Pages

Monday, April 24, 2017

ඔබ ඈත සඳ වී පායා..

විශාරද බණ්ඩාර අතාවුද නම් විශිෂ්ඨ ගායකයෙකුගේ හඬින් ගැයෙන මනරම් ගීතයක් තමයි අද ලියන්න හිතුවේ. ගීතයේ පද රචනය ජයලත් මනෝරත්නයන් අතින්. ගීත ගොන්නක් නොලීව පුද්ලගයෙක් වුනත් ලියැවුන මේ ගීතයේ අපූර්ව බව කිය යුතුමය. ගීතයේ සංගීතයද ඒ අපූර්වත්වය වැඩි කරනවා. ගීතය පටන් ගන්නේ අපූර්ව සංගීත ඛණ්ඩයකින්. ඒ සංගීතය අපිව ගීතයේ පද අතර අතරමං කරන්න සමත් වෙනවා කියලයි හිතන්නේ. 

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

ගීතය පටන් ගන්නේ මේ විදිහටයි. ඔබ ඈත සඳක් විදිහට පායලා තියෙද්දී මම මෑත තරුවක පිපිලා. කෙතරම් ගීත ඇති ද සඳත් තරුත් ගැන ලි‍යවෙන හැමදාමත් සඳ තරුණියක සිහිපත් කරවනවා. අද ඔබ ඈතන් ඉන්නේ. බොහෝම ප්‍රභාෂ්වර විදිහට දිදුලමින්. නමුත් මම ගොඩක් ලඟින් එන්න කුඩා තාරකාවක්. ප්‍රමාණය විසින් තරුණිය තව තවත් සුන්දර බවත් ඇයගේ විශේෂත්වයත් ඉදිරියට ගේන්න සමත් වෙනවා. නමුත් මේ සියලු දේ වෙන්නේ මුලු ලෝකයක් නිදාගෙන ඉන්නාවූ බොහෝම නිහඬ නිසල රාත්‍රියක. නමුත් ඔබත් මමත් බොහේම ලඟනි ඉන්නේ. කොහොමද මේ ලඟින් ඉඳගෙනත් මේ තරම් දුරස් බවක් දැනෙන්නේ. 

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද අඳුරේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

දැන් එකපාරටම අපිව අතීතයට ගෙනියනවා කියල හැඟීමත් එනවා. අපි බොහොම දුරක තනියම හිටි කාලයක්. ඒ කාලේ අපේ නෙත් විතරයි හමුවෙන්නේ. ඈතින් ඉඳගෙන බලනවා විතරයි. ඒ ඇස් වලින් කතා කරන සුන්දර අතිතයක්. නමුත් ඒ ඈත් බව නිසාම අපි හදවතින් හුඟක් බැඳිල හිටියා. ඒ නිසාම අපි අතර සොඳුරු ප්‍රේමයක් තිබුනා. ඇස් වලින් කතා කරන සමයේ විවිධ දේ නෙතුන් කතා කරනවා. ආදරය මුහුකුරා යන්නේ කාටත් නොදැනීම. ඒකාලේ ගැන සොඳුරු මතකයක් හිතපුරා යවද්දීම දැනෙන්නේ දැන් ඒක නෑ නේද කියන එක. පලමු පදය වත්මනටත් දෙවැනි කොටස අතීතයටත් ගෙනියන්නේ දැන් තිබෙන්නා වූ තත්වය හොඳින්ම පැහැදිලි කිරීමට විය යුතුය.

මධු සඳ තරුවද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

පෙම්වතුන් දෙදෙනා විවාහ වෙලා මංගල රාත්‍රියද ගතකරලයි ඉන්නේ. ඔබත් මමත් අද ගොඩක් ලංවෙලා ඉන්නවා. ඒ කාලේ දුකර ඉඳිද්දී අපි ප්‍රාර්ථනා කලේ මේ විිහට ලංවෙන්න නේද? නමුත් ඒ කාලේකොතරම් සතුටින් සිටියාද නමුත් අද ඒ ප්‍රේමයේ සොඳුරු බව නැති වෙලා ගිහින්. පිපිලා කියන බොහෝම නැවුම් සුන්දර දෙයක් විදිහට පෙන්වා දීලා තියෙන්නේ අපි කාටත් මලක් පිපෙනවා කියන එක සොඳුරු දෙයක් නිසාවෙන් විය යුතුය. ඒ එක්කම අද තියෙන කටුක බව පෙන්වන්න සිඳිලා කියන වචනය භාවිතය කෙතරම් අපූර්වද. සිඳුනු ගඟක ඇති කටුක බව වියලුණු පොළව හා මිය යන ගස්වැල් සියල්ල මතක් කරන ගමන් කෙතරම් අසරණ බවක් තියෙනවාද යන්න පෙන්වනවා කියලයි මට නම් හිතෙන්නේ. 

කොහොම වුනත් බණ්ඩාර අතවුදයන්ගේ ස්වරයේ තියෙන කනගාටු දායක ස්වරය හා අන්තරා කොටස් අතර ඇති සංගීත කණ්ඩයන් බොහෝම සියුම් විදිහට අපේ සිතිවිලි වලට තට්ටු කරනවා. දරක ඇති සියල්ල අපට ලංවුනාම බොහෝම කැතයි කියන දේ අපූර්ව විදිහට පෙන්වා දෙන ගීතයක් හැටියටත් මේ ගීතය දකින්න පුළුවන්. කොහෝම වුනත් අහල බලන්න බොහෝම නිසල වෙලාවක මේක අල බැලුවා නම් ඒ අපූර්වත්වය හොඳින් විඳින්න ලැබේවි. 



ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද අඳුරේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

මධු සඳ තරුවද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

ගායනය: විශාරද බන්ඩාර අතාවුද
සංගීතය : එච්. එම්. ජයවර්ධන
පද රචනය : ජයලත් මනෝරත්න


Tuesday, April 11, 2017

Star Trail Photography (තරු මංපෙත් ඡායාරූපකරණය)

තරු මංපෙත් ඡායාරූපකරණය කියන්නේ මොකුත් මැජික් එකක් නම් නෙවෙයි. මේක බොහොම සරල ක්‍රමයක් භාවිතා කිරීමක් විතරයි. වේගයෙන් ගමන් කරන වාහනයක ඇති ආලෝකය ඡායාරූපය පුරා රේඛා ලෙස විහිදෙන ලෙස ආලෝක මංපෙත් ඡායාරූපකරණය ඔබ දැක ඇති, කර ඇති. මෙතැනත් භාවිතා වෙන්නේ ඒ ක්‍රමවේදයම තමයි. නමුත් අපි තරු වලට ගොඩක් දුරින් ඉන්න නිසා තරු වල ගමන (ඇත්තටම ගමන වෙන්නේ අපි, පෘඨිවිය වුනත් දැනෙන්නේ තරු ගමන් කරනවා මෙනි) බොහෝම හෙමින් කියලයි අපට දැනෙන්නේ. මෙන්න මේ ගමන් මාර්ගය රේඛාවන් විදිහට ඡායාරූප ගත කිරීම තරු මංපෙත් ඡායාරූපකරණය විදිහට හැඳින්වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
මුලින්ම ඡායාරූප ලබා ගන්න කලින් අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එයින් මුල්ම එක තමයි අපිට සැකසුම් සැකසිය ආකාරයේ කැමරාවක් තියෙන්න ඕන. දෙවැන්න තමයි ‍හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් ඕන. ත්‍රිපාදය වෙනුවට මේසයක තියල වුනත් අපිට ඡායාරූපය ගන්න පුළුවන්. නමුත් මතකයේ තියෙන්න ඕන ඡායාරූපය ලබා ගන්නා සම්පූර්ණ කාල සීමාව තුලදීම කැමරාව නොසෙල්වී තබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඊලඟට අපිට ඕන කරන දේ තමයි හොඳ ද්‍රරස්ථව කැමරාව පාලනය කල හැකි ක්‍රමවේදයක්. මොකද අපි සැරින් සැරේ කැමරාව අල්ලන්න ගියාම අපේ කැමරාව අපි නොදැනුවත්වම සෙලවෙනවා. ඒක වලකා ගැනීමත් බොහොම වැදගත්. හොඳින් ආරෝපිත බැටරි කීපයක් (වැඩේ අතරතුර කැමරාව ඔෆ් වුනොත් වැඩේ ආයෙම මුල ඉඳන් කරන්න වෙන නිසා). මේ ටිකට අමතරව පුළුල් කෝණ (Wide Angle) කාචයක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. crop sensor එකක් නම් 8mm-20mm අතර කාචයකුත් 35mm Sensor එකක් නම් 14-24mm අතර කාචයකුත් භාවිතා කරනවා නම් වඩා සාර්ථක ආකර්ශණීය ඡායාරූපයක් ලබා ගන්න පුළුවන් වෙයි. 
කෙටි කාලයක් තුල ලබාගත් තරුමංපෙතක්
ඡායාරූපය අන්තර්ජාලයෙනි.
බඩු ටික නම් ලෑස්ති කරගත්තා වුනත් තව දේවල් කීපයක් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ ටික නැතිනම් සාර්ථක ඡායාරූපයක් ගන්න එක සෑහෙන්න අමාරු වෙනවා. එකක් තමයි ස‍ඳේ කලාවන් පිළිබඳ ඇති අවබෝධය. පුරසඳ දිනයට සතියක් පෙර හෝ පසු සතියක් පසු දිනයක් භාවිතා වෙනවා නම් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඊට අමතරව හැම වෙලාවේම සඳට විරුද්ධ පැත්තෙන් තරු ඡායාරූපයට ගන්නවා නම් තරු හොඳින් ආලෝකමත් වුන ඡායාරූපයක් ලැබෙනවා සහ අමතර වස්තූන් අපූරුවට ආලෝකමත් වෙනවා. ඊලඟට තමන් තෝරාගන්න ප්‍රදේශයේ අවට අඳුරු තත්ත්වය බලපානවා. අඳුර වැඩි නම් ආලෝක දූෂනයෙන් තොරයි නම් ඡායාරූපය සාර්ථකයි. විදුලි බුබුලු ආදියෙන් වන දූශනය නිසා අපේ අවසන් ඡායාරූපයට ගොඩක් හානි වෙන්න පුළුවන්. මේ ටික සියල්ල බලලා අවසානයේ හොඳින් බලන්න ඒ ප්‍රදේශයේ කාලගුණය පිළිබඳවත්. මොකද වැඩ ටික ලෑස්ති කරගත්තාම වැස්සොත් හරි වලාකුලු වලින් අහස වැහිලා ගියොත් හරි වැඩේ අවුල් වෙනවා. ගොඩක්ම පොඩි ප්‍රමාණයකින් වලාකුලු තිබීමත් ඡායාරූපයට අමුතු ලස්සනක් එකතු කරාවි. නමුත් එය වැඩි වීමෙන් තරුමංපෙත් නොපෙනී යන්න පුළුවන්.මේකට අමතරව පෘථිවිය කැරකැවෙන දිශාව පිළිබඳ අවබෝධයෙන් සිටීමෙන් හොඳ composition එකක් අපේ ඡායාරූපයට ලබා ගන්න පුළුවන්. මොකද අපිට ඒකෙන් තරු වල ගමන ගැන හිතාගන්න පුළුවන්. ඉතින් ඡායාරූපය ගන්න කලින් අපිට මවා ගන්න පුළුවන් තරු මංපෙත කොයි වගේද කියල.

දැන් ටිකක් අමාරු කොටස තියෙනවා. ඒ තමයි නාභිගත කරන්නේ කොහොමද කියන එක. බය වෙන්න එපා Auto focus නම් වැඩ කරන්නේ නෑ. ඒ නිසා ඒක off කරල දාන්න මුලින්ම. දැන් තියෙන නවීන ලෙන්ස් වල නම් අනන්තය නාභිගත කිරීම සලකුණුකරල තියෙනවා. එහෙමත් නැතිනම් දවල් කාලයක අනන්තය නාභිගත කරල තියා ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ක්‍ෂිතිජයේ අැති ආලෝකය ඇති වස්තුවක් නාභිගත කරන්න පුළුවන්.
අනාවරණ කාලයන් අතර අන්තරය වැඩි වූ අවස්ථාවක තරු මංපෙතක්
ඡායාරූපය අන්තර්ජාලයෙන්
කැමරාවේ සැකසුම් කරන්නේ කොහොමද කියන එක ලියනකම් දැන් හැමෝම ඇස් ඇරගෙන බලාගෙන ඇති. ක්‍ෂීරපථය ඡායාරූපගත කිරීම පිලිබඳ මම ලියපු ලිපිය බලන්න ඒ සැකසුම් වලින් අපි කලේ තරු නිසල කරමින් ලබා ගත හැකි අවම ද්වාර වේලය මැන ගැනීමයි. නමුත් අපි මෙතන කරන්නේ තරුවල ගමන ඡායාරූපගත කිරීම නිසා ඒ ක්‍රමයෙන් ඔබ්බට යා යුතු වෙනවා. මුලින්ම Metering Mode එක Nikon නම් Matrix වලටත් Canon නම් Evaluative වලටත් දා ගන්නවා නම් හොඳයි. පුළුවන් තරම් RAW file type එකෙන් ඡායාරූප ගන්න. කැමරාව සම්පූර්ණ වශයෙන් Manual Mode එකේ තියා ගන්න. White balance එක 4000K -5500K අතර තියා ගන්න. Aperture එක 2.8-5.6 අතර අයක පවත්වා ගන්න බලන්න. ISO අගය උපරිමය 400කට විතරක් යන්න බලන්න නැතිනම් තරු වෙනුවට Noise එකක් ඡායාරූපයේ තියේවි. නමුත් අපිට අවශ්‍ය ආලෝකය අනුව ISO එක සකසගන්න පුළුවන්. දැන් තියෙන කැමරාවල තියෙන Long Exposure Noise Reduction කියන එක Off කරල High ISO Noise reduction කියන එක Normal තත්වයේ තියා ගන්න. කැමරා කාචයේ නාභිය දුර කුමක් වුනත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. නාභිය දුර වැඩියි නම් අපිට කෙටි කාලයකින් වැඩේ ඉවර කරන්න පුළුවන්. නමුත් අපිට අවට ඇති දර්ශනය සමඟ තරු මංපෙත ඡායාරූපගත කිරීම මගින් ඡායාරූපයේ උසස් බව වැඩි කරගන්න පුළුවන්.අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි අපි තෝරගන්න ද්වාර වේගය මොකක්ද කියන එක. ඇත්තටම මේකෙදි ක්‍රම කීපයක් තියෙනවා. ‍තත්පර 30-60ත් අතර අගයයන් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. 
දිගු දුර කාචයක් භාවිතයෙන් ලැබුණු තරු මංපෙතක්
ඡායාරූපය අන්තර්ජාලයෙන්
දැන් බලමු පින්තූරය ගන්නේ කොහොමද කියල. අපි තත්පර 60ක නිරාවරණ කාලයක් දුන්නාට අපේ ඡායාරූපය ලැබෙන්නේ නෑ. එතැනදී ලැබෙන්නේ කුඩා දුරක් ගමන් කල තරු මංපෙතක් පමණයි. ඒ නිසා අපිට එක ලඟ ලබා ගත්තු පින්තූර රාශියක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් මම නිර්දේශ කරන්නේ එකම රාමුවක තත්පර 60ක නිරාවරණ කාලයෙන් යුතු පින්තූර 60ක්වත් බලා ගන්න කියලයි. ඒ හැම පින්තූර දෙකක් අතරම උපරිම වශයෙන් තත්පර 5ක විරාම කාලයක් තිබුනාට කමක් නැහැ. නමුත් එයත් අවම වනවා නම් හොඳයි. අඩුම වශයෙන් වැඩේට පැයක් විතර වැය කරන්න වෙනවා. දිගු වේලාවක් නිරාවරණය කරල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නමුත් ඒ ක්‍රමයේදී ඡායාරූපයේ ගුණාත්මක බව හානි වෙන නිසා ඒ ක්‍රමය ගැන ලියන්නේ නෑ. ඒ පැය තුල ලබා ගත්තු පින්තූර සියල්ල එකතු කරල අපිට Stacking method එකකින් අපේ අවසන් ඡායාරූපය සකසා ගන්න පුළුවන්. අවසන් සැකසුම් කිරීම් ගැන ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
නිවරදි අනාවරණය හා පුළුල් කාලයක් භාවිතයෙන් ලබාගත් තරු මංපෙතක්
ඡායාරූපය අන්තර්ජාලයෙනි
එහෙනම් ආයෙ ලිපියකින් එනකම් ආයුබෝවන්.....

Monday, April 10, 2017

ගතික පරාසය (Dynamic Range)

කාර්යබහුලත්වය නිසා හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරිවුන නිසා අද හිතුවා ගතික පරාසය (Dynamic Range) ගැන ලිපියක් ලියන්න. ඡායාරූප කරණය කරන අයට මේක කිව්ව ගමන් මතක් කරගන්නේ අධි ගතික පරාස (High Dynamic Range) ඡායාරූප කියන එක. නමුත් මේ කාරණා දෙකක්. අපි බලමු ගතික පරාසය කියන්නේ මොකක්ද කියලා.

ගතික පරාසය කියන්නේ යම්කිසි දර්ශනයක ඇති උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයට. එහෙමත් නැතිනම් උපරිම හා අවම වර්ණ ඝනත්වය හා දීප්තිය ඇති ස්ථාන අතර පරාසයයි. උදාහරණයක් විදිහල කලු සිට සුදු දක්වා ඇති පහල තියෙන වර්ණ අනුක්‍රමණය සලකමු.
කලු සිට සුදු දක්වා ගතික පරාසය
මේ තැන තියෙන කලු හා සුදු අතර කෙතරම් වර්ණ තියෙනවාද? මේ සියල්ල ගතික පරාසය තුල තියෙන වර්ණ. දකුණු පැත්තේ තියෙන සුදු වර්ණයක් වම් පැත්තේ තියෙන කලු වර්ණයත් කියන්නේ සීමාවන් දෙක. අන්සියලු වර්ණ තියෙන්නේ ඒ අතර පරාසයේ. දැන් අපි බලමු මේ ගතික පරාසය අඩු කරල තියෙන අවස්ථාවක්.
අලු සිට අලු දක්වා ගතික පරාසය
හොඳින් බැලුවොත් පෙනේවි මෙය අපි කලින් දුටු වර්ණ අනුක්‍රමයේ දෙපැත්තේ ඇති කොටස් ඉවත් කිරීමෙන් ලැබුණු එකක් බව. මෙතැනදී කලු පැහැයට ආසන්න අලු පැහැයක සිට සුදු පැහැයට ආසන්න අලු පැහැයක ඇති වර්ණය දක්වා පරාසයේ වර්ණ විතරයි ඇතුලත් වෙන්නේ. මෙතැනදී ගතික පරාසයෙන් අඩු දර්ශනයක් තමයි ලැබිල තියෙන්නේ. 

නිකන් පිස්සු වගෙයි නේද? යම් දර්ශණයක උපරිම දීප්ති‍යේ ඉඳන් උපරිම අඳුර දක්වා පරාසය ගතික පාරාසය කිව්වාම මතක තියෙන්න ඕන දර්ශනයෙන් දර්ශණයට ඒක වෙනස් වෙනවා. ඉර මුදුන් වෙලා තියෙද්දී ගෙයක ඉස්තෝප්පුවක තියෙන මල් ගහක් සහ ගෙට ඉහලින් තියෙන වලාකුලක් හිතන්න. වලාකුලු උපරිම දීප්තියෙන් දිලෙනවා. නමුත් මල් ගහට ඒ ආලෝකය වැටෙන්නේ අඩුවෙන්. එතැනදී විශාල ගතික පරාසයක් අපේ පින්තූරයට ලැබෙනනවා.

දැන් ඊලඟ ප්‍රශ්ණේ තමයි අපිට අපේ කැමරාවෙන් දර්ශනයේ ගතික පරාසය ඡායාරූපයට ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් අපේ කැමරාවේ ගතික පරාසය අඩුයි. නවීන කැමරා මාදිලි වල සෑහෙන්න ලොකු අගයයන් වල තියෙනවා. එතැනින් එහාට යන්න කලින් මම කියන්නම් කොහොමද දර්ශනයක ගතික පරාසය අපි මැන ගන්නේ කියල. සාමාන්‍යයෙන් ඡායාරූපකරණයේ ගතික පරාසය මනින්නේ උපරිම අග‍යේ සහ අවම අගයේ වෙනස මගින්. ඒ වෙනස නැවතුම් (Stops) කීයක්ද යන්නෙන් අපිට ගතික පරාසයට අගයයක් දෙන්න පුළුළුන්. ඔයාලට ඒක තේරුම් ගන්න පොඩි උදාහරණයක් දෙන්නම්. ඒක කරල බලන්න.

හොඳ ගතික පරාසයකින් යුතු දර්ශනයක් තෝරා ගන්න. උපරිම දීප්තිය ඇති තැනට කැමරාව මෑනීම මගින් ඇපෙචර අගය අඩු අගයකත් ISO අගය අඩු අගයයකත් පවත්වාගන්න. Shutter එක මගින් එතැන තියෙන අනාවරණය සඳහා අගය ලබා ගන්න. දෙවනුව අඩුම දීප්තිය ඇති තැන සඳහා ද අනෙක් සැකසුම් වෙනස් නොකර Shutter එක මගින් අගයයක් ලබා ගන්න. අපි Digital ක්‍රමවේදයේ භාවිතා කරන්නේ දෙකේ පාදයේ අගයයන් නිසා කුඩා ද්වාර අගය දෙගුණ කරමින් වැඩි ද්වාර අගය දක්වා කොපමණ වාරයක් දෙගුණ කල යුතු දැයි බලන්න. ඒ වාර ගනන ගතික පරාසයේ නැවතුම් ගනන ලෙස සැලකිය හැක. උදාහරණ විදිහට අඩුම අගය 100කුත් වැඩිම අගය 2500කුත් ලැබුනා නම් අපිට ගණනය වන්නේ 100, 200, 400, 800, 1600, 3200 ලෙසයි නමුත් 2500 ඇත්තේ 1600 හා 3200 අතර නිසා අපි අපේ ගතික පරාසය විදිහට නැවතුම් 4.5ක් ඇතැයි සැලකිය හැකිය.

දැන් අපේ කැමරාවට මේ ගතික පරාසය හසුකරගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මිල අඩු සාමාන්‍ය DSLR එකක් වුනත් නැවතුම් 5කට වැඩි ගතික පරාසයක් හසුකරනීමේ හැකියාව තියෙනවා. දැන් දැන් එන නවීන කැමරා වල නම් නැවතුම් 15කට ආසන්න අගයයක් දක්වා හසුකරන්න පුළුවන්. අපි කල යුත්තේ අපේ දර්ශණයේ ගතික පරාසය කැමරාවට හසුකරගත හැකි පරාසය තුලට ගෙන ඒම පමණයි. එය සැකසුම් මගින් කරන්න පුළුවන්.

දැනට ඇති ඉදිරියේ මේක එක්ක වැඩ කරන හැටි ලියන්නම්. එතෙක් ආයුබෝවන්....
ගැටලු තියෙනවා නම් කමෙන්ටු හැටියට ලියන්න. ජය.....!
Single Shot Capture whole Dynamic Range

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්

ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතවේදියා අතින් ලියැවුන වික්ටර් රත්නායකයන්ගේ හඬින් ගැයෙන “අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්” යන ගීතය කාලෙකින් ඇසෙන මියුරු ගීයක්.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .

අසම්මත ප්‍රේමයක ලකුණු කියනවා වගේම මෙතැනදී අසන්නාගේ හිතේ ලොවට හොරෙන් සිදුවන අසම්මත ප්‍රේමයට වගේම කිසියම් හේතුවත් නිසා නැතිවුන ප්‍රේමයක සලකුණු මැවෙනවා. අපේ හැඟීම් වලට ටිකක් ඉඩ දීලා පොඩි වෙලාවක් ගත කරමු කියල ආරාධනා කරනවා. නමුත් කාටද කියන එක පැහැදිලි නෑ. හැරගිය පෙම්වතියද නැතිනම් වෙන කාගෙ හරි බිරිඳක්ද???

හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

මෙතැනදී හඳ පායල තියෙනවා වුනත් මඳ අඳර ඇති තැනකින් තමයි යන්න ආරාධනා කරන්නේ. එයට හේතුව ලොවට හොරෙන් කෙනරන හමුවක් නිසා විය හැකියි. ආයෙම අත්පටගන් යමු කියලයි කියන්නේ. ඒ නිසා පලමු පද දෙපෙලේ තිබුන ගැටලුව විසඳනවා. මේ මොවුන් හමුවන පළමු වතාව නොවෙයි. ඒ කියන්නේ මේ වෙනුවුන පෙම්වතිය වෙනුවෙන් කෙරෙන ආරාධනයක් විය යුතුයි. නමුත් ඔවුනට හමු වෙන්න සිදු වෙලා තියෙන්නේ ලොවට හෙරෙන්...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා

ඔබේ සෙවනැල්ලට ඔරෙන් ඔබ එන්න මම මගේ සෙවනැල්ලට හොරෙන් එන්නම්. ඇයි මෙහෙම කියන්නේ. ඒ ඔවුන් වෙනුවෙන් වෙන අය ඉන්නවා. නමුත් අපි හමුවිය යුත්තේ ඒ සියල්ලන්ටම හොරෙන්... අපේ සෙවනැලි වලටත් හොරෙන් හමුවිය යුතුයි.... එයට හේතුව අපේ සමාජයේ කැලලක් ඇති කරනොගෙන මේ හමුව විය යුතු නිසාවෙනුයි. ඇවිත් හොරන් රහසින් මුමුණන්න ඕන කියල කියනවා. රහසින් මුමුණන්න දුර ඉඳන් බැහැ. එයට ලංවෙන්න ඕන. කාටත් නොඇසෙන්න දෙයක් කියන්න ඕන කියන එකත් මෙතැන කියවෙනවා. මේ කෙරෙන හමුව ඇයි කෙරෙන්නේ කියන දේ පැහැදිලි නෑ. මොකක්ද අරමුණ කියන දේ හිතන්න අමාරුයි.

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...

මුමුණලා කියන දේ මෙතැන කියවෙනවා. අපි සිනාවෙන් හැඬුම් හංගමු. දුක හංගගෙන හිනාවෙමු. නමුත් කාගෙන්ද දුක හංගන්නේ. අපි හිනැහෙන්නේ පැතුම් සපුරන්න. එහෙනම් මොවුන් විසින්ම වෙන් වුනා නෙවෙයි පුවුලේ අයගේ නෑදැ හිත මිතුරන්නේ සතුට වෙනුවෙනුයි මොවුන් වෙන්වෙන්නේ. නමුත් තාමත් හිත් වලින් ඔවු එක ලඟ. අපි ඔවුන්ගේ පැතුම් ඉටු කරන්න හිනාවෙනවා. නමුත් හිත් වලින් ගොඩක් දුක් වෙනවා. ලබන ආත්මෙදි අපි හමුවෙමු කියල ප්‍රාර්ථනාව එක්ක වෙන්වෙමු කියනවා. ඒ කියද්දී පාන්දර එලිය වැටෙනවා. ඒ කියන්නේ මේ වෙනුවෙන් ලොකු කාලයක් එකට ගත කරල තියෙනවා. හිමිදිරිය වෙද්දි වෙන්වෙලා යන්නේ ආයේ මේ විදිහට හමුවෙන්න නෙවෙයි. මේ ජීවිතේ දුක පැත්තක තියල ජීවත් වෙන්න හිතාගෙන.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .


- ප්‍රේමකීර්ති ද අල්විස්
- වික්ටර් රත්නායක

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියවුන මේ ගීතයද නිමල් ආනන්ද මහතාට සැබැවින් වුන සිද්ධියක් බැව් කියවේ. කෙසේ හෝ වේවා මෙහි කකාව නිමැවෙන්නේ දුප්පත් මල්ලියෙක් හා පෝසත් අයියෙක් අතර සිදුවීමකින් බැට කෑ මල්ලිගේ සිතිවිලි දාමයක් විදිහටයි.

කුඹුරු ගොවිතැන් කල පියා ලමුන්ට උගන්වන්නට තැත් කලද මල්ලි කට්ටි පනිමින් අධ්‍යාපනය කඩාකප්පල් කරගනී. අයියා හොඳින් ඉගෙන ගෙන සරසවියට ඇතුලුව එහිදී හමුවන නගරයේ ගැහැණු ලමයෙකු හා විවාහ වෙයි. පියා විසින් දෙදෙනාට තම වත්කම් බෙදා දුන් පු අයියා ගමේ ඉඩකඩම් විකුණා නගරයේ පදිංචියට යයි.

දිනක් අයියා නිවසට පැමිණෙන්නේ වී වගාකල අක්කර බාගයක ඉඩම වෙනුවෙනුයි. තමාට වඩා මල්ලීට වැඩියෙන් ඉඩම් දුන්නාය කියමින් පැමිණෙන අයියාගේ සන්ඩුව අවසන් වෙන්නේ අම්මාගේ අත ගසා දමා නිවසින් පිටවී යාමෙනි. මෙතැනදී මල්ලිගේ සිතිවිලි මෙසේ ගීතවත් වේ.

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ

අයියේ නුඹ ඇවිත් ගිය දවසේ අපේ නිවස විනාශ වෙලා සතුටක් නැහැ. නිවසක සියලු පරාල එක තැනකට අරන් එතැන කූඤ්ඤයකින් සිර කරල වහලය සකස් කරන ක්‍රමයක් තියෙනවා. එ මැදට කියන්නේ කැණි මඬල කියලයි. එතැන විනාශ වුනොත් මුලු වහලයම කඩා වැටෙනවා. මල්ලි අහන්නේ අයියගෙන් ඒක. ඇයි අපේ හොඳ සාමකාමීව තිබුන ගෙයි සතුට විනාශ කලේ? අයිය ඉගනගෙන නගරෙට ගිහින් හොඳට රපජක් වගේ සැප ලැබෙනවා නේද? ඒ වෙලත් එක පිඟාගනක එකට වාඩිවෙලා බත් කාපු මල්ලි අද අමතක වුනාද? 

අම්මා එක්ක දබරව පැණ ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

අම්මා එක්කත් රන්ඩු වුනා එහෙම කරල අම්මගේ අතත් ගසල දාල පිටත් වුනා. ඒ වෙලාවේ ඉඳන් හරිහැටි කෑමක් නෑ. කන්න හිතෙන්නේ වත් නැති තරම් ලිපේ මොනවත් උයන්න හිතෙන්නේ නැති තරම් අම්මත් දුකින්. මාත් දුකින්. ඒ සියල්ල මතකයට එද්දී මගේ ඇස් වලින් කඳුලු ගලන්නේ මටත් නොදැනී. ඇයි අයියේ පොඩි කුඹුරකට රන්ඩු වෙන්නේ. අක්කර ගානක් ලැබිලත් විනාශ කරගත්තු ඔයා ඇයි දැන් මේ අක්කර බාගයකින් ලැබෙන වී පෑලක් වෙනුවෙන රන්ඩු වෙන්නේ?

ඉරට සැපක්දෝ නියඟය දලු ලෑම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ගතු කීම

ඉර සරට පායද්දි පොලවේ ජීවය ‍විනාශ වෙන තරම් වෙනවා. ඒකෙන් ඉර සතුටු වෙනවද? සඳ පායන්නේ නැතිනම් රාත්‍රිය අන්ධකාරයේ ගිලෙනවා. ඉතින් සඳ නොපායා ඉන්නේ ඒක සඳට සැපතක් නිසාද? ඒ වාගේ අපිව තනිකරල ගිය එක ඔයාට සැපතක්ද අයියේ? ඔයා ගිය එක ගැන අපි කණගාටු වුනා. ඔයා නැති අඩුව අපට දැනෙනවා ගොඩක්. එහෙම වෙලත් ඇයි මේ මහපොලවට නඩු කින්න තරම් රන්ඩුවක් වෙන්නේ. ඇයි පංගු බෙදාගන්න බැරිව රන්ඩු වෙන්නේ කියල මල්ලි අහනවා.

අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
අම්මා එක්ක දබරව පැණ ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියඟය දලු ලෑම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ලතු කීම
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
 
පද රචනය : නිමල් ආනන්ද
ගායනය : විශාරද ගුණාස කපුගේ

බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම

අජන්තා රණසිංහ ලියූ අපූරු ගීතයක් මේ විදිහෙන් ගායනා වෙන්නේ අමරදේවයන්ගේ සුමධුර කටහඬින්. සරත් දසනායක සංගීතවත් කල ගීතය හරිම අපූරු වින්දනයකින් අහන්න පුළුවන්. ගැමි සුන්දරත්වයත් කොලු කුරුට්ටන්ගේ බාල කාලයත්, බිඳුණු ප්‍රේමයත්, එය මෙත් සිතින් විඳ දරා ගන්නා අයුරුත් මැනෙවින් ප්‍රකාශ වෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් මතක් කරවමිනි.

බොල් වී අහුරු...
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්..
නුඹ මටවත් නොකියාම

බොල් වී කියන්නේ කිරි නොවැදුනු වී වලට. කරල පැහෙද්දී බොල් වී හිස්ව තියෙනවා. ඒ නිසා බරෙන් අඩුයි. සුලං හමද්දී බොල් වී බොහෝම ඉක්මනින් ගහගෙන යනවා. තරුණයාගේ ආදරය කල තරුණිය ඔහුටත් නොකියා විවාහ වෙලා. ඔහු ඇය හා ලබැඳියාවක් තියෙනවා. සිතින් ඔහු ඇයව ගොඩක් ආදරයෙන් තියන් ඉඳල තියෙන්නේ. ඒ නිසා ඇය ‍ඔහුට නොකියා ගිය එක ගැන කණගාටුවක් තියෙනවා. 

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ

කජු පුහුලන් පැහෙනවා ඉදෙනවා මිස පියපන්නේ නැත. නමුත් ඇය හා තිබූ මිතුරුකම ගැන ඔහු පවසන්නේ එලෙසිනි. කජු පුහුලම් පිපෙන කාලයේ වුවත් පිපෙන මලක් වැනි සුවඳක් තිබුන මිතුරුකමක් ඔවුනට තිබුන බව පේනවා. ඒ කාලේ ගමේ අය එක්ක අපි එකතු වෙතා සෙල්ලම් කලා මතකද අහන්නේ මිතුරු කමේ අතීතය පෙන්වන්න. කුඩා කල සිට ඇයව දන්නා බව පෙන්වන්න. නමුත් දැන් ඇය තරුණියක්. වැඩිවිය පත්වුනාට පස්සේ ඔබව දකින්න ලැබුනේ නෑ. මෙතැනදී සිංහල සංස්කෘතිය එලියට එනවා. වැඩිවිය පත් වුන තරුණියක් තරුණයන් සමඟ සෙල්ලම් කරන්න යන්නේ නෑ. වෙනදා වගේ ඇය හමුවෙන්න බෑ. ඒ විතරක් නෙවි. වැඩිවිය පත් වූ තරුනියක් සමඟ වෙනදා ඇඟෑලුමින් කතා කරන්න තරුණයන්ට බෑ. පොඩි චකිතයක් තියෙනවා. ඒ අපේ සංස්කෘතියේ තිබුන සභ්‍යත්වය. ඒ නිසාම මට මගේ ආදරය කියාගන්න බැරිවුනා. මුලින්ම කියන හිතේ තිබුන ආලයක් කියන දේ මෙතැනදී පිළිබිඹු වෙනවා. ඒක පාර්ශවික ආලයක් වෙන්න පුළුවන්. නමුත් ඇය හොඳ මිතුරියක්ව ඉඳල තියෙනවා.

නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

යමක් කරද්දී ආරම්භය, කරන අතරතුර හා අවසානයේදී සිතේ එක එක සිතිවිලි මැවෙනවා. දුක සතුට වගේ දේවල්. මේ අවස්ථා තුට අපි කියනවා තුන්සිත කියල. මම එදා ඉඳන් මේ වෙනකම්ම ඔබ එක්ක අමනාපයක් නෑ. ඔබ මාව දාල ගියත් මම වෛර කරන්නේ නෑ. මගේ ආදරය එහෙමයි. මේ අපි ලබා උපන්න හැටි. අපිට සසරේ පතාපු විදිහ මේ තමයි. ඔබ මට ලැබෙන්න තරම් මම පින් කරල නෑ. ඔබ වෙනෙකෙකු එක්ක ගිහින් මාව අමතක වෙලා ඇති. එහෙම වුනත් ඔබට අඩුවක් පාඩුවක් වෙන්න එපා කියල ප්‍රාර්ථනාවක් කරනවා. සංස්කෘතිය එක්ක බෞද්ධ දර්ශනය එලියට එනවා. ඇය ඔහුට නැතත් මෛත්‍රී වඩනවා. ඇය සිටින තැනක සතුටින් ඉන්න කියලා. 

අද අපිට දකින්න අහන්න ලැබෙන ආදරය නිසා සියදිවි නසාගන්නවා වෙනුවට මේ ගීතයෙන් ලබා දෙන පණිවිඩය කෙබඳුදැයි සිතීම ඔබට බාරයි. සංස්කෘතිය, බෞද්ධ ආකල්ප සමඟ දුක වේදනාව ඉවසා ගන්න ලැබෙන ශක්තිය පිලිබඳ තවත් මොන උදාහරණද?
 
බොල් වී අහුරු...
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්..
නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ
බොල් වී අහුරු..
නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
බොල් වී අහුරු..


ගායනය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

සිංහයන් තිදෙනෙකුගේ අපූර්ව සම් මිශ්‍රණයක ප්‍රථිපලයක් විදිහට දිග හැරෙන මේ අපූරු ගීතය ගැන පොඩියක් ලියන්න හිතුනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තම රාජකාරි කරන අවධියේ සිදුවුන සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් රත්න ශ්‍රී අතින් ලියවෙන මේ අපූරු ගීතය සිංහල ගීත කලාවේ මනරම් බව මැනෙවින් පෙන්වනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

සිංහල කවියේ හැමදාමත් කතාවුනේ ස‍ඳේ ඉන්න සාවෙක් ගැන. නමුත් එහි ඉන්න සාවියක් ගැන කතා කරන පමු කෙනා රන්න ශ්‍රී විජේසිංහයන් විය යුතුයි. ඉතා පියකරු ලෙසින් පියෙකුගේ ආදරය උණුහුම ලබමින් වැඩෙන පියකරු දියණියකි. දුප්පත් කුඩා ගෙය එලිය කල සඳ සාවිය වුනේ ඇය. නමුත් ඇය නොකියා ගිහින්. ඇය ගිය දිශාවක් ගැනවත් පියාට තොරතුරක් නැහැ තවමත්. ඇය ගිය වෙලාවේ ඉඳන්ම ගේ පාලුවට ගිහින්. ඇයි නුඹ ගියේ කියල පියා අහනවා. මගේ ආදරය අඩු වුනාද? නැතිනම් මම නුඹට අඩුවක් කලාද? ඇයි ගියේ කියල කියන්න මට. මේ තමා පියාගේ දුක් අ‍ඳෝනාව. දුවෙකු ගෙදරින් පැනල ගියාම පියෙකුට දැනුන හැඟීම වචන වලට හැරුණු හැටි.

ලාභ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

දිලිසෙන රත්තරන් සියල්ල එක සමාන වටිනකමක් නෑ. අඩු වටිනාකම තියෙන ඒත් ඒ විදිහෙන්ම දිලිසෙන රත්තරන් ඕන තරම් නගර වීදි වල තියෙනවා. උඹ ඒ ලෝකේ නොදැක්කාට උඹේ තාත්ත ඒක දැකල තියෙනවා. ඉස්සරත් නගරෙන් ආව තරුණයන් එක්ක ගමේ ගෑණු ලමයි ගියා. හැබැයි උන් කවුරුවත් හොඳ සතුටු ජීවිත ගත කරන්නේ නෑ. උන් ගොඩක් අනාථ වුනා. අන්න ඒ නිසා තමයි මට බය, මගේ දුවටත් එහෙම වෙයිද කියල. මෙතැනදී පියාට සැකයක් විචිකිච්චාවක් දැනෙනවා. මගේ දුව කවුරු හරි කොල්ලෙක් එක්ක පැනල ගියාද කියලත්. මොකද කලින් ඒ වාගේ දේවල් ගමේ වෙලා තියෙනවා. උන් වගේ මගේ දුවත් අතරමං වෙයිද කියල පියාට දුකයි, බයයි.

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ‍ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

දැන් පියාට මතක් වෙනවා. පහුගිය කාලේ සිදුවුන දේවල්. ගේ අවට සිටි අයව. සුදු යකඩ මාල දාගෙන වත්තේ තිබුන රෝස මල් අතර කොල්ලෝ ටිකක් හිටියා. ඒ තරම් අපූරුවට මගේ දුව මගේ වත්ත ලස්සන කලා. මල් වැව්වා. අපූරු උයනක ජීවත් වුනේ. මගේ ලෝකෙ ලස්සන කලේ මගේ දුව. උන් ඇවිත් මෙතැන එක එක දේවල් කිව්වා, කලා. නමුුත් මම මගේ දුවව විශ්වාස කලා. මම හීනෙන්වත් හිතුවේ නෑ මගේ දුව මට මෙහෙම කරයි කියල. කමක් නෑ දුවේ. ඒත් මගේ දුවට තාම ගෙදර එන්න පුළුවන්. තාම පාර මතකයි නම් එන්න දුවල ගෙදර. ඒ කියන්නේ තාම එන්න පුළුවන් කම තියෙනවා නම් මගේ දුව එන්න. මොකද පියාගේ ලෝකය එළිය වෙන්නේ දුව නිසා.

පියා දුව නැති සොවින් විඳින වේදනාව හා දුවට කරදරයක් වෙයි, අතරමං වෙයි කියල දැනෙන බය නිසා වැලපෙන පියාගේ සිතුවිලි මෙහෙමයි වචන වුනේ.


චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ‍ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
----------------------------------------------
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ

Saturday, April 1, 2017

සුන්දර උයන් පෙතක

සේනානායක වේරලියද්ද ගායනා කරන සුන්දර උයන් පෙතක ගීතය අපූරු පදවැලක් උසුලන්නක්. දුප්පත් කම අඩුකුලය නිසා සිදු වෙන දැයක් කියවේ යැයි සිතමි.

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සුන්දර උයනක පිපිණා වුනානම් පින්සර දෑතින් සැලකුම් ලබන්න තිබුනා. ඒතැනදී සුන්දර උයන් ඇති වන්නේ පොහොසත් ඉහල කුල ගෙවල්වල. ගීතයේ පද ලියැවෙද්දී කාල වකවානුවත් මේ ගීත පද බඳිද්දී බලපානවා. එහෙම තැනක නුඹ ඉපැදුනානන් නුඹට සැලකුම් ලැබෙනවා. නමුත් නුඹ එතැන නෙවෙයි ඉපදී තියෙන්නේ. පෙරකල පව් පඩිසන් දීල තමයි මෙහෙම වෙලා තියෙනනේ ඒ නිසා නාඬා ඉඳින් කියල මේ චරිතය බෞද්ධයකු කරනවා. ඒ වගේම අන්දර කැකුලේ නාඬන් කියල කියන්නේ මේ ආමන්ත්‍රණය සිදු වෙන්නේ දියණියකට. අන්දර මල් තියෙන්නේ කැලේ. එතැනත් ඔව්න්ගේ දුප්පත් කම අඩු කුලය පෙන්වනවා. පව් පඩිසන් දුන්න නිසා තමයි දුවේ උඹට මේ වෙලා තියෙන්නේ කියලයි කියන්නේ.

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

බෞද්ධයා දුකකදී කරදරයකදී යන්නේ පන්සලේ පිළිසරණ පතාගෙන. නමුත් ඔවුන් පන්සලට ගියා වුනත් පන්ස‍ලත් ඔවුන්ට පිටුපානවා. විහාර දොර වහල දාන්නේ ඔවුන් එද්දී. ලෝකෙ මිනිස්සු අසරණ අපට පිහිට නෙවෙන තරම් ලෝකෙ වෙනස්වෙලා. දහම නැති වෙලා. ඒත් කමක් නෑ අපි ලතැ නොවී ඉමු. අපිට දුක සැප සියල්ල වෙනුවෙන්ම බැද්ද තියෙනවා. අපි හිටි දැප්පත් තැනම අපි ඉමු එතැන උන් හොඳයි. කියල තමයි කියන්නේ. මට හිතෙන විදිහෙන් නම් එතැන අරථවත් කරන්නේ දුගී ඔවුන්ගේ පැලැන්තිය අතරේ නැතිබැරිකම ඇතත් මිනිසත් බව තියෙනවා කියල කියන්න කල උත්සාහයක් වගෙයි.

සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

බෞද්ධ අරමුණ වෙන්නේ සසරින් එතෙර වෙන එක. බොහෝම පරිස්සමින් එතැනට යා යුතු වෙනවා. අපි දුප්පත් වුනත් අනිත් අය ගැන ද්වේශ හිතන්නේ නැතිව මෛත්‍රී වඩමින් සසර ගමන එතෙර වීම ගැනයි හිතන්න ඕන. අපිට පිලිසරණක් නැති වුනත් අපි ලෝකෙට වැරදි නොකර කැලේ පිපිල කැලේම පරවෙද්දෙන්. හැබැයි සිතේ සැනසි්ල ඇතිව තමයි මියැදෙන්න ඕන. අපි අපේ ජීවිතේ තියෙන හැටියෙන් ජීවත් වෙමු කියල අවසානයේ හිත හදන්න උත්සාහ කරනවා.

පියෙකු බඩගින්නේ හඬන කුඩා දියණියක නලවා ගන්න කියන ලතැවිල්ලක් වගේ දැනෙන ගීතයක්. කුළමල භේද පොහොසත් කම් ඉදිරියේ නැවෙන මනුස්සකම. මුදලට කුලයට යටවුන බෞද්ධයන් පිළිබඳ කියවෙන්නා වූ කාලීන ගීතයක් හැටියට මම මේ ගීතය විඳිනවා.

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්


 අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

 සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

ගායනය  : සේනානායක වේරලියද්ද

සඳකැන් වැටිලා අඳුරේ එතිලා


ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශිෂ්ඨ පද රචකයාගේ ගීත අප හට සැමදා විඳිය හැක ගීත බව නොරහසකි. එයට හේතු වන්නේ ඔහුගේ බොහෝ ගීත සිය ජීවිතයේ ඇසූ පිරූ ‍දේ වලින් ලියැවෙන නිසාම විය යුතුය. මෙයද එසේ ලියැවුන පද වැලකි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා මධුර කටහඬින් ගායනා වෙන ගීතයේ කතාව මට දැනෙන්නේ මේ ලෙසිනි.

විවාහක යුවලකගේ ජීවිතයට තුන්වැන්නෙක්ගේ ඇතුලු වීම නිසා ඒ විවාහ ජීවිතය බි‍ඳෙන ආකාරය අපූර්ව ආකාරයෙන් විස්තර කෙරෙන ගීතයක පලමු පද වැල ලියැවෙන්නේ මෙන්න මෙහෙමයි. 

සඳකැන් වැටිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

සඳ එලිය වැටුනා වුනත් අඳුරක ඒ සඳ එලිය නැති වෙලා ගිහින්. බිරිඳගේ ආදරය සම වෙන්නේ අන්න ඒ කියන සඳ එලියට. නමුත් ඇයගේ අනියම් පෙමක ඉව ස්වාමියාට දැනෙනවා. අන්න ඒ නිසා ඒ ආදරය අඳුරක අතරමං වෙලා කියල දැනෙනවා. ඒ ඝනඳුර තිබුනා වුනත් අද තනිකමක් නෑ. අතීත මතක හා අන් අය ලඟ සිටින නිසා තමන්ට තනිකමක් නොදැනෙනවා කියල කියනවා. නමුත් ඒතැන තිබෙන්නේ දුක දරාගෙන තනිකමට හුරුවෙන්නම් කියන ව්‍යංගාර්ථයක් යැය සිතන්න පුළුවන්. අන් අයත් නැතිව තනිකම විතරක් තමන්ට ඇති. මට තියෙන එකම ආලෝකය වෙන්නේ ඔබ, ඔබේ ආදරය පමණයි. ඒ නැතිව ලැබෙන අන් දේ වලින් වැඩක් නෑ.

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මගේ ජීවිතේ තියෙන එකම සුවය ඔබ. විවාහක සැමියෙකුට තියෙන එකම සුවය බිරිඳ නොවන්නේද? ආදරය කරුණාව සියලු දේ විස‍ඳෙන්නේ ඇයගේ ආදරය ඉදිරියේ නොවන්නේද? නමුත් මෙය උදුරගන්න තවකෙක් ඇවිත්. ඒ පැමිණීම ගැන කිසිම හොුඩුවාවව්ක තිබුනේ නෑ. හී සරයක් තරම් වේගයෙන් ඇවිත් ඇයව අරගෙන ගිහින්. ඇගේ ආදරය මගෙන් අරගෙන ගිහින්. මේ ලෝක මට තියෙන හොඳම වස්තුව වෙන ඔබේ ඇස් දෙක දැන් මම වෙනුවට අසල්වාසියෙකු වෙනුවෙන් බලා සිටිනවා. ‍මෙතැනදීත් අනියම් පෙම ගැන අපූර්ව ආකාරයෙන් මතක් කර දෙනවා විතරක් නොවයි ඔහු අසල්වාසියෙකු බවත් කියවෙනවා. තමා රැකියාවට ගොස් එනතුරු තනියම ඉන්න බිරිඳක් අසල්වාසියෙකු හා පෙමින් බැ‍ඳී ඇති අයුර පද පෙල හතරකින් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් වෙනවා.

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා......//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

පැරණි ගීත රචකයන්ගේ සංස්කෘතිය හා සභ්‍යත්වය රැකෙන අයුරින් ගීත ලිවීම නැවතත් මතක් කර දෙන්න මේ ගීතය සමත් වෙනවා. මම අනිත් අයගේ හිත් බිඳලා නෑ. ඒ නිසා දෑත් බැඳගෙන ඔබේ ආසාවට ඉඩ දෙනවා. මේ ප්‍රේමවන්තයා රන්ඩු කරන්නේ නෑ. ඇයගේ ආදරය තමන් කෙරේ නැතිනම් රන්ඩුවෙන් පල නෑ. මම කාගෙවත් හිත් බිඳල නෑ. ඒ නිසා මට වරදක් වෙන්නේ නෑ. කර්මයට සියල්ල බාරදෙන ගමන් සැමියා සිතනවා. දවසක අපි වෙන්වෙනවා. අන්න එදාට මේ අනියම් පෙම ගැන කතාව නොකියා ඉමු. දික්කසාදයක් ගැන කියවෙනවා වෙනුවට මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු කියන එකේ අදහස මට හැ‍ඟෙන්නේ නම් දවසක මියයන බවයි. ඒ අද හෙට නම් නෙවෙයි. ඔබේ ප්‍රේමය ඔබේ අයුරින් රහසක් විදිහටම තියා ගන්න නමුත් දවසක අපි වෙන්වෙනවා. අන්න එදාට මේ රහස ලෝකයට එලි වෙන්න නොදී තියන්න. සැමියා තවමත් සූදානම් නෑ බිරිඳට අවමානයක් ඇති කරන්න. ඒ නිසා තමයි අනියම් පෙමට ඉඩ දීල අත් බැඳගෙන ඉන්නේ.

විවාහක යුවලකගේ ජීවිතයක බිරිඳගේ අනියම් පෙම ගැන දැනගන්න සැමියෙක් එහි දුක දොම්නස අපූර්ව අයුරින් සිංහල සංස්කෘතිය හා බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් එක්කම විඳදරා ගන්න අයුරු ලියවුන ගීතයක් විදිහට මම මේ ගීතය දකිනවා. 

සඳකැන් වැටිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි...//

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ.....//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැටිලා ......

මා නැත අන්සතු සිත් නිවලා
දෑතම බැඳගෙන හිඳිමි බලා......//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැටිලා....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක

පෙම් කල වරදට

මෙය දයා ද අල්විස් විසින් රචිත චන්ද්‍රදාස බෝගොඩ සංගීතයෙන් හැඩකල ඉන්ද්‍රාණි බොගොඩ ශිල්පිනියගේ මියුරු කටහඬින් ගැයෙන අපූර්ව ගීතයකි. පවුලක නැගණියක හා අයිය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්ය වශයෙන් ඇති වෙන්නා වූ පවුල් ආරවුලක් තමා මේ ගීතයේ පදනම වෙන්නේ. සංගීතයේ උස් පහත් වීම් පවා මේ ගීතයේ කටහඩ එක්ක එකතු වෙලා ‍හැඟීම් ප්‍රභල කරනවා කියලත් මට හිතෙනවා. බොහෝම නිහඬ තැනක ඉඳගෙන මේ ගීතය අහනවා නම් ඒ දේ දැනේවි. පලවෙනි කොටස ගැයෙන්නේ මෙන්න මේ විදිහට.

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

නැගණිය වැඩිවිය පත්වෙලා ආදරයක් පටන් අරන්. නමුත් ඒ පෙම්වතා හොඳ හෝ නරක වේවා එයට අයියා සම්පූර්ණ වශයෙන් විරුද්ධ වෙලා තියෙනවා. ‍එතැනදී තමා පෙම්වතිය තමන්ගේ අයියට පොඩි නක්කලේකුත් දාන්නේ. ආදරය කලා කියල මට කරදර කරන්නේ අයිය ආදරය කරල නැති නිසා තමයි. නමුත් අයිය ආදරය කලා වෙන්නත් පුළුවන්. නංගී ඒ ගැන දන්නේ නෑ. නමුත් ආදරයට විරුද්ධත්වය ආවාම නංගීගේ දුක පිටවෙන්නේ එහෙමයි. මම ආදරේ කලා කියල අයිය බැන්නට අයිය ආදරය කල දවසට මට සමාව දෙන්න. මම මේ තරම් ‍ආදරය කල එකට. මෙතැන කාරණා කීපයක් මම දකිනවා. සමහර විට මේ පෙම්වතියට අයියා විතරක් වෙන්න පුළුවන්. පවුලේ බර ගෙනියන්නේ අයියා. පියා නැති නිසාවෙන්. අන්න ඒ නිසා තමයි ආරය වෙනුවෙන් මම මැරෙනවා නොකියා දුක ගැන අයියට කියන්නේ. අයියට තේරුම් කරවන්න හදන්නේ.

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

දැන් නම් අයිය නංගීව ගෙදරම තියල. කොහේවත් යන්න දෙන්නේ නෑ. පෙම්වතා හමුවෙන්නත් බැරිව ගෙදරම ඉන්න නංගී අයියගෙන් අහනවා මෙන්න මෙහෙම. ගෙයින් එලියට යන්න නොදී, මුණ ගැහෙන්න නොදී ආදරය වලක්වන්න පුළුවන්ද? පේන්නේ නැද්ද මේ තරම් රැකවල් දාල තිබුනා වුනත් මම එයාගේ දෙපතුල ලඟ ආදරයෙන් වැටිලා ඉන්නවා කියල. කොයි තරම් දේ කලත් ම‍ගේ හිතේ තියෙන ආදරය අයියට නැති කරන්න බෑ. මේ දේ කියන්නේ අයියට දුක හිතිලා වෙනසක් ඇති වෙයි කියල හිතලයි.

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

අවසානයේ අපිව වෙනම මානයකට ගෙනියනවා. උන්මාද චිත්‍රා සහ ගාමිණී කුමරුවන්ගේ කතාව දන්නවා නම් එහි චිත්‍රා දේවිය එක්ටැම් ගෙයක සිර කර මුරකාවල් දා තිබුනා වුනත් ගාමිණී කුමරුවන් කෙසේ හෝ ඇය හා පෙමින් බැ‍‍ඳෙනවා. එක්ටැම් කුලුනේ ආරක්‍ෂකයින් හා එක්ව කෙසේ හෝ ගාමිණී කුමරුවන් එක්ටැම් ගෙදරට යනවා. අවසානය වෙන්නේ චිත්‍රා දේවිය ගැබ් ගැනීමයි. මෙතැන නැගණිය මතක් කරනවා සමාජයේ වෙන දේ මොකක්ද කියලත් සහ තමන් අයියාට තියෙන ආදරයත් පෙම්වතාට තියෙන ආදරය තරම්ම ලොකු බවත් පෙන්වනවා. මම චිත්‍රාවක් වෙන්නේ නෑ කියන එක තුල තමන්ගේ ‍පවුලට තියෙන ලැදිකම හා ආදරය කෙතරම්දැයි පෙන්වනවා. හැබැයි එහෙම නොගිහින් මගේ ආදරය මම කැප කරනවා. අයිය කවදාක හරි ආදරය කල දාට දැනේවි මම කොයි තරම් දුක් විඳිනවද කියල එක ගැන.

ආදරය හා ඒ ආදරය තහනම් වීමෙන් ලැබෙන ශෝකය අපූර්ව ලෙස ගායනාවෙද්දී ඒ කටහඬත් ඒ සංගීතයත් අපූර්ව අයුරින් ඒ ගීතය අසන කෙනෙකුට ඒ දේ දැනෙන්න සලස්වනවා.

____________________________________________________________________________________________
පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

පද: දයා ද අල්විස්
සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ


මුදු මුහුණේ සුව දැනුනේ

මහින්ද දිසානායක පද රචනය කල ගුණදාස කපුගේ සංගීතවත් කල ගීතය කරුණාරත්න දිවුල්‍ගනේ හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ මයුර කටහඬින් ගායනා කෙරුණි. දෙදෙනෙකුගේ සංවාදයක් ලෙසින් දිගහැරෙන ගීතයේ මෙසේ ලියැවුන ආදර කතාවක් වෙතැයි මට සිතේ.

එක් පාර්ශවයක් සැමියාද අනෙක් පාර්ශවයේ බිරිඳ ද යැයි හැඟවෙන තැන් බොහෝමය. ගලායන්නේ මංගල දිනයේ එක්වීමෙන් පසු ‍කැරෙන ප්‍රේමණීය ආමන්ත්‍රණයක් යැයි සිතමි. බිරිඳගේ සුන්දරත්වය වෙනදාටත් වඩා හොඳින් දැකපු සැමියාට වෙවනකෙකු ඇයගේ සුන්දරත්වය විඳ ඇතිදැයි සැක ඇතිවේ. මෙය සාමාන්‍ය සිතිවිල්ලක්මය. බිරිඳටද එවැනි සිතිවිලි පහල වුවද එය අසන්නට කතිකාව විවර වන්නේ සැමියා අතිනි.

මෙය ඔවුන්ගේ ප්‍රථම ප්‍රේමය නොවන බව දෙදෙනමෙ දන්නා රහසකි. නමුදු අන් අයගේ සබඳතා වලදී සිය බිරිඳ ඔුන් ඉදිරියේ තම පතිවත බිඳ ඇතිදැයි සැකයකි. තමා සතු අගනා වස්තුව අනෙකෙකු සතුව ඇතිදැයි යන සිතිවිල්ල සිත පුරා එහෙමෙහෙ දුවන්නේ තමාද සර්ව සාධාරණ නොවන නිසාම යැයි හැ‍ඟේ. බිරිඳ ද එයට පිලිතුරු සපයන්නේ උපහාසය කැටිකරගත් ආදරණීය ගෞරවණීය වදන් වලින්මය.

ආදරය කරන සිය බිරිඳගේ මුව සිඹ සනසා ඇත්තේ තමන්ම පමනදැයි සැමියා අසන්නේ කතාකාව වක්‍රාකාරයෙන් බිරිඳ ප්‍රශ්ණ කිරීමට ලක්කිරීමේ අදහසිනි. ඔහු බලාපොරොත්තු වන්නේ කෙටි පිළිතුරකි. එනම් ඔව් යන්න වුවද බිරිඳගේ පිළිතුර තමා සාධාරණීකරණය කරගනිමින් සැමියාගේ සුසුම් උණුසුම ලබා ඇත්තේ තමා පමණද යැයි ඇසීමෙනි. එය තුල වක්‍රාකාරයෙන් නැත යන අදහස අපූරුවට ගැබ් කර ඇති සේයාවකි. සැමියාට පිළිතුරු නැත. එයට හේතුව අතීත වරදකරුවෙකු බව සිත පිලිගත් නිසාවෙනි.

සැමියා තම සිත එක්තැන්කොට ගන්නේ කමක් නැහැ මමත් කරල තියෙනවානේ යැයි සිතා විය යුතුය. එතැනින් දෙවැනි ප්‍රශ්ණය එක් කරන්නේ තවටිකක් ගැටලුව ලඝුකොට දැක්වීමෙනි. සැමියාගේ අවශ්‍යතාව කෙටි පිළිතුරක් වුවද බිරිඳ එයට ඉක්මන් නොවී ප්‍රශ්ණයකින්ම පිළිතුරු සපයන අයුරක් දැනේ. අතීතය ඔහුටද සිහිවෙන සෙයකි. ඔබේ උකුලේ හිස තියන් ඉඳල තියෙන්නේ මම විතරයයිද කියල සැමිය අහන්නේ ඒ නිසා විය යුතුයි. නමුත් බිරිඳ එයටද ඔව් කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ උරහිසට හේත්තු වෙලා ආදරය වින්දේ මම විතරද කියල ඇය අහනවා. එතැනත් ඇය අතීතයේ තවෙකෙකුට ආලය කල බවත් එය බිඳී ගිය බවත් පෙනෙනවා. නමුත් එය අමතක කරල වත්මන ජීවත් වෙන්න සම්පූර්ණ වශයෙන් සූදානම් කියලත් කියනවා.  මොකද ඇය හැමවිටම ගෞරවනීය ලෙස හිමි සඳු කියල සැමියාට ආමන්ත්‍රණය කරනවා.
සැමියාට දැන් කරන්න දෙයක් ඇත්තේම නෑ. ඔහු අවසානයේ එනව තමන්ගේ හිතේ කැකෑරෙන ගැටලුවට. ඉඟ නෙරියේ රැලි බින්‍ඳේ මම විතරයිද කියල අහන්නේ ඒ නිසා විය යුතුයි. ආදරෙන් හිටියත් කමක් නෑ කා සමඟවත් යහන්ගත වුනාද කියල අහනවා. එතැනදී ඔහුගේ අතීතයම එයට පාදක වුනා විය යුතුය. ඔහු සර්ව සාධාරණ නොවුන ‍කෙනෙකු විය යුතුය. ඔහු කලින් ඒ වරද කලා විය යුතුය. ඔහුට ඒ සැකය ඇති වන්නේ ඒ නිසා යැයි හැ‍ඟේ. නමුදු එයත් නැහැ නොකියා බිරිඳ තමා දාධාරණයට ලක් කරන්නේ තමාගේ අතීතය වල දමා වත්මන ජීවිතයට කැමැත්ත පල කරමිනි. අතීතයේ තමාද රැවටීමටලක්වුන බව පවසනු වෙනුවට ඇය අසන්නේ ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමිසඳුනේ මගෙ විතරද කියලයි. එතැනදීත් ගෞරවනීය ලෙස සැමියාට ආමන්ත්‍රණය කරන්නේ අතීතය වල දමා වත්මන ජීවිතයට පැමිණි වග කියමිනි. දැන් සැමියා සම්පූර්ණ ලෙසින් පිලිගත් බව අඟවමින් වුවද අතීත වරදට පසුතැවිල්ලක්ද නොමැත්තේ නොවේ යැයි මට සිතේ.

වැරදි කර මගේ වැරදි හොයන්න එපා යන උපහාසයක් අතීතයේ වැරදි කා අතිනුත් වෙන බව පෙන්වමින් වත්මනට ඒ අතීතය හරස් නොකර ආදරයෙන් ජීවත් වන්නට කරන ආරාධනාවත් නිරතුරු මේ පද පෙලේ ගැබ්ව ඇතැයි ට සිතේ.

මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද ........//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මම විතරද....//
උරතලයේ හිස රන්දා සුව වින්‍‍ඳේ මම විතරද

මුදු මුහුණේ....

ඉඟ නෙරියේ රැලි බින්‍ඳේ ප්‍රිය ලඳුනේ මං විතරද....//
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද

මුදු මුහුණේ....


නෙතින් නෙත බලාලා

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : දයා ද අල්විස් 
තනුව : ස්ටැන්ලි පීරිස් 


ස්ටැන්ලි පීරිස් විසින් සැකසූ තනුවකට දයා ද අල්විස් ගීත රචිකාවිය විසින් රචිත අපූර්ව ගීතයක් රෝහණ බෝගොඩ ගේ කටහඬින් ගැයෙන්නට විය. පෙර සැකසූ තනුවකට දයා ද අල්විස් ගීතයක් රචනා කිරීම මෙම ීතයේ තැනෙද්දී සිදුවූ විශේෂ සිදුවීමකි. බෝගොඩයන්ගේ කටහඬ හැඟීම් කෙසේ නම් මේ ගීතයට බැ‍ඳෙන්නේ දැයි කිව නොහැකිය. එහුගේ ගීත ගායනයේ මේ ගීතයට සජීවී බවක් බලා දී ඇති බව නම් නොරහසකි. ඒ ගීතයේ ඇති හැඟීම ඒ අයුරින් ‍රසිකයාට ගලා යන්නේ ඒ කටහඬ නිසාම යැයි මට හැ‍ඟේ.
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

යුවලකගේ සංවාදයක යැයි කිව හැකි තරමේ කතාවකින් පටන් ගත්තා වුනත් මෙහි ගායනය කුමන පාර්ශවයෙන් සිදුවේ දැයි කිව නොහැක. අපි දෙන්නා ඇස් දිහා බලාගෙන හිත් වල තිබුන දුක නැති කරගත්ත අතීතයක් තිබුනා. නමුත් අදින් ඒ කාලය අවසන් වෙනවා. අපේ ආදරේ රකින්න කියල අඬන්න එපා මේක අවසානය නොවේ ආරම්භය පමණයි. ගීතය ආරම්භයේදීම දෙදෙනාගේ නොගැලපීම එය කාලයක් යන තුරු විඳ දරා ගත්ත විදිහ ගැන කියවෙනවා. නමුත් දැන් ඒක දරා ගන්න බැරි නිසා වෙන් වෙන්න තීරණය වෙලා. නමුත් ඒක රකින්න කියල බොරුවට හඬල වැඩක් වෙන්නේ නෑ. මොකද මේක අවසානය නෙවෙයි. ආරම්භයක්. නමුත් ආරම්භය වෙන්නේ මොකක්ද? මේ හිතන්න තියල සංගීතය ගලාගෙන යනවා.

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

අපි මුලින්ම වෙන් වෙන්න තමා තිබුනේ. නමුත් මේ තරම් දුර ආව නිසා තමයි වෙන් වීමේ දුක වැඩි වෙන්නේ. ලඟින් ආදරය කල දෙන්නෙක් බවත් අතීතයේ ‍හුඟක් ලඟින් ආදරය කල බවත් කියවෙන්නේ පද දෙපෙලකින්. ගොඩක් ආදරේ තාමත් හිතේ තිබුනා වුනත් ඇයි මේ අහිමි වෙන ආදරයක් ඇතිවුනේ. මෙතැන තේරුම කියන්න ටිකක් අමාරු තැනක්. මම හිතනවා මෙතැන කියන්නේ කෙනෙකුගේ ආදරය නැතිවෙලා තුන්වෙන් පාර්ශවයක් කතාවට එක් වෙනවා කියලයි. ලානය පාර්ශවයේ හිතේ ආදරය තියෙනවා වුනත් ඒ ආදරය මේ තරම් කාලයකට පසුව වෙනකෙකු වෙත ලංවෙලා. ඇයි එහෙම නම් ඒ දවසේම අපි ආදරය කලේ. ආයෙමත් කියනවා මේ ආදරය රකින්න අඬන්න එපා මේක ආරම්භය පමණයි කියල. එතැන අරුත මේක තවත් ආදර කතාවක ආරම්භයක්. ඒ ඔයාගේ. ඒ නිසා මේ ආදරය රකින්න කියල හඬන්න එපා. මොකද අපි වෙන් වෙන එක වෙන් වෙන්නේ නෑ. නමුත් ඒ ආදරයත් මේක වගේ වෙනස් වුනොත් මේක අවසානය නොවෙයි. ආයෙන් අඬන්න වෙනවා. ඒ නිසා මේක ආරම්භය විතරයි.

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

ආයෙම භවයක මාව පතන්නවත් එපා මොකද හෙට දවස වෙනුවෙනුත් ඔයා දුන්න මේ දුක තියෙනවා. ඒ නිසා මතු බවයේදී වත් ආයේ ආදරයක් එපා. ඔයා මගේ ලෝකයෙන් ගියාට පස්සේ මට ලෝකයේ ලබා ගන්න දෙයක් නෑ. අපි වෙන්වෙන්නේ ආයෙම තිසි භවයක හමු වෙන්න නෙවෙයි. කෙනෙකු කල රැවටිල්ලක්, එයින් රැවටුන කෙනා විසින් කියල බව තේරුම් යන්නේ මෙතැනදී කියලයි මම හිතන්නනේ. මොකද මතුභවයේදීවත් මාව ආයේ ලැබෙන්න කියල ප්‍රාර්ථනාකරන්න එපා කියලයි කියන්නේ. මොකද මේ දුක හැමදාටමත් තියේවී. මතු භවයේදී වත් ආයෙම මට මේ වේදනාව විඳින්න ඕන නෑ.

ආදරය කරල කසාද බැඳල පස්සේ එක් පාර්ශවයකින් කල රුවටීම් වෙනුවෙන් රැවටුන කෙනා කරන හඬා වැටීමක් විදිහටයි මම මේ ගීතය දකින්නේ. බෝගොඩයන්ගේ ගායනයේ ඒ වේදනා ස්වරයත් එක් වුනාම අපූර්ව චිත්‍රයක් ‍මැවෙනවා. ඒ අපූර්වත්වය ඔයාලටත් විඳින්න මේ ගීතය අහල බලන්න.

අයේ ලියනකම් ජය...!