Pages

Thursday, November 6, 2014

ජීවිතය අපූරුයි. විඳින්න. විඳින්න

මේ දවස් වල මට හම්බවෙන පිරිස එක්ක ගත්තහම තරුණ අයගේ ආකල්ප ගැනටිකක් ලිව්වනම් හොඳයි කියල හිතුනා. අද අපේ ආකල්ප වලට මොකද වෙලා තියෙන්නේ කියන කරුණ සහ ඇයි එහෙම වුනේ කියල මට හිතෙන දේවල් වලින් ටිකක් තමයි මේ කියන්න හදන්නේ.
ලාංකික අපිට ගොඩක් ලොකු සංස්කෘතියක් හා වැදගත් සාරධර්ම තියෙනවා කියලයි ප්‍රසිද්ධ. ඒ විතරක් නෙවෙයි අපේ ආගන්තුක සත්කාරයන් පවා ගොඩක් ඉල තැනක තියෙනවා කියලයි කියන්නේ. නමුත් ඇත්ත කතාව අපට එහෙම කාලයක් තිබුනා කියන එක. අද ඒ දේවල් ඉතිරි වෙලා තියෙනවද කියන එක නම් සැකයි. ඒ කාලේ නම් දෙමාපියන් ලමයින්ට මුලින්ම ඉගැන්නුවේ සාරධර්ම. කොහොමද වැඩිහිටියෙකුට, ගුරුවරයෙකුට ගරු කරන්නේ කියල. ඒත් අද ලමයෙකුට කියන්නේ මොනවා හරි කරල කමක් නෑ පළවෙනියා වෙන්න. ඉතින් ලමයි පුංචි කාලේ ඉඳන් පුරුදු වෙන්නේ රේස් එකකට විතරයි. අනිත් එකා ගැන බලන්නේ නැහැ. තියෙන එකම අරමුණ රේස් එක දිනන්න. ඒත් කවදාවත් ඉටු කරල ඉවර කරන්න බරි තරම් අරමුණු ගොඩක් වෙනුවෙන් දුවනවා විතරයි. ඒ ලමයාගේ අධ්‍යාපනය අවසන් වෙන්නේ බිඳුනු බලාපොරොත්තු හා හැමදාම පලවෙනියා වෙන්න ඕන කියන අරමුණ එක්ක. පස්සේ ඔහු සමාජය හා සටන් කරනවා. ‍ඒ කරන සියලු දෙය සඳහා තමාට පලවෙනියා වෙන්න. නමුත් කවදාවත් තමන්ට පුළුවන් තමන් ආස දේ තොරගන්නේ නැහැ. ගොඩක් පිරිස් මුදල් හා බලය පස්සේ තමයි දුවන්නේ. ඒ අය තමන් ආකල්ප අතින් අසාර්ථකයි කියල පිලිගන්න කැමති නැහැ.

අද ලමයෙක්, ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් හිතවත් කමින් කතා කරානම් ඔහුගේ වැඩිහිටිකම හෝ අනිත් ගරුසරු ගිය තැනක්වත් හොයන්න බැරි තරම් අද ලමයින්ගේ ආකල්ප දියුණු වෙලා. මම හිතන්නේ මේ දේවල් සිද්ධ වෙන්න ගොඩක්ම බලපාල තියෙන්නේ ලමයි දුවන රේස් එක. මේ හේතුවෙන් ලමයි තල අතිවෙන ආකල්ප වුනත් කලහකාරී දරුණු ඒවා වෙන්න පටන් ගන්නවා.
අද ලමයෙකුගෙන් මොනවද කරන්නේ කියල ඇහුවම කියන්න තියෙන්නේ කොයිතරම් ටිකක් දේවල්ද? ඉස්කොලේ යනව, පන්ති යනව, ටීවී බලනවා ගේම් ගහනවා වගේ දේවල් ඇරුනම ඔවුන්ට කියන්න දේවල් නැති තරම්. අද පරිඝණක වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පිරිස බොහෝමයි. එතැනිනුත් ඒ දේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නේ මොන තරම් අතලොස්සක්ද කියල අපි හිතල බලන්න ඕන. ඒත් ඒ කාලේ ලමයෙක්ගෙන් මොනවද කරන්නේ කියල ඇහුවනම් කියන්න මොනතරම් දේවල් තියෙනවද. අද ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක් කලාවන් ගැන දන්නවද? අඩුම තරමේ කලාවකට හිත යොමු කරනවද. හැම කෙනොම විශේෂයි. හැම කෙනා ලඟම මොනව හරි දක්‍ෂතාවක් තියෙනවා. ගැටලුව තියෙන්නේ ඔවුන් ඒ දේවල් හොයන්න උත්සාහ ගන්නේ නැතුව රේස් එක දුවන්න හදනවා විතරයි.
තමන් කොයි දේට දක්‍ෂද කියල දැන ගන්න නම් ඒ දේවල් කරල බලන්න ඕන. මතකද අපි පොඩි කාලේ පිහියට අත කැපෙනවා කියල අපේ අම්මල කිව්වට අපි ගනන් ගන්නේ නැහැ. ඒත් මොනා හරි වැඩක් කරන්න ගහින් පලවෙනියට අත කපා ගත්තු දවසට අපි ටිකක් විතර පිහියට බය වෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න හදනවා. මොකද අපට අත්දැකීමක් තියෙන නිසා. හැබැයි අපි පිහියෙන් කැපෙනවා කිව්වම කපාගෙන බලන්නේ නැහැ නේද? අනික අපි ඒකෙන් වැඩ කරන එක නවත්තන්නෙත් නෑ. අපි අහම්බයකින් තමා ඒ දේ ඉගෙන ගන්නේ. ඒ ව‍ගේ තමා ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීමෙන්. ඉතින් ජීවිතේ අතිවිඳින්න ඕන නමුත් අපි තුල කලාව හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් කාලය ඉතිරිවීමත් සමඟ අපි විඳින්න උත්සාහ ගන්නවා. ඒ තුලින් අපේ හිතට නිදහසක් ලැබෙනවා විතරක් නෙවෙයි අපි තල ගොඩ නැගෙන ආකල්ප තුල දරුණු හෝ කලබලකාරී ගතිය අඩුවෙලා යනවා.
මේ මාතෘකාව කියල ඉවර කරන්න නම් බැහැ. ඒත් ඉතිරිය ඔයාලට අදහස් දක්වන්න ඉඩ තියන්නම්. නමුත් ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. "ජීවිතය තරඟයක්. දුවන්න. දුවන්න" කියන දේ අතෑරල දාල "ජීවිතය අපූරුයි. විඳින්න. විඳින්න"  කියන එකට මාරු වෙන්න. අන්න එතකොට හරිම අපූරු ලෝකයක් අපි ඉස්සරහ තියේවි.

Saturday, November 1, 2014

මගේ ගමන් බිමන් හැත්තෑ දෙවන කොටස - ශ්‍රී සුමනාරාම විහාරය

මේ තැන බොහෝම අප්‍රකට තැනක් වුනත් අපි වන්දනාමාන කරන තැන් අතර විශේෂ තැනක් ගන්නවා. ඒ විශේෂත්ව කීපයක් නිසාවෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිද්දාලිය ග්‍රාමසේවා වසමේ කරුවල බැද්ද ග්‍රාමයේ ඇති මේ පන්සල වේර‍ගොඩ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ මූලිකත්වයෙන් මීට අවුරුදු 70කට විතර කලින් ඉදිකරපු එකක්. ඒ කාලයේ මේ අවට ප්‍රදේශය වනාන්තරයෙන් වැහිලා තිබුනත් කුඩා අඩිපාරක් මේ හරහා වැටිල තිබිල තියෙනවා. මේ අඩිපාරේ යන එන අයට වෙලඳාම් හා නවාතැන් සපයමින් හිටපු දොලවත්තේ උපාසක නැමැති කෙනෙක් තමා මේ තැන ස්වාමීන් වහන්සේට පූජා කරල තියෙන්නේ. ඒ කාලයේ මෙතැන නිකම්ම පැලක් විතරක් වුනත් අද සිමෙන්තියෙන් කල පන්සලක් නිර්මාණය වෙලා තියෙනවා.
නොයෙක් විස වර්ග වලට ප්‍රතිකාර කරමින් ගමේ අයට උදව් කල නායක ස්වාමීන් වහන්සේ හොඳින් ලිවීම කියවීම කල හැකි අයෙක් වුන නිසාවෙන් බොහෝ තැන් වල බණට හා පිරිත් කියන්න ආරාධනා ලැබුනු ස්වාමීන් වහන්සේ නමක්. ඉතා මිහිරි කටහඬක්ද තිබුනු නිසා කොයි කාගේත් හිත දිනාගෙන පන්සල කරගන ගිහින් තියෙනවා. මල්වතු පාර්ශවයේ සියම් මහ නිකායට අයත් නෙ මේ පන්සල තොටගමුව රත්පත් රජමහා විහාරයෙන් තමයි පාලනය වෙන්නේ.
ගිජ්ජකූඨ පර්වතයේ ආකාරයෙන් හැදුනු චෙත්‍යය ගර්භයක් නොමැතිව එහිද බුද්ධෝප්පත්තිය, ධම්සක්පැවතුම හා ප්‍රථම ධර්ම දේශනාව ආදිය මූර්තියෙන් කරවා සකස් කර ඇත. මේ ආකාරයෙන් ලංකාවේ ඇති එකම චෙත්‍යය මෙය යැයි සැලකෙන බවයි එහි දැන් වැඩ වාසය කරන පන්සලේ භාරකාරීත්වය හිමි කරුවල බැද්දේ ධම්මබුද්ධි ස්වාමීන් වහන්සේ පවසන්නේ. තවත් විශේෂ දෙයක් වෙන්නේ දඹදිවින් වැඩම කරවූ බෝධීන් වහන්සේයි. අවුරුදු 70ක් පමණ වයස වුනත් එය තාමත් විශාල වර්ධනයක් නොපෙන්වන බවත් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආකාරයෙන් කොල හැලෙමින් සමෙන් වර්ධනය වන බවත් තමයි කියන්නේ. දඹදිව ඉඳන් මේ බෝධීන් වහන්සේ වැඩමවල තියෙන්නේ අබේවික්‍රම නැමැත්තෙකු විසින්. මේ බෝධීන් වහන්සේ අවට සිටීමෙන් මිනිසුන්ගේ සිත් පහන්වන බවටද විශ්වාසයක් පවතිනවා.
පංච මහා දෙවිවරු වැඩ වාසය කරන්නා වූ දේවාලයද බොහෝ අනුහස් ඇති තැනක් යැයි සැලකෙන අතරම පසුගිය කාලයේ නාගයන් විසින් මේ අවට ආරක්‍ෂා කල බවත් දේවබැල්ම ඇති තැනක් නිසාවෙන් එසේ ‍සිදුවුන බවත් විස්වාස කරන ගැමියන් ඉතාමත් භක්තියකින් යුතුව මෙහි පූජා පවත්වනවා. තවද ඩඩ්ලි සේනානායක මහත්මා විසින් නිර්මාණය කල සේනානායක දහම් පාසලද අද ලමුන් 250ක් පමණ ඉගෙනුම ලබන ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පලාතේ විභාග වලින් ජය ගන්නා දහම් පාසලක් බවත් කියවෙනවා. කෙසේ වෙතත් අපූරු ස්ථානයක් වුන මේ ස්ථානය මනරම් ලෙසින් නිර්මාණය කරල තිබුනත් අද එය ටිකින් ටික වල්බිහි වෙලා තියෙනවා.

මගේ ගමන් බිමන් හැත්තෑ එක්වන කොටස - කළුදිය පොකුණ

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ තියෙන අපූරු ස්ථානයක් තමා මේ වතාවේ ගමන වුනේ. පිටිගල ඉඳන් මාපලගම පාරේ ටික දුරක් ආවම ගොඩඅමුණ පාරට හැරෙන්න ඕන. එතැනින් බංගමුකන්ද කියන ගමට ගියානම් මේ කියන තැනට යන්න පුළුවන්. කිට්ටුවට යද්දීම දොළපාරක සද්දේ ඇහුන නිසා අපි ටිකක් විතර විමසිලිමත් වුනා. ටිකක් විතර කැ‍ලෑ පාරක ගිහින් මේ කියන තැනට යන්න පුළුවන් වුනත් එන්න කලින්ම අපට හම් තැන ගැන අහන්න ලැබුණ දේවල් ඒ තරම් හොඳ නම් නැහැ.
කළුදිය පොකුණ කියන නම මෙතැනට ලැබිල තියෙන්නේ ඒ නමින් මෙතැන ටෙලි නාට්‍යයක රූගත කිරීම් කලාට පස්සේ කියලයි කියන්නේ. අපූරු පොකුණක් හා දොල පාරක් නිසාවෙන් විඩා නිවන්න නිවාඩුවට එන්න බොහෝම ලස්සන තැනක්. ස්වභාවිකව සෑදුණු පොකුණ එක් අන්තයක ඉතාමත් ගැඹුරු ආකාරයක් තමා තියෙන්නේ. එතැන තියෙන වතුරේ පාට නිසාවෙන් මේ තැනක කළුදිය පොකුණ කියන නම ආවා වෙන්නටත් පුළුවන්.
කොහෝම වුනත් පුංචි දිය පාරවල් හත අටක් එකතුවෙලා මනරම් විදිහට ගලා බහින මේ දොල අන්තිමට කෙලවර වෙන්නේ බෙන්තර ග‍ඟෙන්. ඇත්තම කිව්වොත් මේ තමයි බෙන්තර ගඟේ ආරම්භක ස්ථාන වලින් එකක්.
හැබැයි ඉතින් මේ තැන බලන්න එනවට ගමේ අයගෙන් නම් ඒ තරම් රුකුලක් නැහැ. ‍දොළ අවට සංචාරක නිකේතන ආදිය හදන්න කීප වරක් උත්සාහ කලත් ගමේ අයගේ විරුද්ධත්වය නිසාවෙන් ඒ දේවල් නැවතිලා. මෙතැනට නිවාඩුව ගතකරන්න එන අය මත්පැන් භාවිතා කරල ඒ බෝතල්, ප්ලාස්ටික් හා ඉටි කොල තැන තැන දාන එකට ගමේ අය කැමතිත් නැහැ. මොකද ඒකෙන් මෙතැන විනාශ වෙන නිසා. ගමේ අයට පිටින් එන අය විනෝද වෙන එකට වඩා තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්න තියෙන මේ වතුර ටික විනාශ වෙන එක ගොඩක් දැනෙනවා. අපිටත් පොකුණ අවට ගොඩක් වීදුරු කටු කෑලි දකින්න හම්බවුනා.
මේ තැන බලන්න එන්න විනෝද වෙන්න. ඒත් පරිසරය විනාශ කරන්න එපා. අනික මේ තැන සියළු ගල් ලිස්සන සුළු නිසාවෙන් බොහෝම පරෙස්සමින් දොලට බහින්න ඕන. අනික වැඩි සෙල්ලම් දාන්න එපා මේක සුන්දරයි වගේම බොහෝම භයානක වෙන්නත් පුළුවන්. අනිත් පින්තූරත් බලන්න.

Thursday, October 30, 2014

මගේ ගමන් බිමන් සැත්තෑවෙනි කොටස - පුංචි ශ්‍රී පාදය - වඳුරඹ

මගේ ගමන් බිමන් වලින් අපූරු තැන් කීපයක් ගැන පහුගිය දවස් වල විස්තර කිව්වනේ. ඔන්න ඒ වගේ තැනක් ආයෙත්. කාලයක් අම්පාරේ ඉඳන් ඒ පැත්තේ තොරතුරු කියපු මම දැන් ආයෙත් මගේ ගම් පලාතේ අවට ඇවිදින්න ගත්තා. මෙදා පාර වඳුරඹ පැත්තට ගිහින් ගලපොත පුරාණ මහා විහාරය ගැන ලිපියකින් විස්තර දැම්මා මතක ඇතිනේ. ඒ ගමන්ම ගිය මේ ගමනත් අපූරු වුනත් වැඩිය විස්තර හොයා ගන්න නම් ලැබුනේ නැහැ. මොකද එදා ඒ ගිය හැමෝම ගොඩක් රාජකාරී වල සිටිය නිසා.
ගාල්ල වඳුරඹ පාරේ කිලෝමීටර ක් විතර ගියාම අපට කීඹිය හංදිය හම්බවෙනවා. එතැනින් හැරිල කිලෝමීටර 3ක් විතර ගියා මේ කියන පුංචි ශ්‍රී පාදය කියන තැනට එන්න පුළුවන්. අපූරු ස්ථානයක් වුන මෙතැන පුංචි පාලමකින් එතෙර තමා තියෙන්නේ. එතනින් පඩි කීපයක් නැගුනාම විහාර ගෙන හා කෞතුකාගාරයක් දකින්න පුළුවන්. එතැනිහ් ඉහල චෙත්‍යය එක්ක තවත් ගුහාවක තියෙන සිතුවම් විහාරයක් දකින්න පුළුවන්. විශාල ඉඩක නොවුනත් අපූරු චිත්‍ර තිබෙන මේ විහාරගෙය හා චෙත්‍යය අපූරු සිතුවමක් මවන්නක්.









මේ වෙද්දිත් ඇයි මෙතැනට පුංචි ශ්‍රී පාදය කියන්නේ කියන කරුන දැනන් හිටියේ නෑ. මෙතැන ඉඳන් ඉහලට තියෙන පඩිපෙල ඉහලට නැගුනේ අපට ඉහලින් පෙ‍නුන ගොඩනැගිල්ලක් නිසාවෙන්. ‍ඒ යන ගමන් මාර්ගය නම් අපූරුයි. කැලෑ රොදකින් වටවුනු මාර්ගය මට නම් ශ්‍රී පාදයට රත්නපුරයෙන් යන ගමන සිහිපත් කලා. කඳුමුදුනට ගියාම තමා දැක්කේ එතැන තියෙන්නේ ශ්‍රී පදයේ අනුරුවක් බව. මගුල් ලකුණු හා හොඳින් නිර්මිත ඒ නිර්මාණයට වඩා අපේ නෙත් සිත් ඇදී ගියේ ඒ අවට පරිසරයට. මුහුද පවා පෙනෙන මේ උස් බිම අපූරු සුන්දරත්වයක් මවනවා. එතැනින් පිටත් වුන අපි අයෙත් පහලට ආවේ විස්තර ටිකක් හොයා බලන්න වුනත් පන්සලේ ස්වාමීන් වහන්සේ ටිකක් විතර කාර්යබහුල වුන නිසා අපට විස්තරයක් දැන ගන්න නම් ලැබුනේ නැහැ.










නමුත් පොඩි හාමුදුවෝ ලවා අපට කෞතුකාගාරය බලන්න අවස්ථාව ලබා දෙන්න තරම් කාරුණික වුනා. තඹයෙන් කල පිළිම, පැරණි උළුකැට, කිරිගරුඬින් කල බුදු පිලිම ආදියත් ඉතා කුඩා ප්‍රමාණයේ පුස්තකයකුත් අපට දකින්න තිබුනා. ඊට අමතරව පුද්කොල පොත් රාශියක් කැටයම් කල කනප්පුවක් ආදියත් තව විශාල ප්‍රමාණයක කෞතුක වස්තූන්ද දකින්න පුළුවන් වුනා. පන්සලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්න බලාපොරොත්තු තියාගෙන එතැනින් පිටත් වුනේ තවත් දවසක මේ පැත්තේ එන්න හිතාගෙන. 

ගමනේ පින්තූර මල්ල මෙතැනින් ගිහින් බලන්න.

තව ලිපි පෙලක්ම තියෙනවා ගමන් බිමන් වල ඔයාල එක්ක බෙදාගන්න. ආයෙත් ලිපියකින් එනකල් ආයුබෝවන් හැමටම.

Tuesday, October 28, 2014

මගේ ගමන් බිමන් හැට නමවන කොටස - මාදුගඟ සවාරියක්

මහා කාලෙකට පස්සේ තමයි මාදු ගඟ පැත්තේ රවුමක් යන්නේ. මුලින්ම කියන්නම් මාදු ගඟ ගැන පුංචි පහේ විස්තරයක්. අතීතයේ වැලි ගඟ විදිහට නම් දරාපු මාදු ගඟ අක්කර 138කින් වැසිල තියෙන ජල තලාවක්. 2003 අවුරුද්දේදී රැම්සා තෙත් බිමක් විදිහටත් අභය භූමියක් විදිහටත් නම් කරපු මේක අද විශාල විදේශිකයන් පිරිසක් නරඹන්න එන තැනක්. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටියට අයිති මේ ගඟ කොලඹ ගාල්ල මාර්ගයේ 50 වන සැතපුම් කණුව ලඟින් මුහුදට වැටෙනවා. මේ සම්බන්ධව ‍ඓතිහාසික සිද්ධින් ගොඩක් තියෙනවා.
භූමිකම්පාවකින් පොළව අභ්‍යන්තරයෙන් ජලය ඇවිත් මේ ජලාශය නිර්මාණය වුන බවක් කියනවා. කිසි විටෙක ජලය නොසි‍ෙඳෙන මේ සඳහා ස්වභාවික වශයෙන් ජලය ගලා එන ජල පොෂක වනාන්තරයක් නොමැති අතර ඒ ලඟින් තියෙන පොල්අතු කන්ද මේ තරම් විශාල ජලාශයක් පෝෂණය කරන්න තරම් දිය උල්පත් තියෙන එකක් නෙවෙයි. සිදත් සඳරාවේ කේරළයන් හා දේවපතිරාජ ඇමතිවරයා අතර යුද්ධයෙන් මෙම මාදු ගඟ රත්පැහැ වූ බවත් කියවේ. තවද තිසර සන්දේශයේත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ ගිරා සංදේශයේත් මෙම ගංගාව පිළිබඳ ලියවී ඇත.

අප රටට පමණක් ආවේණික වුන කඩොලාන ශාක 19ක් විතර මේ ප්‍රදේශයේ තියෙන අතරම වඳවෙලා යන ශාකයක් මේ අවට ප්‍රදේශයේ ව්‍යාප්තව තිබීම විශේෂත්වයක්. මේ අවට පක්‍ෂි විශේෂ 111කුත් මතස්‍ය විශේෂ 70කුත් උරග විශේෂ 31කුත් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමනල් විශේෂ 50ක් ‍‍ගොලුබෙලි විශේෂ 25ක් ගොඩබිම වෙසෙන අපෘෂ්ඨ වංශීන් 1කුත් කිවුල් දිය වෙසෙන අපෘෂ්ඨ වංශී විශේෂයකුත් දකින්න පුළුවන්. ඒ ඔක්කොම ගත්තාම සියළු පෘෂ්ඨ වංශීන් ප්‍රමාණය 248කුත් ජීවත් වෙනවා. එයින් 20ක්ම ලංකාවට ආවේණික සතුන්. තවත් දෙයක් තමයි වඳවී යාමේ තර්ජනයට ලක්වුන සත්ත්ව විශේෂ 30ක් මේ කලාපයේ ජීවත් වෙනවා. ඉතින් මේ සා විශාල ජෛව විවිධත්වයක් තියෙන සම්පතක් තමයි මාදු ගඟ කියන්නේ.
 


 







අතීතයේ දූපත් 64ක් විතර තිබුනා කියල කිව්වත් දැන් නම් සමහර දූපත් ජලයෙන් යටවෙලා සහ සමහරක් අනෙක් දූපත් එක්ක සම්බන්ධ වෙලා. මේ දූපත් නිසාම ලංකාවේ ගංගාවක තියෙන වැඩිම දූපත් ගණන මාදු ගඟ හිමි කරගෙන තියෙනවා. මේ අතරින් විශේෂම තැනක් ගත්ත දූපත් කීපයක් තියෙනවා.එතැනින් මාදූව විශාලම දූව විදිහටත් සතපහේ දූව කුඩාම දූව විදිහටත් හඳුන්වන්න පුළුවන්.නමුත් මේ සියල්ල යටපත් කරමන් විශේෂ තැනක් ගන්නේ කොත්දූවයි. ඒ දළදා වහන්සේට මුලින්ම රැකවරණය දුන් ස්ථානය වන්නේ මේ කොත්දූව නිසාවෙනි. එනිසා මේ ඒ ගැන පුංචි විස්තරයක්.
අක්කරයක පමණ භූමියකින් හෙබි මෙම ස්ථානයේ හේමමාලා හා දන්ත කුමරු ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවද්දී පැවති යුධ තත්ත්වය නිසාවෙන් රෝහණ දේශයට පැමිණ වැලි තොට ආසන්නයේ වරායෙන් ගොඩ බැස රට තුලට අවුත් මාදු ගඟ ආසන්නයේ කොත් දූවේ වැලි වලින් සෑදූ දාගැබක සිරි දළදා වහන්සේ නිධන් කොට පුද පූජා පවත්වමින් රැක යුද්ධය අවසානයේ අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරි නැමූබව ඉතිහාසයේ සඳහන් වේ. මෙහි ඇති ඓතිහාික බෝධිය අවුරුදු 2320ක් පැරණි මහන්දාගමනයේදී මෙරටට රැගෙන ආ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගැනනු දෙතිස්ඵලරුහ බෝධීන් වහන්‍ෙසේලාගෙන් අවසානය වන ඇඹලව රහත් ගල් වෙහෙර රෝපණය කල බෝධීන් වහන්සේයි.
වර්ථමානයේ ලංකාවේ දූපතකට සම්බන්ධවුන දිගම පාලම සම්බන්ධ වී ඇත්තේද මෙම මාදූවට වන අතර ලංකාවේ දූපත් දෙකක් අතර දුම්රිය ධාවන සිදුවන්නේද මෙහි ඇති දූවේ මෝදර හා පාතමුල්ල දූව අතර වීමද විශේෂත්වයකි. මෙම පාතමුල්ල දූව හරහා කොළඹ මාතර දුම්රිය මාර්ගය නිර්මාණය වී ඇති අතර එහි දුම්රිය නැවතුමක්ද ඇත. තවද මෙහි රත්මිල්ල නැමැති කඩොලාන ශාකය ගස් 50ක් පමණ ඇති මුත් ඒ එකක වත් මල් නොපිපීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මගේ ගමනේදී කොත්දූව, කොත්දූවේ ඇති කරන දඬුලේනුන් කුඩාම දූව වුන සතපහේ දූව හා වියන යටින් යන්න ලැබුණු අතර පරිසරයේ අපූර්වත්වය විඳිමින් සමහර දූපත් වලට ගොඩවන්නටද ලැබුණි. ධීවරයන් හා විවිධ කුරුල්ලන් දකින්න ලැබුණ අතරම අපූර්ව මත්‍යය සම්බාහන මධ්‍යස්ථානයද විශේෂ වුනත් අපි ඒකට නම් යන්න උත්සාහ ගත්තේ නැහැ. කොහොම වුනත් ගමනේ අවසානය සනිටුහන් කලේ කට්ටිය වතුරට පැනල ජල ක්‍රීඩා කරල. මම නම් ඒවට ගියේ නැත්තේ මාදු ගඟ ඒ තරම් විස්වාස තැනක් නොවුන නිසාවෙන්.

Sunday, October 26, 2014

මගේ ගමන් බිමන් හැට අටවන කොටස - වනවාස මහ පිරිවෙන - වතුරවිල

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්පිටියේ ඉඳන් සැතපුම් 12ක් විතර දුරින් තියෙන මේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කර තියෙන්නේ 1953 දී. නිසසල රමණීය වටපිටාවක් තියෙන ආරණ්‍ය සේනාසනය හරිම අපූරු තැනක්. වනවාස සේනාසන ආරම්භ‍කිරීමේ මූලස්ථානය වශයෙන් හැඳින්වෙන මේ ආරණ්‍ය සේනාසනය අක්කර 80ක පමණ වන රොදකින් සමන්විත වෙනවා.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකාය වශයෙන් හැඳන්වෙන නිකායක් ආරම්භ කරමින් වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහා ස්වාමීන් වහන්සේ 1968 දී ලේඛනගත කරන ලද මෙම සෙනසුන එහි නිර්මාතෘ වූ වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහනායක ස්වාමීන් වහන්සේටම පිිනමා ඇත. උන්වහන්සේ විසින්ම කුලදරුවන් 630කට අධික ප්‍රමාණයක් සසුන්ගත කරවා ඇත. මේ වන විට ආරණ්‍ය සේනාසන 150කට අධික ප්‍රමාණයක භාරකාරීත්වය ඇත්තේද මෙයටමයි.
ඇවිදින අය නමින් අප පිරිසක් මුහුණු පොතෙන් එකතුව මේ ගමනට සම්බන්ධ වූවා පමණක් නොවඑය සාර්ථක කර ගත්තෙමු. දැනට මෙම විහාරස්ථානයේ අඩි 42ක් උසින් "කායෝත්සර්ග අභය මුද්‍රාව" යුතු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය වෙින් පවතින අතර 2008 දී ඒ සඳහා මුල්ගල තබා ඇත. වනවාස නිකායේ අනුනායක වනවාස සංඝ මූලස්ථානාධිපති අතිගරු මහකන්දේ රතනපලාභිධාන නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි නිර්මාණය වන මේ පිළිමය පිහිටි ගලෙහි නිර්මාණය වෙන්නකි. කෙසේවෙතත් අතීත රජදරුවන්ගේ සමයෙන් පසුව පිහිටි ගලේ ශෛලමය පිළිමයක් නෙලීම සිදුවන නිා මෙය විශේෂ කාරණාවක් ලෙස සැලකිය හැක.

Saturday, October 25, 2014

මගේ ගමන් බිමන් හැට හත්වන කොටස - ගලපොත පුරාණ මහා විහාරය - වඳුරඹ

ඉතින් මෙන්න කාලෙකින් ආවා අළුත් ලිපියක් එක්ක. දැන් වැඩ වැඩි නිසා කොහේවත් යන්න වෙන්නේ නැහැ. ඒත් අමාරුවෙන් වෙලාව හොයාගෙන හරි අපූරු තැනක් බලන්න යන්න පුළුවන් වුනා. ඒ ගාල්ල වඳුරඹ තියෙන ගලපොත රජමහා විහාරයට. මේ තැනට යන හැටි ඉස්සර වෙලාම කියන්නම්කෝ.
මුලින්ම ගාල්ලෙන් වඳුරඹට එන්න ඕන. වඳුරඹ පොලීසිය ගාවින් තියෙන පාරෙන් ගියාම මේ පන්සලට එන්න පුළුවන්. පුරාණ විහාරයක් නිසාවෙන් පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන තැනක් කියල කටකතා තිබුනත් අවාසනාවකට අද ජීවත් වෙන හුඟ දෙනෙක් මේ තැන තියෙන විශේෂත්වය දන්නේ නැහැ.

මෙහි ඉතිහාසය වලගම්බා රජ දවස වෙනකල් යන බව කිව්වත් ඒ පිළිබඳ විස්තරයක් ලබා ගන්න නම් ලැබුනේ නැහැ. පන්සලේ ස්වාමීන් වහන්සේ පවා රැස්වීමකට යන නිසාවෙන් උන්වහන්සේ ගෙන් පවා විසුතරයක් ලබා ගන්න හැකිවුනේ නැහැ. පස්සේ ගමේ අයගෙන් විස්තර අහන්න ගියත් අපේ අවාසනාවට ඒ දැනමුතු අය විවිධ රාජකාරි වල යෙදිලා හිටි නිසා ඒකත් අසාර්ථක වුනා. කොහොම වුනත් ලඟදී අවුරුදු 100 සම්පූර්ණ කල ඇල්බට් අබේුණවර්ධන මහත්මයා අපිට ටිකක් තොරතුරු ලබාදෙන්න කාරුණික වුනා. ඔහු කිව්ව ඉතිහාසයේ මතක කාරණා මෙහෙමයි.
කාල වකවානු මතක නැතත් ක‍ාලෙකට කලින් කිහිඹියේ හාමුරුදුවෝ පටන් ගත්ත මේ විහාරය පස්සේ උන්වහන්සේගේ ගෝලයෙකු වන පොල්ගස්වත්ත ධර්මසේන ස්වාමීන් වහන්සේත්, පසුව තිස්සමිත්ත ස්වාමීන් වහන්සේත් බාරගත් බව එහු කිව්වේ මාගේ පුංචි කාලේ මම අහපු විදිහට කියමින්. ඊටත් පස්සේ උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් වුන වැයිහේනේ කස්සප ස්වාමීන් වහන්සේ බාරයට පන්සල බාරවෙනවා. පස්සේ කා‍ලෙක මේ ස්වාමීන් වහන්සේ නමින්ම තවත් පන්සලක් ආරම්භ කරල මේ ගලපොත විහාරය භාරයේ පාලනය කරමින් යනවා. දැන් මේ විහාරයේ පාලනය සිදු කරන්නේ බද්දේගම ධම්මික ස්වාමීන් වහන්සේ විසින්. ඒ කාලයේ තිබුන ‍බෝධිය හා චෙත්‍යය තමා තාමත් තියෙනවා කියන්නේ. සියම් නිකායට අයිති මේ පන්සල එක්දහස් අටසිය ගනන් වල තමා නිර්මාණය වෙලා තියෙන්නේ.

සන්දරවල ආසන්නයේ තියෙන දුටුගැමුණු විහාරයට මෙතැන ඉඳන් උමඟක් තිබුණු බවත් ඒ කා‍ලයේ මෙය දෙමලුන්ගේ බාරයේ තිබුනු බවටත් ඉතිහාසයක් ඇති බව පැවසුනත් ඒ පිලිබඳ නිවැරදි කාලයන් සමග විසිතරයක් දෙන්න පුළුවන් කමක් එහි සිටි අයට තිබුනේ නැහැ. කැලෑවේ සැඟවුන ගල් ගුහාවක් ගැනත් පසුව එක්දහස් අටසිය ගනන් වල පන්සල හදද්දී පැරණි ගල්ගුහාව තුල තිබුන විහාර ගෙයක් හමුවුන බවත් කියවනවා. තවත් කතාවක් තමයි කිලි කාලයට මේ පන්සලට යන්න බැරි බවත් නාගයෙක් විසින් එවැනි අය පලවා හරිමින් පන්සල රැකීම සිදුකල බව.
ගනපති නම් ප්‍රදේශික රජෙකු සැඟවී සිටීමට පවා මේ ග්‍රහා භාවිත කල බව කියවෙන මුඛ පරම්පාරෙන් ආව කතා කීපයකුත් තියෙනවා. මෙහි තත් විශේශයක් වන්නේ මෙහි දේවාලය විශාල අනුහස් ඇති තැනක් බවත් මේ දේවාලයේ ගල්දොරක් තිබී පසුව එය දෙයියන්දර කියන ගමේ ඇලට ගිහින් දාල තියෙනවා කියලත් කතාන්දරයක් තියෙනවා. කොහොම වුනත් පැරණි බව වැඩිවෙද්දීම විශාල කතා පුවත් නිර්මාණය වීම සාමාන්‍යයයි. සත්‍ය ‍තොරතුරු සොයන්න තවත් පාරක් මේ පැත්තේ කරක්ගහන්න බලාපොරොත්තු වෙන ගමන්ම මෙතැනින් තව තැනකට යන්න සූදානම්වෙනවා... පින්තූර ගොන්න මෙතැනින් බලලා අපි හමුවෙමු ඊලග ලිපියෙන් ඒ තැන ගැන විස්තර දැන ගන්න.