Pages

Monday, April 10, 2017

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

සිංහයන් තිදෙනෙකුගේ අපූර්ව සම් මිශ්‍රණයක ප්‍රථිපලයක් විදිහට දිග හැරෙන මේ අපූරු ගීතය ගැන පොඩියක් ලියන්න හිතුනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තම රාජකාරි කරන අවධියේ සිදුවුන සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් රත්න ශ්‍රී අතින් ලියවෙන මේ අපූරු ගීතය සිංහල ගීත කලාවේ මනරම් බව මැනෙවින් පෙන්වනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

සිංහල කවියේ හැමදාමත් කතාවුනේ ස‍ඳේ ඉන්න සාවෙක් ගැන. නමුත් එහි ඉන්න සාවියක් ගැන කතා කරන පමු කෙනා රන්න ශ්‍රී විජේසිංහයන් විය යුතුයි. ඉතා පියකරු ලෙසින් පියෙකුගේ ආදරය උණුහුම ලබමින් වැඩෙන පියකරු දියණියකි. දුප්පත් කුඩා ගෙය එලිය කල සඳ සාවිය වුනේ ඇය. නමුත් ඇය නොකියා ගිහින්. ඇය ගිය දිශාවක් ගැනවත් පියාට තොරතුරක් නැහැ තවමත්. ඇය ගිය වෙලාවේ ඉඳන්ම ගේ පාලුවට ගිහින්. ඇයි නුඹ ගියේ කියල පියා අහනවා. මගේ ආදරය අඩු වුනාද? නැතිනම් මම නුඹට අඩුවක් කලාද? ඇයි ගියේ කියල කියන්න මට. මේ තමා පියාගේ දුක් අ‍ඳෝනාව. දුවෙකු ගෙදරින් පැනල ගියාම පියෙකුට දැනුන හැඟීම වචන වලට හැරුණු හැටි.

ලාභ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

දිලිසෙන රත්තරන් සියල්ල එක සමාන වටිනකමක් නෑ. අඩු වටිනාකම තියෙන ඒත් ඒ විදිහෙන්ම දිලිසෙන රත්තරන් ඕන තරම් නගර වීදි වල තියෙනවා. උඹ ඒ ලෝකේ නොදැක්කාට උඹේ තාත්ත ඒක දැකල තියෙනවා. ඉස්සරත් නගරෙන් ආව තරුණයන් එක්ක ගමේ ගෑණු ලමයි ගියා. හැබැයි උන් කවුරුවත් හොඳ සතුටු ජීවිත ගත කරන්නේ නෑ. උන් ගොඩක් අනාථ වුනා. අන්න ඒ නිසා තමයි මට බය, මගේ දුවටත් එහෙම වෙයිද කියල. මෙතැනදී පියාට සැකයක් විචිකිච්චාවක් දැනෙනවා. මගේ දුව කවුරු හරි කොල්ලෙක් එක්ක පැනල ගියාද කියලත්. මොකද කලින් ඒ වාගේ දේවල් ගමේ වෙලා තියෙනවා. උන් වගේ මගේ දුවත් අතරමං වෙයිද කියල පියාට දුකයි, බයයි.

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ‍ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

දැන් පියාට මතක් වෙනවා. පහුගිය කාලේ සිදුවුන දේවල්. ගේ අවට සිටි අයව. සුදු යකඩ මාල දාගෙන වත්තේ තිබුන රෝස මල් අතර කොල්ලෝ ටිකක් හිටියා. ඒ තරම් අපූරුවට මගේ දුව මගේ වත්ත ලස්සන කලා. මල් වැව්වා. අපූරු උයනක ජීවත් වුනේ. මගේ ලෝකෙ ලස්සන කලේ මගේ දුව. උන් ඇවිත් මෙතැන එක එක දේවල් කිව්වා, කලා. නමුුත් මම මගේ දුවව විශ්වාස කලා. මම හීනෙන්වත් හිතුවේ නෑ මගේ දුව මට මෙහෙම කරයි කියල. කමක් නෑ දුවේ. ඒත් මගේ දුවට තාම ගෙදර එන්න පුළුවන්. තාම පාර මතකයි නම් එන්න දුවල ගෙදර. ඒ කියන්නේ තාම එන්න පුළුවන් කම තියෙනවා නම් මගේ දුව එන්න. මොකද පියාගේ ලෝකය එළිය වෙන්නේ දුව නිසා.

පියා දුව නැති සොවින් විඳින වේදනාව හා දුවට කරදරයක් වෙයි, අතරමං වෙයි කියල දැනෙන බය නිසා වැලපෙන පියාගේ සිතුවිලි මෙහෙමයි වචන වුනේ.


චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ‍ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
----------------------------------------------
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ

No comments:

Post a Comment