Pages

Wednesday, January 27, 2016

මගේ ගමන් බිමන් අසූ පස් වැනි කොටස - ලෝකාන්තය පහලින් පෙනෙන නන්පෙරියල් වතුයාය හා සමනල වැව ජලාශය


1836 ජනවාරි මාසයේ 01 වැනිදා සිය නම් කෙරුණු හෝර්ටන් තැන්න අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ‘දෙවියන්ගේ කුසුම් උයන’ කියන නමින්. දහනමවැනි සියවස මුල්කාලයේ ලංකාවේ ආණ්ඩුකාරයා වුන සර් රොබට් හෝර්ටන් කියන පුද්ගලයා තමයි නම වෙනස් කරල තියෙන්නේ. 1969 දෙසැම්බර් 05 වැනිදා ස්වභාවික රක්‍ෂිතයක් ලෙසින් නම් කරපු හෝර්ටන් තැන්න ලංකාවේ උසින්ම තියෙන තැනිතලා භූමියද වෙනවා. ආසන්න වශයෙන් හෙක්ටයාර 3160ක් තියෙන මේ භූමියේ එක් කෙලවරක තියෙන ලෝකාන්තය නම් කෙලවර නිසාවෙන් ද එහි තියෙන සුවිශේෂ ජෛව විවිධත්වය නිසාවෙන්ද දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආවේණික ශාකයක් වුන මහරත්මල් Rhododendron (Rhododendron arboretum) ශාකය එයින් සුවිශේෂ තැනක් ගන්නවා. ලෝකාන්තය හා හෝර්ටන් තැන්න ගැන කලින් ලිපියක කියවෙන නිසාවෙන් එහි ඇති කරුණු ගැන මෙතැන කතා නොකලත් ඒ ගැන කියවන්න මෙතැනින් ගිහින් පුළුවන් වෙයි.
කාලයක් තිස්සේ ලොකාන්තය බලන්න ගිහින් එතැනින් පහල පෙනෙන නන්පේරියල් වතුයාය හා සමනල වැව ජලාශයත් අවට ප්‍රදේශයේත් සුන්දරත්වය විඳගත්තු නිසාවෙන්ම පහල ඇති තැන් ලගට ගිහින් ලෝකාන්ත‍ය පෙනෙන්නේ කොහොමද කියල බලන හීනය හැබෑ කරගන්නයි මේ ගමන සූදනම් වුනේ. කීප දෙනෙකුටම ගමනට ආරාධනා කලත් ගමනේ තියෙන රළු බව නිසා තොරගත්තු පිරිස පරිස්සම් සහගතවයි සිදු කලේ. නමුත් කවදා කොහොම සූදානම් කලත් අවසානයේ ගමනක් යන්න ඉතිරිවෙන්නේ තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු විතරයි යන කතාව සනාථ කරමින් අපි දෙදෙනෙක් ගමන ආම්භ කලා. හිරු නැගෙද්දී කඳු මුදුනට යන්න හිතාගෙන අම්බලන්ගොඩින් පාන්දර 2ට පිටත් වුනා. අපි තෝරගත්තු මාර්ගය වුනේ කොළඹ බදුල්ල මාර්ගයේ ඇවිත් බෙලිහුල් ඔය 160 කිලෝමීටර කණුව ලඟින් හැරිලා කිලෝමීටර 32ක් ඇති ලෝකාන්තයට යන මාර්ගය. එතැන තියෙන ලෝකාන්තය, නන්පේරියල් වතුයාය හා නගරක් බංගලාව (Nagarak) යන නාම පුවරුව නිසා පාර හොයාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. හිරිකටුඔය අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථායත් තියෙන්නේ මේ මාර්ගයේමයි. එතැනින් කිලෝමීටර 8ක් ආවත් වතුයායට වාහනයකින් යන්න අවසර ගැනීම සිදු කල යුතුයි කියල දැන ගන්න ලැබුනා. නමුත් පයින් යාම සඳහා ඒ තරම් ගැටලුවක් තිබුනේ නැති නිසාත් ආව ගමන ප්‍රයෝජනවත් විය යුතු නිසාත් ඉතිරි කිලෝමීටර 20ක පමණ දුර පයින් යන්න තීරණය කලා. එතැන බයිසිකලය දාල පයින් ගමන ආරම්භ කරද්දී වෙලාව උදේ 8.00ට විතර ඇති. තේ වත්ත ඇතුලේ තියෙන කෙටි මාර්ග ගැන අවබෝධයක් නැති නිසා අපි වාහන ගමන් කරන ගල් බොරලු සහිත මාර්ගයම භාවිතා කලා. මාර්ගය බෙදී ලෝකාන්තයෙන් හරියටම පහලින් තියෙන කොටසට යන්න කිලෝමීටර දෙකක් පමණක් තිබුනත් නගරක් බංගලාව දෙසට එහෙමත් නැතිනම් කඳු මුදුනට යන මාර්ගය තොරා ගත්තේ කාල වේලාව අනුව දෙවෙනි කොටස බලන්න හිතේ තියාගෙනයි.
යන අතර සුන්දර දර්ශන ඡායාරූප ගත කලා වුනත් දිය ඇලි ඡායාරූප ගත නොකලේ එන අතර වාරය වෙනුවෙන් ඉතිරි කරගන්න. හිරු නැගෙන දර්ශන පෙලක වටිනකම එයට වඩා වැඩි නිසා ඉක්මනින් කඳු මුදුනට යෑමේ අවශ්‍යතාවය තමයි තිබුනේ. විශාල වංගු 33කින් සමන්විත මාර්ගයේ වංගු 14ක් විතරයි අපි බයිසිකලයෙන් ඇවිත් තිබුනේ. 23 වැනි වංගුව වුන මුහුදු මට්ටමින් අඩි 5700ක් උසින් තියෙන ‘බේකර්ස් වංගුව’ ලඟට එද්දී වෙලාව දහවල් 11ට විතර ඇති. මගදී මම දාගෙන හිය සෙරෙප්පුව කැඩුනු නිසාවෙන් ගමනේ වේගය සෑහෙන්න පුමාණයක් අඩු වුනා. ලිස්සන සුලු මාර්ගයත් ගල් බොරලු සහිත බව නිසාත් සෙරෙප්පු නැති නිසාත් ඉතිම දුශ්කර ගමනක් වුනා. මාර්ගය අතර තිබෙන දිය ඇලි අපේ පවස නිවද්දී අවට සුන්දරත්වය අපේ වෙහෙස නිවන්නට වුනා. කෙතරම් අපහසු වුනත් ගමනේ අවසානය දකින්න තිබුන අධිෂ්ධානයේ නම් අඩුවක් තිබුනේ නෑ. දහවල් 12.40 විතර වෙද්දී මුහුදු මට්ටමින් අඩි 6990ක සීමාවට ලඟා වුනා. එතැන ඉඳන් අපේ ගමනාන්තයට කිලෝමීටර 1කුත් ලොකාන්තයට කිලෝමීටර 4කුත් තමයි තිබුනේ. නමුත් තිබුන පොද වැස්ස ටිකක් විතර වැඩි වුන නිසා ගමන නවත්තල ලඟ තිබුන වතු නිවාස කීපයක් ලඟ නැවතුනා. ‍තේවත්තේ ආරම්භයේ ඉඳන් මේ වෙනකම් ගමනේ වතු නිවාස දකින්න ලැබෙන දෙවැනි තැන තමයි මේ. අපේ කැමරා ආම්පන්න ආරක්‍ෂා කරගෙන වැහි කබා දා ගන්නකම් නවතින්න තීරණය වුනත් වැහි පොද ටික ටික අඩු වෙද්දී වැහි කබා අස්සේ ගුලිවෙලාම ගමන ආරම්භ කලා. එයට හේතුවුනේ සවස් වෙද්දී නැවත යා යුතු නිසාවෙන්.