Pages

Sunday, May 17, 2015

මගේ ගමන් බිමන් අසූවැනි කොටස - දෙනියායෙන් සිංහරාජ වනය හරහා ලංකාගමට

ඔන්න කාලෙකින් ගමන් බිමන් ගැන කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. කාලයක් තිබුනු පොඩි පොඩි ගැටලු නිසාවෙන් ලියන්න නිදහසක් තිබුනේත් ගමනක් යන්න විදිහක් තිබුනේත් නැහැ. කොහොම හරි වැඩටික වෙනස් කරල වෙසක් පෝයට සිංහරාජේ යන්නයි සූදානම් වුනේ. මෙන්න මේ විදිහට තව යාලුවො දෙතෙුන් දෙනෙක් එක්ක ගමන පටන්ගත්ත‍ා. අහලපහල ගමේ යාලුවෙක් හිටිය නිසා ගයිඩ් කෙනෙක් නොගෙන කැලේට ඇතුල් වුනේ ඇත්තටම  ගයිඩ් කෙනෙක් ගන්න තරම් වත්කමක් නොතිබුන නිසා. :(
පලා පොලඟා (Green pit Viper)
දෙනියායෙන් යතුරු පැදි වලින් වනාන්නරය හරහා ලංකාගම පාරෙන් සිංහරාජයට ඇතුලු වුනේ පාන්දරින්මයි. පස්සේ ටිකෙන් ටික වනාන්තර මාර්ග දිගේ යන්න අපි යතුරු පැදි නිවසක දාල වනාන්තරයට ඇතුලු වුනා. ඒ දිය ඇලි ටිකක් බලන්න සහ සත්තු ටිකක් බලන්න හිතාගෙන. ඒත් වැහි කිලේ නිසා සත්තු බලන එක ලේසි නෑ කියල අපි දැනගෙන හිටියා.ටිකෙන් ටික පුංචි දිය ඇල්ලක් වුන වාඩි දොළ ගාවට කිට්ටු කල අපි එතැනදී කෑම කන්න සදානම් වුනා. කොහොම වුනත් ගොනියපු ඉටිකොළ කෑල්ලක්වත් බිම නොදා ඉන්න තරම් නම් අපි පරිස්සම් වුනා. මොකද ලෝක උරුමයක් සුරකින එක අපි කාගේත් යුතුකමක් වෙන නිසා.
Giant Wood Spider

ගොංගල කන්දෙන් ආරම්භවෙන ගිංගඟ පහල නිම්නයේ ගලා යද්දී අතුරු දොළ පාරවල් එය පෝෂණය කරයි.  වනයේ වියන් ස්තරය හොර, බූහොර, බෙරලිය, දුන්, වැලිපියන්න, නවද වැනි ශාකවලින් සමන්විත වන අතර  උප වියන වල්දෙල්, හැඩවක, උබ්බේරිය, මලබොඩ, දියනා, කටුමොද වැනි ශාකවලින් යුක්තය. යටි වියන කැකිරිවරා, මඩොල්, අතුකැටිය වැනි ශාක සහිතය. ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ සිංහරාජය ලෝක උරුම වනපෙතක් වශයෙන් ද ලෝ ප්‍රකට වී ඇත. ශ්‍රී ලංකාවට ආවේණික ශාක ඝන 25 න් 13 ක් ම මෙහි වාර්තා වන අතර මෙහි වැඩෙන දැවමය ශාක විශේෂ සංඛ්‍යාව 340 කි. ඉන් 182 ක් අප රටට පමණක් ආවේණිකයි.
එතැනින් අපි පිටත් වුනේ පතන් ඔය ඇල්ල හා කැකුණ ඇල්ල බලන්න. ඒ දෙක විශාල දිය ඇලි නොවුනත් අපූරු සුන්දරයත්වයත් තිබුන දිය ඇලි දෙකක්. වර්ෂා කාලය නිසා ගොඩක් වතුර තිබුනා. පරිස්සමින් ගල් උඩින් ඇවිදගෙන ගිය ගමන ටිකක් භයානකයි කියන්න පුළුවන්. කොහොම වුනත් සිංහරාජය වැසි වනාන්තරයක් නිසාවෙන් ටිකක් විතර පරිස්සම් වෙන්න ඕන තැනක්. විවිධාකාර මාර්ග වලින් සිංහරාජයට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ ඒ පැති වලින් බලන්න තියෙන දේවල් වෙනස් වෙනවා. කොහොම වුනත් දවල් කෑම ගන්න වෙලාව වෙද්දීත් අපි පතන් ඔය ඇල්ල ගාව. ටිකක් වෙලා මහන්සි නිවා ගත්ත අපි එතැනින් පිට වුනේ ලංකාගමට වෙනකම් යන්න වුවමනාව තිබුන නිසා. මල්මොර ඇල්ල බලන්න යන්න වුවමනා වුනත් අපි ඒක මඟ හැරලා ආවේ රෑ වෙන්න කලියෙන් කැලයෙන් එලියට එන්නත් ඕන වුන නිසා.
පතන්ඔය ඇල්ල
කැකුණ ඇල්ල
බ්‍රාහ්මණ ඇල්ල
කැකුණ ඇල්ල මීටර 11ක් උස අරණුව දොලෙන් නිර්මාණය වෙනවා. මේකටම පහල අරණුව ඇල්ල කියලත් කියනවා. පතන්ඔය ඇල්ල තමා ඉහල අරණුව ඇල්ල කියන්නේ. මේකත් අරණුව දොලෙන් තමා පෝෂණය වෙන්නේ. මේක නම් මීටර 5-6ක් විතර තමයි උස.

එතැනින් ආයෙම බයිසිකල් නවත්තපු තැනට එද්දී අපට ගොඩක්ම හමුවුනේ කැන්ගරු කටුස්සන්ගේ ගැහැණු සතුන් තමයි. පලා පොළඟෙක්, කුරුලු විශේෂ දෙකක් විතර දකින්න ලැබුනා. ඒ අතරේ ගෝන තුත්තිරි ශාක දකින්න පුළුළුන් වුනා. තවත් සත්තු විශේෂ ගනනාවක් හිටියත් මෙතැන සතුන් ගැන කතා කරන තැන නොවන නිසා ඒ ගැන විස්තර නොලියා මඟ හරින්නම්. සත්තු ගැන දැන ගන්න මම ලියන සතුන්ගේ ලෝකය බ්ලොග් අඩෙවියට ටිකක් ඔලුව දාල බලන්න.
කැන්ගරු කටුස්සා (Kangaroo Lizard) - Female
කැන්ගරු කටුස්සා (Kangaroo Lizard) - Female
එතැනින් ලංකාගමට ආව අපි වැඩි වෙලා රැඳුනේ නම් නෑ ඒ අතරේ හමුවෙන බ්‍රාහ්මණ ඇල්ල ගාවත් ටිකක් වෙලා රැ‍ඳෙන්න අපි අමතක කලේ නෑ. කොහොම වුනත් ආපහු හැරිලා ආවේ ඉක්මනින් කැලයෙන් පිටවෙන්න හිතාගෙනයි. ඒ අතරේ හමුවුන ගහ කොල මල් වල පින්තූර ටික මෙන්න මෙතැන click කරල ගිහින් බලන්න. සන්දර වනපෙතක අසිරිය විඳ ගන්න දවසක සිංහරාජයට එන්න. හැබැයි ඉතින් තව කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදිහට ඒක ආරක්‍ෂා කරන්නත් මතකයේ තියාගන්න.

පින්තූර ඇල්බමය මහ‍ ගොඩක් පින්තූර එක්ක මෙතැනින්...........

No comments:

Post a Comment