Pages

Saturday, April 1, 2017

මුදු මුහුණේ සුව දැනුනේ

මහින්ද දිසානායක පද රචනය කල ගුණදාස කපුගේ සංගීතවත් කල ගීතය කරුණාරත්න දිවුල්‍ගනේ හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ මයුර කටහඬින් ගායනා කෙරුණි. දෙදෙනෙකුගේ සංවාදයක් ලෙසින් දිගහැරෙන ගීතයේ මෙසේ ලියැවුන ආදර කතාවක් වෙතැයි මට සිතේ.

එක් පාර්ශවයක් සැමියාද අනෙක් පාර්ශවයේ බිරිඳ ද යැයි හැඟවෙන තැන් බොහෝමය. ගලායන්නේ මංගල දිනයේ එක්වීමෙන් පසු ‍කැරෙන ප්‍රේමණීය ආමන්ත්‍රණයක් යැයි සිතමි. බිරිඳගේ සුන්දරත්වය වෙනදාටත් වඩා හොඳින් දැකපු සැමියාට වෙවනකෙකු ඇයගේ සුන්දරත්වය විඳ ඇතිදැයි සැක ඇතිවේ. මෙය සාමාන්‍ය සිතිවිල්ලක්මය. බිරිඳටද එවැනි සිතිවිලි පහල වුවද එය අසන්නට කතිකාව විවර වන්නේ සැමියා අතිනි.

මෙය ඔවුන්ගේ ප්‍රථම ප්‍රේමය නොවන බව දෙදෙනමෙ දන්නා රහසකි. නමුදු අන් අයගේ සබඳතා වලදී සිය බිරිඳ ඔුන් ඉදිරියේ තම පතිවත බිඳ ඇතිදැයි සැකයකි. තමා සතු අගනා වස්තුව අනෙකෙකු සතුව ඇතිදැයි යන සිතිවිල්ල සිත පුරා එහෙමෙහෙ දුවන්නේ තමාද සර්ව සාධාරණ නොවන නිසාම යැයි හැ‍ඟේ. බිරිඳ ද එයට පිලිතුරු සපයන්නේ උපහාසය කැටිකරගත් ආදරණීය ගෞරවණීය වදන් වලින්මය.

ආදරය කරන සිය බිරිඳගේ මුව සිඹ සනසා ඇත්තේ තමන්ම පමනදැයි සැමියා අසන්නේ කතාකාව වක්‍රාකාරයෙන් බිරිඳ ප්‍රශ්ණ කිරීමට ලක්කිරීමේ අදහසිනි. ඔහු බලාපොරොත්තු වන්නේ කෙටි පිළිතුරකි. එනම් ඔව් යන්න වුවද බිරිඳගේ පිළිතුර තමා සාධාරණීකරණය කරගනිමින් සැමියාගේ සුසුම් උණුසුම ලබා ඇත්තේ තමා පමණද යැයි ඇසීමෙනි. එය තුල වක්‍රාකාරයෙන් නැත යන අදහස අපූරුවට ගැබ් කර ඇති සේයාවකි. සැමියාට පිළිතුරු නැත. එයට හේතුව අතීත වරදකරුවෙකු බව සිත පිලිගත් නිසාවෙනි.

සැමියා තම සිත එක්තැන්කොට ගන්නේ කමක් නැහැ මමත් කරල තියෙනවානේ යැයි සිතා විය යුතුය. එතැනින් දෙවැනි ප්‍රශ්ණය එක් කරන්නේ තවටිකක් ගැටලුව ලඝුකොට දැක්වීමෙනි. සැමියාගේ අවශ්‍යතාව කෙටි පිළිතුරක් වුවද බිරිඳ එයට ඉක්මන් නොවී ප්‍රශ්ණයකින්ම පිළිතුරු සපයන අයුරක් දැනේ. අතීතය ඔහුටද සිහිවෙන සෙයකි. ඔබේ උකුලේ හිස තියන් ඉඳල තියෙන්නේ මම විතරයයිද කියල සැමිය අහන්නේ ඒ නිසා විය යුතුයි. නමුත් බිරිඳ එයටද ඔව් කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ උරහිසට හේත්තු වෙලා ආදරය වින්දේ මම විතරද කියල ඇය අහනවා. එතැනත් ඇය අතීතයේ තවෙකෙකුට ආලය කල බවත් එය බිඳී ගිය බවත් පෙනෙනවා. නමුත් එය අමතක කරල වත්මන ජීවත් වෙන්න සම්පූර්ණ වශයෙන් සූදානම් කියලත් කියනවා.  මොකද ඇය හැමවිටම ගෞරවනීය ලෙස හිමි සඳු කියල සැමියාට ආමන්ත්‍රණය කරනවා.
සැමියාට දැන් කරන්න දෙයක් ඇත්තේම නෑ. ඔහු අවසානයේ එනව තමන්ගේ හිතේ කැකෑරෙන ගැටලුවට. ඉඟ නෙරියේ රැලි බින්‍ඳේ මම විතරයිද කියල අහන්නේ ඒ නිසා විය යුතුයි. ආදරෙන් හිටියත් කමක් නෑ කා සමඟවත් යහන්ගත වුනාද කියල අහනවා. එතැනදී ඔහුගේ අතීතයම එයට පාදක වුනා විය යුතුය. ඔහු සර්ව සාධාරණ නොවුන ‍කෙනෙකු විය යුතුය. ඔහු කලින් ඒ වරද කලා විය යුතුය. ඔහුට ඒ සැකය ඇති වන්නේ ඒ නිසා යැයි හැ‍ඟේ. නමුදු එයත් නැහැ නොකියා බිරිඳ තමා දාධාරණයට ලක් කරන්නේ තමාගේ අතීතය වල දමා වත්මන ජීවිතයට කැමැත්ත පල කරමිනි. අතීතයේ තමාද රැවටීමටලක්වුන බව පවසනු වෙනුවට ඇය අසන්නේ ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමිසඳුනේ මගෙ විතරද කියලයි. එතැනදීත් ගෞරවනීය ලෙස සැමියාට ආමන්ත්‍රණය කරන්නේ අතීතය වල දමා වත්මන ජීවිතයට පැමිණි වග කියමිනි. දැන් සැමියා සම්පූර්ණ ලෙසින් පිලිගත් බව අඟවමින් වුවද අතීත වරදට පසුතැවිල්ලක්ද නොමැත්තේ නොවේ යැයි මට සිතේ.

වැරදි කර මගේ වැරදි හොයන්න එපා යන උපහාසයක් අතීතයේ වැරදි කා අතිනුත් වෙන බව පෙන්වමින් වත්මනට ඒ අතීතය හරස් නොකර ආදරයෙන් ජීවත් වන්නට කරන ආරාධනාවත් නිරතුරු මේ පද පෙලේ ගැබ්ව ඇතැයි ට සිතේ.

මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද ........//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මම විතරද....//
උරතලයේ හිස රන්දා සුව වින්‍‍ඳේ මම විතරද

මුදු මුහුණේ....

ඉඟ නෙරියේ රැලි බින්‍ඳේ ප්‍රිය ලඳුනේ මං විතරද....//
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද

මුදු මුහුණේ....


No comments:

Post a Comment