තරු මංපෙත් ඡායාරූපකරණය කියන්නේ මොකුත් මැජික් එකක් නම් නෙවෙයි. මේක බොහොම සරල ක්‍රමයක් භාවිතා කිරීමක් විතරයි. වේගයෙන් ගමන් කරන වාහනයක ඇති ආලෝකය ඡායාරූපය පුරා රේඛා ලෙස විහිදෙන ලෙස ආලෝක මංපෙත් ඡායාරූපකරණය ඔබ දැක ඇති, කර ඇති. මෙතැනත් භාවිතා වෙන්නේ ඒ ක්‍රමවේදයම තමයි. නමුත් අපි තරු වලට ගොඩක් දුරින් ඉන්න නිසා තරු වල ගමන (ඇත්තටම ගමන වෙන්නේ අපි, පෘඨිවිය වුනත් දැනෙන්නේ තරු ගමන් කරනවා මෙනි) බොහෝම හෙමින් කියලයි අපට දැනෙන්නේ. මෙන්න මේ ගමන් මාර්ගය රේඛාවන් විදිහට ඡායාරූප ගත කිරීම තරු මංපෙත් ඡායාරූපකරණය විදිහට හැඳින්වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි |
මුලින්ම ඡායාරූප ලබා ගන්න කලින් අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එයින් මුල්ම එක තමයි අපිට සැකසුම් සැකසිය ආකාරයේ කැමරාවක් තියෙන්න ඕන. දෙවැන්න තමයි හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් ඕන. ත්‍රිපාදය වෙනුවට මේසයක තියල වුනත් අපිට ඡායාරූපය ගන්න පුළුවන්. නමුත් මතකයේ තියෙන්න ඕන ඡායාරූපය ලබා ගන්නා සම්පූර්ණ කාල සීමාව තුලදීම කැමරාව නොසෙල්වී තබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඊලඟට අපිට ඕන කරන දේ තමයි හොඳ ද්‍රරස්ථව කැමරාව පාලනය කල හැකි ක්‍රමවේදයක්. මොකද අපි සැරින් සැරේ කැමරාව අල්ලන්න ගියාම අපේ කැමරාව අපි නොදැනුවත්වම සෙලවෙනවා. ඒක වලකා ගැනීමත් බොහොම වැදගත්. හොඳින් ආරෝපිත බැටරි කීපයක් (වැඩේ අතරතුර කැමරාව ඔෆ් වුනොත් වැඩේ ආයෙම මුල ඉඳන් කරන්න වෙන නිසා). මේ ටිකට අමතරව පුළුල් කෝණ (Wide Angle) කාචයක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. crop sensor එකක් නම් 8mm-20mm අතර කාචයකුත් 35mm Sensor එකක් නම් 14-24mm අතර කාචයකුත් භාවිතා කරනවා නම් වඩා සාර්ථක ආකර්ශණීය ඡායාරූපයක් ලබා ගන්න පුළුවන් වෙයි.
කෙටි කාලයක් තුල ලබාගත් තරුමංපෙතක් ඡායාරූපය අන්තර්ජාලයෙනි. |
බඩු ටික නම් ලෑස්ති කරගත්තා වුනත් තව දේවල් කීපයක් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ ටික නැතිනම් සාර්ථක ඡායාරූපයක් ගන්න එක සෑහෙන්න අමාරු වෙනවා. එකක් තමයි සඳේ කලාවන් පිළිබඳ ඇති අවබෝධය. පුරසඳ දිනයට සතියක් පෙර හෝ පසු සතියක් පසු දිනයක් භාවිතා වෙනවා නම් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඊට අමතරව හැම වෙලාවේම සඳට විරුද්ධ පැත්තෙන් තරු ඡායාරූපයට ගන්නවා නම් තරු හොඳින් ආලෝකමත් වුන ඡායාරූපයක් ලැබෙනවා සහ අමතර වස්තූන් අපූරුවට ආලෝකමත් වෙනවා. ඊලඟට තමන් තෝරාගන්න ප්‍රදේශයේ අවට අඳුරු තත්ත්වය බලපානවා. අඳුර වැඩි නම් ආලෝක දූෂනයෙන් තොරයි නම් ඡායාරූපය සාර්ථකයි. විදුලි බුබුලු ආදියෙන් වන දූශනය නිසා අපේ අවසන් ඡායාරූපයට ගොඩක් හානි වෙන්න පුළුවන්. මේ ටික සියල්ල බලලා අවසානයේ හොඳින් බලන්න ඒ ප්‍රදේශයේ කාලගුණය පිළිබඳවත්. මොකද වැඩ ටික ලෑස්ති කරගත්තාම වැස්සොත් හරි වලාකුලු වලින් අහස වැහිලා ගියොත් හරි වැඩේ අවුල් වෙනවා. ගොඩක්ම පොඩි ප්‍රමාණයකින් වලාකුලු තිබීමත් ඡායාරූපයට අමුතු ලස්සනක් එකතු කරාවි. නමුත් එය වැඩි වීමෙන් තරුමංපෙත් නොපෙනී යන්න පුළුවන්.මේකට අමතරව පෘථිවිය කැරකැවෙන දිශාව පිළිබඳ අවබෝධයෙන් සිටීමෙන් හොඳ composition එකක් අපේ ඡායාරූපයට ලබා ගන්න පුළුවන්. මොකද අපිට ඒකෙන් තරු වල ගමන ගැන හිතාගන්න පුළුවන්. ඉතින් ඡායාරූපය ගන්න කලින් අපිට මවා ගන්න පුළුවන් තරු මංපෙත කොයි වගේද කියල.
දැන් ටිකක් අමාරු කොටස තියෙනවා. ඒ තමයි නාභිගත කරන්නේ කොහොමද කියන එක. බය වෙන්න එපා Auto focus නම් වැඩ කරන්නේ නෑ. ඒ නිසා ඒක off කරල දාන්න මුලින්ම. දැන් තියෙන නවීන ලෙන්ස් වල නම් අනන්තය නාභිගත කිරීම සලකුණුකරල තියෙනවා. එහෙමත් නැතිනම් දවල් කාලයක අනන්තය නාභිගත කරල තියා ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ක්‍ෂිතිජයේ අැති ආලෝකය ඇති වස්තුවක් නාභිගත කරන්න පුළුවන්.
අනාවරණ කාලයන් අතර අන්තරය වැඩි වූ අවස්ථාවක තරු මංපෙතක් ඡායාරූපය අන්තර්ජාලයෙන් |
කැමරාවේ සැකසුම් කරන්නේ කොහොමද කියන එක ලියනකම් දැන් හැමෝම ඇස් ඇරගෙන බලාගෙන ඇති. ක්‍ෂීරපථය ඡායාරූපගත කිරීම පිලිබඳ මම ලියපු ලිපිය බලන්න ඒ සැකසුම් වලින් අපි කලේ තරු නිසල කරමින් ලබා ගත හැකි අවම ද්වාර වේලය මැන ගැනීමයි. නමුත් අපි මෙතන කරන්නේ තරුවල ගමන ඡායාරූපගත කිරීම නිසා ඒ ක්‍රමයෙන් ඔබ්බට යා යුතු වෙනවා. මුලින්ම Metering Mode එක Nikon නම් Matrix වලටත් Canon නම් Evaluative වලටත් දා ගන්නවා නම් හොඳයි. පුළුවන් තරම් RAW file type එකෙන් ඡායාරූප ගන්න. කැමරාව සම්පූර්ණ වශයෙන් Manual Mode එකේ තියා ගන්න. White balance එක 4000K -5500K අතර තියා ගන්න. Aperture එක 2.8-5.6 අතර අයක පවත්වා ගන්න බලන්න. ISO අගය උපරිමය 400කට විතරක් යන්න බලන්න නැතිනම් තරු වෙනුවට Noise එකක් ඡායාරූපයේ තියේවි. නමුත් අපිට අවශ්‍ය ආලෝකය අනුව ISO එක සකසගන්න පුළුවන්. දැන් තියෙන කැමරාවල තියෙන Long Exposure Noise Reduction කියන එක Off කරල High ISO Noise reduction කියන එක Normal තත්වයේ තියා ගන්න. කැමරා කාචයේ නාභිය දුර කුමක් වුනත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. නාභිය දුර වැඩියි නම් අපිට කෙටි කාලයකින් වැඩේ ඉවර කරන්න පුළුවන්. නමුත් අපිට අවට ඇති දර්ශනය සමඟ තරු මංපෙත ඡායාරූපගත කිරීම මගින් ඡායාරූපයේ උසස් බව වැඩි කරගන්න පුළුවන්.අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි අපි තෝරගන්න ද්වාර වේගය මොකක්ද කියන එක. ඇත්තටම මේකෙදි ක්‍රම කීපයක් තියෙනවා. තත්පර 30-60ත් අතර අගයයන් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි.
දිගු දුර කාචයක් භාවිතයෙන් ලැබුණු තරු මංපෙතක් ඡායාරූපය අන්තර්ජාලයෙන් |
දැන් බලමු පින්තූරය ගන්නේ කොහොමද කියල. අපි තත්පර 60ක නිරාවරණ කාලයක් දුන්නාට අපේ ඡායාරූපය ලැබෙන්නේ නෑ. එතැනදී ලැබෙන්නේ කුඩා දුරක් ගමන් කල තරු මංපෙතක් පමණයි. ඒ නිසා අපිට එක ලඟ ලබා ගත්තු පින්තූර රාශියක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් මම නිර්දේශ කරන්නේ එකම රාමුවක තත්පර 60ක නිරාවරණ කාලයෙන් යුතු පින්තූර 60ක්වත් බලා ගන්න කියලයි. ඒ හැම පින්තූර දෙකක් අතරම උපරිම වශයෙන් තත්පර 5ක විරාම කාලයක් තිබුනාට කමක් නැහැ. නමුත් එයත් අවම වනවා නම් හොඳයි. අඩුම වශයෙන් වැඩේට පැයක් විතර වැය කරන්න වෙනවා. දිගු වේලාවක් නිරාවරණය කරල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නමුත් ඒ ක්‍රමයේදී ඡායාරූපයේ ගුණාත්මක බව හානි වෙන නිසා ඒ ක්‍රමය ගැන ලියන්නේ නෑ. ඒ පැය තුල ලබා ගත්තු පින්තූර සියල්ල එකතු කරල අපිට Stacking method එකකින් අපේ අවසන් ඡායාරූපය සකසා ගන්න පුළුවන්. අවසන් සැකසුම් කිරීම් ගැන ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
නිවරදි අනාවරණය හා පුළුල් කාලයක් භාවිතයෙන් ලබාගත් තරු මංපෙතක් ඡායාරූපය අන්තර්ජාලයෙනි |
එහෙනම් ආයෙ ලිපියකින් එනකම් ආයුබෝවන්.....
No comments:
Post a Comment