Pages

Sunday, July 24, 2016

මගේ ගමන් බිමන් අනූ පස්වැනි කොටස - කබ්බලේ කන්ද_කන්නෙලිය රක්‍ෂිතය

කාලයකට කලින් මගේ ගමන් බිමන් වලින් කන්නෙලිය රක්‍ෂිතය පැත්තේ ගියා මතක ඇතිනේ. අමතක අය මෙතැනින් ගිහින් බලන්න.... 1934දී රක්‍ෂිතයක් විදිහට නම් කල කන්නෙලිය රක්‍ෂිතය කලෙක සිංහරාජ වනාන්තර හා සම්බන්ධ වෙලා තිබුනාය කියලයි කියන්නේ. කන්නෙලායට යන මාර්ගය ගැන විස්තරය කලින් ලිපියේ තියෙන නිසා එතැන ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කන්නෙලියට ඇතුලු වුනාම විවිධ මංපෙත් ඔස්සේ යන්න පුළුවන්. ලඟම ලේසිම පාර වෙන්නේ අනගිමල ඇල්ල, ගුහාව හා යෝධ පුස්වැල මාර්ගයයි. යෝධ නවඳගස මාර්ගය තවත් එක් පැත්තකට දිව යනවා. නාරංගස් ඇල්ල මංපෙතේ යන්නේ අනගිමල ඇල්ල යෝධ පුස්වැල හා ගුහාව යන තුනම පහුකරගෙන නිසා ඒ ගමනේදි මේ සියල්ලත් බලන්න පුළුවන්. ඊලඟ මාර්ගය තමයි කබ්බලේ කන්ද මංපෙත කියන්නේ. එය තමයි දුෂ්කර මාර්ගය වෙන්නේ. කන්ද නගින එක ලේසි ගමනක් නොවන නිසාත් කැලෑව මැදින් දුශ්කර මාර්ගයක් තියෙන නිසාත් යන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. කාලයක් ති‍ස්සේ සැලසුම් කරල අවසානයේ අපිත් මේ ගමන යන්න තීරණය කලා.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම අපිට හමුවුන අමුත්තා තමයි බට ඇටිකුකුලා කියන කුරුල්ලා... {ශ්‍රී ලංකා බට ඇටි කුකුලා (වල් ඇටි කුකුලා) Green billed coucal(Centropus chlororhynchos)} මෙයා රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. අපි යද්දී මෙයා කූඩුවකත් හදමින් තමයි හිටියේ. ගස් අතර කූඩුව හදන නිසා ඡායාරූපයක් ගන්න ලේසි වුනේ නෑ...
ඊලඟට අපිට හමුවුනේ කවදත් කන්නෙලියේදී හමුවෙන සතෙක්. ඒ තමයි ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා. මෙයත් ලංකා‍වට ආවේණික සත්ත්ව විශේෂයක්.... {ශ්‍රී ලංකා කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni)} එතැනින් ඉදිරියට ඇදුනු අපි ක්‍රමයෙන් වනාන්තරය ඇතුලට යන්න වුනා. සීග්‍ර කන්දක් තිබුන නිසාත් අපි ඡායාරූප ගනිමින් ගිය නිසාත් අපේ ගමන සිද්ධ වුනේ ගොඩක් හෙමින්. විවිධාකාරයේ සතුන් බලාගෙන කබ්බලේ කන්දේ පලවෙනි බෑවුමට එද්දී නම් දවල් වෙලා තිබුනා. එතැනින් දෙවැනි බෑවුම ‍එහෙමත් නැතිනම් මහ කබ්බලේට ඇවිත් ගිමන් නිවන තුරුම අපි වේගයෙන් ඇවිදින්න වුනා. කන්නෙලියට පායන කාලයක් නිසා කුඩා දිය ඇලි සියල්ලම වගේ හිඳිලයි තිබුනේ. කලින් ගිය අය දාල තිබුන ප්ලාස්ටික් හා පොලිතින් ආදියත් එකතු කරගෙන අපි ආයෙත් කන්ද බහින්න සූදානම් වෙද්දීම අපිට ඉදිරියෙන් ගසක ඇහැටුල්ලා පැටියෙක් ඇදෙන්න වුනා.. එයාගෙත් ඡායාරූප අරන් වේගවත් ගමනක් ආවේ ටිකක් හරි කලින් ඇවිත් අනගිමල ඇල්ල ලඟ ගිමන් නිවන්න හිතාගෙනයි.
 
යන එන අතරතුර අපට බාඳුරා ශාක, තාපස්සර බුලත්, කටු කිතුල් ශාක වගේ ශාක වර්ග දකින්න ලැබුනා. ඒවයේ විශේෂත්ව ආදිය අපේ මඟ පෙන්වන්නා කියාගෙන යද්දී ඒවා අහගෙන හිටි අපට ගමන් විඩාව අමතක වෙන විදිහේ දැනුමක් ලැබුනා. කටුස්සන්ගේ බිත්තර පුපුරන සමය නිසා කටුසු පැටවුන් විශිල ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනත් වැඩිහිටි අය නම් දකින්න ලැබුනේ අඩුවෙන්. කැන්ගරු කටුස්සා සහ අංකටුස්සාගේ පැටවුන් දෙ‍දෙනා සාමාන්‍යයෙන් එකම වාගේ නිසා හඳුනාගැනීම අපහසු වුනත් මගේ වාසනාවට වගේ දෙදෙනාගේම පැටවුන්ගේ ඡායාරූප ලබා ගන්න පුළුවන් වුනා. ලංකාවට ආවේණික තවත් සර්ප විශේෂයක් වුන වයිරි හාල්දණ්ඩෙක් {වයිරි හාල් දණ්ඩා Gunther's Bronze-Back (Dendrelaphis caudolineolatus)}අත්තක් උඩ හිටියේ අපිට ඡායාරූප ගන්න කියන්නම වාගෙයි. විවිධ කෘමි විශේෂත් ගෙම්බන් කීපයකුත් ඡායාරෑප අරන් අපි අනගිමල ඇල්ල ලඟට එද්දීත් හවස පහුවෙලා තිබුනා.  
 
 
 
 
 
ඔයාලත් යන්න විවිධ දේ හමුවෙයි. සුන්දරත්වය විඳින්න. විනාස නොකර ආයෙත් එන්න. මම ගත්තු ඡායාරූප ටික වෙනම තැනක දාපු ලින්කුවට මෙතැනින් යන්න. ආයෙත් ගමනකින් හමුවන තුරු හැමෝටම ආයුබෝවන්...

Friday, July 15, 2016

මගේ ගමන් බිමන් අනූ හතරවැනි කොටස - මූනංගල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ අප්‍රකට දියඇලි රැසක් තියෙන දිස්ත්‍රික්කයක්. මැණික් වලට සුප්‍රසිද්ධ වුනත් සොභාව සෞන්දර්ය අතින් අගතැන්පත් ප්‍රදේශයක්. මේ කියන්න යන්නේත් රත්නපුර දිස්ත්‍රික්‍කයේ මායිමේ පිහිටන සුන්දර දිය ඇල්ලක් ගැන. ඒ තමයි මූනංගල ඇල්ල. ඇහැලියගොඩ ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටර 3ක් විතර එද්දී බදුවත්ත හංදිය හමුවෙනවා. එතැනින් හැරිල අමුහේන්කන්ද පාරේ කිලෝමීටර 1.5ක් විතර ගියාම අපට මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
මේ දිය ඇල්ල ලඟ තියෙන කසිප්පු තිප්පොලවල් නිසා යන එන වාහන වුනත් කිසිවෙක් නැතිව දාල යන එක නම් එච්චර නුවනට හුරු නෑ. බයිසිකලයක් ත්‍රී රෝද රථයක් වගේ නම් පහසුවෙන් ඒ කිට්ටුවටම වගේ යන්න පුළුවන්. නැතිනම් ඉතින් 4 වීල් වාහනයක් තමයි.
කොහොම වුනත් අතිශය  සුන්දරත්වයක් තියෙන් මේ මීටර 10ක් විතර උස දිය ඇල්ල පාමුලටම යාමෙ ්හැකියාව නම් තියෙනවා. කැලේ මැදින් තියෙන නිසා මිනිසුන්ගේ ශබ්ද ඇහෙන්නේ නෑ. ඒ නිසාම ස්වභාවිකත්වය උපරි‍මයෙන් විඳින්න පුළුවන් තැනක්. 

මේ තැන් වලට ගිහින් ඒ තැන් විනාස කරන්නේ නැතිව සුන්දරත්වය රැකලා එන්න.

Sunday, July 3, 2016

ඡායාරූප කලාවේ Greatest area of Contrast සංයුතිය යොදාගැනීම

මේ කියන කාරණාව එක ජේදයකින් කියන්න පුළුවන් වුනත් එහි ඇති වටපිටාව සමඟ කතාකාව කලානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම පටන්න ගන්නම්.

ඡායාරූපයක contrast කියන වචනය හැමදාමත් අපට ඇහෙන දෙයක්. ඒත් කාගෙන් හරි ඇහුවොත් ඒ මොකක්ද කියල ඒකට හරි පිලිතුරක් ලැබෙන්නේ කලාතුරකින්.. හැමොම දන්නවා මේක හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් කියන්න නමුත් ඒක කොහොමද කියන්න පුළුවන් අය ටික දෙනයි ඉන්නේ. කන්ට්‍රාස්ට් එක සරලවම කිව්වොත් ඡායාරූපය තුල උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයයි. මේ පරාසය තුල හොඳ වෙනසක් ඇති කරගන්න පුළුවන් නම් හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් ලබාගන්න පුළුවන්. මේ තියෙන හුඟක් වචන කලු සුදු කලාවෙන් ආරම්භ වුන ඒවා නිසා උපරිම කලු හා උපරිම සුදු අතර පරාසය කියලත් තැනෙක සඳහන් වෙන්න පුළුවන්. වර්ණ වලට එද්දී එය වර්ණ පැහැයන් වෙන වෙනම ගත් කල වෙන වෙනම වර්ණ වල උපරිමයන් හා අවමයන් සලකන්න වෙනවා. නමුත් එහිදී අපිට සම්පූර්ණ ඡායාරූපයම Grey-scale එකක් බවට පත් කරගෙන අපේ ඡායාරූපයේ වර්ණ පරාසය එහෙමත් නැතිනම් contrast level එක බලාගන්න පුළුවන්. උදාහරණ විදිහට මම ගත්තු මේ ඡායාරූපයේ වර්ණ පරාසය බලන්න. වර්ණ එක හා කලු සුදු ආකාරයේදී වෙනස බලන්න.
දැන් අපි එමු දෙවැනි කොටසට.ඒ තමයි සංයුතිය එහෙම නැතිනම් Composition කියල දන්න කාරණාවට. අපි අපේ ඡායාරූපයේ සංයුතිය යොදාගන්නේ මිනිස් ඇස හා මිනිස් මොලය තේරුම් ගන්නා ආකාරය සියුම් ලෙස හඳුනගැනීමෙන්. මනෝවිද්‍යාත්මක කුමවේදයක් මගින් මේ සංයුතිය භාවිතා කරන ක්‍රම වල නිරවද්‍යතාව පරික්‍ෂා කරල තියෙනවා. අපි ගොඩක් දෙනා භාවිතා කරන සංයුතිය තමයි ත්‍රිත්වයේ රීතිය (Rule of thirds) කියන්නේ. ප්‍රශ්ණය වෙලා තියෙන්නේ අපි ගොඩක් දෙනා මේ ත්‍රිත්ව රීතිය දේවත්වයෙන් සැලකීම නිසා එය පමණයි රීතිය වගේ අදහසක් ඇවිත් තියෙනවා. නැතිනම් golden ratio, golden triangle, golden spiral වගේ ඒවත් ටික ටික භාවිතා වෙනවා. නමුත් අපි කලාතුරකින්‍ කෙනෙක් භාවිතා කරන සංයුති ක්‍රමයක් තමයි මේ කියන Greatest area of contrast කියන ක්‍රමය. මම කලින් ලිපියක සඳහන් කලා රීති පුරුදු වෙන්න පුසුව බිඳින්න පුළුවන් කියන කාරණාව. නමුත් රීතියක් බිඳීමෙන් පසු පවා ඡායාරූපය ඇති රාමුව තුල ඇති සංයුතිය මනාව පවත්වාගෙන යා යුතු වෙනවා. එහෙම නැතිනම් ඡායාරූපය තුල ප්‍රේක්‍ෂකයා රඳවා ගැනීම අපහසු වෙනවා.  rule of thirds බිඳිනවානම් අපිට භාවිතා කරන්න පුළුවන් සංයුතියක් තවත් තියෙන්න ඕන. මේ එයින් එකක්.

මෙතැනදී අපි කරන්නේ අපේ අරමුණ මතු කිරීම සඳහා ඡායාරූපය තුල ඇති සියලු වර්ණයන්හි ඇති වැඩිම වර්ණ පරාසය ඇති තැන තුලට ප්‍රේක්‍ෂකයාගේ ඇස ගෙන ඒම. අන්න එතැන අලට අරමුණ රඳවන්න පුළුවන්ත එහෙමත් නැතිනම් ක්‍රමයෙන් වර්ණ පරාසයන් තුලින්ම ඇස අරමුණ වෙත ගෙන යන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල දී අප පාලනය කරන්නේ ඡායාරූපයේ වැඩිම කන්ට්‍රාස්ට් එකක් තියෙන තැන නිසා අපි එයට Greatest Area of Contrast (GAC) කියල කියනවා. මෙය පැහැදිලි වෙන අයුරින් මම අන්තර්ජාලයෙන් උකහාගත් ඣායාරූප කීපයක් ඉදිරිපත් කරන්නම්. ඒවායේ සියලු අයිතිය එවායේ කතෘ සතුබව සලකන්න.


මා මෙහි සඳහන් කල පින්තූර වල දෙවැන්නේ රතු පැහැයෙන් සලකුණු කල තැන් හා පැහැ අන්තරයේ ගලායාම අධ්‍යයනය කර බලන්න.

මගේ පින්තූර මතක පිටුවට මෙතැනින්..... https://www.facebook.com/sulakkhanaphotography/

ස්තූතියි....

Saturday, June 25, 2016

රට ඇතුලෙන් නෑසෙන කටකතා............

සාමාන්‍යයෙන් දේශපාලනය වෙනුවෙන් ඉඩක් වෙන් නොවෙන සුලාගේ අත්දැකීම් පිටුවෙන් ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න තීරණය කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි පහුගිය කාලේ අපේ සුන්දර රාජ්‍යය වුන සිරි ලංකාව සෑහෙන්න වෙනස් වුන කාලයක් නිසාවෙන්. මේ කතාවේ අතීතය පහුගිය රාජ්‍යකාල කීපයකට යනවා. කවුරුත් දන්න මහින්ද රාජපක්‍ෂ සමයේ යුධ භීතිය ඉවත් වීම හා දෙවැනි සමයේ ගසාකෑම් චෝදනා එක්ක රටේ සංවර්ධන වැඩපිලිවෙල සිදුවීමේ සමය දෙවැන්න විදිහටත් සිද්ධ වුනා. තුන්වැනියට මෛත්‍රී යුගයක් යහපාලනය යන නම එක්ක එලියට ආවා. මම මේ කියන්නේ තුන්වැනි පාලනය ගැන. ඒ මොකද දැනට සිදුවෙන්නේ ඒක නිසා.....

2015 ජනවාරි 8 වෙනාදාට කලින් ලංකාවේ එක පෙරලියයි. එකක් හොරා හොරා වචන ටික අනික යහපාලනය කියන වචනය. මේ කාලේ හුඟක් අය කිව්වේ රට ගොඩගන්න යහපාලනය හොඳි කියල. අවුරුදු 4ක නැගෙනහිර අත්දැකීම් එක්ක මම නම් කවදත් කිව්වේ ඒක නිවැරදි වෙන්නේ නෑ කියල. නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන ප්‍රතිවාදීන් එකම තරාදියේ දෙපැත්තේ තිබ්බාම වෙන් කරන්න කාරණා තිබුනේ නැති තරම්. ඒ කොයි එක වුනත් පොදු කාරණා වෙනුවෙන් තරාදියක දැම්මාම සමහර අති විශාල කරුණු සම්බන්ධව යහපාලන තරාදියේ සතුටු දායක තත්ත්වයත් තිබුනේ නෑ. ඒ නිසා යහපාලනය කියන වචනට මිරිඟුවක් විදිහට තමයි හැමදාම මට පෙනුනේ. එදා මාත් එක්ක හිටපු සමහර (සම හරක් දැයි සිතේ) අය පොලවේ හැපෙමින් යහපාලන ගුන වරුණ කියද්දී මට දෙන්න තිබුන පිළිතුර වුනේ "ඔය කාරණාවම ජනවාරි 8 වැනිදා පහුවෙලා මාස 6කින් කියන්න පුළුවන්ද?" කියල විතරමයි. 

යහපාලනය ජය අරන් මාස කීපයක් යද්දී කටකතා පැතිරුණා. මිනිස්සු හිතාගන්න බැරිව තුෂ්ණිම්භූත වුනා. මොකක්ද මේ කරගත්තේ කියල හිතන්න වුනා. "ඉඟුරු දීලා මිරිස් ගත්තා වා‍ගෙයි" සි‍තෙන්න වුනා. නාය යෑම් වෙද්දී, ගං වතුර එද්දී දේශපාලනය හැංගිලා තමන් වෙනුවෙන් වාහන මිල මුදල් එකතු කරන හැටි කතා වුනා. හොරෙන් යටිමඩි ගහපු දේශපාලුවෝ එලිපිට ඒ දේවල් කරන්න වුනා.
 
සලාව අවිගබඩාව ගිණිගන්නවා.. මිනිස්සු දන්නේ නෑ අවි ගබඩාවක් තියෙනවා කියලවත්. හමුදාවේ සාමාන්‍ය සෙබලෙකුට තියා සමහර ඉහල නිලධාරීන්ට පවා ඇතුලට යන්න අවසර ගන්න වෙන ගබඩාව සහිත කඳවුරේ ගින්නක් ඇතිවෙන්නේ කොහොමද? කොටි ත්‍රස්තවාදය සමයේ කීපවරක් උත්සාහ කරලත් විනාශ කරන්න බැරිවුන කඳවුර එක රැයකදී විනාශ වෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් හදපු ගබඩාවට අඩි කීපයක් ගනකම බිත්ති, විදුලි රැහැන් රහිත අභ්‍යන්තරය ආදිය නිසා ලොකු අාරක්‍ෂාවක් ලැබෙනවා. නමුත් එක රැයයි කඳවුර හා අවට පිරිස විනාශයි.. දවසක් දෙකක් යද්දී සියලු කඳවුරු බවත් කරන්න පනතක් සම්මතයි... මොනවා වෙනවද ැයි වෙන්නේ කියල මාධ්‍යය, ජනතාව අහද්දී දෙවැනි දෙයක් සිදු වෙනවා.  කරුණ අමතක වෙලා වෙනතකට කටකතාව යොමු වෙනවා...
 
සලාව මකන්න එතැන පුරවන්නේ කුරු කන්ටේනරය. කුඩු කන්ටේනර ආවාම කාගෙද යන ප්‍රශ්ණය මාධ්‍යයෙන් හෙලිවෙන්න කලින් ජනාධිපති ආරක්‍ෂාව සමඟ එතැනට යනවා. ජනාධිපති ඉවත්වන තුරු මාධ්‍යයට තොරතුරු නෑ. මාධ්‍යයෙන් නිවැරදිව තොරතුරු දන්නේ නෑ. කටකතා වාර්ථා කරනවා. විවිධ මාධ්‍ය වල විවිධ තොරතුරු කියන දේ ඇති කරවලා මාධ්‍ය යනු හුදෙක් මවාපාන පිරිසක් බවට ජනතාව ඉදිරි‍යේ පෙන්වනවා. අවසන් ප්‍රධිඵලය වෙන්නේ මාධ්‍යය තුලින් කෙරෙන අනාවරණ පිළිබඳ මිනිසුන් තුල සැකයක් ඇතිවීම. එනිසා (යහ) පාලනයෙන් කෙරෙන වැඩ පිලිබඳ අනාවරණ පිච්චියකට මායිම් කරන්නේ නැති තත්ත්වයක් උදා වෙලා.

තවත් එක එක දේවල් කටකතා විදිහෙන් වුනත් ඒ ගැන කියන්න මේ ලිපියේ දිග මදි වෙනවා. අවසානය අහන්න තියෙන්නේ මෙච්චරයි. සලාව ගිනිගද්දී ඒක නිසා විනාශ වුන ගම් බිම් ගැන තොරතුරු හෙව්වද? දවසක් දෙකක් ඇතුලේ පනතක් සම්මත වේනනේ කොහොමද? කෝටි 117කට වඩා ගොඩක් වැඩි වටිනකමක් ඇති වාහන ලංකාවට ඇවිත් තියෙද්දීත් කෝටි 117ක් වටින වාහන ගෙන්නන්න කියල අවසර ඉල්ලමින් පනතක් සම්මත කරගන්න හදන්නේ ඇයි? ගංවතුරට රජයෙන් උදව් නොලැබී මිනිසුන් මිනිසුන්ටම උරදෙද්දී එය වහන්න කඳවුරු ගිණි ගන්නේ ඇයි? කඳුවුර ගින්න වහන්න ඒ පිටටම කුඩු කන්ටේනර අහුවෙන්නේ ඇයි? මේ සියල්ල වෙද්දී ජනතාවට හොරෙන් බිලියන ගනන් වටින අවිආයුධ ලංකාවේ ගැඹුරුම මුහුදක් තියෙන ත්‍රිකුණාමලය මුහුදේ කිසිම ගනනයක්, ප්‍රමාණයක් නැතිව ගිල්වන්නේ ඇයි?? 

පැතූ යහපාලනය මෙයද??? වෙනස් කල යුතු නම් රජයක් ජනාධිපතිවරයෙක් වෙනස් කල හැකි ක්‍රමවේදයක් ඇත. එය සිතීම ඔබට බාරයි... ජනවාරි 8ට කලින් අනාවැකි කිව්වා සේම අදද අනාවැකියක් කියමි. "සංහල ජාතියක් බුද්ධාගමක් පවතින්නේ තව අවුරුදු කීපයක් පමණකි. රට විශාල යුද්ධයකට මුහුණ දෙනු ඇත. අය අවසානයේ ඔබ අප වැන්නෝ විනාශ වෙද්දී දේශපාලුවන් වෙනුවෙන් උරදී කැපවුන පිරිස හා බලාපොරොතු සුන්වුන ජීවත්වන මලමිනී ටිකක් පමණක් ඉතිරි වනු ඇත."


Thursday, June 23, 2016

මගේ ගමන් බිමන් අනූ තුන්වැනි කොටස - මනන් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් තවත් අපූරු සුන්දර දිය ඇල්ලක් ලඟට තමයි අපි ඊලඟට යන්නේ. කාලයකට පස්සේ නිදහසේ ඇවිදින්න ලැබුනා. ආගිය තැන් කීපයකින් එකක් තමයි මනන් ඇල්ල. මීටර 30ක් විතර උස මේ දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා.. ඇහැලියගොඩ නගරයේ ඉඳන් රත්නපුර දෙසට කිලෝමීටර කීපයක් ගියාම බදුවත්ත හංදියෙන් හැරිල කුරුගම්මෝදර පාර දිගේ කි‍ලෝමීටර 5-6ක් ගියාම මෙතැනට යන්න පුළුවන්. පාරෙන් වාහනය නවත්තල ටිකක් ඇතුලට යන්න තියෙනවා...
දිය ඇල්ලේ වතුර අඩු කාලයේදී නම් දිය ඇල්ල යටටම වගේ යන්න පුළුවන් විතරක් නෙවෙයි දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. එතැන නොගැඹුරු පොකුණක් වගේ හැදිලා තියෙන නිසා එතැනින් වුනත් හොඳ ආරක්‍ෂාව ඇතිව නා ගන්න නම් පුළුවන්. පැය ගානක් වුනත් නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ස්වභාවික ශබ්ද වලින් පිරිසිදුව ඇති අවට පරිසරයේ නිහැඬියාව බි‍ඳෙන්නේ දිය ඇල්ලෙන් වතුර වැටෙන හඬට විතරක්ම වගෙයි. 
අපූරු තැනක් විඳින්න පුළුවන් තැනක් තවත් කෙනෙක්ට යන්න ඉඩ තියල ගිහින් බලල විඳල එන්න. තවත් අපූරු තැනත් එක්ක හමු වෙනකම් ආයුබෝවන්.....


Tuesday, June 7, 2016

Landscape ඡායාරූප වැඩි දියුණු කරගන්නේ කොහොමද?

Landscape ඡායාරූප ගන්න ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පසු සංස්කරණ තුලින් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ දේ ඉගෙන ගත්තේත් ලඟදි තිබුණු වැඩ මුලුවකින්. මුහුණු පොත හරහා එක්වුන Infinity Photo Club නම් සමූහය විසින් කල මේ වැඩමුළුවේදී සංස්කරණය ගැන නොදන්න දේවල් කියා දුන්න Anushka Eranga සොයුරාට මෙතැනදී ස්තූතිවන්ත විය යුතුයි. ඡායාරූප පසු සැකසුම ගැන මගේ දැනුම වැඩි දියුණු කර එතැනදී එකතුවුන දේවල් එකතු කරල තමයි මම මේ උදාහරණ ඡායාරූප සැකසීම කරමින් ලිපිය ලියන්නේ.
Landscape ඡායාරූපයක් හෝ වෙනත් ඡායාරූපයක් හෝ වේවා අපි ඒ ඡායාරූපය ගන්න වෙලාවේදීම ඡායාරූපයේ අවසන් නිමාව පිළිබඳ අදහසක් අප සිත තුල තිබිය යුතුයි. සාමාණ්‍යයෙන් Camera එකකින් ඡායාරූපයක් ලබා ගනිද්දී RAW කියන වර්ගයෙන් ලබා ගන්නවා නම් අපට අවශ්‍ය විදිහේ හොඳම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා... මම පසු සැකසීම් සදහා යොදා ගන්නේ Photoshop මෘදුකාංගය හා Nik Google Collection එකේ Photoshop filters එකතුව.....
මුලින්ම RAW ගොනුව Photoshop වලින් විවෘත කරගෙන ඒකට ඕන කරන මුල් සැකසුම් කරල Open Image Command එක දෙන්න. ඊට පස්සේ ඒ පින්තූරයේ ලේයරය Right click කර Convert to smart object කියන එක තෝරා ගන්න. එහෙම කලාම අපි කරන වෙනස්කම් වෙනම Mask එකක් විදිහට තමයි ඡායාරූපයේ layer එකට එකතු වෙන්නේ.....
ඊට පස්සේ Filter යටතේ තියෙන Nik Collection එකේ Color Effect pro කියන එක තෝරා ගන්න. එතැනින් පස්සේ පසු සැකසුම කෙරෙන්නේ Nik Collection එක හරහා.
මුලින්ම මම භාවිතා කරන්නේ Pro Contrast කියන Filter එක. ඒකෙන් අපි කැමති විදිහෙන් ඡායාරූපයේ Contrast එක හදාගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට වඩා වෙනස් වෙන්නේ මේකෙදී අපිට වෙනස් Option කීපයක්ම තියෙනවා. Correct color cast, Correct Contrast හා Dynamic Contrast කියන තුනම වෙන වෙනම වෙනස් කරන්න පුළුවන්. එතැනින් පස්සේ පහල තියෙන control points කියන Option එක යටතේ අපිට පුළුවන් අපේ Contrast එක වෙනස් වෙන්න ඕන සීමාව Mask එකක් භාවිත කරල සීමා කරගන්න. + හා - විදිහට Mask දෙකක් භාවිතා කරල අපි සීමාවන් හදා ගන්නවා.
සකැසුම් අවසානයේ Addfilter කියන Command එක භාවිත කරල අපට Filter එක අපේ ඡායාරූපයට එකතු කිරීම සඳහා තෝරාගන්න පුළුවන්....
ඊලඟට මම භාවිත කරන්නේ Sky Light Filter එක. ඒකෙන් මම ඡයාරූපයට පොඩි ආලෝකයක් ලබා දෙනවා. ඊටත් පස්සේ Detail Extractor කියන Filter එක භාවිතා කරල ඡායාරූපයේ Details ටිකක් වැඩි කරගන්නවා. හැම Filter එකක් භාවිතයේදීම Add Filter කියන Command එක භාවිතා කරන්න ඕන. ඒ වගේම අපිට පසුව ඒවා වෙනස් කරන්නත් පුළුවන්. 
දැන් අපි සාමාන්‍ය විදිහට වඩා වැඩි යමක් ඡායාරූපයේ සංස්කරණය කරගෙන ඉවරයි. ඕන නම් ආයෙත් මේ Filters හරි මේ Collection එකේ තියෙන වෙනත් Filters භාවිතා කරන්න පුළුවන්. අවසානයේදී වෙනත් අවශ්‍ය සැකසුම් කරල ඡායාරූපය අවසන් ඡායාරූපය ලෙස සකස් කරගන්න පුළුවන්. මේ Filters භාවිතය සඳහා සීමාවක් නැහැ. අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඡායාරූපය ගුනාත්මය භාවය තීරණය වෙන්නේ පසු සැකසුම සිදු කරන සංයමය අනුව.
මේ තියෙන්නේ මම සකස් කල ඡායාරූපයේ මුල් අවස්ථාව සහ අවසන් ප්‍රථිථලය..... මේකෙදි මම දෙපාරක් Pro contrast කියන filter එක භාවිතා කලා... Noise Reduction එකකුත් High pass Filter එකත් භාවිතා කරල මට අවශ්‍ය තැන් විතරක් Mask එකකින් වැඩි දියුණු කලා.....

ඔයාල ගන්න ඡායාරූපත් පසු සැකසුම් වලින් දියුණු කරල කමෙන්‍ට් එකක් දාන්න..  අපැහැදිලි තැනක් තියේ නම් ඒකත් කමෙන්ට් එකකින් අහන්න....
ස්තූතියි සැමට.... ජය

Saturday, May 14, 2016

ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු

ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි පින්තූරයක් ගත්තාම ඒකේ මීදුමක් වගේ බැඳිල තියෙන කොටස් ඉවත් කර ගන්න එක. සමහර වෙලාවන් වලදී පින්තූර පුරාම ඒකාකාරවත් තවත් වෙලාවක පින්තූරයේ තැන් තැන් වලත් මේ විදිහෙන් ති‍ෙයන්න පුළුවන්. ඒක ලෙන්ස් එකේ ජලවාශ්ප බැඳිල තිබුනාම වගේම පරිසයේ ආරද්‍රතාව වෙනස්වීම නිසාත් සිදු වෙනවා. මෙන්න මේ කොටස් අයින් කරල පින්තූරයක් වැඩි දියුණු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියන්න හදන්නේ විනාඩි කීපයකින් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන.

අලුත් Photoshop versions එක්ක වැඩ කරන අය දන්නවා ඇති Camera Raw filter  එක ගැන. ඒත තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් අලුත්ම එක බාගත කරගන්න පුළුවන් වෙයි.


මෙන්න මේ Filter එකත් එක්ක තමයි අපි අද පාඩම කරන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට ‍වැඩි දියුණු කරන්න ඕන කරන පින්තූරය Photoshop වලින් open කරගන්නවා. උදාහරණ විදිහට මම යොදාගන්නේ බිසෝ ඇල්ල මුදුනේ ඉඳන් මම ගත්තු ඡායාරූපයක්.
අපිට තියෙන ලේයර් එකේ Duplicate එකක් අරන් Menu එකේ filter යටතේ තියෙන Camera Raw Filter එක click කරන්න ඕන. Ctrl + shift + A පාවිච්චි කරලත් අපිට එතැනට යන්න පුළුවන්. Camera Raw Filter එකේ දකුණු පැත්තේ තියෙන Effects Menu එකට ගියාම අපිට Dehaze කියල Option එකක් තියෙනවා. එතැන තියෙන Scroll bar එක දකුණට ගෙනියද්දී පින්තූරයේ මීදුම් ගතිය අයින් වෙන හැටි දකින්න පුළුවන්.

ඒකාතාර මීදුමක් වගේ නම් තියෙන්නේ ඒක ‍එක් වරක් මේ ක්‍රමය භාවිත කරල ඉවත් කරන්න පුළුවන් නමුත් ඒකාකාර නොවනවා නම් කොටස් කොටස් Select කරල මේ වැඩේ කරන්න වෙනවා. එ‍හෙමත් නැත්තම් වෙන වෙනම ආරම්භක Layer එකේ Duplicate අරගෙන එක් එක් ප්‍රමාණ වලින් Dehaze Effect එක යොදල Layers කීපයක් හදාගන්න පුළුවන්. පස්සේ Mask භාවිතා කරල අවශ්‍ය තැන් වලට විතරක් අවශ්‍ය ප්‍රමාණ වලින් Dehaze Effect එක තියා ගන්න පුළුවන්. අවසානයේ Layers ඔක්කොම Merge කරල එකක් බවට පත් කරගන්නවා.

නමුත් මතකයේ තියා ගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි Dehaze Effect එක යොදන ප්‍රමාණයට සමානුපාතිකව Contrast එක සහ Saturation එක වැඩි වෙනවා. ඒ නිසා Layers, Merge කරන්න කලින් Layers වල Saturation එක වගේම Contrast එක Match කරගන්න බලන්න ඕන.

මුල් සහ අවසාන ඡායාරූප දෙක ගත්තාම වෙනස පැහැදිලි ඇති කියල හිතනවා.

අදහස් උදහස් ගල් මුල් තියේ නම් කමෙන්ට් විදිහෙන් දාන්න. ස්තූතියි....!