන එකට එයාල අකමැති නිසා කොහෝම හරි ඇතිවෙන ප්‍රශ්ණ යටගහනවා.

දුන් කියන්නම්කෝ කියන්න ගිය එක ගැන. මෙදා මම යද්දී අපේ අලුතින් ආව හොස්ටල් වල හිටපු සිංහල ලමයි 40ක් විතර රෝහල්ගත කරල කියන ආරංචිය ලැබුනා. දෙන්නෙක් විතර අන්‍යාගමික ඉන්නවා වුනත් 98% සිංහල බෞද්ධ අය තමයි අසනීප වෙලා තියෙන්නේ. මම ගිය වැඩේ පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවා. මේ දවස් වල විශ්ව විද්‍යාලයේ විභාග තියෙනවා. ලමුන්ගේ අසනීපය නිසා විභාග කල් දාන්න කියන ඉල්ලීම සිසුන් කරල තිබුනා වුනත් පාලනයෙන් ඒ වෙද්දීත් තීරණය කරල තියෙන්නේ විභාග පවත්වන්න.

විභාගය අනිාර්යයෙන් තියෙන නිසාවෙන් හා සිව් වසරක විශේෂ උපාධිය කිරීම සඳහා ප්‍රථිඵල පෙන්විය යුතු නිසාත් සමහර සිසුන් අසනීප තත්ත්වය ‍සුව වන්නටත් ප්‍රථම පැමිණ විභාගයට මුහුණ දෙනවා. අසනීපයේ උග්‍ර බව නිසා විශේෂ උපාධි සිහිනය බොඳව යන පිරිස හැකිතාක් විභාග කල්දැමීම සඳහා උත්සාහ ගත්තද එය පාලනය හමුවේ බිඳ වැටී ඇත. පීඨ පාලයෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැසී යන මෙවැනි කරුණු කලාතුරකින් සිසුහු අරගල කරමින් පමණක් විශ්ව විද්‍යාල ප්‍රධානියන් හමුවට මතු කල හැකිය. මීට අවුරුදකට දෙකකට පෙරත් මෙවැනිම සිද්ධියක් සිදු වී ඇතත් අවසානයේ විශේෂ උපාධිය සිහිනයක් බවට පත්වූ පිරිසක් පමණක් ඉතිරි වූ බව සිසුහු පවසති.

අප සිටි සමයේ දේශපාලනය ‍හෝ වෙනස් සංගම් සඳහා පීඨය තුල ඉඩකඩක් නොතිබුණ අතර එක් ප්‍රධාන ශිෂ්‍ය සංගමයක් පමණක් විය. එ් හරහා සියලු සිසුන් තමන්ගේ අවශ්‍යතා පාලනය වෙත දැනුම් දෙන්නට කටයුතු සලසා ගත්තෝය. නමුදු අද ටිකෙන් ටික දේශපාලය හිස ‍ඔසවන බවක්ද පෙනේ. එනිසා කරන්නා වූ ඉල්ලීම් වලට ලැබෙන ප්‍රතිචාර මඳක් කාරුණික බව අඩුද යැයි මට සිතේ. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාතාංශයට නම් මෙය ඉතා අගනා, ගැටලු රහිත විශ්ව විද්‍යාලයකි. නමුත් සිදුවන්නේ අනෙකකි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන ගැටලු සඳහා ප්‍රතිචාර වෙනුවට පලිගැනීම් පමණක් ඇතිවන අතර සමහර කලෙක සිංහල ලමුන් නිසා විශ්ව විද්‍යාලයේ ප්‍රශ්ණ ඇතිවේ යැයි කාරණාවක්ද ප්‍රචලිත විය.
විශ්ව විද්‍යාලයෙන් සිහල බෞද්ධ සිසුන් වෙනුවෙන් සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්නට කෙනෙකු නොමැති තත්ත්වයක් අද ඇතිව තිබේ. උන්ගේ පාලන ප්‍රදේශයක උන්ට රිසි අයුරින් සිටිද්දී අප කෑ කෝ ගසන්නට ගොස් ජීවිත දානය දෙන්නේ ඇයිදැයි සිතමින් මුනිවත රකින්නෝ අනන්ත සොයාගත හැකි වන්නේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුලත්තාට පසුවය. මේ එක ගැටලුවක් පමණක් වුවද අනන්ත අප්‍රමාණයෙන් ගැටලු උදෙසා ලිපි සකස් කෙරුණද එය පාලනය විසින් සඟවන්නේ අදිසි හස්තය සිසුන්ගේ විභාග වල ප්‍රතිඵල වලට යොමු කරවමිනි. අවසානයේ කෙසේ හෝ වේවා විභාගය අවසානයෙන් පසු රැකියා සොයද්දී අනේ විශ්ව විද්‍යාල වල සිසුන් රැකියා කරද්දී අප අපගේ කරුමයක සිරවී සිටිමු.


Sunday, April 17, 2016

මගේ ගමන් බිමන් අනූ දෙවැනි කොටස - බටතොට ලෙන (දිවා ගුහාව)

කාලයක් තිස්සේ හිතාගන හිටි ගමනක් යන්න ලැබුනා. ඒ තමයි එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ශ්‍රී  පාදය කියන විස්තරය කලින් ලිපියක ලිව්වා මතක ඇතිනේ. මේ එරත්න පාරෙන් ශ්‍රි පාදය වන්දනා කරන්න යද්දී හමුවෙන ලෙනක් පිලිබඳ විස්තරයක්. රත්නපුර කොළඹ පාරේ කුරුවිටින් හැරිල එරත්තන පාරේ  කිලෝමීටර 7ක් විතර යන්න ඕන. එතැනින් වමට හැරිලා ‍කිලෝමීටර 1.5ක් විතර ගියාම ලෙනට යන්න හදපු පඩි පෙල දකින්න පුළුවන්. සෙනඟ වැඩි කාලයේදී නම් ටිකක් පහලින් වාහන නවත්තන්න වෙනවා. එතැන ඉඳන් පඩි පෙල දිගේ ඉහලට ගියාම ලෙන ඇතුලට යන්න පුළුවන්.
මෙම ලෙන තුල නිශ්ශංකමල්ල රජ යුගයෙන් ඇරඹි, පොලොන්නරු ,ගම්පොළ ,මහනුවර රාජධානි යන්ද පසු කලෙක යටත් විජිත සමයේදීද වරින් වර විහාරයක් ඉදිකිරීමට තැත් කල බවට ඉපැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි .එහෙත් එසේ උත්සාහකල කිසිම අවස්ථාවක වැඩ නිම කිරීමට නොහැකිව ඇත. දිගින් අඩි 150ක් ද පළලින් අඩි 70ක් ද උසින් අඩි 50ක් පමණ වන මෙම ලෙන නැගෙනහිරට මුහුණලා ඇත.
මෙම ලෙන බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ගේ ඉල්ලීම පරිදි සමන්තකූටයේ සිරිපතුල පිහිටු වීමෙන් පසු 500ක් රහතන් වහන්සේලා සමඟින් වැඩම වන සමයේ දිවා විහරණය සඳහා නතර වූ දිවා ගුහාව ලෙසින් කලක් තිස්සේ වැඳුම් පිදුම් ලැබීය. භගවාලෙන, භගවා ගුහාව ලෙසින්ද මෙය හැඳින්වේ. නමුත් පසු කලෙක පලාබද්දල මාර්ගයේ හමුවූ ලෙන දිවා ගුහාව ලෙසින් හැඳින්වූ අතර මෙය බටතොට ලෙන ලෙසින් නම් කෙරින.

දිවා ගුහාව ඉතිහාසයේ සඳහන් වන්නේ මෙසේය. සල්මලින් වටවූ ඉතා සිහිලක් ඇති සමන්ත කූට පාමුල ඇති ගුහාවක බුදුන් වහන්සේ දිවා විහරණය කල සේක. නමුඳු එ් පිලිබඳ තවත් යමක් ඇත. මිනිසුන් සියලු ස්ථාන වැඳපුදා ගන්නා අතර දෙවියන් වෙනුවෙන් මෙතැන ඉතිරි කරන මෙන් සමන් දෙවිඳුන් විසින් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කර ඇත. එවිට බුදුන් වහන්සේ විසින් බුද්ධ ප්‍රාර්ථනාවක් සිදුකර ඇත. එනම් මිනිසුන්ට මෙම ලෙණ නෙ‍ාපෙනී දෙවියන් වෙනුවෙන් පෙනෙන ලෙසයි. එ නිසාවෙන් දිවා ගුහාව මිනිසුන්ට සොයගෙත නොහැකිව ඇත. කෙසේ වෙතත් සිරිපා කරුණා කරන අතරමඟ යා යුතු තැනක් ලෙස මෙම බටතොට ලෙන නම් කල හැකිය.

Saturday, April 9, 2016

මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්ද

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුද්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති කුටි වල දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙලා තියෙනවා.
කඳුමුදුනේ තැනි තලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිළිමය මෙකල ගල් වඩුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පෙන්වයි. අනුරපුරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කඳු මුදුනේ වැඩම කර සිටී. මේ සියල්ල පරයමින් අඩි 400ක් පමණ උස ගොවිජන  සෑය සුවිශේෂී එකක් වෙනවා.

අපූර්ව ත්‍රාස්‍යජනක ගමනක් අත් විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩි පෙලයි. එය කොටසක් චෛත්‍යය තුලින්ද ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණ ගමනම යා යුතුවේ. කෙමෙන් සිහින් වල පඩි පෙල අවසන් වෙන්නේ චෛත්‍ය බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දැමීමෙනි. අවසන් අඩි කීපය නැගීමේදී තැනින් තැන ඇති කුටි තුලට වී ඉහල සිට පැමිණෙන්නන් හා පහල සිට එන්නන්ට මාරු විය හැකිය. පඩි පෙලත් හමන සුලඟත් නිසාවෙන් මෙය බොහෝම පරිස්සමින් ගමන් කල යුතුය.

මෙහි සිට කිසිඳු කන්දකින් බාධාවක් නැතිව අංශක 360ම දැකිය හැකිය. අහස පැහැදිලි දිනයකදී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ශනය වේ. ඈතින් පූජනීය සමනළ කන්ද, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, බහිරව කන්ද, උතුවන්කන්ද, බලපොකුණ, කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල, ලෙවලන්, ඩෙල්ටා, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ.
ආවේණික සත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ගම්පොල නගරයත්, නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූර්ව දර්ශයක් මවයි.