Pages

Wednesday, April 8, 2015

දුක් විඳින ජීවිත.... පළමු කොටස

මේ කියන්න යන්නේ අපේ රටේ දුක් විඳින විවිධාකාරයේ ජීවිත ගැන කතාවක්. මේක පළමු කොටස වෙන්නේ මේ ව‍ගේ මිනිස්සු කොතෙකුත් අපට හමුවන නිසා. ඒ වගේම මේ සිදුවීම් වල එන අනිත් චරිත වුනත් එහෙමයි. ඔයාල වුනත් ජීවිතේ ටිකක් ආපස්සට හැරිල බලන්න මේ වගේ ජීවිත කොතෙකුත් හමුවෙලා ඇති. හැබැයි විනාඩියක් නැවතිලා කතා කරලා නම් නැතුව ඇති. මේ මම මේ අය දිහා බලාගෙන ගෙවපු පැය දෙකක්.

මේ ජීවිතේ මම දැක්කේ මම ඉන්න ටවුන් එකේ අහම්බෙන්. ඒ කියන්නේ අම්බලන්ගොඩ නගරයේ. මේ වැතිරිලා ඉන්න කෙනාට නැගිටින්න බෑ මේ තමා උපරිමය. අත් හැකිලිලා, වර්ධනය වෙලා නැහැ. කකුල් දෙකත් එහෙමයි. බෙල්ල නවන්න කරන්න බෑ. ඉතින් මේ අම්මයි තාත්තයි තමන්ගේ දරුවට බේත් හේත් ගන්න සල්ලි හොයා ගන්න තමා මේ පාරට ඇවිත් තියෙන්නේ.
මුලින් මම මේ කෙනා ‍දැකල මෙතැන නවතිද්දී මම දැක්ක තවත් අපූරු දෙයක්. ඒ තමයි තරුණ ගැහැණු ලමයෙක් මේ අයගෙන් විස්තර අහනවා. ඔව් ඇත්තටම මේ වගේ දෙයක් අපේ දැන් සමාජයේ විශේෂයෙන් මේ වගේ කලබලකාරී දවස්වල දකින්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් මේ කෙනා කතා කල දේවල් වලින් මට නම් හිතුනේ වෛද්‍ය ශිෂ්‍යාවක් විය යුතුයි කියලයි. කොහොම වුනත් යන එන අය අතරින් රුපියල් 10ක් 20ක් මේ වැඩිහිටියන් ගාව නවතින එක නම් දකින්න පුළුවන් වුනා. මමත් දවල් කන්න යන්න ආපු ගමන නවත්තගෙන මෙතැන නවතින්න තීරණය කලේම මේ නිසාමයි.

කාලය ගතවෙද්දී විවිධ අය විවිධ විධි වලින් මේ තුන්දෙනා දිහා බලන්න ගත්තා. තාත්තා ව‍යෝවෘද්ධයි, අම්මා තයිරොයිඩ ග්‍රන්ථියේ ඉදිමීමකින් පෙලෙද්දී මේ පුතා නැගිට ගන්න බැරිව වැටිල ඉන්නවා. ශරීරයේ හැටියට වයස 20කට වැඩි මිසක් අඩු නම් නැහැ. කොහොම වුනත් හොඳම ටික පටන් ගන්නේ මෙතැනදී.
හොඳම හරිය වෙන්නේ මෙතැන තමන්ගේ ජීවිකාව විදිහට හිඟාකන අය කරන කියන දේවල් දිහා බලන එකයි. සාමාන්‍යයෙන් නගරයේ ඉන්න හිඟන්නන්ට අමතරව විවිධ තැන් වලින් ආපු හිඟන්නන් අවුරුදු සමයත් එක්ක ඇවිත් තියෙනවා. ඒත් ටික වේලාවකින් අවට ඉන්න හිඟන්නන් "මේ බො‍රුකාරයෝ මහත්තයෝ. මුන් බොරු කරන්නේ" කියමින් අවට රැස්වෙන අයට කියන්න පටන් ගන්නේ ඒ අයගේ ඔඩොක්කුවෙන් සද්දේ ඇහෙද්දී මේ තුන්දෙනාගේ ගාව කිසි සද්දයක් නැති නිසාම වෙන්න ඇති කියලයි මට හිතුනේ. හැබැයි ඉතින් අඩුවක් නැතුව අන්තිම සතේටම මාරු සල්ලි ටික ඉල්ලගෙන යන්න එන කො‍න්දොස්තරලා නම් ගානක් හිටියා. මාරු සල්ලි අරගෙන ඒ ගාන සතේට බලල ලොකු කොලයක් දෙන හැටි නම් කීප පාරක් දකින්න පුළුවන් වුනා.

තවත් ටික වේලාවකින් ‍පොලීසියෙන් ඇවිත් මේ අයගේ හැඳුනුම්පත් පරීක්‍ෂා කරල බැලුවේ කොයි කවුද කියල හොයන්න වග කාටත් තේරුණත්, ආබාධිත දරුව‍ාගේ හැඳුනුම්පතක් ඉල්ලන වෙලාවේ නම් මගේ හිතටත් දුකක් ආ‍වා. "අනේ මහත්තයෝ කොල්ලගේ හැඳුනුම්පත ගෙනැල්ල නෑ" කියද්දී "මේ ඇත්තටම තමන්ගේ දරුවද කියල බලන්න හැඳුනුම්පත ඕන" කියල පොලිස් නිලධාරියා කියද්දී නම් අවට හිටි අයත් පොලිස් නිලධාරියාගේ මුහුණ බැලුවේ ඇයි කියල කාටත් තේරුණා. තමන්ගේ හැඳිවතේම මල මුත්‍ර යද්දී අඳින ඇඳුමයි ඉන්න තැනයි වෙනස් කරල ඒ අම්මයි තාත්තයි දිහා බලාගෙන ඒ වගේ ප්‍රශ්ණයක් අහද්දී, මේ දරුවා වෙනුවෙන් ඒ නිලධාරියා ඒ දේවල් කරල දවසක් හිඟාකනවද කියල අහන්න තරම් මගේ හිතට ආව.


















කොහොම වුනත් මේ සියල්ල හසුකරගන්න මගේ කැමරාව ඒ වෙද්දී ගෙනිහන් තිබුනේ නැත්තේ මගේ අවාසනාවද ඔයාලගේ අවාසනාවද නම් දන්නේ නෑ. මගේ මිත්‍රයෙකුට කතා කරල එයාගේ ජංගම දුරකථනයෙන් මේ ඡායාරූප ටික ගත්තේ වචන වලට වඩා ඡායාරූප කතා කරන්න දන්න නිසා. කොහොම වුනත් ඒ තැන ගත කල පැය දෙකකට වැඩි කාලයේ දැක්ක විවිධ මිනිස්සුන්ගේ ක්‍රියාවන් ලියන්න ගියොත් නම් මේ ලිපිය කියවන්න බැරි තරම් දිය එකක් වෙනවා. 

ඉතින් මේ තමයි අපේ සමාජය. ඔයාලගේ වටිනා කාලයෙන් ටිකක් මේ අය ගැන හොයන්න ගත කරන්න. ඒක අපූරු පාඩම් කියා දේවි සමාජය ගැන, මිනිස්සු ගැන. ස්තූතියි!

No comments:

Post a Comment