Pages

Sunday, February 21, 2016

දාගැබ හා නූතන විද්‍යාත්මක පසුබිම

දාගැබ යනු හුදෙක් බෞද්ධයාගේ සංස්කෘතිමය නිර්මාණයක් පමණක්ම නොවේ. එය මනස සන්සුන් කරවා අපගේ ශක්තීන් සමනය කල හැකි යාන්ත්‍රණයකි. බෞද්ධ දර්ශනය අනුව ගත්කල චෛතය වන්දනාව බුදුන්වහන්සේ පවා අනුමත කර ඇත. බුදුන් දක්නට පැමිණෙන සුවහසක් බැතිමතුන් බුදුන් නොදැක ආපසු යන්නේ සිත් කනස්සල්ලට පත් වෙමිනි. මේ පිළිබඳ විමසන්නා වූ ආනන්ද තෙරුන් වහන්සේට බුදුන් වහ‍න්සේ මෙසේ දේශනා කල සේක. මා නොමැති විටක හෝ නොමැති කලෙක මා දැක වන්දනා කිරීමට පැමිණෙන සදහවත් බැතිමතුන්ට චෛත්‍ය වන්දනාව නියම කල අතර එහිදී ශාරීරික, පාරිභෝගික හා උද්දේශික චෛත්‍ය පිලිවෙලින් වන්දනාව නියම කල සේක. දාගැබ යනු ධාතු ගර්භය යන්නයි. එනම් ධාතූන් තැන්පත් කල ස්ථානය යන්නයි.
දාගැබ් නිර්මාණය තුල විද්‍යාත්මක පැතිකඩක්ද තිබෙන බව මාගේ විශ්වාසයයි. බුදුන්ගේ ධර්මයේ සියලු කාරණා පාහේ විද්‍යාත්මක සත්‍යයක අන්තර්ගත වුවද විද්‍යාව මගින් පවා තවමත් අපට තේරුම්ගත හැකිව ඇත්තේ අල්පයක් පමණි. ධර්ම දේශනාවේදී පවා බුදුන් වහන්සේ එකිනෙකාගේ තේරුම් ගැනීමේ තරම අනුව විවිධ ලෙසින් ධර්මය දේශනා කරන්නේ එනිසාවෙන්ය. වැවයි දාගැබයි සංකල්පයත්, චෛත්‍ය වටා තුන්වරක් දකුණු පසින් පැදකුණු කරන්න යැයි ව්‍යවහාරයක්ද පවතින නමුදු අප කෙදිනකවත් ඒ ඇයි දැයි සිතා නොමැත්තෝය. තැනිතලාවක ඇති උසම ස්ථානයට අකුණු වදින බව විද්‍යාත්මයව අප දන්නා සත්‍යයයි. වැවක් යනු එක් තැනිතලා භූමියකි. එය ආසන්නයේ උස් ස්ථානයක් නොමැති නිසාවෙන් අසල සිටින අයෙකුට වුවද අකුණු වැදීමේ සම්භාවිතාවක් පවතී. එනයින් දාගැබක් වැවක් අසල නිර්මාණය කිරීම සිදුවිය.

දාගැබ මධ්‍ය අක්‍ෂයක් හා ඒ වටා පස් වලින් කල නිර්මාණයකි. එකල උස ගසක් හෝ ගස් කීපයක එකතුවක් මධ්‍ය අක්‍ෂය ලෙස යොදාගෙන තිබෙන්නට ඇත. එය මුදුනේ කොත සවිකරන ලදී. කොත වටා කොත් කැරැල්ලකින්ද එතැනින් පසු හතරැස් කොටුව හා ගර්භය නිර්මාණය කෙරින. පසුව මලුවක් නිර්මාණය කෙරිණ. තුඩු සහිත කොතත් එය කොත් කැරැල්ලත් අකුණු ඇදගන්නා අතර අක්‍ෂය මගින් එය භූගක කරයි. පස් යොදා සකදන ලද ගර්භය මධ්‍ය අක්‍ෂය සිරස් ලෙස තබා ගැනීමට හා ආරෝපන ක්‍රමාණුකූලව භූගත කිරීමට දායක වේ.

දාගැබක් තුන්වරක් පැදකුණු කිරීම හා සෑම විටම දකුණින් පැදකුණු කිරීමේ ක්‍රමයක් වේ. එයට හේතු විය හැකි ලෙසින් මා හට පෙනෙන්නේ එය අක්‍ෂයක් වටා ආරෝපණ ගමන් කරවීමෙන් බලයක් නිර්මාණය සඳහා නිර්මිත ආකාරයෙනි. විද්‍යාව උගනින අප ෆ්ලෙමින්ගේ රීතිය උගෙන ගත් අයුරු මතක නම් අප ශක්තිය ඇති ආරෝපණ ලෙස සැලකූ කල මධ්‍ය අක්‍ෂය දියේ ඉහලට ශක්තිය ගලා යන අයුරු මතකයට නඟාගත හැක. තුඩක් මගින් ශක්තිය විශ්වයට මුදාහැරීම සිදු කල හැක. තවද පදාර්ථය ශක්තිය බවට පත්වීම යන විශ්ව ශක්ති නියතය නිසාවෙන්ද ගර්භය මත තැන්පත් කල ධාතූන්ගේ ශක්තිය විශ්වය මුදාහැරීමට මෙහිදී සිදුවුන බව සිතිය හැක. අප දකුණු පසින් කීප වරක් ගමන් කරමින් අප සතු ශක්ති ධාරාවන් නිදහස් කිරීම නිසාවෙන් සිත තුල ඇති බරක් නිදහස් වී ඇති වන සැහැල්ලුව ඇතිවේ. එමගින් සිත තැන්පත් වී සැනසීමක් ලැබෙන අතර පොහොය දිනයන් හිදී සඳුගේ බලපෑම හේතුවෙන් එය වේගවත්ව සිදුවේ. තවද පොහොය දිනයන් හිදී එම ශක්ති නිදහස් වීමද වැඩිය.
මෙලෙස ශක්ති නිදහස් කිරීමේ යාන්ත්‍රණයත් ඒ හා බැඳුනු ක්‍රියාවත් යනු මාගේ මතය වන නමුත් මේවා සත්‍ය දැයි පැහිදිලිව ඔප්පුකර දැක්වීම උදෙසා මා හට සම්පත් හෝ අවසරයක් නොමැත්තේය එනිසා හැකියාවක් ඇති අයෙක් එය සිදු කර බලන්නේ නම් හා එහි ප්‍රථිපල ලබා දෙන්නේ නම් මෙතැනින් ඉදිරියේ ඇති පැහැදිලි කිරීම් සාධාරණ අයුරින් සිදු කල හැකි වනු ඇත.

සිංහල සංස්කෘතිය හා සිංහලයාගේ නිර්මාණයන් සෑම එකක්ම පාහේ යම් අර්ථයක් ඇතිව නිර්මාණය කර ඇති අතර ඒවායේ ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල නොහැකි වන්නේ ඒවා සියුම් ලෙසින් අධ්‍යයනයේ ඇති අපහසුව හා ඒ සඳහා අවැසි සම්පත් අප සතු නොවන බැවින් බව මාගේ හැඟීමයි.

Saturday, February 13, 2016

මගේ ගමන් බිමන් අසූ නම වැනි කොටස - බඹරකිරි ඇල්ල

ගමන් බිමන් වල ඊලඟ නැවතුම වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ ඇති සුන්දර දිය ඇල්ලක්. මාතලේ ඉඳන් රත්තොට හරහා පල්ලේගම මාර්ගය දිගේ රිවර්ස්ටන් ‍හෝ නකල්ස් යන අයට රත්තොට ඉඳන් කිලෝමීටර 5ක් විතර ගියාට පස්සේ බඹරකිරි වංගුව හමුවෙනවා. එැතැනින් තියෙන පුංචි පාර වෙලන්ගහවත්ත ගමට යන අඩි පාර. මේ පාර දිගේ මීටර 50ක් විතර යද්දී බඹරකිරි ඇල්ල දකින්න පුළුවන්.
එතැන තියෙන වැල් පාලම මේ තැන තියෙන සුන්දරත්වය තවත් වැඩි කරනවා. පාලමෙන් එගොඩ වෙලා දිය ඇල්ල ලඟටම යන්න පුළුවන් වගේම පිරිසිදු දිය දහරෙන් නා ගැනීමට සිතෙනු නොඅනුමානයි. ඒ වුනත් මේ දිය ඇල්ලේ වතුර ක්‍ෂණිකව වැඩි වෙන නිසා ජලයට බැසීම නම් අනතරුදායකයි. ගල් දිගේ බඩගාන්න සහ පීනන්න ගිහින් සිදුවුන අනතුරු සංඛ්‍යාව ඉතා අධික නිසා පරිස්සම් වෙන එක හොඳයි.
 
සම්පූර්ණ උස මීටර 10ක් විතර වුනත් මීටර 3ක පමණ කොටස් තුනකින් මේ දිය ඇල්ල සමන්විත වෙලා තියෙනවා. පාන්දර වැටෙන මුල්ම හිරැ එළියත් එක්ක මේ තැනට ගියා නම් පැය ගානක් ගතවෙන හැටි දැනෙන එකක්වත් නැහැ.
 


 
ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වුන මේ දිය ඇල්ල අසල ගම් වාසීන්ගේ මූලික ජල අවශ්‍යතාවය සපුරනවා. ඒ නිසා මේ තැන කුණු දාල විනාශ කරන්න එපා. සුන්දරත්වය තවත් කෙනෙකුට විඳින්න ඉතිරි කරලා ආපහු එන්න. ස්තූතියි!
ගියපු සැට් එකේ තුන් දෙනෙක්
ගිහිපු සැට් එකේ මම
ගිහිපු සැට් එක
කියන්න අමතක වුනානේ මාතලේ රවුම යන්න මුහුණු පොතෙන් හමුවුන නාමල් මල්ලියා තමයි නවතින්න එයාලගේ ගෙදර සූදානම් කරල දුන්නේ. බුද්ධික කියල එයාගේ යාලුවෙකුත් මගේ නුවර වැඩ කරන අම්පාරේ යාලුවෙක් වුන සෞභාග්‍ය මල්ලිත් මාත් එක්ක රවුම යන්න ආව. ස්තූති කරන්නත් එපැයි ඒ අයට. ඔන්න එහෙනම් කට්ටියටම ස්තූති වේවා කිව්වා...! තවත් තැනක් එක්ක ගමන් බිමන් වලින් හමුවෙනකම් ආහුබෝවන්....!

Friday, February 12, 2016

මගේ ගමන් බිමන් අසූ අට වැනි කොටස - වම්බටුහේන ඇල්ල

ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක්පිටිය පාරට හැරිල කිලෝමීටරයක් යන්නත් කලින් යද්දී අපට වම්බටුහේන ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. අපි කලින් ලිපියක සඳහන් කල සේර ඇල්ල බලන්න යන පාරෙම තමයි තියෙන්නේ. ටිකක් විතර ලොකු වංගුවක් එක්ක පාලමක් තියෙනවා එතැනින් පහල දිය ඇල්ල දකින්න පුළුවන්. ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වෙන මේ දිය ඇල්ල කොටස් කීපයකට තමයි ඇද හැලෙන්නේ. ඉස්සර කහගල ඇල්ල කියන නමිනුත් මේ දිය ඇල්ල හඳුන්වල දීල තියෙනවා.
දිය ඇල්ලේ සුන්දරම පහල කොටස
දිය ඇල්ල පාමුලට බහින්න ගලින් ගලට බැහැල පරිස්සමට යන්න ඕන. එැතැන නම් ආරක්‍ෂාකාරී විදිහේ ගල් තගාවක් තියෙනවා. වැස්ස අඩු කාලයේදී නම් ඉහල කොටස් දෙක බලන්නත් යන්න පුළුවන්. කැලේ ඇතුලෙන් ගිහින් එතැනට ලඟාවෙන එක නම් ටිකක් විතර අසූරු වෙනවා. ඒ නිසා වැසි අඩු සමයේ යනවනම් හොඳයි ඉහල කොටස් බලන්න. 
දිය ඇල්ලේ ඉහල කොටස් දෙක
ඉහල පළමු කොටස වැටෙන තැන ගල් දොරුවක් අස්සේ අපූරු පොකුණක් හැ‍දිල තියෙනවා. යන කෙනෙකුට ආරක්‍ෂාකාරීව එතැනින් නා ගන්න වුනත් පුළුවන්. එතැනින් ගලන් එන වතුර දෙවැනි කොටසට වැටිලා ගල් තලාව දිගේ ඇවිත් මීටර කීපයක් පහලට වැටිල දිය ඇල්ලේ සුන්දරම කොටස නිර්මාණය කරනවා. එතැනින් ගලාගෙන අය ඇල්ල අවානයේ වැටෙන්නේ තෙල්ගමු ඔයට. 
 
දිය ඇල්ලේ ඉහල කොටස
දිය ඇල්ලේ මධ්‍ය කොටස

ගිහින් සුන්දරත්වය විඳින්න හැබැයි ඉතින් ඒ තියෙන සුන්දරත්වය ඊලඟට යන කෙනාට විඳින්නත් එක්ක ඉතිරි කරන්න. ස්තූතියි සැමට!

Wednesday, February 10, 2016

මගේ ගමන් බිමන් අසූ හත්වන කොටස - සේර ඇල්ල

ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක් පිටිය පාරට හැරිල කිලෝමීටර හත අටක් යද්දී අපට සේර ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. මේ දිය ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇලි අතරට එක්වෙන සිය ඇල්ලක්. උසින් මීටර 10ක් විතර වෙන දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්න නම් වැසි සමයේ යන්න ඕන. නකල්ස් කඳුවැටියෙන් ආරම්භවෙන මේ දිය ඇල්ල කඳුවැටියේ කෙලවරම ඇති මානිගල කන්ද පසෙකින් තමයි කඩා හැලෙන්නේ.
මේ දිය ඇල්ල තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි දිය ඇල්ලේ පිටුපස ගුහාවක් තිබීම හා අපට එතැනට යන්න පුළුවන් කම. මෙතැනට නම් ලැබීමට හේතු ලෙස ජනප්‍රවාදය කියන්නේ අත්ලට සේර ඇට අහුරක් අරගෙන අත්ල දිග හැරල සුලැඟිල්ල පැත්තෙන් ඇර කලාම සේර ඇට වැටෙන විදිහෙන් සේර ඇල්ල ගලා හැගෙන නිසා ඒ නම ලැබුනා කියලයි.
සුන්දරත්වයෙන් විශිෂ්ඨ ස්ථානයක් වුන දිය ඇල්ල බලන්න පාරේ ඉඳන් ටිකක් දුර පහලට බහින්න වෙනවා. දිය ඇල්ල පසෙක ඇති ගුහාවේ ටිකක් විඩා නිවාගන්න තරම් ඉඩ කට තියෙනවා. රැයක් ඉන්නත් කියාපු තැන. හැබැයි ඉතින් අලි වැටක් එහෙම තියෙන පලාතක් නිසා පරෙස්සම ගැන හිතල අවසර අරගෙනම නවාතැන් ගන්න හිතුවොත් හොඳයි.



 
දිය ඇල්ලේ වතුර අඩු කාලය නිසා අනිත් පැත්තට යන්න පුළුවන් වුනා. සුන්දර දිය ඇල්ල විනාශ කරන්නේ නැතිව සිරි නරඹලා ආවට නම් වරදක් නැහැ කියලයි මම හිතන්නේ.

මගේ ගමන් බිමන් අසූ හය වැනි කොටස - යටවත්ත බිසෝ ඇල්ල

මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම පාරට පැමිණ එතැනින් හීංගොල්ල පාර දිගේ කිලෝමීටර 20කට මඳක් වැඩි ප්‍රමාණයක් පැමිණ අපට මෙම ඇත්ත ඇති ප්‍රදේශයට පැමිණිය හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් මායිම්ව පවතී. සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත් වල ජලය එක්වී දිය දහරක් සාදා අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින් ඇද හැලෙන්නේ බිසෝ ඇල්ල නිර්මාණය කරමිනි.
 
මිතුරන් කීප දෙනෙක් එක්ක ත්‍රී රෝද රථයක ගමන් කල අපි එතැනට ලඟ වෙද්දී දවල් වුනා. කොහොම වුනත් සැලගම කඳු මුදුනෙන් ඇවිත් පර්වත මුදුනෙන් දිය ඇල්ල මුදුන තමයි මුලින්ම බැලුවේ. ගැමියන්ගෙන් පාර අහගත්ත අපි ප්‍රධාන දියපාර දිගේ ඇවිත් කඳුමුදුණේ දිය ඇල්ල වැබෙන ප්‍රපාතය අසලට මුලින්ම ආව. එතැනින් පෙනෙන කඳුපන්ති සහ කුඹුරුයාය වල ඇති සුන්දරත්වය විඳි අපි දිය ඇල්ල හා බැඳුනු ජනප්‍රවාද අසමින් පහලට බසින්න වුනා. අපේ දෙවැනි අරමුණ වුනේ දිය ඇල්ලේ පහලට ලඟවීමයි. ඒ වෙනුවෙන් යටවත්ත ප්‍රදේශයේ වෙල්යායවල් අතරින් පැමිණ මාර්ගය අවසානයට ලංවුනා. එතැන් ඉඳන් පයින් තමයි ඉතිරිය යන්න සිද්ධ වුනේ. විශාල කුඹුක් ගසක් ලඟට යනකම් මාර්ගය පෙන්වන්න ගැමියෙක් ආවත් එතැන් සිට ඔහුගේ ගමන අපට විරුද්ධ දිශාවට වැටිල තිබුනා. වනාන්තරය තුලින් පාර හොයාගෙන කෙහොම හරි දිය ඇල්ල පාමුලට එන්න අපි සමත් වුනා. එතැන සුන්දරත්වය විඳි අපි ආයෙමත් පහලට ආවේ වෙනත් මාර්ගයකින්.
 
 බිසෝ ඇල්ල අවට ප්‍රදේශයත් එම ඇල්ලත් පිළිබඳ පුරාවෘත බොහෝ පවතී. ඇල්ල අසල ඇති ගල් පර්වතයේ ඇති රහස් දොරටුවකින් ගල් පර්වතය තුල ඇති වලගම්බා රජුගේ රහස් මාලිගයට පිවිසිය හැකි බවද ජනප්‍රවාදය පවසයි. තවද එම මාලිගිවෙන් ඇරඹෙන උමඟක් තුලින් එයට කිලෝමීටර 3ක් පමණ ඈතින් ඇති සුළුනාපහුව විහාරයට ගමන් කල හැකි බවද කියැවේ. මෙහි නම් සෑදී ඇති අයුරු ගැන ජනප්‍රවාදයේ ප්‍රධාන කතාන්දර දෙකකි.
 
වලගම්බා රජ සේනාව සමඟ යුද්ධයට යාමට පිටත්වෙද්දී තම බිසෝවරුන් හත් දෙනෙකු (සමහර තැනක මෙය හතලිහක් බවද කියැවේ) ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ රඳවා ඇත. තමන් යුද්ධයෙන් දිනුවහොත් සුදු කොඩියක්ද පැරදුනහොත් රතු කොඩියක්ද ලෙල දෙනු ඇති බවත් පරික්‍ෂාවෙන් සිටින ලෙසත් අණකොට පිටව ඇත. රජ යුද්ධයෙන් දිනා පැමිණෙද්දී සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් එය දැක සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැණ දිවිනසාගත් බවත් කියැවේ. රතු කොඩිය ඇමතියෙන් විහිලුවට දැමූ බවටත් රඩු විසින්ම තමාට වැඩියෙන් ආලය කරන බිසව බැලීමට දැමූ බවටත් කතාන්දර දෙකකි. එහිදි දරුවකු ලැබෙන්නට සිටි එක් බිසවක් වැල් ගාලක පැටැලී දිවි බේරාගත් බවත් පසුව ගැමියන් ඇයව රඳවා සුවකල බවත් කියැවේ.  අද එම ප්‍රදේශය මාලිගාතැන්න නමින් හැඳින්වේ යැයි කියැවේ. බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් වූ එකතු වූ බවත් එතැන රතලේ වැව ලෙස නම් ලැබූ බවද ජනප්‍රවාදය පවසයි.
එතැන රැඳුනු අනෙත් පුධාන කතාව මෙසේය. වීරපරාක්‍රම ‍නරේනද්‍රසිංහ රජුගේ වැදි බිසව් මෙම කඳු මුදුනේ වාසය කලේයැයි පැවසේ. රජ වරෙක යුද්ධයකට පිටව යාමුට සූදානම්ව යුද්ධය දිනුවහොත් සුදු කොඩියක්ද පැරදුනහොත් රතු කොඩියක්ද ලෙලදෙනු ඇතැයි බිසවට පැවසීය. යුද්ධය සිදුවූයේ කිලෝමීටර කීපයක් නුදුරේ ඇති වැව් පිටියේය. රජ යුද්ධය දිනුවේය. එතැන යුද්ධයේ ගලාගිය රුධිරය වැවට එක්වී එය රතු පැහැ විය. රතු ලේ වැව පසුව රතලේ වැව බවට ව්‍යවහාරයට පැමිණියේය. යුද්ධයෙන් එන අතරමඟදී රාජපුරුෂයන් වැරදීමකින් සුදු වෙනුවට රතු කොඩියක් දැම්මෝය. ඒ දුටු බිසව තම දරු දෙදෙනාද සමඟ ඇල්ලෙන් පැන දිවි නසාගත් බවත් එදා සිට මෙම ඇල්ල බිසෝ ඇල්ල නම් වූ බවත් පැවසේ.
ජනප්‍රවාදය කෙසේ වෙතත් මෙ ඉතා ස්නුදර දිය දහරකි. වැසි අවසන් සමය නිසා දිය ඇල්ලේ ජල ප්‍රමාණය බිඳකිත සමහර කාලයන් වලදී එය සම්පූර්ණ වශයෙන් සිදී යන බවද කියති. කෙසේ වෙතත් ගමන් බිමන් වල මම දිය ඇල්ල උපරිම වශයෙන් විඳගන්නට සමත්  වුනා වගේම පහත ලින්කුවෙන් ගිහින් ඒහි පින්තූර වලින් පාථක ඔබත් එය විඳිනු ඇතැයි සිතමි.

Wednesday, February 3, 2016

ඡායාරූප කලාවේ Focus Stack ක්‍රමය

අපි මුලින්ම බලමු මොකක්ද මේ Focus Stack (එකමත එක නාභිගත කිරීම හෝ ඡායාරූප අතිපිහිත කිරීම) කියන්නේ කියලා. 

ඡායාරූප පසු සංස්කරණයේදී යොදාගන්න මේ ක්‍රමය ඡායාරූපයක ක්‍ෂේත්‍ර ගැඹුර (Depth of Field) එක වැඩි කරන්න යොදා ගන්න ක්‍රමයක්. Telephoto lens හෝ Macro lens භාවිත කරද්දී අපට ඇතිවන ගැටලුවක් තමයි ඡායාරූපයේ Depth එක අවශ්‍ය පරිදි පවත්වා ගැනීමේ අහසුව. Manual Extension tube භාවිතා කරල ක්‍ෂුද්‍ර (Macro) ඡායාරූප ගන්න අය මේ අපහසුතාවට ලක් වෙනවා. මොකද Depth එක වෙනස් කරගැනීමට ඔවුන්ට ක්‍රමයක් නැති වීම නිසා. අපි බලමු මොනවද නිසාද සහ කොහොමද Depth එක වෙනස් වෙන්නේ කියල.

1. නාභි දුර (Focal Length) වැඩි වෙද්දී Depth අඩුවේ.
2. වස්තුවට ඇති දුර (Distance to Subject) අඩු වෙද්දී Depth අඩුවේ. (Macro ඡායාරූප වලදී අධික වශයෙන් සිදුවන දෙයයි)
3. Aperture Value (f අගය) වැඩිවෙද්දී Depth වැඩිවේ.

ඉහත කරුණු වෙනස් කර Depth වැඩි කරගන්නා අවස්ථාවලදී ගැටලු මතු වෙනවා. උදාහරණ විදිහට f වැඩි කල විට අනාවරණය නිවැරදි කිරීමට ISO වැඩි කලහොත් ඡායාරූපයේ Noise වැඩිවෙනවා වගේම Shutter Speed අඩු කලහොත් ඡායාරූපයේ තියුණු බව (Sharpness) අඩුවෙනවා. මේ නිසා Focus Stack ක්‍රමය භාවිතා කිරීම වැදගත් වෙනවා.

මෙම ක්‍රමයේදී අපි කරන්නේ ඡායාරූප කීපයක් (එකකට වැඩි ගනනක්) එකම රාමුව තුල ලබා ගැනීමයි. (සෙලවෙන අරමුණු ඇති විට මෙය සාර්ථක නොවේ) එහිදී එම ඡායාරූපයේ විවිධ ක්‍ෂේත්‍රයන් නාභි ගත කිරීම සිදු කරනු ලැබේ. මෙහිදී අපට විවිධ Depth අගයන් විවිධ Shutter Speed අගයන් වුවද ඇති එකම රාමුවේ ඇති ඡායාරූප අතිපිහිත කර ගැනීමට හැකි වීම වාසියකි.

මෙම ඡායාරූප ගැනීමට අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා.
1. හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් - රාමුව නොසෙල්වී තබා ගන්න එය අපට උපකාරී වනු ඇත.
2. හස්ත නාභිගත කිරීම (Manual Focusing) ඇති ලෙන්ස් එකක්
3. ඉවසීම ***** නැතිනම් වැඩේ කරන්න බැරිවෙනවා.
මෙන්න මේ තියෙ සටහනේ විදිහට තමයි වඩේ සිද්ධ වෙන්නේ. A අගයන් වල තියෙන්නේ වරින් වර අපි නාභිගත කල තැන. xy වල තියෙන්නේ ඒ ඒ අවස්ථා වලදී අපට ලැබෙන depth එක. අපට අවශ්‍ය ක්‍ෂේත්‍ර ගැඹුර ආවරණය වන තුරු තැන් කීපයක් නාභිගත කරනවා. පළමු අවස්ථාවේ සිට දෙවැනි අවස්ථාව නාභිගත කරන විට පළමු වැන්නේ xy පරාසය තුල (depth එක තුල) අවස්ථාවක් වෙැන්න විදිහට ලබා ගන්නවා නම් වඩා සාර්ථක ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.

අපි දැන් බලමු කොහොමද පසු සැකසුම් කර ගන්නේ කියල. මේ මම ගත්තු පින්තූර කීපයක් උදාහරණ විදිහට මම යොදාගන්න කැමතියි. මම භාවිතා කරන්නේ Photoshop CC මෘදුකාංගය. CS 4 වලින් ඉහල මේ options ඇති කියල මම හිතනවා.
මේ පින්තූර ටික Photoshop Open කරල File --> Script --> Load Files into Stack... කියන එක තෝරලා ඒක හරහා එන window එකෙන් අපේ පින්තූර ටික තියෙන තැනින් විවෘත කරගන්න ඕන.

එතැනදී මතක් වෙලා Attempt to Automatically Align Source images කියන තැන Select කලා නම් පියවරක් ඉක්මන් කරන්න පුළුවන් වෙනවා. 

හදිසියේවත් කලින් Attempt to Automatically Align Source images කියන එක Select කරන්න බැරි වුනා නම් බය වෙන්න දෙයක් නෑ මෙන්න මේ පියවර කරන්න.

පින්තූර Layers සියල්ල Select කරගන්න. ඊට පස්සේ Edit --> Auto-Align Layes කියන එක Select කරන්න.
 එතැනින් එන Window එකේ අවශය එක තෝරලා Ok කරන්න. මෙතැනද මම ගන්නේ Auto කියන එක.
දැන් Layers වල පොඩි හරි වෙනසක් තිබුනනම් ඒක සැකසිලා නිවරදි වෙනවා. හැබැයි ගොඩක් රාමුව වෙනස් වෙලා හරි වස්තුව හෙලවිලා හරි නම් වැඩේ අවුල් වෙනවා.

දැන් ආයෙමත් Layers ටික Select කරලා Edit --> Auto-Blend Layers.. කියන එක Select කරන්න.
එතැනින් එන Window එකේ Stack Images කියන තැන Select කරන්න. Seamless Tones and Colors කියන එක යොදාගත්තාම වඩා සාර්ථක කර ගන්න පුළුවන්.
දැන් Photoshop ඔයාලට Mask හදල හොඳින් නාභිගත වුන තැන් වර්ණ ඇති තැන් විතරක් තියෙන විදිහට හදල දෙනවා. අපිට මේ පියවර Manually කරන්න පුළුවන්. නමුත් පුංචි පුංචි Details වලට ඒක කරන්න ගියාම වැඩි කාලයක් ගත වෙනවා.

අවසානයේ Layers අනවශ්‍ය කොටස් මතු වෙලා තියෙනවා නම් Brush එක සහ කලු සුදු වර්ණ භාවිතා කරල වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ Layers ටික Merge කරල අපිට අවශ්‍ය වෙනත් වර්ණ සංස්කරණයන් ආදිය කරගන්න පුළුවන්..

මේ තියෙන්නේ අවසන් කල ඡායාරූපය හා සාමාන්‍ය ආකාරයට ගත් ඡායාරූපයක්.

අවසානයේ කියන්න ඕන තාරකා ග්‍රහලෝක ආදියේ ඡායාරූප ගන්න අය නම් මේ ක්‍රමය ගොඩක් භාවිතා කරනවා. මොකද ගොකු අනාවරණ දෙන්න අමාරු නිසා.

ස්තූතියි! ඔයාල කරන නිර්මාණ පලකරන්න. ජයවේවා!

Monday, February 1, 2016

ඡ‍ායාරූප කලාවේ ආපු ගමන් මග (තාම පටන් ගත්තා විතරයි)

පින්තූර ගැනිල්ල අපි හැමෝම කරනවානේ. මමත් ඒ වගේ පොඩි එකා කාලේ ඉඳන් ඇවිදින එක තමයි කලේ. තාත්ත එක්ක ඇවිදිමින් කරපු දේවල් වෙනමම ලිව්වා මතක ඇතිනේ... අමතක නම් ගිහින් බලන්න මෙතැනින්.....

පහුවෙද්දී පහුවෙද්දී පින්තූර ගන්න ඕන යන යන තැන පින්තූර ටිකක් එකතු කරගන්න ඕන කියන අදහස ආවා වුනත් කැමරාවක් ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. මම මේ කියන කාලේ වෙද්දී කැමරා ෆෝන්, ස්මාර්ට් ෆෝන් කියල දෙයක් අහන්නවත් නෑ. තිබුන කැමරාව තමයි film රෝල් දාන ජාතියේ ඒවා. ට්‍රිප් යන අයගෙන් පින්තූර එකතු කරගත්තා වුනත් අපිට ඕන තැන් අපි දැක්ක විදිහට ගන්න විදිහක් තිබුනේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ Kodak KB 10 කැමරාවක් ගත්තා. ඒක පොඩි Offer එකකින් අඩුවට ලැබුනේ.
Kodak KB 10 කැමරාව
Sony w570 Compact කැමරාව
ම‍ගේම කියල පළවෙනි කැමරාව වුනේ ඒක. හැබැයි ඉතින් දැන් වගේ හිතුන හිතුන පින්තූර ගන්න බෑ. මොකද රීල් එකක් දාගත්තාම ඒකෙ පින්තූර 36යි උපරිම. රීල් එක බර ගානක්. ඒ නිසා ඕනම එකක් විතරයි ගන්නේ. දැන් නම් ගන්න බැරියැ ඕන තරම්. පස්සේ පස්සේ ඒකට වැඩ අඩු වුනා. මොකද ඒකට රීල් දාගන්න තරම් මුදලක් හමුවෙන්නේ නැති නිසා. මේ සියල්ලට මම මුදල් හොයාගත්තේ පොඩි කාලේ ආසම වැඩේ වුන ටොපි චොකලට් කෑමට හම්බවෙන සල්ලි එකතු කරල. මොකද ඒ කාලේ අපිට වියදම් කරන්න ඒ තරම් මුදල් තිබුනේ නැති නිසා.
Kodak KB 10 කැමරාවෙන් පින්නවලදී හදිසියේ දුවගෙන ආව අලි පැටියෙක් කිරි බොන හැටි
Kodak KB 10 කැමරාවෙන් හෝර්ටන් තැන්නේදී ගෝණා
ටික ටික Digital Compact කැමරා කරලියට එද්දි රීල් දාන ඒවා අයින් වෙන්න පටන් ගත්තා. අනුන්ගේ කැමරා වලින් පොඩි පොඩි පින්තූර ගන්න හම්බුනා වුනත් ඒවා මගේ අතට නම් ආවේ නෑ. ඒකට හේතු දෙකක් තිබුනා. එකක් තමයි ඒ පින්තූර ගෙනත් දාන්න විදිහක් නැතිකම. මොකද පරිඝණකයක් තිබුනේ නෑ. අනික ගත්තු පින්තූර ආයේ බලන්න බොහෝ විට ඒ ඒ අය හමුවෙන්න වුනේ නෑ. කොහොම හරි 2008 වෙද්දී Sony Erickson k530i Mobile Phone එකක් ගත්තා. ඒකෙන් පින්තූර ගන්න පුරුදු වුනා. පොඩි පොඩි පින්තූර ගත්තා වුනත් 2mp VGA කැමරා එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තාමත් Phone එක පාවිච්චි කලා වුනත් කැමරාව නම් දැන් වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ විවිධ දුරකථන භාවිත කරල ඡායාරූප ගත්තා. ඒ වෙද්දී විශ්ව විද්‍යාලයේ හිටි නිසාත්, පින්තූර දාන්න පරිඝණකය ලඟ තිබුන නිසාත් පින්තූර ටිකක් ඉතිරි කර ගන්න පුළුවන් වුනා.
Sony Erickson k530i Mobile Phone එක
Sony Erickson k530i දුරකථනයෙන්
Nokia N97 දුරකථනයකින්
Nokia N97 දුරකථනයකින්
Nokia N97 දුරකථනයකින්
2011දී විතර ගත්තු Sony w570 තමයි ඊලඟට මම ලඟට ආවේ. ඒකෙන් ගත්තු පින්තූ ගනනාවක් අතරින් එකක් අන්තර්ජාලයේ ඡායාරූප සමූහයක පලකලා. ඒ කාලේ වෙද්දී පුංචි සාමාජිකයන් ගානක් හිටපු නිසා දාපු පින්තූරයට කොමෙන්ටුවක් ලැබුනා. ඒ තමයි මගේ පින්තූරයක අඩුපාඩුවක් පෙන්වලා ඡායාරූප කලාවට දාපු තැන. අද ලංකාවේ වැඩිම පිරිසක් ඉන්න සමූහයත් ඒක විය යුතුයි. නමුත් එදා වගේ නෙවෙයි අද සමූහය තුල සාමාජිකයන් අනිත් අයට අත දෙන්න මහන්‍සි වෙන්නේ නෑ. ඒ නිසා ඉගෙනීම ගැන නම් කියන්න අමාරුයි. අනිත් බොහෝමයක් සමූහ ගත්තා වුනත් ඒක තමයි ඇත්ත. තවකෙකුට අත දෙන්නේ නෑ.
සමූහයකට දාපු පළවෙනි පින්තූරය Sony w570 compact කැමරාවකින්
2014 මැද වෙද්දී හීනයක් වෙලා තිබුන DSLR කැමරාවක් ගන්න පුළුවන් වුනා. ඒකට මුදල් තාත්ත දුන්නේ. ගත්තේ Nikon D90 එකයි Nikkor 18-105mm VR ලෙන්ස් එකයි Nikkor 55-300mm VR ලෙන්ස් එකකුයි. ඒ ටික එක්ක පින්තූර අරන් හැමදාම දැම්මා සමූහ වල. පටන් ගත්තේ නම් එක සමූහයක් දෙකක් එක්ක විතරයි. දැන් නම් සමූහ ගනනාවක පින්තූර දානවා. හොඳයි කියන දේට වඩා නරකයි මේක මෙහෙම වුනානම් කියන අය දැන් අඩුයි. වැරදි හදාගන්න අඩුපාඩු පෙන්වන්න ගොඩක් අය හිටියා. ලංකා‍වේ ප්‍රවීනයන් ඔවුන්ට කාලය ඇති ආකාර වලින් උදව් කලා. Ebay එක හරහා ගෙන්වපු Manual Extension Tube භාවිතා කරල මැක්‍රෝ ඡායාරූප ගන්න ආව මට මුහුනු පොතෙන් හඳුනගත්තු මිතුරෙක් Auto Extension Tube ටිකක් දුන්නා. ඒකට ආලෝක කරනය සඳහා මම ෆ්ලෑෂ් එකට ඇඩැප්ටරයක් හදාගත්තා. පස්සේ 2015 අවසානයේදී ලංකාවේ ඡායාරූප කලාවේ ප්‍රවීණයෙක් විශිෂ්ඨ කවි පබඳින්නෙකු වන ලාල් හෑගොඩ ගුරුතුමාගෙන් කලාව හදාරන්න පටන් ගත්තා. එය සාර්ථකව අවසන් කරන අතරේම මොරටුව විශ්ව විද්‍යාලයේ Nethadara ඡායාරූප තරඟය සඳහා ඡායාරූපයක් තේරුනා. එය මගේ පළමු ජයග්‍රහණයයි. පස්සේ ගත්ත සාමාන්‍ය ෆ්ලෑෂර් එකත් 27වෙනි උපන්දිනේට හම්බුන 50mm ‍f1.8 ලෙන්ස් එකත් එක්ක දැන් නම් කැමරාවට සෑහෙන බඩු ‍ටිකක් තියෙනවා.
Nikon D90 with 18-105mm VR Lens, 55-300mm VR Lens, 50mm f1.8G VR Lens, Triopo Flasher, Vivitar Auto Extension Tube Set

මොරටු සරසවියේ නෙතදර ඡායාරූප තරඟයේ ජයග්‍රහණය
එදා මෙදා වෙනකම් අත දුන්න අය එමටයි. ඔක්කොගෙම නම් කියන්න ගියොත් පිටු ගානක් නම් විතරක් කියන්න වෙනවා. කොහොම වුනත් දැන් දැන් මම ආසම වනජීවී ඡායාරූපකරණය කරගෙන යනවා වගේම මැක්‍රෝ ඡායාරූප ගන්නත් පෙළඹිලා තියෙනවා. මේ කිසිම දෙයක් ලෝකයේ හා ලංකාවේ ඡායාරප ශිල්පීන් එක්ක ගත්තහම වැඩි දේවල් නොවුනා වුනත් මට මහමෙරක් වගේ. දවසක මගේම කියල ප්‍රදර්ශනයක් තියන්න ඕන. අන්න එදාට ඔය හැමෝමත් එන්න ඒක බලන්න. ගන්න පින්තූර වලින් ගොඩක් දේවල් වර්ගීකරණයක් එක්ක මෙන්න මේ ලින්කුවෙන් ගිහින් බලන්න පුළුවන්.