Pages

Sunday, May 17, 2015

මගේ ගමන් බිමන් අසූවැනි කොටස - දෙනියායෙන් සිංහරාජ වනය හරහා ලංකාගමට

ඔන්න කාලෙකින් ගමන් බිමන් ගැන කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. කාලයක් තිබුනු පොඩි පොඩි ගැටලු නිසාවෙන් ලියන්න නිදහසක් තිබුනේත් ගමනක් යන්න විදිහක් තිබුනේත් නැහැ. කොහොම හරි වැඩටික වෙනස් කරල වෙසක් පෝයට සිංහරාජේ යන්නයි සූදානම් වුනේ. මෙන්න මේ විදිහට තව යාලුවො දෙතෙුන් දෙනෙක් එක්ක ගමන පටන්ගත්ත‍ා. අහලපහල ගමේ යාලුවෙක් හිටිය නිසා ගයිඩ් කෙනෙක් නොගෙන කැලේට ඇතුල් වුනේ ඇත්තටම  ගයිඩ් කෙනෙක් ගන්න තරම් වත්කමක් නොතිබුන නිසා. :(
පලා පොලඟා (Green pit Viper)
දෙනියායෙන් යතුරු පැදි වලින් වනාන්නරය හරහා ලංකාගම පාරෙන් සිංහරාජයට ඇතුලු වුනේ පාන්දරින්මයි. පස්සේ ටිකෙන් ටික වනාන්තර මාර්ග දිගේ යන්න අපි යතුරු පැදි නිවසක දාල වනාන්තරයට ඇතුලු වුනා. ඒ දිය ඇලි ටිකක් බලන්න සහ සත්තු ටිකක් බලන්න හිතාගෙන. ඒත් වැහි කිලේ නිසා සත්තු බලන එක ලේසි නෑ කියල අපි දැනගෙන හිටියා.ටිකෙන් ටික පුංචි දිය ඇල්ලක් වුන වාඩි දොළ ගාවට කිට්ටු කල අපි එතැනදී කෑම කන්න සදානම් වුනා. කොහොම වුනත් ගොනියපු ඉටිකොළ කෑල්ලක්වත් බිම නොදා ඉන්න තරම් නම් අපි පරිස්සම් වුනා. මොකද ලෝක උරුමයක් සුරකින එක අපි කාගේත් යුතුකමක් වෙන නිසා.
Giant Wood Spider

ගොංගල කන්දෙන් ආරම්භවෙන ගිංගඟ පහල නිම්නයේ ගලා යද්දී අතුරු දොළ පාරවල් එය පෝෂණය කරයි.  වනයේ වියන් ස්තරය හොර, බූහොර, බෙරලිය, දුන්, වැලිපියන්න, නවද වැනි ශාකවලින් සමන්විත වන අතර  උප වියන වල්දෙල්, හැඩවක, උබ්බේරිය, මලබොඩ, දියනා, කටුමොද වැනි ශාකවලින් යුක්තය. යටි වියන කැකිරිවරා, මඩොල්, අතුකැටිය වැනි ශාක සහිතය. ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ සිංහරාජය ලෝක උරුම වනපෙතක් වශයෙන් ද ලෝ ප්‍රකට වී ඇත. ශ්‍රී ලංකාවට ආවේණික ශාක ඝන 25 න් 13 ක් ම මෙහි වාර්තා වන අතර මෙහි වැඩෙන දැවමය ශාක විශේෂ සංඛ්‍යාව 340 කි. ඉන් 182 ක් අප රටට පමණක් ආවේණිකයි.
එතැනින් අපි පිටත් වුනේ පතන් ඔය ඇල්ල හා කැකුණ ඇල්ල බලන්න. ඒ දෙක විශාල දිය ඇලි නොවුනත් අපූරු සුන්දරයත්වයත් තිබුන දිය ඇලි දෙකක්. වර්ෂා කාලය නිසා ගොඩක් වතුර තිබුනා. පරිස්සමින් ගල් උඩින් ඇවිදගෙන ගිය ගමන ටිකක් භයානකයි කියන්න පුළුවන්. කොහොම වුනත් සිංහරාජය වැසි වනාන්තරයක් නිසාවෙන් ටිකක් විතර පරිස්සම් වෙන්න ඕන තැනක්. විවිධාකාර මාර්ග වලින් සිංහරාජයට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ ඒ පැති වලින් බලන්න තියෙන දේවල් වෙනස් වෙනවා. කොහොම වුනත් දවල් කෑම ගන්න වෙලාව වෙද්දීත් අපි පතන් ඔය ඇල්ල ගාව. ටිකක් වෙලා මහන්සි නිවා ගත්ත අපි එතැනින් පිට වුනේ ලංකාගමට වෙනකම් යන්න වුවමනාව තිබුන නිසා. මල්මොර ඇල්ල බලන්න යන්න වුවමනා වුනත් අපි ඒක මඟ හැරලා ආවේ රෑ වෙන්න කලියෙන් කැලයෙන් එලියට එන්නත් ඕන වුන නිසා.
පතන්ඔය ඇල්ල
කැකුණ ඇල්ල
බ්‍රාහ්මණ ඇල්ල
කැකුණ ඇල්ල මීටර 11ක් උස අරණුව දොලෙන් නිර්මාණය වෙනවා. මේකටම පහල අරණුව ඇල්ල කියලත් කියනවා. පතන්ඔය ඇල්ල තමා ඉහල අරණුව ඇල්ල කියන්නේ. මේකත් අරණුව දොලෙන් තමා පෝෂණය වෙන්නේ. මේක නම් මීටර 5-6ක් විතර තමයි උස.

එතැනින් ආයෙම බයිසිකල් නවත්තපු තැනට එද්දී අපට ගොඩක්ම හමුවුනේ කැන්ගරු කටුස්සන්ගේ ගැහැණු සතුන් තමයි. පලා පොළඟෙක්, කුරුලු විශේෂ දෙකක් විතර දකින්න ලැබුනා. ඒ අතරේ ගෝන තුත්තිරි ශාක දකින්න පුළුළුන් වුනා. තවත් සත්තු විශේෂ ගනනාවක් හිටියත් මෙතැන සතුන් ගැන කතා කරන තැන නොවන නිසා ඒ ගැන විස්තර නොලියා මඟ හරින්නම්. සත්තු ගැන දැන ගන්න මම ලියන සතුන්ගේ ලෝකය බ්ලොග් අඩෙවියට ටිකක් ඔලුව දාල බලන්න.
කැන්ගරු කටුස්සා (Kangaroo Lizard) - Female
කැන්ගරු කටුස්සා (Kangaroo Lizard) - Female
එතැනින් ලංකාගමට ආව අපි වැඩි වෙලා රැඳුනේ නම් නෑ ඒ අතරේ හමුවෙන බ්‍රාහ්මණ ඇල්ල ගාවත් ටිකක් වෙලා රැ‍ඳෙන්න අපි අමතක කලේ නෑ. කොහොම වුනත් ආපහු හැරිලා ආවේ ඉක්මනින් කැලයෙන් පිටවෙන්න හිතාගෙනයි. ඒ අතරේ හමුවුන ගහ කොල මල් වල පින්තූර ටික මෙන්න මෙතැන click කරල ගිහින් බලන්න. සන්දර වනපෙතක අසිරිය විඳ ගන්න දවසක සිංහරාජයට එන්න. හැබැයි ඉතින් තව කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදිහට ඒක ආරක්‍ෂා කරන්නත් මතකයේ තියාගන්න.

පින්තූර ඇල්බමය මහ‍ ගොඩක් පින්තූර එක්ක මෙතැනින්...........

Wednesday, May 6, 2015

වෙසක් මංගල්‍යය මම දැක්ක හැටි.

වෙසක් එකත් එක්ක ආව නිවාඩුවේ මටත් හිතුනා ටිකක් ඇවිදින්න. ඒත් ඉතින් යන එන තැන දකින වෙසක් සිරිය එක්ක යන ගමන් වෙනස් කරල පන්සලකට ගොඩ වෙන්න තමයි හිතුවේ. කාලෙකින් යන්න හිටි තැනක්. ඒත් ඉතින් යන්න කලින් මගදී දැක්ක දේවල් එක්ක ටිකක් විතර කණගාටුවක් එක්ක තමයි පන්සලට යන්න ලැබුනේ. ගිය පන්සලේ විස්තරය "ගමන් බිමන්" ලිපි පෙලත් එක්ක අරන් එන්නම්. ඒත් ඉතින් මේ කියන්න යන්නේ වෙනමම කතාවක්.

වෙසක් කියන්නේ පිං රැස් කරන කාලෙ කියලයි කට්ටිය හිතන් ඉන්නේ. ආලෝක පූජාවන් කරමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු හදන්නේ තර‍ඟයට. ඒ විතරක් නොවෙයි වෙසක් දන්සැල්. දැන් දන්සැල් දෙන්නේ තමන්ගේ පුළුවන්කරකම් පෙන්වන්න මිසක් දානයක් දෙන්න නෙවෙයි. මෙන්න මේවා තමා වෙසක් කාලෙට ඇහෙන වදන් ටික.
අපේ xවෙනි වරට පවත්වන දන්සැල තමයි බෝඩ් එක.

එහා ගෙදර කට්ටිය දන්සැලක් දෙනව අපිත් එකක් දෙමු.

අර හංදියේ දන්සැලේ මාර සෙනඟක් ඉන්නේ කෑම හොඳ ඇති.

අපිටත් බත් එකක් ගේන්න. අද උයන්නේ නෑ දන්සැල් තියේනේ. ෆයිඩ් රයිස් නම් හොඳයි.


මෙන්න මේ වගේ එකී මෙකී නොකී දහසකුත් වදන් අහන්න පුළුවන් මේ කාලෙට. ඒ විතරක් නෙවෙයි. අර ******** පන්සලේ මරු ඒකේ තමා හොඳට සෙනඟ ඉන්නේ අපිත් ඒකට යමු. මෙහේ පන්සලේ මොකුත් නෑ බලන්න. 

ඉතින් මේ දේවල් වෙන්නේ තමන්ගේ පන්සල සරසන්න තමන් උත්සාහ නොගත්තු නිසා කියල තේරෙන්නේ නෑ නේද අපේ අයට. 

වෙසක් කියන්නේ ගෙදර ඉන්න පවුල් පිටින් අරගෙන ඇවිදින්න තියෙන දවස නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ දන්සැල් වන්දනාවේ යන එක. නමුත් ඉස්සර සිදු වුනේ වන්සනාවේ යන අයට දන්සැල් දීපු එක. කෝකද කල යුතු කියන එක ඔයාලට බාරයි.

මෙන්න දැන් තමා නියම ටික. හැමෝටම දකින්න ලැබිල ඇති මේ දවස් වල කිරි හරක් නිදහස් කරන්න සල්ලි එකතු කරන හැටි. ‍බොහෝමයක් පිරිස් කිරි හරක් නිදහස් කරන්න කියල සල්ලි එකතු කරන්න පටන් ගන්නේ වෙසක් මාසෙ විතරයි.  මේ අතරේ මම දැක්ක හරිම පව්කාරම වැඩක් දැක්කෙත් මේ වෙසක් මාසයේමයි. ඒ තමයි මේ වගේ සල්ලි එකතු කරන්න හරකෙක් වාහනයක පටවගෙන යන හැටි. අර මොනවහරි විකුණගන්න ඕන වුනාම model එකක් හරි sample එකක් හරි අරගෙන යන්නේ. අන්න ඒ වගේ හරකෙක් වාහනයක පිටි පස්සේ පටවගෙන යනවා පෙන්වන්න.

දවල් දැක්ක ඒ වාහනේම හවස මහ වැස්සෙත් ඒ විදිහටම හැම තැනම යනවා. හැබැයි ඉතින් අව්ව වැස්සෙන් ආරක්‍ෂාවක් නැත්තේ පිටිපස්සේ ඉන්න හරකට විතරයි. මේ ව‍ෙගේ දේවල් වෙසක් වලට විතරක් නෙවෙයි කවදාටත් නොකල යුතුයි වගේම මේ වගේ දේවල් කරනව දැක දැක ඉන්න සත්ත්ව අවිහිංසා සංගම් හා පොලීසිය ගැන නම් කියන්න තියෙන්නේ බොහෝම කණගාටුදායක විදිහේ කතාවක්.

නැති බැරි තැන ගොරවාගෙන දිව යන්නේ
ඇති හැකි තැන අකුලාගෙන දිව එන්නේ
විමසාගෙන බැලුවොත් අප හැම දන්නේ
මුදලින් විතරයිද හැම දේ විසඳෙන්නේ

කොහොම වුනත් ප්‍රසිද්ධ පන්සල් වල සිල් ගන්න එකයි තමන්ගේ ප්‍රසිද්ධිය හා හැකියාවන් පෙන්වන්න දන්සැල් දෙන එකයි වෙනුවට ගෙදැරට වෙලා ප්‍රයෝජනවත් වැඩක් කලා නම් ඊට වඩා වටිනවා. අනික මේ වගේ සත්තුන්ගේ නිදහස විනාශ කරමින් මුදල් එකතු කරන එක වගේ දේවල් නම් වැලක්වන්න පුළුවන් නම් හොඳයි. වෙසක් දවස අර්ථවත් විදිහට කරගෙන යන්න. ඒ දවස ඇයි විශේෂත්වය මොකක්ද කියලවත් නොදැන හිතෙන හිතෙන දේ අනිත් අය කරනවට කරන එකෙන් තමන්ට වත් වෙන කෙනෙකුටවත් වැඩක් වෙන්නේ නම් නෑ.

Wednesday, April 8, 2015

දුක් විඳින ජීවිත.... පළමු කොටස

මේ කියන්න යන්නේ අපේ රටේ දුක් විඳින විවිධාකාරයේ ජීවිත ගැන කතාවක්. මේක පළමු කොටස වෙන්නේ මේ ව‍ගේ මිනිස්සු කොතෙකුත් අපට හමුවන නිසා. ඒ වගේම මේ සිදුවීම් වල එන අනිත් චරිත වුනත් එහෙමයි. ඔයාල වුනත් ජීවිතේ ටිකක් ආපස්සට හැරිල බලන්න මේ වගේ ජීවිත කොතෙකුත් හමුවෙලා ඇති. හැබැයි විනාඩියක් නැවතිලා කතා කරලා නම් නැතුව ඇති. මේ මම මේ අය දිහා බලාගෙන ගෙවපු පැය දෙකක්.

මේ ජීවිතේ මම දැක්කේ මම ඉන්න ටවුන් එකේ අහම්බෙන්. ඒ කියන්නේ අම්බලන්ගොඩ නගරයේ. මේ වැතිරිලා ඉන්න කෙනාට නැගිටින්න බෑ මේ තමා උපරිමය. අත් හැකිලිලා, වර්ධනය වෙලා නැහැ. කකුල් දෙකත් එහෙමයි. බෙල්ල නවන්න කරන්න බෑ. ඉතින් මේ අම්මයි තාත්තයි තමන්ගේ දරුවට බේත් හේත් ගන්න සල්ලි හොයා ගන්න තමා මේ පාරට ඇවිත් තියෙන්නේ.
මුලින් මම මේ කෙනා ‍දැකල මෙතැන නවතිද්දී මම දැක්ක තවත් අපූරු දෙයක්. ඒ තමයි තරුණ ගැහැණු ලමයෙක් මේ අයගෙන් විස්තර අහනවා. ඔව් ඇත්තටම මේ වගේ දෙයක් අපේ දැන් සමාජයේ විශේෂයෙන් මේ වගේ කලබලකාරී දවස්වල දකින්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් මේ කෙනා කතා කල දේවල් වලින් මට නම් හිතුනේ වෛද්‍ය ශිෂ්‍යාවක් විය යුතුයි කියලයි. කොහොම වුනත් යන එන අය අතරින් රුපියල් 10ක් 20ක් මේ වැඩිහිටියන් ගාව නවතින එක නම් දකින්න පුළුවන් වුනා. මමත් දවල් කන්න යන්න ආපු ගමන නවත්තගෙන මෙතැන නවතින්න තීරණය කලේම මේ නිසාමයි.

කාලය ගතවෙද්දී විවිධ අය විවිධ විධි වලින් මේ තුන්දෙනා දිහා බලන්න ගත්තා. තාත්තා ව‍යෝවෘද්ධයි, අම්මා තයිරොයිඩ ග්‍රන්ථියේ ඉදිමීමකින් පෙලෙද්දී මේ පුතා නැගිට ගන්න බැරිව වැටිල ඉන්නවා. ශරීරයේ හැටියට වයස 20කට වැඩි මිසක් අඩු නම් නැහැ. කොහොම වුනත් හොඳම ටික පටන් ගන්නේ මෙතැනදී.
හොඳම හරිය වෙන්නේ මෙතැන තමන්ගේ ජීවිකාව විදිහට හිඟාකන අය කරන කියන දේවල් දිහා බලන එකයි. සාමාන්‍යයෙන් නගරයේ ඉන්න හිඟන්නන්ට අමතරව විවිධ තැන් වලින් ආපු හිඟන්නන් අවුරුදු සමයත් එක්ක ඇවිත් තියෙනවා. ඒත් ටික වේලාවකින් අවට ඉන්න හිඟන්නන් "මේ බො‍රුකාරයෝ මහත්තයෝ. මුන් බොරු කරන්නේ" කියමින් අවට රැස්වෙන අයට කියන්න පටන් ගන්නේ ඒ අයගේ ඔඩොක්කුවෙන් සද්දේ ඇහෙද්දී මේ තුන්දෙනාගේ ගාව කිසි සද්දයක් නැති නිසාම වෙන්න ඇති කියලයි මට හිතුනේ. හැබැයි ඉතින් අඩුවක් නැතුව අන්තිම සතේටම මාරු සල්ලි ටික ඉල්ලගෙන යන්න එන කො‍න්දොස්තරලා නම් ගානක් හිටියා. මාරු සල්ලි අරගෙන ඒ ගාන සතේට බලල ලොකු කොලයක් දෙන හැටි නම් කීප පාරක් දකින්න පුළුවන් වුනා.

තවත් ටික වේලාවකින් ‍පොලීසියෙන් ඇවිත් මේ අයගේ හැඳුනුම්පත් පරීක්‍ෂා කරල බැලුවේ කොයි කවුද කියල හොයන්න වග කාටත් තේරුණත්, ආබාධිත දරුව‍ාගේ හැඳුනුම්පතක් ඉල්ලන වෙලාවේ නම් මගේ හිතටත් දුකක් ආ‍වා. "අනේ මහත්තයෝ කොල්ලගේ හැඳුනුම්පත ගෙනැල්ල නෑ" කියද්දී "මේ ඇත්තටම තමන්ගේ දරුවද කියල බලන්න හැඳුනුම්පත ඕන" කියල පොලිස් නිලධාරියා කියද්දී නම් අවට හිටි අයත් පොලිස් නිලධාරියාගේ මුහුණ බැලුවේ ඇයි කියල කාටත් තේරුණා. තමන්ගේ හැඳිවතේම මල මුත්‍ර යද්දී අඳින ඇඳුමයි ඉන්න තැනයි වෙනස් කරල ඒ අම්මයි තාත්තයි දිහා බලාගෙන ඒ වගේ ප්‍රශ්ණයක් අහද්දී, මේ දරුවා වෙනුවෙන් ඒ නිලධාරියා ඒ දේවල් කරල දවසක් හිඟාකනවද කියල අහන්න තරම් මගේ හිතට ආව.


















කොහොම වුනත් මේ සියල්ල හසුකරගන්න මගේ කැමරාව ඒ වෙද්දී ගෙනිහන් තිබුනේ නැත්තේ මගේ අවාසනාවද ඔයාලගේ අවාසනාවද නම් දන්නේ නෑ. මගේ මිත්‍රයෙකුට කතා කරල එයාගේ ජංගම දුරකථනයෙන් මේ ඡායාරූප ටික ගත්තේ වචන වලට වඩා ඡායාරූප කතා කරන්න දන්න නිසා. කොහොම වුනත් ඒ තැන ගත කල පැය දෙකකට වැඩි කාලයේ දැක්ක විවිධ මිනිස්සුන්ගේ ක්‍රියාවන් ලියන්න ගියොත් නම් මේ ලිපිය කියවන්න බැරි තරම් දිය එකක් වෙනවා. 

ඉතින් මේ තමයි අපේ සමාජය. ඔයාලගේ වටිනා කාලයෙන් ටිකක් මේ අය ගැන හොයන්න ගත කරන්න. ඒක අපූරු පාඩම් කියා දේවි සමාජය ගැන, මිනිස්සු ගැන. ස්තූතියි!

Thursday, April 2, 2015

ෆුල්ෆේස් තහනම

දැන් දැන් ආණ්ඩුවෙන් එක එක එව්ව ගේනවා. දැන් කිව්වට කලින් ආණ්ඩුවත් එහෙම තමා. lol කලින් ආණ්ඩුව තයෙන කාලේ කස්ටියට මතකයිනේ ෆුල් ෆේස් එක තහනම් කරන්න හැදුවා. හපොයි මූණූ පොතේ කල හදියක් ඒකට විරුද්ධව. අන්තිමට මොන තහනමක්ද? තහනම ඉවරයි. දැන් ආයෙත් පටන් අරන්. කට්ටිය නම් කියන්නේ ඒක දාගෙන මැරකම් හොරකම් කරන නිසා තහනමක් ගේන්න ඕන කියල. ඒකෙන් මේකෙන් වෙන්නේ අහිංසක කොල්ලෝ කුරුට්ටන්ගේ බෙලි කඩාගන්න එක.
මම නම් පුද්ගලිකව මේ තහනමට විරුද්ධයි. ඒ ‍මොකද දන්නවද මම මගේ බයික් එක ගත්තත් හරි වැටුනේ එක පාරයි. ඒ බව්වෙක් යටවෙලා. හැබැයි ඉතින් එදා වැටුනු ගමන් අද මේ තියෙන හැන්ඩි මූණ :P ඉතිරි වෙලා තියෙන්නේ නම් ෆුල්ෆේස් එක නිසා. කොහොම වුනත් මේ හෙල්මට් එක නිසා අනතුරකදී වෙන ආරක්‍ෂාව නම් සෑහෙන්න වටිනවා.

වයිසර් එක නිසා මූණ, ඉස්සරහ වැහුණු කොටසින් කට හා නිකට, කණ්. ඉතින් මේ විදිහට ආරක්‍ෂාවක් තියෙන හෙල්මට් එක අයින් කරල යන්තම් මූණ වැහෙන්න හෙල්මට් එකක් දාන්න කියන්නේ වැඩිම අනතුරු සිදුවෙන මෝටර් සයිකල් වල යන අයට තියෙන ආරක්‍ෂාව අඩු කරන්නද? වයිසර‍ය තියෙන මූණ බාගයක් වැහෙන හෙල්මට් එකක් දාගෙන ගිහින් වැටුනාම වයිසරේ කැඩිල කෙලින්ම මූණ තමා කැපෙන්නේ. එහෙම වුන අය ගැන මම දන්නවා. අන්තිමට ප්ලාස්ටික් සැත්කමක් කරල මූණ හැදුව. වෙලාවට මනුස්සයට සල්ලි තිබුනේ. 

කොහොම වුනත් ආයෙම පෙරලියක් කරල මේ තහනම නම් ඉවත් කරන්න ඕන. වැරදි කරන මනුස්සයා වැරදි කරනවා. ඒකට උන් ක්‍රම හොයාගනී. හැබැයි ඉතින් අපිට ආරක්‍ෂාවක් දෙන හෙල්මට් එක නම් තහනම් කරනවා නම් හෙල්මට් නොදාම යන්න ඉඩ අරින්න. වැඩේ ඉවරයි. තව ටිකක් ජනගහනය අඩු කරගන්න පුළුවන්. lol

Wednesday, February 11, 2015

සංස්කෘතිය වනසන මංගල ඡායාරූපකරණය


දැන් ගොඩක් දෙනා මංගල ඡායාරූපකරණය හා බැඳී ඇති නිසාත් එය වත්මන් සමාජයේ මංගල උත්සවයක වැදගත්ම අංගයක් කරගෙන තිබෙන නිසාත් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ගොඩක් වෙලාවට මංගල අවස්ථාවක ඡායාරූප ගන්නේ අපට ජීවිතේ විඳින්න ලැබෙන සුන්දරම මතකයක් නිසාවෙන් එහි මතකයන් අලුත් කරගන්න හා අන් අය එක්ක ඒක බෙදාගන්න තියෙන මාධ්‍යයක් විදිහටයි. ඒත් පටන් ගැන්මේදී එය මංගල අවස්ථාවේ චාරිත්‍ර වාරිත්‍ර වලට බාධාවක් වුනේ නැහැ. ඒත් අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා මංගල අවස්ථාව කියන්නේ පින්තූර ගන්න දවසක් විතරක් වෙලා. ඡායාරූප ශිල්පියාට අවැසි විදිහට තමා සම්පූර්ණ උත්සවයම සිදු වෙන්නේ. මේ දේවල් වල සාරාංශයක් විදිහට තමා අද කතා කරන්න හදන්නේ. මොකද සම්පූර්ණ කතා කරන්න නම් ලිපි පෙලක්ම ඕන වෙන නිසා.













පළවෙනිම දේ තමා දැන් තියෙන අලුත්ම වැඩසටහන වුන preshoot කියන එක. මොකක්ද මේ කාරණාව. සාමාන්‍යයෙන් සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව මනාලයා මනාලියගේ අතිනත ගන්නේ පොරුවේදී. හැබැයි මේ preshoot එකේදී ලස්සන තැනක් කියල බඳින්න කලින් අරන් යනවා කැලෑවක, උද්‍යානයක එහෙමත් නැත්තම් දිරපු බලකොටුවකට බංගලාවට වගේ තැනකට. එතැන තමා පින්තූර ගන්නේ. ඒකෙත් විවිධ ඉරියව් තියෙනවා. මේ සියල්ල කරල අවසාන‍යේ මංගල දිනයේදී ලොකු තිරයක දාල සකස් කල වීඩියෝ දර්ශනයක් හරි පින්තූර පෙලක් හරි පෙන්වනවා. හරි අපූරුයි. යෝජිත විවාහයක් කලත් පෙම්වතුන් වගේ හැසිරිලා. ඒක කවු‍දෝ හොරෙන් පටිගත කරල. චිතුපටයක් වගේ. හැබැයි ඉතින් බලන අයට හිතෙන්නේ බඳින්න කලින් රට වටේම ඇවිදලා වගෙයි. පෙඳ බැඳුන පාලු බංගලා වලින් පටන් ගන්න ජීවිත තියෙනවාද? බිඳුණු පාලු ගෙදරකින් අලුත් ජීවිතක් පටන් ගන්න අයට ලැබෙන ආශිර්වාදය මොකක්ද කියලා නම් ලොකු ප්‍රශ්ණයක් එනවා.











දෙවැනි වැදගත් කාරණාව වන්නේ බඳින දවසේ උදේම ජෝඩුව පන්සල් යන එක. ඒක අපේ හෙල චාරිත්‍ර වාරිත්‍ර වල තියෙන දෙයක්. මොන ශුභ දෙයක් කරන්නත් කලින් බුදුන‍්ගේ ආශිර්වාද ලබා ගන්න එක. නමුත් තමන්ගේ දෙමාපියන් එක්ක පන්සල් යනවා මිස ඡායාරූප ශිල්පියා එක්ක පන්සල් යන්න කියල නම් චාරිත්‍ර වල නැහැ. නමුත් පින්තූර සඳහා පන්සල් යන එක හා ඒ පින්තූර ගනිද්දී අපේ සංස්කෘතියට වෙන විනාසය දැක්කාම අපිට නම් දුකක් තමා ඇති වෙන්නේ. ලස්සන පින්තූරයකින් ඇල්බමය ලස්ස කර ගන්නවාට වඩා බුදුන් වැඳ ආශිර්වාද ලබා ගන්න එකයි වැදගත් වෙන්නේ. මේ විදිහට පන්සල් යන ජෝඩු වලින් කීයෙන් කී දෙනාද බුදුන් වඳින්නේ. පිනතූර ටික ගත්තා දුවනවා ඊලට අවස්ථාවට... පො‍්රුවේ චාරිත්‍ර කරන්න. පින්තූර ගනිද්දී කරන ප්‍රධානම වරද තමයි බුදුන් සිහිකරන පිළිම වලට, බුදුන්ගේ ධාතූන් නිධන් කල චෛත්‍ය වලට, හා ගෞතම බුදුන් බුදු වීමට පිට දුන් බෝධීන් වහන්සේට පිටුපා ඡායාරූප ගැනීම. දැන් ඡායාරූප ගන්නේ පිටුපස තියෙන ගහ බොඳ කරලා. එහෙමත් නැත්තම් බුදු ගෙයි ඇතුලේ ඉඳන් එන විදිහට දොර ගාව තියල. එතකොට ඇතුලේ ටික කලු පාටයි මොනවද තියෙන්නේ කියල පේන්නේ නැහැනේ. ඒත් ඉතින් බෞද්ධයා දන්නේ නැද්ද බුදු ගෙයි දොර ඇතුලේ තියෙන්නේ බුදුන්ගේ පිළිම වහන්සේලා කියන දේ.
 

දැන් ඒකත් බිස්නස් එකක් වෙලා තියෙනවා. සමහර ප්‍රසිද්ධ පන්සල් වල තමා මේ දේ වැඩියෙන් සිද්ධ වෙන්නේ. පින්තූර ගන්න කලින් වෙන් කරන්න ඕන. අවසර නැත්තම් පන්සලේ පින්තූර ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි මංගල ඡායාරූප ගැනීමක් වෙනවානම් පන්සලට "ආධාර" කරන්නත් ඕන. ඒකට වෙනම ආධාර පොත් තියෙනවා. සමහර ඒවායේ රුපියල් හාර පන්දාහක් ගන්නවා පින්තූර ගන්න. අඩුම ගානේ පන්සල දකින්න වන්දනාවේ එන කෙනෙක් වුනත් අල්ලපු ගමේ කෙනෙක් වුනත් පින්තූර ගන්න නම් ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගන්න ඕන. හැබැයි ඉතින් ඒ තරම් ලස්සන නැති ප්‍රසිද්ධ නැති මංගල ඡායාරූප වලට කට්ටිය එන්නේ නැති පන්සලකට අපි ගියා නම් පින්තූර ගන්න විතරක් නෙවෙයි කෑම බීමත් දීලයි එවන්නේ. ඒවා අත්දැකීමෙන් කියන දේවල් කියල මගේ ගමන්බිමන් ලිපි පෙල කියවන අය නම් දන්නවා ඇති.

ඊලඟට චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්න ගියාමත් ගොඩක් දේ වෙනස් වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර වලට හේතු, අඳින පලඳින දේවල් වලට හේතු කිසිවක් දන්නේ නැහැ. අඩුම ගානේ දැන් දෙමාපියන්වත් ඒ දේවල් දන්නේ නැහැ කියන එකයි මගේ නම් මතය. සීයල ආච්චිල තමා දන්නේ. දැන් චාරිත්‍ර දන්නේ ගමේ වැඩිහිටියා නෙවෙයි.මංගලණයේ සියල්ල මෙහෙයවන්නේ ඡායාරූප ශිල්පියා විසින්. එයාට පින්තූර ගන්න ඕන විදිහට අනිත් අය එහා මෙහා වෙලා චාරිත්‍ර කරන්න ඕන. මොනව හරියට මොන දිශාව බලන් කරත් කමක් නෑ පින්තූර ටික හරියට වැදුනද කියලයි අහන්නේ. ඇත්ත තමයි පින්තූර වල දිශාව පේන එකක්යැ. දැන් මංගලණයේ බඳින අය වත් අනිත් වැඩ වත් වැදගත් වෙන්නේ නෑ වැදගත් වෙන්නේ පින්තූර ටික ගන්න එක. අනික දාන makeup එක. මංගල්‍යය අතරේ දුවනවා ‍දිය වෙන ඒවා හදන්න. සමහර වෙලාවට මනමාලි දිහා බලන්න බෑ තැන තැන පුල්ලි මතු වෙලා. අසාධ්‍ය සමේ රෝගියෙක් වගේ. මූණ එක පාටක් අත තව පාටක්. කලු අය සුදු වෙලා නැත්තම් කහ වෙලා. මංගල්‍යයෙන් පස්සේ ගෙදර ගියාට මනමාලි අඳුනගන්න නම් බැහැ. සම්පූර්ණ වෙනස්. ඒයා‍මද මේ කියල තමයි අහන්න වෙන්නේ.

කොහොම වුනත් ලිපියේ අවසානයක් කරන්න බැහැ. චාරිත්‍ර වාරිත්‍ර හා ඒවා ඇයි වෙන්නේ කියන දේ ගැන අනාගතයේ ලිපියක් සකස් කරල වැඩි දුර දේවල් එතැනින් කතා කරන්නම්. දිග ලිපියක් කියවගෙන යන්න අමාරු නිසා මෙතැනින් අදට අවසන්. පින්තූර වලට මුලාවෙලා චාරිත්‍ර වාරිත්‍ර විනාස කරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. මොකද පරම්පරා ගනනවක් තිස්සේ රැකුන චාරිත්‍ර හේතුවක් නැතිව පවතින්නේ නැති නිසා. මම නම් හිතන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරමින් ඒවා ඒ ආකාරයෙන් පින්තූර වලට එකතු වුනානම් ඒක මේ විදිහට වඩා‍ හොඳයි කියලයි.

Friday, February 6, 2015

ධෙර්යවන්ත අපේ මිනිස්සු - 1 කොටස

මේ ලියන්න යන්නේ අපූර්ව පුද්ගලයෙක් ගැන තොරතුරු. ධෛර්යවන්ත අපේ මිනිස්සු පලවෙනා කොටස හැටියට ලියන්නේ මේ වගේ අය තවත් ලංකාවේ ඉන්න නිසයි. ඒ වගේ අය ගැන ලියන ලිපි වල ආරම්භය මේ විදිහට ලියන්නයි හදන්නේ.

මගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරල අවුරුද්දකට විතර පස්සේ දවසක් මම අපූරු සිදුවීමක් දැක්කා. ඒ බස් එකක කෙ‍ාන්දොස්තර වරයෙක්. ඔහු බස් එකෙන් බැහැල ඇවිත් බස් එකේ ඩිකියේ තිබුනු බඩු වගයක් බාල දෙනවා. ඕක මොකක්ද කතාවක් කියන්න දෙයක්ද කියල හිතන්නේ නැතිව කියවගෙන යන්න. මොකද මේ කොන්දොස්තරවරයා ආබාධිතයෙක්. පොඩි රෝසා වර්ගයේ බස් එකක් තමයි ඒ දවස් වල බස් එක. මම මෝටර් සයිකලයෙන් යන ගමන් හා විශ්ව විද්‍යාලයයට යන්න ප්‍රමාද වෙන නිසාවෙන් ඒ සිදුවීම පසුපස්සේ ගිහින් බලන්න බැරිවුනත් මම දන්න අයගෙන් ඒ ගැන විමසන්න අමතක කලේ නෑ.

කතාවේ ආරම්භය මම කිව්වා වගේම මීට අවුරුදු 3කට විතර කලින් සිදුවුන අහම්බෙන් දුටු බස් රථයෙන් බඩු ටික බාල දෙන තැනට යනවා. ඉතින් මේ පුද්ගලයා තමාගේ ආබාධිත කකුල් දෙක ඇතිව රැකියාව කරගෙන යන හැටි පින්තූරයක් ගන්න මම කාලයක් බලන් හිටියා. මුලින් කැමරාවකු නැතිකම, ඊලඟට විභාග නිසා නිවාඩුවක් නැතිකම වගේ දේවල් හරස් වුනා. කාලෙකට පස්සේ අහම්බෙන් අම්පාර බස් නැවතුම්පලේදී මගේ ඇස ගැටුනේ මේ පුද්ගලයා. දුවල ගිහින් කැමරාව ගත්තු මම පින්තූර දෙකක් ගනිද්දී ඔහුගේ බසය පිටත් වුනා. මම ආයෙත් එන්න බස් එකේ ආසන වෙන් කරල තිබුන‍ා වගේම ලඟ බයිසිකලයක්වත් තිබුනේ නෑ.
අපේ රටේ ආබාධිත යැයි කියමින් සිඟාකන පිරිසට ආදර්ශයක් දෙන මේ පුද්ගලයා තමාගේ රැකියාව දෙපා ඇත්තෙකු මෙන්ම අපූරුවට කරගෙන යනවා. කාටවත් වචනයක් කියන්න වෙන්නේ නැතිවෙන්න රැකියාව කරන මොහුට අපගේ ආශිර්වාදය හිමිවිය යුතුයි. හැබැයි දැන් ඉතින් ආබාධිතයන්ට කොන්දොස්තර කම් කරන්න බෑ කියල මේ අහිංසකයාගේ රැකියාව නැති කරනවා එහෙම නෙවෙයි හරිය. කල්මුණේ අම්පාර බස් එකේ වැඩ කරන මේ අපූරු පුද්ගලයා අනුකම්පාවක් බලාපොරොතුතු වෙන්නේ නෑ. මම මේ ලිපිය ලියන්නේත් නෑ බෑ කියමින් කිසි දෙයක් නොකරන අතපය හොඳින් ඇති අපේම අය වෙනුවෙන්...
 

Saturday, January 31, 2015

මනමාලයන් අතින් හෑල්ලුවට ලක්වෙන නිළමේ ඇඳුම

ලංකාව කියන්නේ පෞඩ ඉතිහාසයක් තියෙන රටක්. ඒ විතරක් නෙවෙයි ලංකාවට, ලෝකයා පිලිගත්තා වූ අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒක බොහෝම කාලයක් තිස්සේ නොනැසී පැවතුනත් දැන් දැන් හුදෙක් මුදල් වෙනුවෙන් සංස්කෘතිය විනාශ වෙමින් පවතිනවා. මේ ඒ වගේ කතාවක්.

අද කාලයේ කවුරුත් තමන්ගේ මංගල දිනයේදී නිළමේ ඇඳුමක් අඳින්න කැමැත්තක් දක්වනවා. නමුත් අපි ඒ දේ කරන්න ගිහින් අරුත් දන්නා පිරිස ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනවා. මුලින්ම කියන්න ඕන දෙයක් තමා ආවට ගියාට නිළමේ ඇඳුමක් අඳින්න බැහැ. ඒකට දින ගනනක් පේ වෙන්න ඕන. එතැනදී අපි පන්සල් යන එක, දින ගනන් පිරිත් සජ්ජායනා කරමින් පිරිත් නූලක් බඳින එක, මස් මාංශ වලින් තොරවී සිටීම වැනි වත් පිලිවෙත් කල යුතුයි. මේ දේවල් නොකර නිළමේ ඇඳුමක් අඳිනවා කියන්නේ අපේ පෞඩත්වයටම පහර දීමක් එය කෙලසීමක්.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
තව දෙයක් තමා අඳින ඇඳුමේ වර්ණය. සාමාන්‍යයෙන් නිලය අනුව වර්ණය වෙනස් වෙනවා. වංශනිකයන් උඩුකය ඇඳුම ලෙස අඳින්නේ නිල් හෝ මෙරූන් වර්ණය. සාමාන්‍යයෙන් සුදු පැහැය භාවිත වෙන්නේ විදානේ නැමැති තනතුර හොබවන අයගේ ඇඳුමේය. වර්තමානයේ විවිධ වර්ණ වලින් යුතු නිළමේ ඇඳුම් ඇඳීම විලාසිතාවක් වීම නිසා ‍නිළමේ ඇඳුමේ ගෞරවය පමණක් නොව අර්ථයද විනාශ වෙමින් පවතී. නිළමේ ඇඳුම නිසිආකාරයෙන් ඇඳීමේදී අඩි 48ක පමණ රෙදි අවශ්‍ය වන නමුදු වර්තමානයේ විවිධ ද්‍රව්‍ය යොදා මහත සකස කර කෙටි රෙදි වලින් ක්‍ෂණික ක්‍රමයට අන්දවන නිළමේ ඇඳුම් දැකිය හැක.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
නිළමේ ඇඳුමේ ඇති ‍මෝස්තර, ලියවැල්  ආදියද යොදමින් සකස් කරන මේ ඇඳුම කලකට ඉහත රාජකීය නිල ඇඳුමක් වශයෙන්ද පසුව විවිධ ඉහල පෙල පුද්ගලයන්ගේ රාජකාරී ඇඳුමක් වශයෙන්ද භාවිතා විය. මෙහි යෙදෙන ලියවැල් ආදායද කොඩි නිරූපණද භේරුණ්ඩ පක්‍ෂියා, සිංහ රූප, හංස පූට්ටුව, මොනරා සහ ගුරුලා වැනි සත්ව රූප මෝස්තර ද එම පලඳින පුද්ගලයාගේ තරාතිරම නිරූපණය කරයි.

නිලමේ ඇඳුමෙන් සැරසෙන ඕනෑම පුද්ගලයකු තුළ මහත් ආඩම්බරයක්, ගෞරවයක් ඇතිවෙන අතර ඔහුට මනා පෞරුෂයක් කැපී පෙනෙන ස්වභාවයක් ඇති වීමද ඉබේටම සිදුවේ. නිලමේ ඇඳුම ඇන්දවීමේදී මුලින්ම රැලි සහිත කලිසම අන්දවා පපු පටිය ගැට ගසා පසුව සුදු රෙද්ද, රතු රෙද්ද සහ කවණියෙන් සරසා තුම්පොට්ටිය ඇන්ඳවීමෙන් පසු බඳ පටිය හා විල්ලුද ජැකට් එක අන්දවනු ලැබේ. අවසානයෙ අදාළ ආභරණ, හිස්වැස්ම සහ සපත්තු පැළඳවීම සිදු කරයි. මෙම ඇඳුම සම්පූර්ණයෙන් ඇඳ අවසන් වූ පසු උදර ප‍්‍රදේශය විශාලව හා දෙපතුල දෙසට සිහින් ස්වභාවයක් ගනී. අවසන කිරිච්චිය හා කිණිස්ස ඉණෙහි රඳවනු ලබයි. මේවා ආරක්‍ෂාව උදෙසා තිබූ අතර අද එ්වා සාම්ප්‍රදායික "ආභරණ" බවට පත්කරගෙන තිබේ. දැන් දැන් ඇඳුමට කඩුවක් පවා එක් කරගෙන සිටින අවස්ථා තිබුනද ඒවා ‍නිළමේ ඇඳු‍ම සඳහා පසුව එක් වූ දේවල්ය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
කෙසේ වෙතත් කොටස් 14කින් යුතු මෙම ඇඳුම ලෙහෙසියෙන් ඇඳිය නොහැකි අතර තවත් කෙනෙකුගේ සහය අවැසිය. සිංහල රාජකීයයන්ගේ ඇඳුමක් වූ මෙය වර්ථමානයේ මුල්‍යමය වටිනාකමක් යොදමින් මෝස්තර නිර්මාණ ගීල්පීන් පිටරැටියන්ට පවා අන්දන්නට පටන් ගෙන ඇත. අවශ්‍ය කරන නියම අමුද්‍රව්‍ය‍ වල මිල වැඩි කම හා ඉන්දියාවෙන් ගෙන්විය යුතු අමුද්‍රව්‍ය ඇති නිසාවෙන් ඔවුන් ලේසියෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඇඳුම් නිර්මාණය කරන්නට පෙලඹී ඇත. එමෙන්ම තමන් ලස්සන යැයි සිතෙන සතුන් යොදමින් නිර්මිත ඇඳුම් නිසාවෙන් මෙම රාජකීය ඇඳුමේ වටිනාකම මෙන්ම අපේ පෞර රාජ වංශයද හෑල්ලුවට පත්වෙමින් තිබේ. මෙලෙස අපේ රටේ ගෞරවය ප්‍රසිද්ධියේ විනාශ වෙන්නට නොදී රැක ගැනීම ඔබේත් මගේත් අප හැමගේත් යුතුමකමක් වන්නේය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී