Pages

Thursday, August 10, 2017

සක්මන් කරන මළුව

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පබැඳුනු අපූර්ව ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය. ලෝකයේ විවිධ රටවල ඇති ආදර කතා මෙන්ම අප ඉතිහාසයේ ඇති තවත් එක් ආදර කතාවක් මෙම ගීතය සඳහා පාදක වී ඇත.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්‍ද්‍රසිංහ රජ සමයේදී සිටි දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ තහනම් ආදරය මෙම ගීතය පාදක වී ඇත. මේ ගීතයේ තතු කතා කරන්නට පෙරාතුව මඳක් ඉතිහාසය දෙස බැලීම වටී යැයි සිතමින් මෙහි සටහනක් තබමි.

දෙවන රාජසිංහ රජ සමයේ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමැති ප්‍රංශ ජාතිකයෙකු හා ඔහු හා විවාහ වන පෘතුගීසි කාන්තාවකට දාව උපන් පේද්‍රෘ ගැස්කොන් හෙවත් දස්කොන් හා වීර නරේන්‍ද්‍රසිංහ රජුගේ බිරිඳක් වූ ප්‍රමිලා බිසව මෙම කතාවේ ප්‍රධාන චරිත වේ.

නරේන්‍ද්‍රසිංහ රජුගේ ක්‍රඩා කල මිතුරකු වන දස්කොන් පසුකලෙක මහ අදිකාරම් තනතුරට පත්වේ. එකල රජ පරපුරේ සිරිතට අනුගත වෙමින් ඉන්දියාවෙන් ගෙන්වා ගත් ප්‍රමිලා බිසව රජුගේ එක් බිසවක් වන්නේ මේ සමයේදීමය. රජු රාජකාරි කටයුතු හා ඔහුගේ කෙලිලොල් ජීවිතය සමඟ විනෝද වීම සඳහා කාලය ගත කරද්දී ප්‍රමිලා බිසව සමඟ ගත කරන කාලය ටිකෙන් ටික අඩු වන්නට විය. කවියට පෙම්බැඳි ඇය තවත් කවියෙකු වූ දස්කොන් හා පෙමින් බැ‍ඳෙන්නේ මේ අතරවාරයේදීය. කවියෙන් සංවාදයන් කලා වුවද රජුන්ට හොරෙන් මේ සංවාද ආදරයක් බවට පෙරලුනි. නමුත් මේ ප්‍රේමය අවසන්‍ වන්නේ තහනම් ආදරය පිලිබඳ තතු රජුට සැලවී දස්කොන් ‍ගේ හිස ගසා දැමීමෙනි.

මේ ආදර අන්දරය ගීතයක් බවට පෙරලා ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කොටුව විසිනි.

සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී

අප සක්මන් කල ඒ මළුව ඒ පාර අද පාලුවෙලා ගිහින්. මම තාම එතැන ඉන්නවා නමුත් ඔබ එතැන නැහැ. දස්කොන් පවසන්නේ රජුට ‍තහනම් ආදරය කණ වැටී තොරතුරු සොයා යද්දී ඇය වාසලේ සිරවී ඇති පුවතයි. ඇය නැතිව තමන් අද මලුවේ ඇවිදිනවා. නමුත් ප්‍රමිලාවන්ගේ පිලිත්‍රරෙන් සිතෙන්නේ මේ හුදෙක් කෝපය පිරි ඇවිදිීමක් මිස හුදකලාවෙන් ඇවිදීමක් නොවන බවයි.

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

ඉක්මනින් ඇවිදින්න ගියාම කකුල් පැටලිලා වැටෙනවා. රිදෙන්නේ අපිටමයි. ඉතින් දස්කොන්ගේ කෝපය නිවන්න ප්‍රමිලා බිසව කියන්නේ තමන්ගේ ආදරය සම්පූර්ණ වශයෙන් තියෙන්නේ දස්කොන් ගැන පමණක් බවත් ඉක්මන් වීමෙන් රජුගේ කෝපයට ලක්විය හැකි බවයි. මෙය හුදෙක් දස්කොන් වෙනුවෙන් කරන්නා වූ අවවාදයක් යැයිද සිතිය හැක.

සෙංකඩ ගල වටකල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයි විහඟුන් හැපී වැටෙන්නේ

රජුගේ රැකවල් පිලිබඳ විස්තර කරන්නට ගීත රචකයා අපූර්ව උදාහරණයක් යොදා ගනී. අතීත රජ සමයේ සෙංකඩගල රාජධානිය බි‍ඳෙන්නේ පාවාදීමෙන් මිසක යුද්ධයෙන් නොවේ. යුද්ධ කර සෙංකඩ ගල දිනාගත නොහැකි තරම් එහි රැකවල් ශක්තිමත්ය. ඒ රැකවල් වල ඉන්න බිසවත් තමාත් පෙම් කලාට ඒ ආදරය රජුගේ තේජස හමුවේ බිඳී යනවා. ඒ හරියට තාප්පයක හැපිල මැරිල වැටෙන කුරුල්ලන් වගේ කියලයි කියන්නේ.

රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ 

මේ සියල්ල මේ විදිහෙන් වුනත් රාත්‍රියට දස්කොන් හා ප්‍රමිලාවන් එක්වෙනවා. එතැනදීත් බිසව මතක් කරල දෙනවා මම එක්ක මේ විදිහෙන් ලංවෙලා ඉන්න එක බොහෝම භයානක බව. මම හරියට අත්තන මලක් වගේ විස සහිත විය හැකි බව. මේ ලස්සන සුගන්ධවත් මලක් විදිහට පේන මට ලංවෙන එක බොහෝම භයානකයි. මොකද මම රජුගේ බිසව නිසා.

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහි නොවුනේ

රාත්‍රිය ගෙවිලා හෙමින් උදේ වෙද්දී වාසලේ දොරවල් ඇරෙනවා. ඒ වෙද්දී හැමෝම එහෙ මෙහේ යන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා රජුගේ අතට අ‍ේ ආදරය ගැන අසු නොවෙන්නට අවැසි නිසාවෙන් ම යායුතුයි. රජුගේ උදහසට ලක්වීම ගැන මතක් වෙද්දී මට ඔබේ ඇස් වලින් වැටෙන කඳුලු ගැන හිතන්න බැහැ. කාන්තාවක් පිරිමියෙකු හා එක්වුන සුන්දර රාත්‍රිය අවසන් කරන්න කැමති නැති බව අපූර්ව ආකාරයේන ලියැවෙන්නේ ඒ තහනම් ආදරය කෙතරම් දුර ගොස් ඇත්දැයි පෙන්වන සාධකයන් විලස යැයි මම සිතමි.

ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

දස්කොන් සමඟ ගත කල ඒ රාත්‍රිය ඉක්මනින් ගෙවුන වගේ දැනුනේ. බොහෝම ඉක්මනින් මගෙන් ඈත් වුනා වුනත් මේ භවයෙන් පස්සේ මාව ඔබේම කරගන්න. දස්කොන් පැහැදිලි කල යථාරථය ප්‍රමිලාවන් තේරුම් ගෙන ඇති බව මනාව පැහැදිලි වෙනවා. මොකද ඇය දන්නවා රඩුට සැල වුනොත් වෙන්නේ මොකක්ද කියල.

අපූර්ව සංවාදයක් ගීතයක් බවට පත් කර එයට සංගීතයෙන් ජීවය ලබා දෙන්නේ ගුණදාස කපුගේ ශූරීන්ගේ සංගීතයයි.

***************************************************************************

සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩ ගල වටකල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයි විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ

No comments:

Post a Comment