Pages

Friday, August 21, 2015

මගේ ගමන් බිමන් අසූ හතර වැනි කොටස - තිස්සව රජමහා විහාරය - කොස්දෙණිය

කුරුණෑගල දිස්ත්‍රික්කයට කියන්නේ ‍ඓතිහාසික වශයෙන් ගොඩක් වැදගත් කරුණු රාශියකට හිමිකම් කියන පුරවරයක්. කුරුණෑගල කිව් පමණින් මතක් වෙන්නේ ඓතිහාසික ඇතුගල් විහාරය. ඉතින් මේ පුරවරයේම ටිකක් ඈතින් තියෙන කටුපොත පැත්තට ගමන් බිමන් විස්තරයක් ගෙන එන්න කල්පනා කලා. ඒ තමයි තිස්සව රජමහා විහාරය. කටුපොත ඉඳන් තිස්සව කොස්දෙණිය පාරේ ගියා නම් මේ අපූර්ව විහාරස්ථානයට යන්න පුළුවන්.
ගම ගැන අපූර්ව වගේම ගොඩක් පැරණි ඉතිහාස කතාවක් තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන්නේ මෙන්න මෙහෙමයි. විජය රජු සමඟ පැමිණි පිරිසේ සිටි රජුගේ අගමැති තනතුර දරාපු උපතිස්ස සෙනෙවියා පදිංචි වුන ගම අද තිස්සව ලෙස ප්‍රසිද්ධ වුනාලු. මේ පන්සල නම් නිර්මාණය වෙලා තියෙන්නේ වලගම්බා රජ දවස කියලයි කියන්නේ. මීට අවුරුදු 7කට පමණ ඉහත පුරා විද්‍යා සමීක්‍ෂණ වලින් ලංකාවේ චෛත්‍ය තුන වුන ශාරීරික, පාරිභෝගික, උද්දේචිත කියන තුනම ඉතා කුඩා භූමියක තියෙන්නේ මේ පන්සලේ ගල මුදුනේ කියලයි කියන්නේ.
ගල මුදුනේ අනුරාධපුර යුගයේ චෛත්‍යයක් තිබෙනවා. තවත් චෛත්‍යයක නටඹුන් පහල තිබෙන අතර එයද අනුරාධපුර යුගයට අයත් වෙනවා කියලයි කියන්නේ. එහි පේසා වලලු සඳහා ගඩොල් රවුම් හැටයෙන්ම පුච්චා සකස් කරල තිබීම තවත් විශේෂත්වයක්. විහාරගෙය එකට බැඳි වියන් දෙකකින් සමන්විතයි. දෙකම තියෙන්නේ ගල යට. ඒ වගේම ගල කටාරම් කොටල විහාරය වැසිදියෙන් ආරක්‍ෂා කරල තියෙනවා. විශාල විහාරය අනුරාධපුර යුගයේ නිර්මාණය කර ඇති අතර කුඩා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේගේ නියමයෙන් නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
 
 
 
 
 
කඳු අතර ඇති සානුවේ තවත් කටාරම් කොටන ලද ගල් ගුහා ක් පමණ වනාන්තරයට යටවී ඇති බවයි වාහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වුන මුගුණුවටවන සිද්ධත්ත ස්වාමීන් වහන්සේ පවසන්නේ. සරණංකර ස්වාමීන් වහන්සේගේ කාලයේ තිබූ තල්පත් ආදිය තවමත් සුරැකිව ඇති බවයි පවසන්නේ. වනාන්තරයේ බෝධින් වහන්සේ නමකුත් සිතුවම් කල ගල් ගුහාවකුත් ඇති බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසනවා. නමුත් දැන් නම් යන්න බැරි තරම් වනාන්තරය වැවිලා තියෙනවාලු.


කීප වරක් ඒවා බලන්න යන්න මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න හැදුවත් සාර්ථක වෙලා නෑ ආයෙත් වනාන්තරයට යටවෙන නිසා. ගල් අතුරලා ගස් කොලන් විනාශ නොකර එයින්ම වියන සෑදෙන අයුරින් මාර්ග සකස් කරල වන්දනාකරුවන්ට බලන්න යන්න දෙන්න කැමති වුනත් ඒ තරම් දෙයක් කරන්න පුරා විද්‍යා එකෙන් සහයෝගය දක්වන්නේ නැහැ කියලයි කියන්නේ.

Thursday, August 20, 2015

මගේ ගමන් බිමන් අසූතුන්වන කොටස - සේරුවාගල පුරාණ විහාරය

කාලෙකට පස්සේ අලුත් ලියක් එක්ක ඔයාල හමුවෙන්න එන්න හිතුවා. ඒ තමයි නාරම්මල පැත්තේ තියෙන පුරාණ රජමහා විහාරයක්. එය නමින් සේරුවාගල. මෙහි අතීතය වලගම්බා රජ දවස වෙනකම් දිවයන්නක්. කුරුණෑගල නාරම්මල ඉන්න මගේ මිත්‍රයෙක් එක්ක තමයි මම මේ ගමන ගියේ. පන්සලේ විස්තර දැනගන්න මට උදව් කලේ තවත් මිත්‍රයෙක්. 
ටී. එම්. අප්පුහාමි වෙදමහත්තයා
කුරුණෑගල-නාරම්මල-මාදම්පේ කියන මාර්ගයෙන් හැරිල වාදාකඩ පැත්තට යද්දී අපට මේ පන්සල තියෙන තැනල ලඟායවන්න පුළුවන්. විශාල ගල්තලාවක උඩ තමයි මේ පන්සල තියෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න ටී. එම්. අප්පුහාමි කියල වෙදමහත්තයා තමයි අපට මෙතැන  ගැන විස්තර කිව්වේ. ඔහුගේ අත්තා තමයි මේ චෛත්‍යය නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් අපට ඉතිහාසය දැන ගන්න ගොඩක් කරුණු කියන්න මේ සීයා උදව් වුනා.
එකල වලගම්බා රජතුමා දඹදෙණියට යන අතරේ නැවතුන අම්බලමක් කියල තමයි කියන්නේ. විශාල විහාරය මෑතකදී සැදූවක් වුනත් පැරණි විහාරය නම් වලගම්බා රජ දවස තෙක් විහිදෙනවාලු. විහාරගෙයි චිත්‍ර නුවර යුගයේ චිත්‍ර බවත් එවායේ සුවිශේෂත්වයක් තිබෙන බවත් පවසනවා. චෛත්‍යය අවුරුදු 150ක් විතරත් බෝධින් වහන්සේ අවුරුදු 75ක් විතරත් වෙනවා කියලයි කියන්නේ. එය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක්. කෙසේ වුනත් මෙතැන ගැන ජනප්‍රවාද ගනනාවක් අහන්න පුළුවන් වුනා. මෙහි ඇති ගල් වලත් එය ලඟින් ඇති ගල් තට්ටුවත් ගැන කතාව තියෙන්නේ එය පොකුණ වහන්න තිබුණු එකක්ලු. පොකුණේ නිධන් තිබුනු බවත් ඒවා ඉන්දියාවෙන් පැමිණ ගෙනගොස් ඇති බවත් ගැමියන් කියනවා.
 
පිටුපත ‍තිබෙන මාලිගාතැන්න කියල ප්‍රදේශය පුරා විසිරුණු ගඩොල් කැබලි හා පස් වලින් පැරණි මාලිගාවේ කොටස් බවත් සම්පූර්ණ ගල අක්කර 700ක් පමණ විහිද තිබුන බවත් කියනවා. නමුත් දැන් තියෙන්නේ අක්කර 400ක් පමණ කොටසක්ලු. මේ ප්‍රදේශයේ තියෙන විශාලතම මත්‍රපිට පෙනෙන ගල් තට්ටුව මෙය බවයි කියන්නේ. තවත් කතාවක් තමයි ගල් පෙට්ටියක් ගැන තියෙන කතාව.
 
මනුස්සයෙක් මේ මාර්ගයේ එන අතරතුර ගලින් කල පෙට්ටියක් දැකල තියෙනවා. ඔහු එය අරගෙන ඇවිත් ගෙදර තියල තියෙනවා. රාත්‍රියේ ඔහු බයවෙලා අවධි වෙලා තයෙනවාලු. නමුත් ගල් පෙට්ටිය ගැන බලන්න ගිහින් නෑ. උදේ අවදිවෙලා බලද්දී එය තිබුනු තැන හොයාගන්නවත් නැතිවෙලා කියලයි කියන්නේ. මෙය සත්‍ය සිදුවීමක් බවත් ඒ පිළිබඳ තමන්ට මතකයක් ඇති බවත් අප්පුහාමි මහත්තයා පවසනවා. කොහොම වුනත් මේ ප්‍රදේයේ නිධන් ගන්න ගිහින් වුන අනතුරු නම් ඉතා බහුලයි කියලයි අප්පුහාමි මහත්තයා කියන්නේ.

Friday, August 14, 2015

ශ්‍රී ලංකා ටෙලිකොම් මගඩි වැඩ

අද කියන්න හදන්නේ සිදුවෙන අසාදාරණයක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කරන පාරිභෝගිකයන් ගනන් නොගන්නා ආකාරයක් ගැන. මේක සිදුවුනේ මටම නිසා සාක්‍ෂි කීපයක්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මීට මාසයකට පමණ ඉහතදී මම වැඩ කීපයක් සඳහා මාගේ හිතවතෙකුගේ අන්තර්ජාල සබඳතාවයක් භාවිතා කරන්නට පටන් ගත්තා. නමුත් එය විනාඩි කීපයකයට පසු අකර්මන්‍ය වුනා. පසුව විනාඩි කීපයකින් නැවත යථා තත්ත්වයට පත්වුන නිසා ගනන් ගත්තේ නෑ. නමුත් එය සැරින් සැරේ වෙන්න පටන් ගත්තු නිසා සහ අකර්මන්‍ය වී පවතින කාලය දිගු වෙන නිසාවෙන් ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා අංකයක් සම්බන්ධ කරගත්තා. නමුත් ඔවුන සාර්ථක විසඳුමක් දෙන්න නොහැකි වුන නිසා නැවත නැවත කතා කරන්නට වුනා.
 
නමුත් එය විසඳුමක් නොවුනත් කීප වාරයක් පැමිණිලි අංක ලැබුනා. පසුව ඔවුන්ගේ කණ්ඩායමක් එවන බව පවසමින් සිටියත් ඔවුන් එද්දී දින දෙකක් පමණ ගතවෙලා තිබුනා. පැමිණ තිබුනේ දුරකථන දෝශ සඳහා වූ තාක්‍ෂණික අංශයයි. ඔවුන් පැමිණ කීවේ අපට අදාල නැහැ අන්තර්ජාල කණ්ඩායම එවන්නම් කියලයි. තවත් දිනයකට පමණ පසු ආව තාක්‍ෂණික නිලධාරියා අන්තර්ජාලයට සම්බන්ධ කල අතර ඉක්මනින් පිටවී ගියා. ඔහු ගිය විටම වාගේ නැවත අන්තර්ජාල සම්බන්ධතාව නැතිවුනා. මේ සිදුවීම් පෙල දැනට සතියක කාලයක් වුනත් විසඳුමක් ලැබී නැහැ. නැවත නැවත කතා කරමින් ගෙන්වා ගත්තත් කිසි සාර්ථක විසඳුමක් නොලැබුන අතර මා කල යුතු කාර්යයන් පෙල දිනෙන් දින කල් යන්න පටන් ගත්තා. එයට හේතු වුනේ විනාඩි කීපයක ලැබෙන අන්තර්ජාල සබඳතාවයෙන් අමාරුවෙන් වැඩ කරගැනීමට සිදු වීමයි.

අවසන මාසයක් ඉකුත්ව ඇත. මට අවසානයට ලැබුණු පැමිණිලි අංකය ලැබී දැනට දින දෙකකි. එම අංකය 19136056 යි. සබදතාව සකස් කිරීම කල නොහැකි නම් ඒ බැව් පැවසීම මගින් අපට වෙනත් සබඳතාවයක් වෙනුවෙන් මුදල් බැරකල හැක. මුදල් ගෙවමින් මෙවන් සේවාවක් ලබාදීම නම් පල නැති කාණයකි. කෙසේ වෙතත් අවසානයේ ඇසිය යුතු එක් ප්‍රශ්ණයක් පවතී. එය නම් මුදල් ගෙවා ලබා ගන්නා සේවයක ආකාරය මෙයද? පාරිභෝගකයාට සේවා සැපයීම මේ ආකාරයෙන්ද? තවත් මේ සබඳතාව තිබෙන්නේ මා හිතවතාට වෙනත් සබඳතාවයක් වෙත මාරුවීමට තරම් කාලයක් මේ දිනවල නොමැති කම නිසාවෙනි. බලධාරීන් ඇස ගැටුනත් ප්‍රයෝජනයක් නොමැති බව දන්නවා වුනත් අන්තර්ජාලයේ මේ ආකාරයෙන් කොටා තබන්නේ හුදෙක් ලාංකික සන්නිවේදන මාධ්‍ය සපයන ආයතන පිලිබඳ අතිශය කලකිරීමෙනි. 

Wednesday, July 8, 2015

මගේ ගමන් බිමන් අසූ දෙවැනි කොටස - විහාරහේන, ආඩාරදෙණිය සුන්දරත්වය

දෙනියාය කියන්නේ අපූරු සුන්දරත්වයකින් පිරි පරිසරයක්. මීදුම් පිරුණු කඳු පන්ති වලින් වටවෙලා තියෙන ප්‍රදේශයක්. සිංහරාජ වනාන්තරයේම කෙලවරක තියෙන නිසා බොහෝමයක් සත්ත්ව විශේෂ හා ගහකොළ දකින්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය නිසාම තවත් මිත්‍රයෙක් එක්ක දෙනියාය බලන්න යන්න හිතාගත්තා. ඵලවෙනි අදියර වුනේ ඌරුබොක්ක ප්‍රදේශයේ ඉන්න මගේ මිත්‍රයාගේ ඥාතියෙකුගේ නිවසේ නවාතැන් ගන්න එක. එතැන ඉඳන් කොටපොල හරහා දෙනියායට එන්න තමයි සැලසුම වුනේ. එතැනත් හරිම අපූරු තැනක්. කඳු මුදුනක තේ වත්තක් මැද තියෙන ගෙවල් කිහිපය අතරින් හිරු උදාව බලන්න වාසනාව ලැබුනා.
උදේ එතැනින් පිටත්වුන අපිට විහාරහේන ප්‍රදේශයට එන්න ටිකක් වෙලාව ගතවුනා. ඒකට හේතුව වුනේ අවට ඇති සුන්දරත්වයමයි. මග තියෙන සුන්දරත්වය විඳගෙන කඳුමුදුනට ගියේ එන ගමන් තියෙන දේවල් බලන්න හිතාගෙන. අපේ මාර්ගයේ අවසාන වුනේ පුද්ගලික ඉඩමක් වුන Rain forest ecolodge පුද්ගලික  සමාගම සතු සංචාරක නිවාස ගාවින්. එතැනින් එහාට යන්න අවසර නොතාබුන නිසා අපේ ගමන අවසන් වුනා. යන්න පුළුවන් උපරිම දුර ගිය අපි එතැන ඉඳන් අවට සුන්දරත්වය උපරිම වශයෙන් විඳගත්තා.
ආපසු ගමනේදී අපි මග හරිමින් ගිය වැදගත් ස්ථානයක් අසල නවත්තන්න අපි අමතක කලේ නම් නැහැ. ඒ තමයි සමන්ගල විහාරය. සමන්ගල විහාරය කියන්නේ සමන් දෙවියන් වැඩවාසය කල තැනක් කියලයි කියන්නේ. ඇත්තටම සමන් දෙවියන් දේව සභාව රැස්කල තැන කියලයි ගැමියන්ගේ විශ්වාසය තියෙන්නේ. ‍කොහොම වුනත් හරිම අපූරු නිස්කලංක තැනක්. කවුරුත් නැතත් යන එන සංචාරකයන් මෙතැන නවතින්න නම් අමතක කරල නැහැ. එතැනින් පිටත් වුන අපේ ඊලඟ නවාතැන වුනේ ආඩාරදෙණිය කියන ප්‍රදේශය.
ආඩාරදෙණිය කියන ප්‍රදේශයට ගිය අපි ගිංගඟ පෝෂණය කරන අතු ගංගාවක ඇති විශේෂ තැනක් බලන්න ගියා. මේ තැන වතුර ගලා යාම නිසාම විශාල ගල් වලවල් ඇති වුන තැනක්. මගේ මිත්‍රයාට මුහුණුපොතෙන් හමුවුන විදේශ රටක සේවය කරන තවත් මිත්‍රයෙකුගේ නිවසක් තිබුනු නිසා අපි ඒ නිවසට ගියේ මාර්ගය ගැන හරි අවබෝධයක් ලබාගන්න හිතාගෙන. ආගන්තුක සත්කාරය උපරිම අයුරින් ලාබාදුන්න ඔවුන් මාර්ගය පෙන්වන්න තරම් කාරුණික වුනා. ඒ මාර්ගය දිගේ අව අපට මේ අපූර්ව ස්ථානය දකින්න ලැබුනා. නමුත් වතුර මට්ටම නිසා අපට එය හොඳින් දකින්න නැතත් ගංගාවේ අනෙක් තැන් වල ඇති වතුර හා ගලායාමේ වේගය හා සසඳද්දී නම් මේ කියන ස්ථානය ටිකක් විතර දරුණු තැනක් වගෙයි පෙනුනේ.


හවස් වෙන සලකුණු තිබුනු නිසාත් රෑ වෙන්න කලින් ආයෙමත් එන්න ඕන නිසාත් අපි ගමන එතැනින් නවත්තල දාල ආයෙම එන්න පිටත්වුනා. කොහොම වුනත් සුන්දරත්වය පිරුණු මේ තැන් වලට ආයෙම එන  බලාපොරොත්තුව නම් මගෙත් මගේ මිත්‍රයාගේත් හිත්වල ඉතුරුවුන සුන්දර මතකයන් එක්කම රැඳුනා.


මෙන්න අපේ මතකයෙන් බිඳක් පුංචි මතක සටහන් දෙකක් විදිහට පළවෙනි එක සමන්ගල විහාරය ලඟදී දෙවැන්න Rain forest ecolodge එක ලඟදී....

තවත් පින්තූර ඇල්බමයකට