Pages

Saturday, November 12, 2016

Extension Tube එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද? දන්න සිංහලෙන් Macro Photography - දෙවන කොටස

Extension tube එකක් හදන හැටි එක්කම මම මේක කරන්න අඩිතාලම දාපු හැටිත් කියන්න හිතුනා. ‍මොකද මේ වගේ දෙයක් කරන එක වගේම එහෙම දෙයක් හිතන එකත් ලොකු වැඩක් නිසා. මගේම කියල DSLR කැමරාවක් අරන් අවුරුද්දක් විතර ගතවෙද්දී මට හිතෙන්න පටන් ගන්නවා අලුත් දෙයක්. ඒක අලුත් වෙන්නේ කැමරාව හා එහි තාක්‍ෂණික පැත්ත අධ්‍යයනය ආරම්භ වීම හා භෞතික විද්‍යාවේ මම ඉගෙන ගත්තු කාච හා ආලෝකය පිළිබඳ පාඩම් මතකයට එද්දී. එදා ඉඳන්ම භෞතික විද්‍යාවට ආස වුනේ ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතන්නේ.
කැමරාවේ සාමාන්‍ය ලෙන්ස් එක වුන 18-105mm ලෙන්ස් එකත් 55-300mm කියල ලෙන්ස් එකකුත් තිබුන මට අරමුණ වුන වස්තුවට ලංවෙන එකට තවමත් සීමා තිබුනා. මම බැලුවේ අරමුණට ලංවෙන එක ගැන සහ අරමුණේ විශාලනය වැඩි කරන්න. ටිකෙන් ටික පුංචි උන්ගේ ලෝකයට ලංවෙන්න හිතුනත් කැමරාව ඒකට හරස් වුනා. Macro Photography කියල දෙයක්වත් හරි හැටි නොදැන හිටි නිසා හොයල බලන්නවත් විදිහක් තිබුනේ නැති තරම්. මේ අතරේ මට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. තාරකා සංගමයක ක්‍රියාකාරී සාමාජිකයෙක් වුන මට විශාලනය කියල දෙයක් අහන්න ලැබෙනවා. ඒක කරන්න ලෙන්ස් දෙකක් ඕන. මේ කරුණ ගැන හිතනකොට Single Lens Reflex කියන එක හරහට ඇවිත් කරදර කරනවා. ඉතින් විශාලනය ගැන ඉගෙන ගන්න මට ලෙන්ස් එක හා සෙන්සරය අතර දුර වැඩි කිරීම කියල සංකල්පයක් පහල වෙනවා. මේ තමා ආරම්භය. ඒකට ක්‍රම හොයද්දී හමුවුන විසඳුම තමයි මම මුලින්ම ඔයාලට කියා දෙන ක්‍රමය. ඊ්ට අමතර ක්‍රම කීපයක් පසුව සඳහන් කරනවා ලිපියේ අග වෙද්දී.
වම Canon දකුණ Nikon
Extension Tubes භාවිතා කරන්න කලින් දැනගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි Nikon කැමරාවක් නම් ඇපෙචරය භාවිතා වෙන්නේ ලීවර ක්‍රමයකින්. ලෙන්ස් එක ගලවලා පිටුපස තියෙන ලීවරය තල්ලු කලාම ඇපෙචරය විවෘත කරන්න පුළුවන්. මෙය අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවක කරන්න පුළුවන්. ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතාව නැති නිසා අපිට මේක වෙනම කරන්න වෙනවා. (දැනට) Canon සමාගමේ නම් මේ සියල්ල ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට තියෙන නිසා නිවැරදිව ලෙන්ස් එක හයි කරල අවශ්‍ය ඇපෙචර අගය දෙන්න ඕන. කැමරාව On එකේ තියෙද්දීම ලෙන්ස් එක ගලවගත්තාම අපි නැවත නිවැරදි ආකාරයෙන් ලෙන්ස් එක සවි කරන තුරුම තීරණය කල අැපෙචර් අගයේ තියා ගන්න පුළුවන්. අපිට ඒක වෙනස් කරන්න නම් නැවත නිවැරදිව සවි කරලා ඇපෙචර අගය වෙනස් කරල ගලව ගන්න වෙනවා.
මුලින්ම හොයාගන්න ඕන ‍දේ තමයි අඟල් දෙකක් විතර විශ්කම්භය තියෙන කාඩ්බෝඩ් බටයක්, එහෙම නැතිනම් ප්ලාස්ටික් වතුර ගෙනියන බටයක්. ලෝහ නම් භාවිත නොකරන්නයි මූලික අවවාදය. මොකද කැමරා බ‍‍ඳේ තියෙන සම්බන්ධක වල ගෑවුනොත් වැඩේ වන වෙනවා. පරණ කඩදාසි රෝල් වල එන කාඩ්බෝඩ් බට එහෙම නැතිනම් ටොයිලට් පේපර් එකක මැදින් එන කාඩ්බෝඩ් බටේ මේ වැඩේන නියම ගාන.
 
මෙන්න තියෙනව අවශ්‍ය දේවල් දැන් වැඩේට බහිමු. මුලින්ම මේ බටයෙන් අවශ්‍ය දිග කපා ගන්න ඕන. මම මුලින් ලිපියේ කිව්ව මතක ඇති විශාලනය ගැන සම්බන්ධයක්. අන්න ඒ විශාලන ප්‍රමාණය -තීරණය -වෙන්නේ මෙන්න මේ බට කෑල්ලේ දිග සහ ලෙන්ස් එකේ නාභිය දුර එක්ක. අපි පාවිච්චි කරන කාචය හිතන්න 18-105mm (මම මුලින් භාවිත කල කාචය) නම් අපිට 105 නාභිදුර එක්ක උපරිම වශයෙන් 105mm දිග බට කෑල්ලක් භාවිතා කරන්න පුළුවන්. ඒක වෙන හැටි මෙතැන පැහැදිලි කරන්න යන්නේ නැත්තේ මේක භෞතික විද්‍යාව පාඩමක් නොවන නිසා. හැබැයි 105mm දිගක් භාවිතත කල ගමන් ලෙන්ස් එක මැද තමයි වස්තුව තියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් උපරිමය 70mm වගේ භාවිත කරන්න පුළුවන් මේ ලෙන්ස් එක එක්ක. 
මතක තියා ගන්න ලෙන්ස් එක එක්ක හයි කරන බටය දිග වැඩි වෙද්දී විශාලනය වැඩි වෙනවා. ඒ එක්කම ක්‍ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. ඒ නිසා නාභිගත කරගන්න දරන වෙහෙස වැඩියි. ආරම්භය හැටියට 40mm විතර භාවිතා කරල closeup පින්තූර වලට උත්සාහ කරල ඉන්න. මම මුලින් ලිපියේ කිව්වා වගේම කැමරාව, ටියුබ් එක, ලෙන්ස් එක. මෙන්න මේක තමයි පිළිවෙල වෙන්නේ. දැන් ඉතින් ඇපෙචරය සෙට් කරල අපි හදපු ටියුබ් එකයි ලෙන්ස් එකයි කැමරාව එක්ක තියල තද කරල එක අතකින් අල්ල ගන්න. (බය වෙන්න එපා කරන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ) දැන් ඉතින් පින්තූර ගන්න තමා තියෙන්නේ. මම නම් මේ ක්‍රමයේදී යෝජනා කරන්නේ වැඩිම ඇපෙචර විවිරයක් භාවිතා කරන්න කියලයි. ඒ කියන්නේ f වල අවම අගය. Nikon අයට නම් ඇපෙචර් ලීවරය කඩදාසි කෑල්ලකින් උපරිම විවිරය තියල හිර කරගන්න පුළුවන්.

දැන් ඉතින් ලෙන්ස් එකයි ටියුබ් එකයි දෙකම අතේ තියාගෙන පින්තූරයක් ගන්න කරදරයි කියග පේන අයට කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මෙන්න මේ කියල බඩු ටික ඕන වෙනවා. තමන්ගේ කැමරාවට සවි වන Body Cap එකක්, ලෙන්ස් එකේ පිටුපස ආවරණය වෙන ‍lens cap එකක්, අඟල් කීපයක් දිග හරස්කඩ අඟල් දෙකක් පමණ වූ ඝණකම ටිකක් වැඩි ප්ලාස්ටික් බටයක්. මුලින්ම ප්ලාස්ටික් බටයේ ඇතුලත සිදුරේ ප්‍රමාණයට Body cap එක සහ lens cap එකේ සිදුරු කපා ගන්න ඕන. මතක තියාගන්න මේ සිදුර සමබරව හරි මැදින් තියෙන් හදාගන්න. නැතිනම් අපි ගන්න පින්තූරයේ අඩුපාඩු වෙන්න පුළුවන්. (වර්ණ වල හා විකෘති හැඩ බොහෝ විට) දැන් ප්ලාස්ටික් බටය අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන දෙපැත්තට අපි සකස් කරපු cap දෙක අලව ගන්න. මේකට ප්ලාස්ටික් හොඳින් අලවෙන ගම් එකක් භාවිතා කරන්න. Epoxy වගේ ගම් එකක් නම් වඩා හොඳයි. 
 
හොඳට වේලුනාම අපිට ටියුබ් එක භාවිතා කරන්න පුළුවන්. අපිට විවිධ ප්‍රමාණ වලින් මේවා කීපයක් හදාගෙන විවිධ විශාලන භාවිතා කරනන පුළුවන්. නැතිනම් Male Female pipe connector එකක් හෝ කීපයක් භාවිතයෙන් විවිධ දිග සකස් වෙන විදිහේ tube කෑලි ටිකක් හදාගන්න පුළුවන්. බට කෑල්ලක දෙපැත්තට Male එකයි Female එකයි වෙන්න connectors හයි කරල විවිධ දිග තියෙන්න කෑලි කීපයක් සකස් කරනවා. දෙකෙලවරට එක් පැත්තක body cap එකයි Male connector එකයි තියෙන එක කෙ‍ාටසකුත් එක් පැත්තක Lens cap එකයි Female connector එකයි තියෙන්න හයි කලා නම් වැඩේ ගොඩ. මතක තියා ගන්න පද්ධතියේ මුලු දිග අවසානයේ අවම නාභි දුරට බලපානවා. ඒ නිසා ගොඩක් දිග බටයක් ගන්නවා නම් වැඩි නාභි දුරක් තියෙන ලෙන්ස් එකක් භාවිතා කරන්න.
උදාහරණ විදිහට 50mm ලෙන්ස් එකක සාමාන්‍යයෙන් අවම නාභි දුර 450mm විතර වෙනවා. ඒකට 70mm විතර extension tube එකක් හයි කලාම අවම නාභිදුර 35mm විතර වෙනවා. ඒ කියන්නේ 12 ගුණයක් විතර ලඟට ඇවිත්. අපි තවත් දිග tube එකක් භාවිතා කලොත් අපිට ලෙන්ස් එක ඉදිරියේ තියෙන කිසි දෙයක් නාභිලත කරගන්න වෙන්නේ නෑ. ඒ නිසා මම නම් කට්ටියට උපදෙස් දෙන්නේ ආරම්භ කරන්න නම් 100mm හෝ 135mm විතර තියෙන ලෙන්ස් එකකුයි 50mm - 60mm විතර වෙන ටියුබ් එකකුයි හදාගන්න. 50mm වගේ ලෙන්ස් එකක් නම් උපරිමය 50mm ම වෙන ටියුබ් එකක් හදාගන්න. අත්දැකීමෙන් දෙන උපදෙසක් නිසා අහක දාන්න එපා. වැඩේ පුරුදු වුනාම විවිධ දිග එක්ක වැඩ කරල බලන්න. අත්දැකීම් ලැබෙයි. පටන් ගත්තු ගමන් අසාර්ථක උත්සාහ කරන්න යන්න එපා අපරාදේ කාලය.
extension tubes හදාගන්න මේ ක්‍රමයම වෙනස් කරල වෙනත් උපකරණ භාවිතා කරල පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ තමයි ලේසිම ක්‍රම දෙක. 

මම ටියුබ් එකක් භාවිතා කරල ගත්තු මැක්‍රෝ පින්තූර ඕන තරම් බලන්න පුළුවන් මගේ පිටුවට ගියානම්.
https://www.facebook.com/sulakkhanaphotography/
තියෙන ගැටලු ඕන දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. හොඳ පින්තූර ටිකක් ගන්න. අනිත් අයටත් බලන්න අපිටත් එවන්න. Macro Photography පළවෙනි කොටසට පහල ලින්කුවෙන් යන්න පුළුවන්.

සියල්ලන්ටම ජය.....

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

ඉදිරියේ ලිපි ලියනකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න Follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුළුවන් තැන් ලින්ක් කරන්නම්. ස්තූතියි.
* උපකරණ වල ඡායාරූප අන්තර්ජාලයෙනි.....

Friday, November 11, 2016

මගේ ගමන් බිමන් අනූනම වැනි කොටස - බේරුවත්ත ඇල්ල, වේවැල්වත්ත

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර ප්‍රමුඛස්ථානයක් ලැබෙන දිය ඇල්ලක් තමයි බේරුවත්ත ඇල්ල කියන්නේ. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 20ක් විතර ගියාම රුවුලදොල හංදියට ලඟ වෙන්න පුළුවන්. එතැනින් මීටර 150ක් විතර පයින් තමයි යන්න වෙන්නේ. වැහි අඩු කාලයේදී කුඩා දොලක් විදිහට තිබුනා වුනත් වැහි කාලයේදී නම් දරුනු විදිහේ සැඩපාරක් තියෙනවා. ඒකෙන් එගොඩ වෙලා ටිකක් ඇතුලට යද්දී දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්.
වේවැල් දොලෙන් පෝෂණය ලබන බේරුවත්ත ඇල්ල උසින් අඩි 54ක් විතර වෙනවා. මනරම් ලෙසින් ඇද හැලෙන දිය ඇල්ල අවසානයේ බෙරුවත්ත විල නමින් හැඳින්වෙන පොකුණ නිර්මාණය කරමින් ගලා බහින්නේ වේවැල් දොල විදිහට. පස්සේ අලුපොල දොල හා රැවුලදොල සමඟ එක්වී අවසානයේ මහවැලි ගඟට ගලා බහිනවා.
 
බෙරුවත්ත විලේ නම් ටිකක් විතර භයානක පෙනුමක් තමයි තියෙන්නේ නමුත් සවස් යාමයක බේරුවත්ත ඇල්ල ලඟ ඉඳගෙන එහි සුන්දරත්වය විඳින්න තියෙනවා නම් ඒ අවස්ථාව මඟ හැරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. අප්‍රකට ඇල්ලක් වුනත් ගම්වැසියන් තාමත් එතැනට යන මඟ අහන අයට පෙන්වන්න තරම් නිහතමානී වෙනවා. ඒකට හේතුව අනිත් තැන් වගේ තාම මේක කුලුඳුලේ තිබීම වෙන්න ඇති. ඒ නිසා යන්න ගිහින් සුන්දරත්වය විඳින්න. හැබැයි තව කෙනෙකුට සුන්දරත්වය විඳින්න ඉතිරි කරල එන්න වගබලා ගන්න.


මේ ගමන අතරේම ගිය පුංචි දඹදිව හා කටුගස් ඇල්ල ගැන කියවන්න මෙතැනින්.
 
 

Tuesday, November 8, 2016

ම‍ගේ ගමන් බිමන් අනූ අට වැනි කොටස - රත්ගඟ අසල පිහිටි පුංචි දඹදිව

රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගය දිගේ ගමන්කර ගලබඩ මංසංධියට එන්න පුළුවන්. එතැනින් රත්ගඟ පාර දිගේ කිලෝමීටර 10ක් විතර ගියාම අපට පුංචි දඹදිව කියන නමින් ප්‍රසිද්ධ වුන මේ පන්සල දකින්න පුළුවන්. අති විශාල අතීතයකට හිමිකම් කියන අපේ රටේ තියෙන අනිත් පූජ්‍ය ස්ථාන එක්ක ගත්තාම මේ විහාරස්ථානයට තියෙන්නේ බොහොම පුංචි ඉතිහාසයක්. නමුත් ඒ ඉතිහාසය තුලදී මෙයට අත්කර දී ඇති විශේෂත්වය ලෝකය පුරාම ප්‍රසිද්ධියක් ලබන්න තරම් ප්‍රමාණවත්.
ශ්‍රී පාද අඩවිය පාමුල පිහිටි අතිශය දුෂ්කර ගම්මාන වල තිබුනු පන්සල් වලින් ඒ කාලේ පාරක්වත් නොතිබුනු පන්සලක් තමයි ගිලීමලේ පන්සල කියන්නේ. හොඳින් උගත් හිමිනමක් වුන ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ට ඒ කාලේ වෙද්දී වයස අවුරුදු විසි හතරක් විතර ඇති. සෑම තැනම ධර්ම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ 1981 අප්‍රේල් මාසේ 14 වැනිදා ගිලීමලේ විහාරයට සමු දීල රත්ගඟ පාමුලට වඩින්න වුනා. ගම්වැසියන්ගේ උදව්වෙන් කොලඅතු වලින් වටකරපු ධර්මශාලාවක් හා කුඩා පැල්පතක් සකස් කරගෙන අලුත් පන්සලක් විදිහට ඒක වැඩි දියුණු කරන්න මහන්සි ගත්තා. එතැනින් පටන්ගත්තු මේ විහාරය අද මහානර්ඝ විහාරයක් බවට පත්වෙලා තියෙනවා. විවිධ ජනපතිවරුන්ගේ අනුග්‍රහයද නොඅඩුව මෙම විහාරයට ලැබී තිබෙනවා.
 
 
 
 
අවුරුදු දෙකක් වැනි කුඩා කාලයකින් නිමවුන බුදුරජ විහාරය ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජමහා විහාරය වෙනවා. මෙය සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා දඹදිව ජේතවනාරාමයේ අසූමහා ශ්‍රාවක රහතන්වහන්සේලා පිරිවරාගෙන ධර්ම දේශනා කල ආකාරය විදහා දක්වන සම්සභා මණ්ඩපයක් ඇතුලතින්ද දීපන්කර බුදුන්ගේ පටන් කාශ්‍යප බුදුන් දක්වා වූ බුදුරජාණන් වහන්සේලාගේ පිලිරූ පිටත මාලකයේද තිබෙන සේ ඉදිකර ඇත. සූවිසි බුදුන්ගේ ප්‍රතිමාවන් 24ක් අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා 80ක් යන මේ සියලු ප්‍රතිමා එකම වහලක් යට එකම ස්ථානයක එකම විහාර මන්දිරයක් තුළ නිර්මාණය කර තිබෙන එකම ස්ථානය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම ඇත්තේ මේ ස්ථානයේ පමණක් නිසාත් "ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය" නමින් මෙය හඳුන්වයි.
මෙයට අමතරව අඩි 203ක් දිගින් සහ අඩි 62ක් පළලින් යුතු සුවිශාල ධර්ම ශාලාවක්ද මෙහි තිබේ. එනිසා නන් දෙසින් එන වන්දනා නඩ වෙනුවෙන් නවාතැන් පහසුකම් මෙහි තිබේ. 2003 වසරේදී විවෘත කෙරුණු දෙත්‍ය රාජයාණන් වහන්සේද ශ්‍රී ලංකාවේ ඇති එකම දෙමහල් සෑය වශයෙන් එකල විවෘත විය. පහත් බිම් මාලයේ සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කර ඇති අතර ජාතක කතා වස්තු රාශියක් නිර්මාණය කර ඇත.මෙහි උඩු මාලයේ මහා භද්‍රකල්පය තුළ ලොවට පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝනාගම බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ, යන සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා සතර ද සධාතුක ධාතු නිදන් කළ චෛත්‍යයද නිර්මාණය කර ඇත.මෙහි වැඩ නිම කිරීමට කෝටි දෙකක් පමණ වැය වී ඇති අතර මෙම දෙමහල් සෑය සිත්ගන්නා සුලු අංගයක් බවට "පුංචි දඔදිව" සිද්ධස්ථානය තුල පත් වී ඇත.
දඔදිව ඉන්දියාවේ මධ්‍ය දේශයේ වැඩ වසන උතුම් වූ ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස රන් වැටක් හා උතුම් වූ වජ්‍රාසනයට ආවරණය පිණිස රන් වියනක්ද ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලදී. පසුව දුර්වර්ණ වූ රන් වියන හා රන් වැට රත් ගඟ පුංචි දඔදිව මහා විහාරාධිපති අති පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක මහා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කර උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි.මෙම පිංකම සිහිපත් වීම පිණිස බෝධිකාරක මණ්ඩලය මහා බෝධි සමාගම බිහාර් ප්‍රාන්ත රාජ්‍යය යන ආයතන මඟින් ගත් තීරණය මත බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලබා දෙන ලදී. මෙම බෝධි අංකුරය ශ්‍රී ලංකාද්වීපයට වැඩමකොට වඩා හිඳුවා වර්ෂ 2006ක් වූ මාර්තු මස 27 වෙනි දින රෝපණය කරන ලදී. පසුව විශේෂිත වූ බෝධි මණ්ඩපයක් සාදා එහි බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී. මෙම බෝධි ශාඛා රෝපණය දේවානම්පියතිස්ස මහ රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් වැඩමවා අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලද ශ්‍රී මහ බෝධි ශාඛාවෙන් පසු මෙරටට වැඩමවා පුංචි දඔදිව රෝපණය කරන ලද දෙවන බෝධි ශාඛා වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී ඇත.
 
 
පසුකලෙක නිර්මාණය වූ පිරිණිවන් මංචකය හා කුසිනාරාවේ අනුරූ විහාර ගෙවල් නිසා මෙය අද අති විශාල අලංකාර විහාරයක් බවට පත්ව ඇත. ඉන්දියාවේ ගොස් දඹදිව වන්දනා කරන්නට නොහැකි අය මේ විහාරයට විත් දඹදිව වන්දනාමාන කරන්නාක් මෙන් මෙත් සිතින් වන්දනාමාන කරන්නෝය.

Monday, October 10, 2016

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

අද මගේ අත්දැකීම් අඩවියේ ඉඩ බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. ඒ තමයි මැක්‍රෝ ඡායාරූපකරණය.

අපි ගන්න ඡායාරූප සාමාන්‍යයෙන් ජීව ප්‍රමාණය වඩා කුඩායි. ඒ කියන්නේ කෙනෙකුගේ හෝ යම් දෙයක ඡායාරූපයක් ලබා ගත්තාම ඒක ඇත්ත අරමුණ සමඟ සසඳද්දී විශාලනය කුඩායි. අඩුම තරමේ මේ විශාලන ප්‍රමාණය 1:1 අනුපාතය තියෙනවා නම් අපි කියනවා ඒක මැක්‍රෝ ඡායාරූපයක් කියල. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි Macro සහ Closeup ඡායාරූප කියන වර්ග දෙක. ජීව ප්‍රමාණයෙන් 1/4ක් වෙන ඒ කියන්නේ 1:4 විශාලනයක් සහිත ඡායාරූපයක් නම් ඒකට අපි කියන්නේ closeup ඡායාරූපයක් කියලයි. නමුත් අපි පොදුවේ මේ දෙකම Macro ඡායාරූප ගොඩට දාලා තියෙනවා. ජීව ප්‍රමාණම හා ජීව ප්‍රමාණය වගේ 5ගුණයක් වෙනකම් ඡායාරූප Macro ගොඩටත් එතැනින් පස්සේ Micro ගොඩටත් මයික්‍රෝ මීටර වගේ කුඩා අරමුණ ඡායාරූප ගත කරන එක nano ඡායාරූප ගොඩටත් අයිති වෙනවා.


අපි කතා කරමු මෙතැන තියෙන closeup හා Macro ගැන. අපිට මේ දේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි මැක්‍රෝ ලෙන්ස්, Closeup Filters, Reverse Rings, Extension Tubes,  Bellows ආදිය. මේ ඇරුණාම තව ක්‍රම තියෙනවා. මේ DSLR වලට වුනාට දැන් දැන් දුරකථන කැමරා වලින් පවා Macro ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් වෙනම ලෙන්ස් එකක් හෝ කීපයක් භාවිතා කරන්න වෙනවා.

Macro Lens- මේ තමයි මිල අධික වඩා සාර්ථක ක්‍රමය. ලෙන්ස් එක ඒ වෙනුවෙන්ම සකසන නිසා වර්ණ අප්‍රේරණය, නාභිගත වීම හා වේගය, තියුණු බව අදිය උපරිමයෙන්ම රැක ‍ගන්න පුළුවන්.
විවිධ වර්ගයේ Macro Lens
Closeup Filters - මේවා තියෙන ලෙන්ස් එක ඉස්සරහට සවි කරන්න පුළුවන් විදිහේ අමතර ලෙන්ස් ටිකක්. මේක වෙනුවට අපිට අත්කාචයක් ලෙන්ස් එක ඉස්සරහ තියලත් ඡායාරූපයක් ගන්න පුළුවන්. නමුත් අත්කාච වල තියෙන ලෙන්ස් හදන වීදුරු නිවැරදි තියුණු බව හෝ වර්ණ අප්‍රේරණය වැලකීම කරන්නේ නෑ. නමුත් වෙන්නේ මොකක්ද බලන්න නම් පුළුවන්. Filters භාවිතා කරද්දී වෙන වැඩේ තමයි රාමුව ලෙවරට යද්දී බොඳවෙන්න බලන ස්වභාවයක් තියෙන එක. එකම තලයේ තියෙන අරමුණක් වුනත් මේ දේ වෙන එක වලක්වන්න අමාරුයි. නමුත් දැන් ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් වෙලඳපොලේ තියෙනවා. ඒකෙදී Distortions සහ වටේ සිදුවන අසාමාන්‍ය බොඳවීම් අවම කරල තියෙනවා.
Closeup Filter set
Closeup Filters
Closeup Filters ලෙන්ස් එකකට සවි වල අයුරු
ලෙන්ස් කීපයක එකතුවක් ලෙස සැකසූ Macro Closeup Filter ලෙන්ස් එකක්
Reverse Adapter - මේකත් බොහෝම ලාභ ක්‍රමයක්. සමහර අයෙක් Reverse ring කියල කියන්නේත් මේකම තමයි. ලෙන්ස් එක ගලවලා අනිත් පැත්තට හයි කරන්නයි තියෙන්නේ. Reverse Adapter එකක් බොහෝම ලාබෙට ගන්න පුළුවන්. නමුත් ඒ නැතත් අපිට ලෙන්ස් එක අනිත් පැත්ත හරවලා කැමරාවට තියල අතින් අල්ල ගෙන ඡායාරූපය ගන්න පුළුවන්. හැබැයි ඉතින් Aperture එක විවෘත කරන යාන්ත්‍රණයක් සකසා ගන්න වෙනවා. Nikon වලදී නම් ලීවර් එකක් තියෙන නිසා ඇඟිල්ලෙන් වුනත් ඒක අල්ල ගන්න පුළුවන්. කැනොන් වලදී නම් ටිකක් විතර කරදර වැඩ කරන්න වෙනවා. මොකද සියල්ල ඉලෙක්ට්‍රොනික් නිසා. ටිකක් විතර වියදම් කරන්න පුළුවන් නම් Automatic ඒවාත් වෙලඳපොලේ තියෙනවා. ඒවායේ නම් ලෙන්ස් එක කැමරාවත් එක්ක සබඳතාව රැක ගන්න යාන්ත්‍රණයක් තියෙනවා.
Manual Reverse Ring
විවිධ ප්‍රමාණවල ලෙන්ස් සඳහා Reverse Adapter සහ Automatic System එකක්

Automatic System එකක් සමඟ Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු
සාමාන්‍ය Reverse Adapter එකක් කැමරාවට සවිවන අයුරු

Extension Tubes - මේ ක්‍රමයත් සාපේක්‍ෂව ලාබදායී ක්‍රමයක්. ලෙන්ස් එක සහ කැමරාව අතරට මේ Tubes හයි කරල අපිට ඡායාරූප ගන්නයි තියෙන්නේ. වර්ග දෙකක් තියෙනවා. Manual සහ Automatic. Manual එකේදී ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතා නැති නිසා ටිකක් වැ‍ඩේ කරදරයි. අපි Aperture එක විවෘතව තියා ගන්න ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. Automatic එකේදී ලෙන්ස් එක කැමරාව එක්ක සබඳකම් තියෙන නිසා වැඩේ ටිකක් පහසුයි. මේවා එකක් හෝ කීපයක් වශයෙන් කැමරාවට සවි කරන්න පුළුවන්. නමුත් මේවා භාවිතා කරද්දී ආලෝකය නම් සෑහෙන පුමාණයක් අඩු වෙන නිසා වෙනම ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්න කියන එක නම් මතක් කරන්නම ඕන.
Manual Extension Tube set
Automatic Extension Tube set

 Extension Tube set එකක් කැමරාවට සවිකර ඇති අයුරු
Extension Tube set එකක් කැමරාවට සවිකර වන අයුරු
Bellows - මේකත් Extension Tubes වගේ ක්‍රියාත්මක වෙන එකක්. නමුත් මෙහි වාසිය තමයි අපිට ටියුබ් වල දිග වෙනස් කරන්න පුළුවන් ක්‍රම කීපයක් එහෙම නැතිනම් අගයන් සීමිත ගනනක් වෙනුවෙන් විතරයි. නමුත් Bellows භාවිතා කරද්දී අපිට කැමති අයුරින් දිග වෙනස් කරගන්න පුළුවන්. මේකෙදිත් අපිට වෙනම ආලෝකයක් අවශ්‍ය වෙනවා.
Bellow එකක්
Bellow එකක් මගින් ලෙන්ස් එකක් කැමරාවට සවිකර ඇති අයුරු
මේ විදිහෙන් කැමති ක්‍රමයක් හෝ ක්‍රම කීපයක් එකතු කරල වුනත් භාවිතා කරන්න පුළුවන්. ඒ මොන විදිහක් භාවිතා කරල වුනත් අපි ගන්න ඡායාරූපය විශාලනය ප්‍රමාණය අනුව Macro ද Closeup ද කියල තීරණය වෙනවා. 

පුළුවන් තරම් ත්‍රිපාදයක් හෝ වෙන ආධාරකයක් භාවිතා කරන්න. මොකද කුඩා සෙලවීමක් වුනත් අපි අරමුණ විශාල කරල ගන්න නිසා විශාල වශයෙන් ඡායාරූපයට හානි කරන්න පුළුවන්. 

දුරකථනයෙන් මේ වැඩේ කරන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් වෙනමම නිපදවපු ලෙන්ස් වර්ග තියෙනවා. හැබැයි පරණ CD/DVD එකකින් ගලවපු ලෙන්ස් එකක් ‍එහෙම නැතිනම් පරණ කැමරාවකින් ගලවපු ලෙන්ස් එකක් දුරකථන කැමරාව ඉදිරියෙන් තියා ගත්තා නම් අපිට මේ දේ ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රඳවා ගැනීමට යාන්ත්‍රණයක් හදා ගන්න වෙනවා.
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක්
දුරකථන කැමරා සඳහා වූ Macro Lens එකක් දුරකඖනයට සවිකර ඇති අයුරු
දුරකථන කැමරා සඳහා වෙනත් උපකරණයකින් ගලවා ගත් ලෙන්ස් එකක් භාවිතා කරන අයුරු
දුරකථන කැමරා සඳහා වූ ඉක්මනින් වෙනස් කල හැකි Macro Lens පද්ධතියක්
මීට අමතරව අවශ්‍ය ආලෝකය ලබා දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ ගැනත් දුරකථන කැමරාව වෙනුවෙන් ලෙන්ස් එකක් හදන හැටි, මැක්‍රෝ ඡායාරූප සඳහා ආලෝකකරණය, මැක්‍රෝ ඡායාරූප වල විශේෂ ගුණාංග හා සාර්ථක මැක්‍රෝ ඡායාරූපයක් ලබාගන්නා හැටි ඉදිරියේ ලිපි කීපයක් විදිහට ලියන්නම්. එතකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න Follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුළුවන් තැන් ලින්ක් කරන්නම්. ස්තූතියි.


* උපකරණ වල ඡායාරූප අන්තර්ජාලයෙනි.....