Pages

Thursday, September 4, 2014

මගේ ගමන් බිමන් හැට තුන්වන කොටස - නිපොන්සන් සාම විහාරය අම්පාර

අම්පාරේ තියෙන බොහෝම සුන්දර වගේම ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ කියන සාම විහාරය. මුලින්ම මම සාම විහාරය ගැන පුංචි ඉතිහාසයක් කියන්නම්.
1885-1985 කාලයේ ජීවත්වුන නිචිදට්සු ෆුජි (Nichidatsu Fuji) කියන බෞද්ධ භික්‍ෂුව විසින් නිපොන්සන් යෝහෝජි (Nipponzan Myohoji) කියන නිකාය ආරම්භ කරනවා. පසුව උන්වහන්සේ 1931දී මහත්මා ගාන්ධි හමුවීමත් සමඟ ලොව පුරා සාමය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ 1947 දී සාම විහාර නිර්මාණය කරමින්. සාම විහාර, මහායාන බුදුදහමේ සම්ප්‍රදායට ‍බෝධිය, ස්තූපය හා විහාර ගෙය යන නිර්මාණ ඇතුලත්ව ගොඩනගල තියෙනවා. වසර 2000 වෙද්දී ලොව පුරා සාම විහාර 80ක් ඉදිවෙලා තියෙනවා. අපේ පුංචි ලංකාවේ විතරක් සාම විහාර 5ක් තියෙනවා. ඒ අම්පාර, ගාල්ල, ශ්‍රී පාදය, බණ්ඩාරවෙල හා වලප‍නේ යන ප්‍රදේශ වල.
1988 පෙබරවාරි මාසෙ 27 වෙනිදා වැඩ අවසන් වුන අම්පාරේ තියෙන සාම විහාරය තියෙන්නේ හරිම අපූරු තැනක. එක් පසෙකින් අම්පාර වැ‍වට මායිම් වෙලා තියෙනවා. අම්පාර - ඉඟිනියාගල පාරේ කිලෝමීටර 3ක් විතර යද්දී මේ කියන තැනට ලඟාවෙන්න පුළුවන්. විහාර භූමියට ඇතුලත් වෙද්දීම දකින තොරණේ ඉඳන් සෘජු මාර්ගයක් තියෙනවා. එය කෙලවර වෙන්නේ ස්තූපය ලඟින්. නමුත් මෙම භූමියේ නිරතුරුව වල් අලි ගැවසෙන නිසාවෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔවුන් වතුර හෙයාගෙන වැවට එන නිසා ඔවුන්ගෙන් කරදරයක් නැතත් වන ජීවීන්ගේ නිදහසට බාධා නොකර ඉන්නවා නම් තමයි ගොඩක්ම හොඳ.
සවස් කාලයේ විහාරගෙය තුල ධර්ම දේශනා පවත්වන අතර ඉන් අනතුරුව ජපන් ස්වාමීන් වහන්සේ නමක් විසින් බෙදාදෙන රසකැවිලි නිසාවෙන් බොහෝමයක් කුඩා දරවන්ගේ මුවින් තුල සාම චෙත්‍යය යන ස්ථානය ගැන නිරතුරුව කියවෙනු ඇසිය හැක. සාම විහාරයේ නිර්මාණ විශේෂත්වය හා අවට පරිසරයේ ස්වභාවිකත්වය නිසාවෙන් අපූරු රූපයක් මවන මෙම ස්ථානය සිත සැහැල්ලු කරගැනීමට මනා ස්ථානයක් බැව් කිව යුතුමය.

Wednesday, September 3, 2014

ලංකාවේ ලොකුම පුද්ගලික මුදල් කෞතුකාගාරය (මම දැකපු)

ලංකා‍ව වටේ ඇවිදිමින් යන අතරේ මගේ සහෘදයකුගේ හැඳුනුම්කම නිසා හමුවුන මේ වටිනා ස්ථානය තියෙන්නේ කෙ‍ාහෙද, බලන්න පුළුවන්ද යන දේවල් නම් අහන්න එපා. මගේ ලිපි වල පළවෙනි වතාවට ගියපු තැනක විස්තර නොලියන්නේ. ඒ පිළිබඳව සමාව අයදිනවා වාගේම එහෙම කරන්න හේතුවත් කියන්න ඕන කියල මට හිතෙනවා. මම මේ තැනට ගියේ මහ ලොකු දැනුමක් දැනගෙනවත් මුදල් පිළිබඳ දැනුමක් ඇතිවවත් නෙවෙයි. ඒ වගේම මේ තරම් විශාල වටිනකමක් හා හොඳ එකතුවක් ඇති කියලවත් දැනගෙන නෙවෙයි. වෙනත් ගමනක් යන අතරේ සිදුවුන අහම්බයක් නිසාවෙන් මේ පිළිබඳ ගොඩක් ඉගෙන ගන්න වෙලාව නොතිබුනත් අප නොදන්න ගොඩක් දේ දන්න මහත්මයෙක් තමයි මට එතැනදී හමුවුනේ.
මෙතැනින් පස්සේ මම කියන්නම් ඔහු ගැන. එහු එක්තරා අපූරු පුද්ගලයෙක්. ඔහුගේ විනෝදාශය වන්නේ මුදල එකතු කිරීම. එයත් ලංකාවේ පැරණි කාලයේ සිට වර්තමානය දක්වා භාවිතා වුන මුදල්. එහෙමත් නැතිනම් ඔහු කියන්නා සේම "සල්ලි". අනිත් දේ තමයි ඔහු සතුව ඇති මුදල් පිළිබඳ ඇති ඉතිහාස දැනුම. මම අත්දුටුව හැටියෙන් කතාව කියන්නම්. මුලින්ම ම මගේ හිතවතා මාර්ගයෙන් ඔහුගේ නිවසට ඇතුළු වෙද්දී සාදරයෙන් අප පිළිගත් ඔහු අප පැමිණි කාරණාව කිව්ව සැනින් ඇසුවේ "අපූරුයි! නමුත් ඔබ මොනාද මුදල් ගැන දන්නේ?" කියායි. "මම මොකුත් දන්නේ නෑ සර් මම ඒ ගැන උනන්දු වෙලා තිබුනේ නැහැ" මම කිව්වා. "ඉතින් එහෙනම් මට මුල ඉඳන් කියන්න වෙනව. හොඳයි ඔබ අහල තියෙන පරණම සල්ලි එහෙම නැත්තම් මුදල මොකක්ද?" ඔහු ඇහුවා. මම එක්වරම කීවේ "කහවණු" කියලයි. එතැනින් පස්සේ සිහින් සිනාවක් ඇඳුනු මුහුණක් සහිතව "අපි යමු උඩට" කියමින් අප සමඟ උඩ තට්ටුවට යන්න වුනා. ඔහුගේ නිවසේම තිබුණු අපූරු කෞතුකාගාරය දකින්න ලැබුණේ එතැනදියි.
අතීතයේ ඉඳන් වර්තමානය දක්වාම වර්ගීකරණය කල සල්ලි සහ වර්තමානයේ භාවිත වන සල්ලි විශාල ප්‍රමාණයක් තිබුණා. එතැනදී කහවණු සත්‍ය වශයෙන්ම දැක්කා වාගේම අහල විතරක් තිබුණ මසුරන්, අගුටුමස්ස, තුට්ටුව, දොයිතුව වගේ කාසිත් මම නම් ‍දැක්කේ මෙතැනදී විතරයි. ජාතික මුදල් කෞතුකාගාරයෙන් පත්තර වල දැන්වීම් දමමින් සොයන කාසි මොහු ලඟ තියෙනවා දැකීමෙන් මා තුල උනන්දුව වාගේම ඔහුගේ ධෙර්යය හා කැපවීම පිළිබඳ ගෞරවයක්ද ඇති වුනේ නිතැතින්මයි.
ඒ විතරක් නොවෙයි අතීත රජ දවස භාවිත කල ඇඳන්, පළමුව ලංකාවේ භාවිත වූ ප්‍රක්ෂේපණ යන්ත්‍ර, මහණ මැෂින් හා කැමරා පවා හුගේ එකතුව තුල තිබුණා. ලංකාව තුල දක්නට නෙ‍ාලැබෙන ගෝත්‍රික මුහුණු හා ඉතා වටිනාකමක් ඇති පුරාවස්තු රැසක් ඔහු විසින් එක්රැස් කරගෙන තිබුනා. ඔහු ඒ දේවල් ඉතා පරෙස්සමින් සුද්ධ පවිත්‍ර කරමින් රැක බලාගන්නේ මහත් වූ ආදරයෙන්. එහිදී මා දුටු දේ ඔහුගේ අවසරයෙන් ඡායාරූපගත කරන්න ලැබීමත් ඉතා භාග්‍යයක්. නමුත් ඔහුගේ ඉල්ලීම වූයේ කිසිවිටෙකත් ඔහුගේ අන්‍යතාව හෙලිකමින් ලිපි ලියන්න එපා යන්නයි. එයට හේතුව මේ දේවල් වල ආරක්‍ෂාව හා මේ දේවල් බලන්න මිනිසුන් ආවොත් ඔහුගේ අධ්‍යයනයන්ට සිදුවන බාධාවයි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම නිසාවෙන් මට ඒ දේවල් නම් හෙලිකරන්න බැහැ. පළවෙනි වතාවට ඔහුගේ කෞතුකාගාරයේ ඡායාරූප ගැනීමට අවසර ලැබුණේත් මට විතරක් වුනේ මා හා ගිය මිතුරාගේ ඇඳුනුම්කම් ප්‍රමාණය නිසාවෙන්මයි.


Saturday, August 30, 2014

මගේ ගමන් බිමන් හැට දෙවන කොටස - මුල්ලපිටිය ශ්‍රී ස්වර්ණ බිම්බාරාම පුරාණ විහාරය

අලුත්ගම හෙට්ටිමුල්ල හංදියෙන් හැරිල කිලෝමීටරයක් විතර යද්දී හමුවෙන මේ විහාරස්ථානය අලුත්ගම කන්දේ විහාරය කියන නමින් තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ. 1734 දී ඉදිවෙලා තියෙනවා කියල සැලකෙන මේ විහාරස්ථානයට දිනපතාම බැතිමතුන් පැමිණෙනවා. මේ විහාරයේ විශේෂත්ව දෙකක් දින්න පුළුවන්. එකක් තමා ලංකාවේ උසම හිටි පිළිමය තිබෙන්නේ මෙතැන වීම. භූමි ස්පර්ෂ මුද්‍රාව ඇති මෙම පිළිමයේ උස අඩි 160ක් පමණ වෙනවා.
අනිත් කාරණය තමයි එහි ඇති විශ්ණු දේවාලය. මෙන්න මේ දේවාලය නිසා තමයි ගොඩක්ම අය මෙතැනට එන්නේ. බාරහාර වෙන්න එන පිරිස නිසා කවදත් දේවාලය අසල සෙනඟ වැඩියි. මෙහි ඇති විශ්ණු වෙියන්ගේ පිළිමය ජීවමාන ආකාරයෙන් නිමවා ඇති අතර එය නුවර යුගයේ සම්ප්‍රදාය තමයි පෙන්වන්නේ. අති විශාල හාස්කම් ප්‍රමාණයක් ඇතැයි විශ්වාසයෙන් න බැතිමතුන් නම් එදා සිට අද දක්වාම අඩුවක් නැහැ.
තවද මෙහි ඇති බෝ ගස පවා අවුරුදු 300ක පමණ ඉතිහායක් උසුලන බවයි පැවසෙන්නේ. එය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකාවක් යැයි පැවසෙන චිත්‍ර පවා හමුවෙලා තියෙනවා. නිරිමාණය වී තිවබන්නා වූ විහාරගෙය පවා විශේෂිත කලා සම්ප්‍රදායක් හොබවන අතර අද නම් විශාල දියුණුවක් දකින්න පුළුවන්. සංචාරක පාරාදීසයක පිහිටා තිබෙන නිසා විදේශිකයන් පවා මෙය වැඳ පුදාගන්න නිතර පැමිණෙනවා.

මගේ ගමන් බිමන් හැට එක්වන කොටස - දියලුම ඇල්ල

ලංකාවේ දිය ඇලි අතරින් තුන්වන ස්ථානයට උසම දිය ඇල්ල වන දියලුම ඇල්ල උසින් මීටර 171 විතර වෙනවා. පූනාගල ඔයෙන් පෝෂණය වෙන මේ දිය ඇල්ල අතු ගඟකින් කිරිඳි ඔය‍ට වැටිල තිස්සමහාරාමය හරියෙන් මුහුදට වැටෙනවා. ඉතිමත්ම ලස්සන දිය ඇල්ලක් වෙන මෙ දිය ඇල්ල වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ යන අතරේදි දකින්න පුළුවන්. ලඟම නගරය වුන කොස්ලන්ද ඉඳන් කිලෝමීටර 6කුත් වැල්ලවායේ ඉඳන් කිලෝමීටර 13ක් විතර තමයි තියෙන්නේ. මේ හා බැඳුනු පුරාවෘතයක් තියෙනවා.
එක්තරා කාලයක රජ කුමාරයෙක් පහත් යැයි සැලකෙන් කුලයක තරුණියක හා පෙමින් බැ‍‍ඳෙනවා. පසුව ඒ තරුණිය හා විවාහ වන කුමාරයාව රට වැසියන් විසින් පලවා හරිනවා. කුමාරයා පලායන්න උත්සාහ කරන්නේ උඩරටට. ඒ පලායන අතරතුර මේ ගල් පර්වතය වැල්පටක ආධාරයෙන් තරණය කරද්දී තරුණිය ගල් අතර සිරවී මිය යනවා. එහිදී ඇතිවන දුක නිසා කුමරුවන්ගේ ඇැසින් වැටෙන කඳුළු එක්කර වදවියන් විින් මේ දිය ඇල්ල මවා තිබේ යැයි කියවෙනවා.
 
කෙසේ වෙතත් මනරම් දිය ඇල්ලක් වුන මෙය ජලය වැඩි කාලයට මාර්ගය හරහා යන තරම් මීදුමින් වැහෙනවා. දැන් නම් පාරවල් හදල තියෙන නිසා ලේසියෙන් යන්න පුළුවන්. අතීතයේදී මේ දිය ඇල්ල ජලපහන ඇල්ල, දියගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල විදිහටත් හඳුන්වල දීලා තියෙනවා.
 

Friday, August 15, 2014

මගේ ගමන් බිමන් හැටවන කොටස - මකර


විශ්ව විද්‍ය්‍යාලය නිසා අම්පාරට ආව මම විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් කරද්දී අවුරුදු 4ක් වෙලා. ඒ කාලය පුරාවටම මම යන්න සුදුසු තැනක් විදිහට "මකර" කියන තැන ගැන ඇහුවත් යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒකට හේතු  ගණනාවක් තිබුණා. ඒ අධ්‍යයන කටයුතු, ගමනේ දුශ්කරකම හා භයානක කම, නීති රීති, මිළ මුදල් වගේ දේවල්. කොහොම වුනත් මට සමුදෙන්නත් එක්ක අම්පාරේ මගේ මිතුරු පිරිසක් විසින් මේ තැන බලන්න යන්න තීරණය කලා. නමුත් හැමෝටම නිඩාඩු තිබුණේ නැති නිසා ඒ ගමන එක දවසකට තීරණය වුනා. (දවසින් නම් මෙතැන බලන්න බැහැ)

මුලින්ම කියන්නම් මොකක්ද මේ මකර කියන්නේ කියල. ඊට කලින් කියන්න ඕන සේනානායක සමුද්‍රය ගැන. සේනානායක සමුද්‍රය කියන වැව තමා දැනට පසු කාලීනව කල ලංකාවේ විශාලම වැව. මේ වැව  හදල තියෙන්නේ ගල්ඔය ගඟ හරස් කරල. ඉතින් මේ මකර කියන්නේ ගල්ඔය ගඟ සේනානායක සමුද්‍රයට වැටෙන තැනට. ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයිති නිසාවෙන් වනජීවී එකේ අවසර නැතුව නම් යන්න බැහැ. අම්පාර බිබිල පාරේ කිලෝමීටර 20ක් විතර ගියාම ඌව පලාත් සංචාරක අමාත්‍යාංශයෙන් දාපු දුන්වීම් පුවරුව දකින්න පුළුවන්. එතැනින් කිලෝමීටර 10ක් ගියාම වනජීවී කාර්යයාලය දකින්න පුළුවන්. එතැනට යනකම් නම් ඕන වාහනයක යන්න පුළුවන් වුනාට එතැනින් එයාට යන්න නම් සෆාරි වාහනයක් හරි ආරක්‍ෂිත වාහනයක් හරි තියෙන්නම ඕන. එතැනින් අපි එක්ක යන්න කෙනෙක් එනවා. එතැනිනුත් කැලේ මැදින් කිලෝමීටර 10ක් විතර ගියාම මකර කියන තැනට ලඟාවෙන්න පුළුවන්.

අපේ ගමන මෙතැනට එද්දී උදේ 9 විතර වුනා. එතැනදී අපේ සහයට කෙනෙක් ආවා වගේම අපි පස්සෙන් තව තුන් දෙනෙක් ආව. ඒ තමයි මේ අය...
සංචාරකයන් කූඩාරම් ගහන නිසා මේ අය ඒ උයන කෑම කන්න පුරුදු වෙලා. කිලෝමීටර 10ම දුවනවා වාහන පස්සෙන්. කැලේ වනසතුන් ගොඩක් ඉන්නවා කියල අහල තිබුනත් දකින්න ලැබුනේ මුව රංචුවක් විතරයි. ඒකට හේතුව වුනේ මේ පායන කාලේ නිසා සත්තු ගොඩක්ම ඉන්නේ වතුර තියෙන තැන් වල වීම. නැතිනම් දිවියන්, අලි හා විවිධ කුරුලු වර්ග දකින්න පුළුවන්. කොහොම වුනත් අපි මකර කියන තැනට සේන්දු වෙද්දී නම් වෙන සතුන් දකින්න පුළුවන් වුනේ නැහැ. අපි ගිය කාලය නම් එතැන නියම සුන්දරත්වය විඳින්න හොඳ කාලයක් නෙවෙයි. තවත් විදියක් තියෙනවා මෙතැනට එන්න ඒ තමයි සේනානායක සමුද්‍රයේ වේල්ල ලඟ ඉඳන් කිලෝමීටර 18ක් ගෙවාගෙන එන බෝට්ටු සවාරිය. කැලේ මැදින් යන අතරේ දැන ගන්න ලැබුණු දෙයක් තමා ඉස්සර මේ තැන අවට ඖෂධ උයනක් බවත් ඒ කාලයේ මේ තැන හරහා අශ්ව කරත්ත හා අලි කරත්ත ගමන් කරවූ බවත් ඒ සඳහා ගල් මාවතක් නිර්මාණය කර තිබූ බව. දැනටත් සමහත තැනෙක ගල් කණු දකින්න ලැබුණා වගේම ගලින් කල පාරක නටඹුන් දකින්න පුළුවන්.

කොහොම වුනත් මෙතැනට මකර කියන්න හේතුවුන කාරණාව දකින්න ලැබුනේ නියම මකර කියන තැනට ලඟා වුනාම. ගල්ඔය ගඟ වැවට වැටෙන මේ තැනට එද්දී ගංගා 7ක් එක් වෙනව කියලයි කියන්නේ. ඒ එකතුවෙලා ගලාගෙන ඇවිත් එකපාරට පොලව යටට යන ජලකඳ මීටර 500ක් විතර ගිහින් මතුවෙනව කියලයි කියන්නේ. අන්න ඒ නිසා තමයි මෙතැනට මකර (මකර කට) කියල කියන්නේ. දැන් නම් එහිදී දකින්න බැහැ. මොකද මහා විශාල වැව පුරවපු ගල්ඔය ගඟ මේ කාලයට සිහින් දිය පාරක් විතරයි. පුරාවට විසිරිනු ගල් අතරේ තියෙන විශාල කටාරම් දකිද්දී තේරෙනවා කොයි තරම් විශාල ජල කඳක් එනවා ඇතිද මෙතැනට කියල.

කොහොම වුනත් වැව පටන් ගන්න තැනට යනකල් වැලි වලින් වැහිල නිසා දැන් නම් නියම මකරය බලන්න ලැබෙන්නේ නැහැ කියලයි කලින් මෙතැන බලන්න ආපු අය කිව්වේ. එතැනින් බැහැල වැව මැද පැත්තට ගියේ සත්තු ඇති කියල හිතන්. ඒ වුනත් දවල් කාලයේ රස්නය නිසා සත්තු බලන්න නම් වුනේ නැහැ. වැව අගලට හිඳිල නිසාත් තැන තැන තිබුණු අලින්ගේ මලපහ නිසාවෙනුත් ආපිට හැරෙන්න සිද්ධවුනා. ආයෙම වතාවක් රැයක් ඉන්න බලන් එන්න ගමන සැලසුම් කරන් එතැනින් ආවේ මෙන්න මේ මතකයන් එකතු කරගෙන.


එන ගමනේදී වැව් බැම්ම බලන්න ගියේ අහම්බයකින් ඇතිවුන සිතිවිල්ලකින් වුනත් එතැනදී හම්බ වුන මේ සද්ධන්තයා නම් අමාරු කාරයෙක්ලු. පඩිපෙලෙන් බැහැල එන්න තරමක් හිත හිතා හිටියත් ඊට පස්සේ වැවේ දිය නාමින් හිටි අයට එලවන්න පටන් ගනිද්දී නම් අපි හැමෝටම හීන්දාඩිය දැම්මා. ඒ මොකද තනියෙකුගේ එලවීමක් ගොඩක් වෙලාවට කෙලවර වෙන්නේ මරණයකින් නිසාවෙන්.

Wednesday, August 13, 2014

අපූරු ලෝකයක අපූරු මිනිස්සු...

මෙි ලියන්න යන දේ නම් ගොඩක් මත ඉදිරිපත් වෙන්න පුළුවන් කතා මාතෘකාවක්. ඒත් කතා කල යුතුයි. මුලින්න තියෙන කාරණාව තමයි අපි පොඩි කාලේ වෙන්න හිතපු, අපි දක්‍ෂ වුන, අපේ සිතුවිලි කරන්න කියල තෝරපු දේමද අපි අද කරන්නේ කියන එක. ඒකට බොහෝමයක් දෙනාගේ පිළිතුර වෙන්නේ නැහැ කියන එක. හරි පොඩි කාලේ හීන දකානවා. ඒවා සැබෑ වෙන්නම ඕන නැහැ කියන පිරිසක් ඇති. ඒත් සවිඥාණිකව හිතන්න පොඩියක්. අපි පොඩිකාලේ සමහර දේට ආස කරන්නේ ඒ දේ දැක්ක ගමන්මයි. ඒ දේවල් වලින් වැඩ කරන්නේ කවුරුවත් කියල දීල නෙවෙයි. නමුත් අපි කොහොම හරි ඒ දේට දක්‍ෂයි. ඒ කොහොමද?
බුදු දහමේ හැටියට නමක් දුන්නොත් අපි පෙර භවයක ඉඳන් අරන් ආව දේවල් තමයි ඒ. අපි ආත්ම ගානක ඉඳන් යම් යම් දේ පුරුදු පුහුණු කරල තමයි එන්නේ. ඒ දේට අපි කොහොමත් දක්‍ෂයි. ඒත් අපි පුංචි කාලෙම ඒ දේවල් වහල දාල වැඩැහිටියන්ට ඕන කරන පාරවල් වලට ඇදල දානව. ඒක ගොඩක් තැන් වල වෙන දෙයක්. ඒකෙන් වෙන්නේ සහජයෙන් දක්‍ෂතා තියෙන අය වෙනුවට පුරුදු කරපු අය ටිකක් බිහිවෙන එක.
අපි කොහොම හරි යම් යම් දේවල් වලට පුරුදු වුනා කියමුකෝ. මේ අයගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 20-30 අතර කාලයේ රැකියාවලට යන්න පටන් ගන්නවා. හැබැයි එතැනදී අපි ජීවත් වුන මුල් අවුරුදු 20-30 අමතක කරලා ඒ ඒ ආයතන වලට ඕන හැටියට හැඩ ගැහෙනවා. තමන් ඒ විශයයන්ට කොයි තරම් දක්‍ෂ වුනත් තමන්ගේ සිතින් තමන්ට මේ නිසා අහිමි වුන නිදහස, තමන්ගේ ක්‍රම ආසාවන් මතක් කරමින් තමයි ඉන්නේ. ඒ නිසා තමන් වැඩකරන තැන එක්ක කිසිම ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රාජකාරිය, මුදල් හා තත්ත්වය වෙනුවෙන් තමන්ගේ ජීවිතයෙන් වටිනාම, ලස්සනම කාලය අමතක කරනවා. ඒ කරල අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ආයතන වලට ඕන විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. පස්සේ මුලු ජීවිතේම පරිඝණක වැඩසටහනක් වගේ වෙනවා. නියමිත කාල වලදී යවත්කාල (update) කරන වැඩසටහනක් විතරමයි.

මේ කරුණු කිව්වේ මතුපිටින් විතරයි. තමන් ගැන සහ තමන් දන්න අය ගැන හිතල බලන්න. ඔවුන් සියල්ල මේ දේට අසුවෙලා ඉන්නේ. අනිවාර්යයෙන් තමන්ගේ ජීවිත වල නැතිවුන දේවල් ගැන කල්පනා කරමින්. ඒ අය ඒ දේවල් අමතක කරන්න, තමන්ට නැති වුන දේ අනිත් අය ගන්නවා දකින්න කැමති වෙන්නේ නැහැ. ඒ තුල ඊර්ෂ්‍යාව උපදිනවා. කොහෝම වුනත් අන්තිමට වෙන්නේ සැරින් සැරේ වෙනස් කරපු (version update) රෝබෝවරු පිරිසක් බිහිවෙන එක. තව ටික කාලෙකින් කෘතීම බුද්ධීය සහිත රෝබෝවරු නිර්මාණය වෙද්දී මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා වගේම ඔවුන් තව දුරටත් ජීවයක් පවත්වාගෙන යාම අත්හැරල දාන්නත් පුලුවන්. 
 





ජීවිතේ මෙහෙමයි කියන්න කලින් කල යුතු දේ මම ජීවත්වෙන්නේ මෙහෙමයි කියන එක. තමන්ගේ පාර තමන් සොයාගන්න. ඒක කුඩා කාලයේදීම කරන්න ඉඩ දෙන්න. ඒ තුලින් පුහුණු කාර්මිකයන් වෙනුවට දක්‍ෂයන් බිහිවෙයි. අලුත් නිර්මාණ බිහිවෙයි. ඒ විතරක් නෙවෙයි හැමදේටම වඩා හිත්වල කලබලයක් නැති මනුස්සකම ඇති පිරිසක් බිහිවෙයි. ඔයාල හිතල කියන්න මේ දේ වැරදිද? මේ දේ මීට වඩා ගැඹුරින් කතා කල යුතු දෙයක් වුනත් මේ තැන නවත්තන්න හොඳයි වගේම දිග කතාවකට රේස් එකේ දුවන ඔයාල කැමති වෙන්නෙත් නැහැනේ. ඒ නිසා ආයුබෝවන්.

Thursday, August 7, 2014

අම්පාරෙන් යන්න සූදානම් වෙන ගමන්.....

මීට අවුරුදු 4කට කලින් මම අම්පාරට ආවේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. ඒ එද්දී අඳුනන කියල කිසි කෙනෙක් හිටියේ නෑ. ගෙදරින් කලින් දවසේ රෑ බස් එකේ ඇවිත් පාන්දර 2ට අම්පාරේ. බස් නැවතුමේ නිදාගෙන උදේම කැම්පස් එකට ගියේ තාත්තයි අම්මයි එක්ක. පිස්සු විකාරයි. ඒ ආපු ගමනේ ඉඳන් අද වෙද්දී ගොඩක් දේ වෙනස් වෙලා.

මුලින්ම ඇවිත් බස්වල යද්දී නම් එපා වුනා. දාඩිය ගඳ හා සෙනඟ අස්සේ හිරවෙලා යන ගමනයි තිබුණු කාශ්ඨක අව්වයි එක්ක විශ්ව විද්‍යාලය ගාවින් බහිද්දිම එපා වෙලා තිබුනේ. එතන ඉඳන් කිලෝමීටර 1.5ක් විතර ඇවිදන් ගියේ අව්වේමයි. හපෝ එවෙලේම දාල එන්න හිතුවේ. පස්සේ අම්ම තාත්ත කිව්ව නිසයි වෙනස් පරිසරයක වෙනස් සමාජයක් දකින්න පුළුවන් වෙන නිසයි මම නැවතුනා විශ්ව විද්‍යාලයය ඇතුලේ. මම හිතන්නේ ඒ හිතපු දේ නම් මම අද කරගෙන තියෙනවා.

සම්මාන්තුරේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වැඩ පටන් අරගෙන මාස තුනක් විතර යද්දී මහ වැසි පටන් ගත්තා. කැම්පස් රැග් එකයි වැස්සයි අස්සේම අපේ අධ්‍යයන කටයුතුත් සිද්ධ වුනා. එතකොට තමා මහ වැසි නිසා සේනානායක සමුද්‍රය උතුරලා ගියේ. ඇතිවුන ගං වතුර නිසා කැම්පස් එක වැහුවා. මමත් ඇවිදින්න තියෙන ආසාව නිසාම ගංවතුර අස්සේ වැව් වල පිටාර යෑම බලන්න ගියා. (අපේ පැත්තේ වැව් නෑනේ) එතැනින් පස්සේ යාළුවෙක්ගේ නෑදැ කෙනෙකුගේ මළ ගෙදරක් වුනා. එතැනින් තමා පටන් ගත්තේ අම්පාරේ මිනිස්සු අාශ්‍රය කරන්න.

ඒ වුනත් කැම්පස් හොස්ටල් ඉඳන් අම්පාරට එන්න යන්නත් අමාරුයි වගේම සම්මාන්තුරේ සංහල අය හිටියෙත් නෑ. ඒ අයගේ භාෂාව දන්නේ නැති නිසා එතැන ඉඳල වැඩකුත් නෑ. කොහෙම හරි අමාරුවෙන් පළවෙනි මාස 6 ඉඳල ගෙනිච්චා බයිසිකලය. එතැන ඉඳන් පුළුවන් වෙලාවට අම්පාරට ආව. ඒත් මදි. පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ආව අම්පාරේ බොඩිමක් හොයාගෙන. ඔන්න පටන් ගත්තා රජ ගමන. =D

පළවෙනි බෝඩිම තිබුනේ අම්පාරෙ ගැමුණුපුර. ගොඩක් උදව් කලා විතරක් නෙවේ ගෙදර වගේ ඉන්න පුළුවන් වුනා. ගමේ අය ටික ටික සෙට් වෙද්දී රස්තියාදුවත් ටිකක් වැඩි වුනා. හැබැයි ඉතින් කොණ්ඩේ වවාපු රස්තියාදුකාරයා කැම්පස් කියල දැනගත්තාම හිටි එවුන්ට පිස්සු නොහැදුනා විතරයි. අධ්‍යාපනෙත් කරගෙන එහෙන් මෙහෙන් ගමන් බිමන් යන්නත් පටන් ගත්තා. ගමන් බිමන් ලිපි පෙලේ අම්පාරේ ඇවිදපු බාගයක් විතරම ගියේ මෙතන ඉඳන් නිසා ගොඩක් මතක තැනක්. පුරා ඇවිදින ගමන් බෝඩිමේ අයගේ නෑදෑ වෙන කෙනෙක් හමුබුනා. ඒ ගැරේජ් එකක් කරන අයිය කෙනෙක්. එයා යෝජනා කලා නිවාඩු වෙලාවට ඇවිත් වැඩ පුරුදු වෙන්න කියල. මම අම්පාරේදි හමුවුන හොඳම කාලේ පටන් ගත්තේ නිඩාඩු වෙලාවට එතැනට යන්න පටන් ගැනීමත් එක්ක. එතැනින් හමුවුන තවත් සගයෙක් එක්ක තාරකා විද්‍යා සංගමයක් පටන් අරන් රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරු තියන්න පටන් ගත්තා. පාසල් වල තියපු කඳවුරු වලින් දැනුම හා පිරිස් අඳුන ගත්තා වගේම සංගමයේ ලේකම් ධූරය එක්ක ටිකක් විතර වැඩ අධික වුනා.

කාලයකට පස්සේ පරිඝණක අළුත් වැඩියා කරන ස්ථානයක වැඩ පටන් ගත්තා. ඒකත් එක්ක බෝඩිමත් මාරු වුනා. අපූරු තැනක් වුන එතනත් මගේම තැනක වගේ තමයි සැලකුවේ සලකන්නේ. ඒ අතරේම ගල්ඔය වේදිකාව කියන සංගමයක් හරහා කලාකරුවන් වෙනුවෙන් තෝතැන්නක් හදන්න මූලික වෙන්න අවස්ථාව ලැබුනා. ඒ හරහා අන්දරේලා වේදිකා නාට්‍ය අම්පාරට ගේන්න කටයුතු කලා. ඒකත් අපූරු අද්දැකීමක් වුනා වගේම ඒ දේවල් කොහොමද වෙන්නේ කියල දැනගත්තා. මාව ඒකට සම්බන්ධ කල අයට පින්දෙන්න වටිනවා ඒ වැඩේට නම්.

ඒ අතරේ අම්පාරේදී විශාල පිරිසක් හඳුන  ගත්තා වගේම හැමදාම ජීවත් වුන අම්බලන්ගොඩ තරම්ම මේ අවුරුදු 4ට මට අම්පාර පුරුදු වුනා. නොයෙක් විදිහට උදව් කල අය අපමණයි. දැන් කැම්පස් ඉවර නිසා යන්න යන්නේ. කැම්පස් එකේ පිස්සු නැටුවා, අම්පාර වටේම ඇවිද්දා විතරක් නෙවෙයි අපූරු යාලු මිතුයන් පිරිසක් එකතු කර ගත්තා. එදා ඉඳන් අද වෙනකම් මාත් එක්ක හිටි අය, ඉඳල ගිය අය ගැන බැලුවාම නම් මතක සටහන් අපමණයි. යන්න යද්දී කියන්න බැරි වුන අය නම් අපමණ ඇති. ඒ අයගෙන් සමාව භජනය කරනවා. උදව් කල අයට ගොඩක් පින්.... යන්න යන්නේ ආයෙත් එන්න බලාගෙන. මොකද මට හමුවුන අපූරු පුද්ගලයන් රැසක් ඉන්නවා. ඒ අය දකින්න කතා කරන්න නිඩාඩු තියෙන වෙලාවට අනිවාර්යයෙන් එනවා. මේ කියවන ඔයත් ඒ අයගෙන් කෙනෙක් කියල මට විශ්වාසය්. එහෙනම් ආයුබෝවන් අම්පාරේ අය හැමෝටම.....